බෙග් මාස්ටර්ගේ කිතු බැති ගීය

ඔක්තෝබර් 17, 2019

සිනමා සංගීතයට පෙර, එනම් 1908-1946 යුගයේ මෙරට බිහි වූ බොහෝ ග්‍රැමොෆෝන් ගීත අතුරින් බෞද්ධාගමික තේමාවන් රැගත් ගීත වැඩි වශයෙන් නිකුත් කිරීම ප්‍රවණතාවයක් දක්නට ලැබුණි. එකී ගීතවල වල මුඛ්‍ය පරමාර්ථය වුයේ සමාජ පරිශෝධනයත්, ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය වර්ධනය කිරීමත් ය. මෙම ගීත බොහොමයක් එවකට ගායනා කරන ලද්දේ අන්‍ය ලබ්ධිකයන් වීම විශේෂත්වයකි . ලක්ෂ්මි බායි, රුක්මණී දේවී , ඒ .ආර්. එම්. ඉබ්‍රාහීම්, ලතීෆ් බායි, අහමඩ් මොහිදීන්, නෝනා සුබෙයිදා, නිර්මලා (ධර්මානි ආමත්), මොහිදීන් බෙග් , කේ.කේ.රාජලක්ෂ්මි ආදීහු එඅතුරින් ප්‍රමුඛ වූහ. බෞද්ධාගමික ගීත වලට අමතරව කිතුනු බැති ගීත ද වරින් වර ග්‍රමොෆෝන් තැටි හරහා නිකුත් කෙරුණි. වින්සන්ට් වාස්, කේ.සෙබස්තියන් පීරිස්, ග්‍රේටා ජැනට් ද සිල්වා, බෙන්ජමින් පෙරේරා, ලන්තිනු පෙරේරා, ස්ටැන්ලි මල්ලවාරච්චි, ස්වර්ණ මන්ත්‍රී ( විල්ෆ්‍රඩ් පෙරේරා), රෙජිනා පෙරේරා ආදීහු මුල් යුගයේ කිතුණු බැති ගී ගැයූ ගායක ගායිකාවෝ වෙත්.

සිංහල බොදු බැති ගීයේ මහා පෞරුෂයකින් යුතු ඉස්ලාම් ලබ්ධික ගී හඬ ලෙස සලකනු ලබන මොහිදීන් බෙග් මහතා කිතුනු බැති ගී ගායනා කළ බව ඔබ අසා නැතුවාට සැක නැත. 1939 වසරේ ස්වකීය පළමු ගීතය වන " කරුණා මුහුදේ නාමු ගිලීලා" ගීතය කේ.කේ.රාජලක්ෂ්මි මහත්මී සමගින් කොළොම්බියා(COLUMBIA) ලේබලය යටතේ ගායනා කළ ඔහුට තවත් යුග ගී දෙකක් එම තැටි ලේබලය යටතේ එම වසරේදීම පටිගත කිරීමට අවස්ථාව උදා වුණි . එවකට LANKA FILM COMPANY RECORDS ලේබලය යටතේ ගී ගායනා කොට චිර ප්‍රසිධියක් දරා සිටි , මීගමුවේ ග්‍රේටා ජැනට් ද සිල්වා තරුණ ගායිකාව සමගින් කිතුනු බැති ගී දෙකක් GE 15021 තැටි අංකය යටතේ COLUMBIA ලේබලය සඳහා මොහිදීන් බෙග් මහතා 1939 දෙසැම්බර් මාසයේ පටිගත කළේය . ජේසුස් ස්වාමි දරුවන් ගේ උපත ගැන කියවෙන "ශ්‍රී තරු පායා නීල ගුවනෙහි" ගීතය එක් පසකද, ජේසුස් ස්වාමි දරුවන් කල්වාරි කන්දේ කුරුසිය මත ඇණ ගැසීම කියවෙන "යුදෙහි රජුය කියාලා" ගීතය තැටියේ අනෙක් පසද අඩංගු විය. එකී ගීත යුග්මය ම රචනා කළේ එවකට කොළොම්බියා සමාගමේ නිත්‍ය ගීත රචක සහ සහාය සංගීත අධ්‍යක්ෂකවරයා වූ යු. ඩී පෙරේරා මහතාණන් විසිනි. සංගීතය නිර්මාණය කළේ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි . ග්‍රේටා ජැනට් ද සිල්වා එවකට ගවුස් මාස්ටර් ගේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ම ගායිකාව වූවා ය. පසළොස් හැවිරිදි ග්‍රේටා සමගින් මොහිදීන් බෙග් ගැයූ පළමු සහ එකම යුග ගීත තැටිය වන්නේ ද මෙම යයි. ශාස්ත්‍රීය සහ අර්ධ ශාස්ත්‍රීය ගායනා, විරිඳු, බයිලා, කපිරිඥ්ඥා ආදී විවිධ මාදිලියේ ගීත ගායනා කළ එවක ජනප්‍රියම කොළොම්බියා තාරකාව වූ ග්‍රේටා ජනට් ද සිල්වා දැනට ලංකාවේ ජීවත් වන ජ්‍යේෂ්ටතම ගායන ශිලිප්නියයි. අනු පස් වියැතී ග්‍රේටා ජනට් ද සිල්වා මහත්මිය තවමත් මීගමුවේ සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින්නී ය. 

