ආදරවන්තී සමඟ එන අනුජ

ඔක්තෝබර් 10, 2019

අනුජ මතිමන්ත හේරත් කලා ලොවට පා තැබූ නවකයෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වකවානුවේ විද්‍යාලයේ සාහිත්‍ය, නාට්‍ය සහ සංගීත වැඩ සටහන්වලට සහභාගී වී කලා ලොවේ අත්පොත් තැබූ ඔහු ක්‍රමයෙන් සිය සහජ කුසලතා වර්ධනය කරගෙන ඇත. පාසලේ නර්තන කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ ඔහු ළමා දිනයන් සැමරීම සඳහා පාසලේ වේදිකා ගත කළ ළමා නාට්‍යවල රඟපෑ අතර පද්‍ය ගායනා තරඟයන්හි ජයග්‍රහණ සලකුණු කර ඇත. විශාරද ලස්සන බණ්ඩාර තමාට සංගීත ක්ෂේත්‍රයට පා තැබීමට අත්වැල් සැපයූ බව ඔහු කෘතඥතා පූර්වකව සිහි කරයි.

සිය ගායන දිවියේ තවත් ඉදිරි පියවරක් තබමින් මහනුවර හෑදෙනිය සන්රිච් හෝටලයේදී සිය මංගල ගී තැටිය ‘ආදරවන්තී’ නමින් එළි දැක්වීය. විශාරද ලස්සන බණ්ඩාර එහි පද රචනය කළ අතර විශාරද නලින්ද රණසිංහ එයට සංගීතය සැපයීය.

ඉඳුනිල් ප්‍රසන්න හේරත් පදවැල ලියූ සිහශක්ති සංගීත කණ්ඩායමේ ආනන්ද පෙරේරා සංගීතය සැපයූ ‘සඳට ළං වී’ නමැති යුග ගීතය විශාරද තනුජා බණ්ඩාරනායක සමඟ ගායනය කරන ලදී. මහනුවර කඳුරට ගුවන් විදුලි සේවයේ සහ රන්ගිරි දඹුලු සේවයේ ‘ආදරවන්තී’ සහ ‘සඳුට ළං වී’ නමැති ගීත දෙක ඉතා ජනප්‍රිය නිතර ප්‍රචාරය වන ගී දෙකකි. රංගිරි දඹුලු ජනමාධ්‍ය විද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාවක් සාර්ථකව හැදෑරූ ඔහු ඒ පිළිබඳ ඩිප්ලෝමා සහතිකය හිමි කරගෙන ඇත.

මෙම වසරේදී තමා ප්‍රවේශිකා සංගීත විභාගයට පෙනී සිටින බව පවසන අනුජ මතිමන්ත හේරත් සිය කලා විදියට ලස්සන බණ්ඩාර, මහනුවර කඳුරට ගුවන් විදුලියේ නිෂ්පාදක ඉන්දික විජේසිරි, විශාරද ගායිකා තනුජා බණ්ඩාරනායක එන්ජෝයි සංගීත කණ්ඩායමේ නායක විශාරද නලින්ද රණසිංහ යන මහත්ම මහත්මීන් සුහද සිතින් මතක් කරනු ලබයි..

 

පී. ඒ. කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ

Add new comment