හැදෙන ගස් දෙපෙත්තෙන් දැනේ

ඔක්තෝබර් 10, 2019

ඔෂාන්, දිලංජන, ධනුෂ්ක යන මේ තාරුණ්‍යයේ පසුවන සරසවි විද්‍යාර්ථින් තිදෙනා සතු යථෝක්ත දක්ෂතා ද ඉක්මවා මා අගය කරනුයේ ඔවුන් දේශීය සංස්කෘතික අක්මුල් ඇති බව, උපන් පොළොවේ පය ගසා විශ්වය දෙස බැලීම, සාරධර්ම ඇගැයීම, අසීමිත ගුරු ගෞරවය, දෙමවුපියන්ට, වැඩිහිටියන්ට සැලකීම, කළ ගුණ සැලකීම, ස්වාධීන දැක්ම යනාදියෙන් යුත් ශික්ෂිත මනසකින් සමන්විත වීමය.

මීට වසර 13 කට පමණ පෙර එනම් 2006 වසරේ මුල් භාගයේ මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව විෂය අරභයා දේශනයක් පවත්වමින් සිටියෙමි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ සිනමා භාවිතය එදා මගේ දෙසුමෙහි ප්‍රස්තුතය විය. අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ට වීමට පෙර ඔහු ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු මතු නොව ඉංග්‍රීසි බසින් සිනමා විචාරයෙහි නියැළුණු පුරෝගාමියකු බැව් මම එහිදී විද්‍යාර්ථින්ට ඉගැන්වීමි. ඔවුහු පෙර නොඇසූ විරූ කරුණක් ඇසූ පරිද්දෙන් විස්මිතවැ මා දෙස බලා සිටියහ. එක් ශිෂ්‍යයෙක් නැඟී සිට මේ විස්මිත බව වචනයට නැඟුවේය.

“ලෙස්්ටර් මහත්තයා ලේඛකයෙක්, විචාරකයෙක් බව අපි කලින් අහලා තිබුණේ නැහැනෙ සර්. එතුමාගේ ලිපි කියවන්න තියා ඇහැට දැකලත් නැහැ”. 

මේ වූ කලී කේවල ශිෂ්‍යයකුගේ ප්‍රකාශයක් නොව එහි සිටි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියෝජනය කළ කියුමක් බැව් මට ප්‍රත්‍යක්ෂ විය. ආචාර්ය ලෙස්ටර් සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයක් ලිපි ලීවේ නැත. ඒවා වරින්වර පුවත්පත්, සඟරාදියෙහි පළ වූ නමුදු බෙහෙවින් දුර්ලභ විය. අනෙක් අතට එතුමා ලියූ සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ලේඛන විය. පසුගිය දශකත්‍රයක කාලයේ බහුතරයක් සරසවි සිසුහු පොත්පත් කියවීමෙන් ඈත් වූහ. පෙර කල බොහෝ සරසවි විද්‍යාර්ථින් මෙන් ඔවුන් නොසන්සිඳෙන ශාස්ත්‍ර පිපාසය සන්සිඳුවා ගැනීමට පොත් පත් කියවූයේ නැත. එබඳු ශාස්ත්‍ර පිපාසයක් වත්මනෙහි තිබුණේ ද අල්ප දෙනෙකුටය. මෙකල බොහෝ සරසවි විද්‍යාර්ථින් පොත් පත් පරිශීලනය කරනුයේ හුදෙක් විභාග, නිබන්ධන හා පැවරුම් අවශ්‍යතා සඳහා ඒවා කටපාඩම් කොට වමාරා කෙසේ හෝ ඉන් ගොඩයෑමේ අවශ්‍යතාවයෙනි. ඉක්බිතිව ඔවුහු පොතපතෙන් දුරස් වෙති. තම මවු බස වූ සිංහලෙන් පොත් පත් කියවීම එසේ දුර්ලභ වන කල්හී ඉංග්‍රීසි භාෂාවෙන් කියවීම ගැන කවර කතාද?

