ලංකා TV අන්දරය

සුරුවිරු කම් පෑ ටයි
ඔක්තෝබර් 17, 2019

සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයන් තුළ එක සේ සුරුවිරුකම් පෑ ටයි මහතා (ටයිටස් තොටවත්ත) රසික ප්‍රජාවගෙන් වෙන්ව ගොස් මේ මස 15 වන දිනට වසර අටක් සපිරේ. නිර්මාණකරණයේදී ඔහු චණ්ඩියෙකි. දඩබ්බරයෙකි. අලුත් අලුත් දේ නිර්මාණ ලෝකයට සැම විට දායාද කිරීමට උත්සුක වූ මහා පෞරුෂයකි. ටයි මහතාගේ වියෝවීම නිමිත්තෙන් 2011 ඔක්තෝම්බර් 20 වන දින පළ කරන ලද සරසවිය අතිරේකයට ලිපියක් ලියන එම පුවත්පතේ සංස්කාරක අරුණ ගුණරත්න මහතා ටයි මහතා විසින් සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයන්ට ඓතිහාසිකව කරන ලද මෙහෙය පිළිබඳව මෙසේ ලියා තබයි.

එදා ආචාර්ය ලෙස්ටර් සමඟ රේඛාව තනන්නට ඔබ අබිනික්මන් නොකළා නම් අපට යහපත් සිනමාවක් ගැන ඉගෙන ගන්නට තවත් කල් ගතවන්නට ඉඩ තිබිණ. සිනමාව අතහැර ටෙලිවිෂනයට ඔබ අබිනික්මන් නොකළේ නම් මෙරට ටෙලිවිෂන් මාධ්‍ය ඉතිහාසයේ ද යහපත් ටෙලිවිෂන් නිර්මාණ ගැන කතා කරන්නට කල්ගත වන්නට ඉඩ තිබිණ.

අද දවසේ මේ මාධ්‍යයන්හි ගතිකත්වය දෙස සුපරික්ෂාවීමේදී යථෝක්ත සටහනේ සත්‍යතාවය වඩ වඩාත් අපට ප්‍රත්‍යක්ෂ වේ. සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ද්විත්වයම එක සේ ජයගත් කලාකරුවෙකු වේ නම් ඒ ටයි මහතා පමණි. සිනමාවේදී අපට හමුවන බොහෝ දක්ෂ නිර්මාණකරුවෝ රූපවාහිනියේදී අසාර්ථක වූහ. එසේම රූපවාහිනියට දක්ෂ වූ නිර්මාණකරුවන් අතුරින් දැනට සිනමා මාධ්‍යයට අබිනික්මන් වී ඇත්තේ අතළොස්සක් පමණි. වෙසෙසින්ම අද දවසේ කරල පැහී තිබෙන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් නම් සිනමා නිර්මාණයක් කිරීමට උනන්දු නොවන්නේ ඒ සඳහා ගතවන කාලය පවා තමාගේ ටෙලි නාට්‍යයේ කොටස් ගණන දික්කර ගනිමින් සරිකර ගන්නා බව භෝග සම්පත්වල ගිලී සිටීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බැවිනි.

ටයි මහතා අවසන් වරට කරන ලද සිනමා නිර්මාණය වන්නේ හඳයා ළමා චිත්‍රපටයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ළමා චිත්‍රපටයකි. මේ චිත්‍රපටය නිසාම ටයිටස් තොටවත්ත යන නාමය අන්තර් ජාතික සිනමා තලයට එකතු විය. ඉතාලියේ ගිපොනි සිනමා උලෙළේදී හඳයා හොඳම චිත්‍රපටය හැටියට සම්මානයට පාත්‍ර වූ අතර 1980 වසරේදී පැවැත් වූ සරසවිය සිනමා උලෙළේ දී හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය, තිර රචනය සහ සංස්කරණය සඳහා වූ සම්මාන හතරම දිනා ගන්නා ලද්දේ ටයි මහතා විසිනි. වසර 72 ක් සපිරෙන දේශීය සිනමා වංශ කතාවේදී ඉහත අංශ හතරටම සම්මානයන් දිනාගත් එකම සිනමා නිර්මාණකරුවා වන්නේ ද ටයිටස් තොටවත්තයන්ය. ඔහුගේ සිනමා මාධ්‍ය භාවිතයේ ප්‍රාගුණ්‍යය තහවුරු කිරීමට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද චණ්ඩියා, හාරලක්ෂය වැනි සිනමා නිර්මාණ වලින් මෙය තවදුරටත් විෂද කරයි.

අනුර මාධව ජයසේකර

Add new comment