බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ

ඔක්තෝබර් 10, 2019

 

"බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
වන මල් කැකුලිය සොයා වඩින්නේ
වන මල් කැකුලිය ⁣කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙමි පවස නිවෙන්නේ"

තංගමනී ,රාසන් සමඟ සබඳතාවයක් ගෙන යෑමට හේතු කීපයක්ම බලපෑවේය. එදා තංගමනීව දියේ ගිලී මැරෙන්නට යනවිට ⁣රාසන් විසින් බේරා ගැනීම මුල් ⁣හේතුව වූ අතර, කුලයෙන් හීන නිසා කෝවිලටවත් ඒමට තහනම් වූ රාසන් වෙනුවෙන් ඇතිවූ අනුකමිපාව අනෙක් හේතුව විය. එහෙත් මා දකින ප්‍රබල හේතුව නම්, කුල මාන්නය හිස දරාගෙන සිටින සොහොයුරාත්,හැම එකක්ම හොයමින් අයියාට රපෝ⁣ර්තු කරන ආච්චිත් අතර ගෙවුණු නීරස ජීවිතයෙන් සුළු වශයෙන් හෝ මිදීමට තංගමනීට උවමනා වූ නිසා ඇය රාසන්ව උපයෝගි කර ගත් බවයි.

රාසන් යනු ආතක් පාතක් නැති එහෙත් අහිංසක පුද්ගලයෙක් විය. උතුරුකරයේ තිබූ කුලමාන්නයෙන් දරුණුවටම පීඩා වින්දෙකි මේ රාසන්. එදා දියෙ ගිලුණු සිදුවීමෙන් පසු රාසන්ව පොලඹවා ගත්තේ නම් තංගමනීමය. කෝවිලට ඇතුල් වීමට නොහැකිව කෝවිලට තරමක් දුරින්, කෝවිල දෙස බලා සිටින රාසන්, කුලහීනයෙක් නිසා එසේ ඇතුල්වීමට නොහැකි බව තංගමනී දැන ගත්තේද එවලේදීය. මෙවන් කුලහීනයෙක් සමඟ ඇසුරක් පටන්ගතහොත් අයියාගෙන් හා ආච්චිගෙන්ම, තමන්ගේ ඉරණම විසදෙන බව තංගමනී දැනගත්තද, ඇය ඔහුට අනුකම්පා කරන්නට විය. ඒ අනුකම්පාවය, ආදරයකට හැරවී, ඉන්පසු විශාල විනාශයකට හේතු වූයේ.

නඩරාජා දෙබිඩි චරිතයක් යැයි සිතන්නට හේතු කීපයක්ම තිබුණි. ඔහුගේ තියරිය තමුන්ගේම වාසියට හදා ගත් එකක් විය.

"කුලබේද තියෙන්න ඕනෙ.මොකද කුලය එන්නේ ආගමත් එක්ක. ඒත් ජාති බේද තියෙන එක වැරදියි"

ඔහු එම තියරිය තව තවත් විග්‍රහා කළේ,

"බුදු හාමුදුරුවො කව්ද? ඉන්දියන් කාරයෙක්. තමුසලගෙ මිනිස්සු බුදු හාමුදුරුවන්ට වදිනවා, ඉන්දියන් කාරයට බනිනවා. කතරගම දෙව්යො කව්ද ? දෙමළ මිනිහා. තමුසලාගේ මිනිස්සු කතරගම දෙවියට වදිනවා, ඒත් දෙමළ මිනිහට බනිනවා"

ජාතිබේදය තිබෙන එක අසාධාරණ බව කියන නඩරාජාට, කුල බේදය පෙනෙන්නේ ඉතාමත් සාධාරණ දෙයක් ලෙසය. ආතක් පාතක් නැති මිනිසෙකුට තම නංගිව විවාහ කර දීම කෙළෙසකවත් කළ නොහැකි බව ඇත්තකි. එහෙත් නඩරාජාට මෙතනද දැඩිව බලපෑවේ නම් කුලබෙිදයයි. රාසන් විසින් තම නංගීව දියේ ගිලෙන්නට ගිය අවස්ථාවේ බේර ගත්තාට, හිලව් වශයෙන් රාසන්ට නංගීව දිය යුතු නැත. ඇරත් කුල හීනයෙකුට?. ඒ එක් කථාවකි.