කෙසේ නමුදු එදින නිවසට ගොස් මම මේ අරභයා බොහෝ දුර කල්පනා කළෙමි; ඉංග්‍රීසි භාෂාවෙන් ලෙස්ටර් සූරීන් රචනා කළ ලේඛන හැකිතාක් එක් රැස් කළෙමි. ඉනික්බිති ඒවා සියල්ල මම සිංහල බසට නැඟුවෙමි. “ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා” (2006) නම් වූ මගේ පළමු පරිවර්තන කෘතිය බිහි වූයේ එහි ඵලයක් වශයෙනි. මේ කෘතිය ජනගත වූයේ ලෙස්ටර්ගේ “රේඛාව” චිත්‍රපටය තිරගත වී වසර 50 ක් සපිරුණු 2006 දෙසැම්බර් 28 වැනිදා කොළඹ රීගල් සිනමා ශාලාවේදීය. විද්‍යාර්ථින් මතු කළ විෂයානුබද්ධ ප්‍රශ්නවලට පිළිතුරු සපයනු වස් ගුරුවරුන්, සරසවි ඇදුරන් ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියූ අවස්ථා සුලභ නැත.

කුමාරතුංග මුනිදාස සූරීහු වරක් කඩුගන්නාව ප්‍රදේශයේ විදුහලක උගන්වමින් සිටියදී විද්‍යාර්ථියකු නැඟූ පැනයකට සුපැහැදිලි ලෙස පිළිතුරු ලබා දුන්හ. ඔහු ඉන් සෑහීමට පත් වූයේ නැත. අදාළ ප්‍රස්තුතය අරභයා දිගු පුළුලින් සිතා මහා ශාස්ත්‍රීය වියමනක් දැයට දායද කළේය. “ක්‍රියා විවරණය” නම් වූ මේ වියරණ කෘතිය විද්‍යාර්ථි පැන විමසුමක මාහැඟි ඵලයකි. මෙකී සිදුවීම් මවිසින් මෙලෙස සටහන් කරන ලද්දේ ඇතැම් විචාරශීලී විද්‍යාර්ථින්ගෙන් ඇදුරන්ගේ ශාස්ත්‍රීය ජීවිතයට ලැබෙන පෙලඹුම ගැන සඳහන් කරනු පිණිසය.

“සරසවි සිසුන් නිබඳව විචාරශීලී, ගවේෂණශීලී විය යුතු බව” වරක් පෙන්වා වදාළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (එවක විද්‍යෝදය) පළමු උප කුලපති ධුරය හෙබ වූ, ශ්‍රේෂ්ඨ යති පඬිවර පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමිපාණන්ය. ගවේෂණශීලී, විචාරශීලී සරසවි විද්‍යාර්ථින් අරභයා සිත යොමු කරද්දී එබඳු ශිෂ්‍යයන් තිදෙනෙකු වෙසෙසින්ම මා හට සිහිපත් වේ. කැලණිය විශ්වවිද්‍යාලයේදී මගේ දේශනවලට සහභාගි වූ ඔෂාන් යාපා අමරසේක

ර ඉන් එක් විද්‍යාර්ථියෙකි. මගේ දේශනවලදී සිනමා විෂය අරභයා මා වෙහෙසට පත් කරන තරමට ප්‍රශ්න විමසන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම බෙහෙවින් කැමැත්තෙමි. එහෙත් එබඳු විද්‍යාර්ථින් අද සිටිනුයේ ඉතා අල්ප දෙනෙකි. මේ අතර ඔෂාන් මා සිත් ගත්තේ අපමණ උද්යෝගයෙන් සිනමාව අරභයා නොයෙක් පැන විමසමින් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ ශිෂ්‍යයකු වූ බැවිනි. අනෙක් අතට විවිධ සිනමා කෘති නැරඹීමෙන් ඔහු තුළ තිබූ පරිචය සෙසු විද්‍යාර්ථින් ඉක්මවා ගොස් තිබුණි. උපාධිය සමත් වීමෙන් ඉක්බිතිව බොහෝ විද්‍යාර්ථින්ට කුමක් වූවාදැයි කිසිදු හෝඩුවාවක් නොමැති වීම බහුලව දැකිය හැකි තත්ත්වයකි. උපාධිය ලැබූ පසු “සියල්ල දත්” යැයි සිතන ඇදුරෝ ද විද්‍යාර්ථිහු ද සතතාභ්‍යාසයෙන් යාවත්කාලීන (UPDATE) නොවෙති. ඔවුහු උපාධියෙන් පමණක් බැබළීමට වෙර දරා අවසන ඊට අවමන් කරති. සතතාභ්‍යාසයෙන් යුත් බහුශ්‍රැතයෝ එසේ නොවෙති. තමන් ලත් උපාධිය බබළ වන්නෝ ඔවුහුය. මේ අතර ශාස්ත්‍ර හදාරන සමයේ කිසිදු දක්ෂතාවක් පළ නොකළ ඇතැම් සිසුන්, බොහෝ විට ඇතැම් ශිෂ්‍යාවන් ඉක්බිති සරසවි ආචාර්ය මණ්ඩලයට එක්වීමත් දක්ෂ බොහෝ විද්‍යාර්ථින් ඉන් කප්පාදු වන ආකාරයත් අරභයා වෙනම පර්යේෂණයක් සිදු කළ යුතුය. මේ වූ කලී දිගු කලක සිට මෙරට මුළු මහත් විශ්වවිද්‍යාල පද්ධතිය වසා පැතිරෙන අර්බුදයකි. මෙහිලා මගේ ප්‍රස්්තුතය එය නොවේ.