අද අප ඉදිරිපත් කරන්නේ "යුදෙහි රජුය කියාලා" නමැති එම එක ගීතයක තතු යි.

යුදෙහි රජුය කියාලා 
යුදෙහි පූජක වරද තබාලා // 
පාපය සෝදා සඟසිරි සුන්දර සාදා දුක නිව් ලෝකේ 
ජේසු නසරත් ප්‍රේමෙහි ස්වාමි දෙව් පුතු හිමි නසනා සේ 
තද කෝප සිතිනි ඊර්ෂ්‍ය පාලා සතුරුව //

නිර්දෝෂ ස්වාමි අල්වා සිතු සේ උපා යොදාලා තුටිනි 
කුරුසේ කර තබවා කල්වරියේ 
නංවා ලෝ කම්පා වෙද්දී 
නසලා දැමි හිමි වද දීලා සතුරුව //

ඉහත ගීතයේ තනුව උපුටාගෙන ඇත්තේ 1937 වර්ෂයේ ජනවාරි 8 වැනිදා භාරතයේ තිරගත වූ ඉම්පීරියල් (IMPERIAL) සමාගමේ නිෂ්පාදනයක් වූ "කිසාන් කන්‍යා"(=ගෙවීලිය ) චිත්‍රපටයේ එහි ප්‍රධාන චරිත නිරූපණය කළ පද්මාදේවි සහ මාස්ටර් නිසාර් විසින් ගායනා කළ "ඓසා නගර බසායා " නමැති ගීතයෙනි. "කිසාන් කන්‍යා" ඉන්දියානු සිනමා ඉතිහාසයේ එකතරා සන්ධිස්ථානයක් ගත් චිත්‍රපටයකි. මන්ද යත්, එය ඉන්දීය සිනමා ඉතිහාසයේ , ඉන්දියාව තුළම තාක්ෂණික ශිල්පොක්‍රම යොදා නිර්මාණය කළ "පළමු වර්ණ සිනමා සිත්තම" නිසා ය. (මීට පෙර 1933 වසරේ ශාන්තාරාම් විසින් "සෛරන්ධාරි" නම් මරාති චිත්‍රපටයේ ඇතැම් ජවනිකා වර්ණයෙන් නිෂ්පාදනය කළේ ජර්මානු විද්‍යාගාරයක සහාය ඇතිව ය). මෝති ගිද්වානි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ රාම් ගෝපාල් පාන්ඩේ විසිනි. තිර පිටපත එවකට ප්‍රචලිත සාදත් හසන් මැන්තෝ විසින් රචිත , ඉන්දියානු ගොවි සමාජය තුළ පවතී දුෂ්කරතා විදහා දැක්වෙන නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. සිනමා පසුබිම් ගායනා වඩා ප්‍රකට නොවූ අවධියක රංගන ශිල්පීන් විසින්ම මෙහි ගීත ගායනා කරන ලදී.

උක්ත සිංහල සහ හින්දි ගීත දෙකටම පාදක වූයේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන ඛමාජ් මේල ගත ජිංජුටි රාගය වන අතර, කෙහෙර්වා තාලයට අයත් ස්වර කුලකයක මෙකී ගීත යුගලය නිර්මිතය.

(විශේෂ ස්තුතිය: ග්‍රේටා ජනට් ද සිල්වා මහත්මිය හමුවීම සඳහා එතුමියව සම්බන්ධ කරදුන් ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල මහතා, ගීතය නිමැවූ රාග තාල පිළිබඳ දැනුම්වත් කළ සංගීතවේදී ගයාන් ප්‍රසංග පීරිස් මහතා, ගීත තැටි සංරක්ෂක අමරදාස අබේවික්‍රම මහතා )

ඉසුරු උදයංග කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.