නඩරාජාගේ පැත්තෙන් සිදුවූයේ වෙනත් කථාවකි. එයට මුල් වුනේ සුසිලාය. ඇය, නඩරාජාගේ හිත ගිය කෙල්ලය. සුසිලා සිංහලය. ඔහු දෙමළ වුනත්, ඇය සිංහල වුවත් එතනදී ඔහු කියන්නේ අපි සැවොම මිනිස්සු කියාය. ඒ ජාතිබේදය නොතිබිය යුතුයි ඔහු සිතූ නිසාය.

එදා නාගදීප ගමනට නඩරාජා හා තංගමනී සමඟ සුසිලා හා ඇයගේ දෙමාපියන්ද සහභාගි විය. සුසිලාගේ පියා නඩරාජාට දැඩිව කැමති වූයේ ඔවුන් දෙදෙනාම යාපනයේ එකම කාර්යාලයේ වැඩකරන නිසාත්, ඔහු නඩරාජා කව්දැයි හොඳටම හඳුනන නිසාත්ය. එහෙත් සුසිලාගේ මව ජාතිබේදය ඉහළින්ම සැලකීය. නඩරාජා හා සුසිලා තම සිහින මාළිගාවේ අත්තිවාරම් දමන්නට වුයේ මේ නාගදීප ගමනේදීය.

'ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙයුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළලෙ දිලෙන්නයි"

 

එහෙත් ඒ මාළිගාව, සුනුවිසුනු වූයේ සිහින මාළිගාවක්ම කරමිනි. සුසිලාගේ මව නඩරාජා සුසිලා වටා ටැග් ගැහෙනවාට කිසිසේත් කැමති වූයේ නැත. එතන ඇති වූයේ ජාතිබේදයයි. දෙමළ මිනිහෙකුට තම සිංහල දුවව දීමට කිසිසේත් නොහැකි බව ඇය කීවා පමණක් නොව, යාපනයේ වැඩ කරමින් සිටි ඇයගේ සැමියාට කොළඹට මාරුවක් ගන්න කියා ඇය කරදර කළේද මේ හුටපටයෙන් බේරීමටය.නඩරාජාට සුසිලා අහිමි වූයේ එලෙසය. ඒ ප්‍රේමය, ජාතිබේදය නිසා එතැනම ලොප් විය.සුසිලාගේ පියා කොළඹට මාරුවීමක් හදා ගත්තේ ඔහුගේ බිරිඳගේම කරදරයෙන් බේරීමටය.

තංගමනී,බැලීමට හොරෙන් රාසන් පැමිණීම කීපවිටක්ම නඩරාජාට අහුවිය. ඔහු මුලින් තරවටු කළේ තංගමනීටය. ඉන් අනතුරුව ඔහු ඇයට කුලවත් වැදගත් තැනකින් විවාහ යෝජනාවක් ලෑස්ති කළේය. එහෙත් රාසන්ව හොරෙන් වැට මායිමට ගෙන්වා ගෙන කෑම දීම තංගමනී නතර කළේ නැත. එයින් සිදුවූයේ රාසන්ට ,නඩරාජාගේ තාඩන පීඩන, ගුටිබැට වලට මුහුණ දීමටය.නඩරාජාගේ ගුටිබැට වලට ලක්වුනු රාසන් පැමිණියේද තංගමනී ළඟටය. ඇතැම් විට තංගමනී රාසන් හා ශාරිරීකව එක්වන්නට ඇත්තේද එසේ පැමිණී අවස්ථාවේදී විය හැකිය.

තම සොහොයුරා කිසිසේත්ම රාසන්ට කැමති නොවන බව තංගමනී සක්සුදක් සේ දැනගති. ආතක් පාතක් නැතිව, රස්සාවක්,හා ඉන්න හිටින්න තැනක් නැති රාසන් සමඟ පැනගොස් ජීවත් වීමටද නොහැක. ඒවන විට තංගමනීට, රාසන්ට දාවා කුසේ දරුවෙකුද පිළිසිදී තිබුණි. ඇයට රාසන් සමඟ එකතුවීමටද නොහැකිය.නඩරාජා ගෙනෙන විවාහ යෝජනාවට කැමති වීමටද නොහැක. කුසේ දරුවෙක් දරා ගෙන තවත් විවාහයක් ගැන සිතිය හැකිද?. අන්අතකට මේ බව තම සොහොයුරා දැනගතහොත් මොන විච්චුම්බරයක් වෙිවිදැයි තංගමනීට සිතා ගැන්මටත් නොහැකිය. එහෙයින් ඇයට පෙනුණු එකම විකල්පය, ගැඹුරු ළිඳට පැන දිවි නසා ගැන්මය. නඩරාජාට සුසිලා නැතිවුණෙත් ,තංගමනී නැතිවුනෙත් අවසානයේදී තම නිජ බිම වූ යාපනය එපා වූවෙත් එලෙසය.