ඔෂාන් ස්වකීය ප්‍රථම උපාධිය සමත් වීමෙන් ඉක්බිතිව ද ගෙවුණු වසර ගණනාවක කාලය පුරා තමන් තුළ නැඟුණු ශාස්ත්‍රීය පැන මගෙන් විමසීම අත්හළේ නැත. චිත්‍ර ශිල්පයට ද ප්‍රතිභාවක් ඇති ඔහු අද ශ්‍රද්ධා රූපවාහිනී නාළිකාවේ සේවයෙහි නියැළෙන අතර “ප්‍රොස්තෙටික්” (PROSTHETIC) වේශ නිරූපණ ශිල්පය ස්ව උත්සාහයෙන් ප්‍රගුණ කරමින් සිටින්නේය. ඔහුගේ මේ විෂය ඥානයෙන් මෙරට සිනමාවට ආලෝකයක් ලැබෙන දිනය වැඩි ඈතක නැත.

ඔෂාන් කැලණිය සරසවියේ ශාස්ත්‍ර හදාරන සමයේ නිර්මාණය කළ “අවරෝධාලෝක” කෙටි චිත්‍රපටය 7 වැනි යෞවන සම්මාන උලෙළේදී සම්මාන කිහිපයකට පාත්‍ර වූ අතර SIGNIS කෙටි චිත්‍රපට උලෙළේ සහ ITN DIGICON  කෙටි චිත්‍රපට උලෙළේ නිර්දේශයට ලක් විය.

මගේ මතකයට නැඟෙන ඊළඟ විද්‍යාර්ථියා දිලංජන මධුෂාන් පතිරණය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ විද්‍යාර්ථියෙකි. පසුගිය සමයේ ඔහු මගේ සිත්ගත් විද්‍යාර්ථියකු බවට පත් වූයේය. නොසන්සිඳෙන ශාස්්ත්‍ර පිපාසය විසින් මෙහෙය වනු ලැබ ඔහු මගෙන් නොයෙක් විෂයන් අරභයා විමසා සිටි ශාස්ත්‍රීය ප්‍රශ්නාවලිය ඊට හේතුකාරක විය. බහුලව පොත්පත් කියවීමටත් විශිෂ්ට කලා කෘති ඇසුරු කිරීමටත් උගතුන්, කලාකරුවන්, බහුශ්‍රැතයන් සේවනයටත් රුචි කරන ඔහු සරසවි ශිෂ්‍ය අවධියේදීම විචාර ග්‍රන්ථයක් ලියා පළ කළේය. “සොඳුරු ගැමි ලිවි සැරිය : මඩවල එස්. රත්නායක” නමැති මේ ග්‍රන්ථය ඔස්සේ මතු බලාපොරොත්තු තැබිය හැකි ගවේෂණශීලී, ශාස්ත්‍රීය මනසකින් හෙබි, විචාරශීලී යොවුන් විද්‍යාර්ථියකු හඳුනා ගත හැකි වේ. එසේම දිලංජන මෑත භාගයේ “සුනිල උත්පල” මැයෙන් විශාරද සුනිල් දයානන්ද කෝනාරයන් විසින් විරචිත සියලු ගේය කාව්‍ය නිර්මාණ, ස්වර සංරචනා කළ ගීත, ඔහුගේ සංගීත භාවිතය අරභයා වියත් විචාර සහ දිවි සැරියේ සේයා රූ සංගෘහිත ග්‍රන්ථය සංස්කරණය කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පුරා විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන ධනුෂ්ක පුෂ්පකුමාර ද එවැනිම ගවේෂණශීලී, විචාරශීලී විද්‍යාර්ථියෙකි. ඔහුගේ මුඛ්‍ය විෂය පුරා විද්‍යාව වුවත් එයටමැ සීමා නොවී සිනමාව අරභයා නිබඳවම ඔහු මගෙන් විමසන පැන අනුව ස්වාධ්‍යායෙන් ඒ පිළිබඳ ලැබූ පරිචය හෙළි වේ. දිවයින පුවත්පතෙහි පළ වන “සරසවිය” විශේෂාංගයට ධනුෂ්ක විසින් රචනා කරනු ලබන පුරා විද්‍යාව, සංස්කෘතිය, කලා ශිල්ප පිළිබඳ ශාස්ත්‍රීය ලිපිවලින් ඔහුගේ අනාගතය ගැන සුබවාදී අපේක්ෂා මා තුළ ජනිත කෙරේ. ධනුෂ්ක ඉක්මනින්ම ග්‍රන්ථකරණයට පිවිසෙනු ඇතැයි මම පතමි. ඇදුරන් ලෙස පෙනී සිටින ඇතැම් බියගුලු කුහකයන්ගේ ත්‍රස්තවාදය මැද විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ බුද්ධි පරිහානිය, ශාස්ත්‍ර පරිහානිය දසතින් පෙනෙන අඳුරු සමයක වුවද මෙවැනි ගවේෂණශීලී විචාරශීලී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරලව හෝ සිටින බව අප අමතක නොකළ යුතුය. ඔවුන් දිරිගන්වා නිවැරැදි මඟ පෙන්වීම අප සතු යුතුකමකි; ජාතික වගකීමකි. 

