විශාලම පසුතල සහිත ස්පේස් ටර්න් ගිනි ගනී

ඔක්තෝබර් 17, 2019

ස්පේස් ටර්න් මෙය ඉතා දැවැන්ත රූපගත කිරීමේ මැදිරි සංකීර්ණයකි. මේ නම ඔබට නුහුරුවන්නට පුළුවන.එනමුදු මෙහි පසුතල භාවිත කොට තැනු නිර්මාණ රාශියක් ඔබ නෙතු ගැටී ඇති වගට කිසිදු සැකයක් නැත.

පිළියන්දල තුම්බෝවිල මාවතේ පිහිටා තිබු ස්පේස් ටර්න් ආයතනය අතිශය කාර්යබහුල තැනකි. විටෙක වෙළෙඳ දැන්වීම් රූපගත කරන්නට පැමිණි පිරිසගෙන් මෙතැන පිරී ඉතිරී ගොසිනි. තවත් මොහොතක නිරූපණ ශිල්පි ශිල්පිණියන්ගේ ෆොටෝ ෂූට් එකකි. ඒ අතරතුරදි හිත නිදහසෙන් ග්‍රන්ථයක් කියවා නිස්කලංකව කාලය ගත කරන්නට පැමිණෙන්නෝ වෙති. ඒ අය වෙනුවෙන් ස්පේස් ටර්න් තුළ වෙනමම ඉඩකඩක් වෙන් කොට තිබිණ. රූපගත කිරීමකට පනහක් හැටක් ආවාට ගානක් නොවීය. ඒවා වෙනම තැනකය.

නිහඬ පරිසරය තවත් තැනකය. හරියට සෘතු කිහිපයක් එකම ස්ථානයක තිබෙනවා හා සමානය. මෙවන් වටිනාකමකින් හෙබි ස්්පේස් ටර්න් ආයතනය ඉකුත් දා ගිනි රකුසන් විසින් ගිල ගත්තේ අවාසනාවන්ත අන්දමිනි. හිත් පිත් නැති ගිනිදළු මෙතැන සිසාරා පැතිර ගොස් අලංකාර පරිසරය මොහොතකින් අමු සොහොනක් බවට පත් කරලීය. අද වන විට ස්පේස්් ටර්න් ආයතනය අළු ගසා දමමින් හිස ඔසවන්නට සූදානම් වන ආකාරයක් දිස් වන්නට තිබේ. මේ සිදු වූ විනාශය පිළිබඳ අදහස් දැක්වීමට එහි හිමිකරු අප හා එක් වයි. ඔහු නමින් ප්‍රශාන් දෙමටගේ වෙයි. ප්‍රශාන් ස්පේස්ටර්න් ආයතනයේ කතාවේ මුල සිට පැවසුවේ මේ අන්දමිනි.

මං වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. දැන්වීම්කරණයෙත් හිටියා. මට අවශ්‍ය වුණා මගේ නිර්මාණ කරගන්න මගේම තැනක්. විවිධ දර්ශන තල එකම තැනක තියෙන්න ඕන. ඒ වගේම සාමාන්‍ය කෙනෙකුට ඇවිත් රිලැක්සින් ඒරියා එකක පොතක් කියවලා කෑම ටිකක් කාලා යන්න පුළුවන් වන්නත් අවශ්‍යයි. එහෙම අවධානයෙන් ඉන්න කොට මට පිළියන්දල දැනට ස්ටුඩියෝ එක හදපු ඉඩම ලැබුණා. හරියටම වසර හයකට පමණ පෙර මම මේ ස්ටුඩියෝ එක ගොඩ නැගුවා. හරියටම වර්ග අඩි අටදාහක ප්‍රමාණයක් ඉඩ තියෙනවා.

වර්කිං ඒරියා එක පමණක් වර්ග අඩි හාරදාහක්. මගේ ස්ටුඩියෝ එකේ තමයි අංශක 360 ක කෝණයෙන් වාහනයක් රූපගත කරන්න පුළුවන්. ඒ සඳහා වයිට් බොක්ස් එකක් ගොඩ නැඟුවා. එලිෆන්ට් බොක්ස් එක කියලා තමයි ඒක හඳුන් වන්නේ. හරියට ඒක සාමාන්‍ය කාමර දෙකක ප්‍රමාණය කියලා හිතන්නකෝ. රෝද අතර පරතරය අඩි එකොළහක් වන වාහන කිහිපයක් එක විට මෙහි රූපගත කිරීම්වලට යොදා ගන්න පුළුවන්කම තිබුණා. එවැනි තැනක් ලංකාවේ කොහෙවත් නැහැ. ඒක නිසා ප්‍රධාන පෙළේ වාහන ආයතන සියල්ලන්ම පාහේ ඔවුනගේ අලුත් වාහන ෂූට් කළේ මෙතැන. මේ සියල්ල විනාශ වෙන්න ගියේ බොහොම පොඩි වෙලාවයි.

හරියටම පසුගිය මාස් 16 වැනිදා අපි සුපුරුදු පරිදි එදා වැඩ කටයුතු නිම කරලා පිටත්ව ගියා. කුමන හෝ හේතුවක් මත ගින්නක් ඇති වෙලා එය පැතිර ගිහින්. අසල්වැසියන් ගින්න දැකලා ඔවුන් අපිට දන්වලා පුළුවන් තරම් ගින්න මැඬ පවත්වලා තිබුණා. ස්ටුඩියෝ එක මං සම්පූර්ණ වායුසමනය කරලා තිබුණේ. එතකොට ගොඩනැඟිල්ල සීල් ටයිප්නෙ තියෙන්නේ. ගින්දරත් එක්ක ඇති වුණ ඇතුළෙ හීට් එකට බිත්ති පුපුරලා. මං ෆොටෝ ෂූට්වලට තියාගෙන හිටපු කෞතුක පෙනුමකින් යුක්ත අයිටම් රැසක් ගන්න දෙයක් නැහැ.

 හරියට බැලුවොත් මට ලක්ෂ හැටක විතර පාඩුවක් වෙලා, දැන් වෙච්ච දේ වුණා. ඉදිරිය ගැන හිතලා මේ තැන මං තිබුණට වඩා ගොඩ නඟනවා. ස්වරූපයත් වෙනස් කරනවා. මං මෙතැන කරපු බොහො දේවල් කළේ ස්ටුඩියෝ එක රූපගත කිරීම්වලට පවා දුන්නේ මුදල් බලාගෙනම නෙවෙයි. ස්පෙස්ටර්න් එකට ඇවිල්ලා ගිය මිනිසුන්ගේ මතකය හරිම සුන්දර වුණා. මොකද බොහෝ දෙනෙක් මෙතැනට ඇවිත් පිටත්ව ගියේ රිලැක්ස් මනසින්. ඔවුන් ඉතාම කනගාටු වුණා මේ සිදු වුණ දෙයට. ඉදිරියේදී ස්පේස් ටර්න් ආයතනය තවත් අලංකාරව දකින්නට පුළුවන් වෙවි. ඒක තමයි මට අවසන් කොට කියන්න තියන්නේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.