ගාමිණි ෆොන්සේකාගේ කථාවක් අනුව ධර්මසිරි ගමගේ දෙබස් හා තිරනාටකය ලියූ 'සරුංගලය' සුනිල් ආරියරත්නගෙන් අධ්‍යක්ෂණය වූ 'ක්ලැසිකල්' ගණයේ චිත්‍රපටයක් විය. එවකට දරුණු ලෙස පැවුතුණු සිංහල,දමිළ යුද්ධයේ ආරම්භය තේමා වූ මෙහී කථාශාරය ගලා ගියේ නඩරාජා නම් දමිළ ,රජයේ කාර්යාලයක කාර්යේ යෙදෙන, විධායක නිලධාරියෙක් වටාය. කුල බේදය රැකීමට උත්සහා කිරීමත්, ජාති බේදයට විරුද්ධ වීමත්, නඩරාජාගේ මූලික ලක්ෂණය විය. කථාරචක ගාමිණී ෆොන්සේකාට අවශ්‍යව තිබුණේ දමිළ සිංහල මිනිසුන් අතරේ ඇති සමගි හා අසමගි කම් පෙන්වා දීමටය. නඩරාජා තරුණ කල, සිංහල පවුලක් සමඟ සමගියෙන් බෝට්ටුවක නැගී නාගදීප බලා යන ගමනද එසේ සිංහල දෙමල සමගිය පෙන්වන එක් නිදර්ශනයකි.

සයිමන්ගේ චරිතය චිත්‍රපටයට ඈදෑ ගැනුණේ නඩරාජා කොළඹ ජීවිතයට පැමිණි පසුවය. ඒ වන වි⁣ට නඩරාජා මැදිවියට එළැඹී සිටියේය. ඔහු නවාතැන් ගෙන හිටියේ සයිමන්ගේ කඩ නිව⁣සට යාබදවය. සුනිල් ආරියරත්න සයිමන්ගෙන් චරිතය උපයෝගි කර කථාවේ සමස්ත හරයම ගෙන හැරපාන්නට උත්සහාගෙන තිබුණි. ඒවන විට නඩරාජා ගත ක⁣ළේ හුදකලා, ඇල්මැරුණු ජීවිතයකි. තංගමනී ගේ වියෝවත්, සුසිලා අන් කෙනෙක් හා සරණ යෑම තුලින්, නඩරාජා තම ජීවිතය අත්හැර තිබුණා ලෙසය ජීවත් වූයේ. ඔහු සුළුවෙන් හෝ සතුටක් ලැබුවේ සයිමන්ගේ කුඩා දියණිය වූ වසන්ති හරහාය.

'මාමා සරුංගල් හදලා තියෙනවද' වසන්ති, නඩරාජාගෙන් ඇසීය

'ඔව් ගොඩාක් හදලා තියෙනවා'

'කෝ දැං ඒ සරුංගල්'?

'ඒව දුරට දුරට ගිහිං නොපෙනි ගියා'

සුනිල් ආරියරත්න තම තේමා පාඨයට යොදවා ගත්තේ එයයි. නඩරාජා තැනු හැම සරුංගලයක්ම දුරට දුරට ගිහිං නොපෙනී ගිහින්ය. ඔහුට දැං ජීවිතයේ බලාපොරොත්තූන් නැත. ඔහු කුඩා වසන්තිට කීවේ එයයි.