“ගුරු දෙවිවරුන්” ලෙසින් සරසවි විද්‍යාර්ථින්ට ශාස්ත්‍ර ඥානය නොමසුරුව ලබා දී ඔවුන්ට නිවැරැදි මඟ පෙන්වා දෙන ඇදුරන් අල්පයක් හෝ තවමත් මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ රැඳී සිටීම ජාතියේ භාග්‍යයකි.

ඔෂාන්, දිලංජන, ධනුෂ්ක යන මේ තාරුණ්‍යයේ පසුවන සරසවි විද්‍යාර්ථින් තිදෙනා සතු යථෝක්ත දක්ෂතා ද ඉක්මවා මා අගය කරනුයේ ඔවුන් දේශීය සංස්කෘතික අක්මුල් ඇති බව, උපන් පොළොවේ පය ගසා විශ්වය දෙස බැලීම, සාරධර්ම ඇගැයීම, අසීමිත ගුරු ගෞරවය, දෙමවුපියන්ට, වැඩිහිටියන්ට සැලකීම, කළ ගුණ සැලකීම, ස්වාධීන දැක්ම යනාදියෙන් යුත් ශික්ෂිත මනසකින් සමන්විත වීමය.

වත්මනෙහි අපට බහුලව දක්නට ලැබෙනුයේ ශාස්ත්‍රයෙන් ද විනයෙන් ද පිරිහුණු සරසවි ශිෂ්‍ය ප්‍රජාවකි. ආත්මාර්ථය, නැඟුණු ඉණි මඟට පයින් ගැසීම, මානව දයාවෙන් තොර අභිමතාර්ථ සාධනය, විවිධ බලවේගවල අතකොළු බවට පත් වීම, “ගුරු හොරු” නොව සැබෑ ගුරුවරු නොතැකීම, “මුග්ධ පොරත්වය” (FOOLHARDINESS) ”අත්තුක්කංසනය” “පරවම්භනය”, එලොවටත් මෙලොවටත් නැති අක්මුල් සිඳුණු බව, මිථ්‍යා දෘෂ්ටිය යනාදී දුර්ගුණවල ග්‍රහණයට බහුලවමැ සරසවි විද්‍යාර්ථින් නතු වීම අභාග්‍යයකි. එබඳු දුර්භාග්‍ය සමයක ඔෂාන්ලා, දිලංජනලා, ධනුෂ්කලා ඇතුළු ශාස්ත්‍ර පිපාසයෙන් මඩනා ලද විනයගරුක විද්‍යාර්ථින් අල්ප දෙනෙක් හෝ සිටීම අනාගතය දෙස සුබවාදීව බැලීමට අප පොලඹවනු නිරනුමානය. “හැදෙන ගස්් දෙපෙත්තෙන් දැනේ”.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.