සයිමන්, තම කඩේ තුළ 'කසිප්පු', තබා ගෙන හොරෙන් විකුණුවද, රෑට කසිප්පු බී නඩරාජට ඇහෙන්නට 'පර දෙමළා' කියා කෑ ගසා බැන්නද, සයිමන්ව කසිප්පු තියාගත් වරදට පොලිසියට අසුවූ පසු ,ඇප ගෙවා බේරා ගත්තේ නඩරාජාය. කෙතරම් මරුමුස් වැඩ සයිමන් විසින් කළද, නඩරාජා විසින් තමන්ට කළ මෙම උපකාරය සයිමන්, තම සිත තුළ රඳවා තබා ගෙන තිබුණි. එය ඉස්මතු වූයේ ජාතිවාදි කෝලහාල දිනයේදී නඩරාජාගේ නිව⁣ස ගිනිතැබීමට පැමිණි මැරයන් සමඟ තනියෙන් සටන් කර එය බේරා ගැනීම තුළිනි.

'මේ ගෙදර ඉන්නේ මිනිහෙක් නෙමෙයි යකෝ, මේ ගෙදර ඉන්නේ දෙවියෙක්'

සයිමන් කඩුවකුත් උලුක් කරගෙන එම මැරයන්ට කීවේ, ඒ නිසාය. එලෙසම ජාතිවාදි කෝලහාල උත්සන්නම වූ දිනයේ නඩරාජාට කාර්යාලයට නොයන ලෙස අනෙක වාරයක් පිංසෙඩු වූයේද සයිමන්මය. අවසානයේදී එකී ජාතිවාද කෝලහාලයට ගොදුරුවූ නඩරාජා මිය ගියේද සයිමන්ගේ දැත මතය.

සුනිල් ආරියරත්න තම චිත්‍රපටය තුළින් සිංහල හා දෙමළ සහජිවනය පෙන්වූයේ එසේය. සිංහල මිනිසුන් හා දමිළ මිනිසුන්⁣ අතර ඇති යහපත් ගුණ හුවා දැක්වූයේද එසේය.

නඩරාජා ලෙස අද්විතීය රංගනයක ගාමිණි ෆොන්සේකා නිරත වූ අතර එය මුළු චිත්‍රපටයේම ජීවනාලිය විය.ඔහුගේ පරිපූර්ණ රංගනය තුළින් චිත්‍රපටයේ සියලු අඩුපාඩුකම් මැකීගියා වැන්නය. එම රංගනය එතරම්ම දැවන්ත විය. 1980 'සරසවිය' සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිවූනේ මේ නඩරාජාගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකාටමය.

ෆරිනා ලායිගේ විශිෂ්ට රංගනයක් තංගමනී චරිතය හරහා දැක ගත හැකිවිය. සයිමන් වූ විමල් කුමාර ද කොස්තා චිත්‍රපටයට හොඳ ජවයක් විය. ඇම් අබ්බාස් නම් නළුවෙකු රාසන් ගේ චරිතයට සාධාරණයක් කළේය.

ශ්‍රියාණි අමරසේන, කරුණාරත්න හඟවත්ත, වීණා ජයකොඩි, සෝමසිරි දෙහිපිටිය, ශාන්තිලේඛා, රින්ස්ලි වීරරත්න, සෙසු චරිත වලට පණ දුනි.

වික්ටර් රත්නායකගේ සංගීතය,හා ඩබ්ලියු.ඒ.සිල්වාගේ කැමරා අධ්‍යක්ෂණය තුළින් චිත්‍රපටය ආකර්ෂණය විය. අමරදේව, නන්දා මාලනී, අබේවර්ධන,නිරංජලා,

එම්.එස්.හා කලාවතීගේ ගී ගායනා අතීශයින්ම සුමධුර විය. සුනිල් ආරියරත්නගේ චිත්‍රපට ගොන්න දෙස බැලූ කල 'සරුංගලේ' ඔහු ඉතාමත් පරිස්සමින් හා උවමනාකමින් නිර්මාණය කළ චිත්‍රපටයක් බව හැඟේ...

ලාංකේය සිනමා වංශකථාව තුළ ප්‍රසාදයකින් කථාකළ හැකි චිත්‍රපට ගොන්නට 'සරුංගලය' අයිති වනු ඇත.

වයි.එම්.කරුණාතිලක 'සරුංගලය', නිෂ්පාදනය කළ අතර රංජිත් පලංසූරිය හා විමල් කුරුවිට බණ්ඩාර මෙහී සහය නිෂ්පාදකවරු වූහ. 'සරුංගලය' චිත්‍රපටය 1979 මාර්තු 02 වන දින තිරගත කිරීම ආරම්භ කළේය.

 

"බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වෙන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ"

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.