ගීතාලංකාරයේ ආනන්දයෙන් ප්‍රඥාවට

ඔක්තෝබර් 24, 2019

ප්‍රවිණ ගීත රචක ධම්මික බණ්ඩාර විසින් පවත්වනු ලබන ‘ ආනන්දනීය ගීතාලංකාර සන්ධ්‍යාව‘ ප්‍රසංගය මෙම 26 වැනිදා සවස හයයි තිහට කොළඹ නාලන්දා විද්‍යාලීය මලලසේකර ශාලාවේදී පැවැත්වේ.ප්‍රසංගය සංවිධානය කරනුයේ ආනන්ද විද්‍යාලයේ අසූ එක කණ්ඩායම විසිනි. මෙම ප්‍රසංගය පිළිබඳවත් කලා ජීවිතයේ තවත් බොහෝ මතකයනුත් සමඟ කතා බහකට පසුගිය දිනක අපි ධම්මික බණ්ඩාරයන් හමු වුනෙමු.

ධම්මික බණ්ඩාරයන් පිළිබඳ ගීත රචනා ක්ෂේත්‍රය තුළ ආදරණීය මතකයක් ඉතිරි කරන්නට හේතු වූ අපූරු නිර්මාණයක් මේ මොහෙතේ සිහියට නැඟේ.

මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා 
නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා

දැනට වසර කිහිපයකට ඉහත මෙකී ගීතයට ලාංකේය ගීත රසික රසිකාවියන් අසීමිතව පෙම් බඳීන්නට පටන් ගත්තේය. ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා ට මෙරට ගීත ශ්‍රාවකයන් පෙම් බඳීන්නට පටන් ගත්තේ එතැන් සිටය.එදා මෙදාතුර හරවත් ගුණවත් නිර්මාණ රුසක් ඔහු මෙරටට දායාද කළේය. වත්මනෙහි ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ‘ගීතාලංකාරය’ වැඩ සටහනද මෙරට බොහෝ ප්‍රේක්ෂක භවතුන්ගේ ජනාදරය දිනා ගත්තකි.

“‘ගීතාලංකාරය” කියන සංකල්පය මගේ සංකල්පයක්.මගේ නිර්මාණයක් විදියට තමයි මුලින්ම මම මේ වැඩ සටහන ආරම්භ කලේ. මමත් අයත් වෙන්නේ ආනන්දේ අසූ එක කණ්ඩායමට තමයි.ගීතයක අලංකාර තුනක් තියෙනවානේ. එකක් තමයි වාග් අලංකාරය ඒ කියන්නේ වචනවල අලංකාරය. අනෙක් එක ස්වර අලංකාරය. අනෙක ගායන අලංකාරය මේ තුන එකතු වුණාම පවතින නිර්මාණ බිහිවෙනවා. අද ලංකාවේ ජනප්‍රියම කලාව ගීතයනේ. ජනප්‍රිය වුණාට ඒක ගුණාත්මක නෑ.දන් අපි 70 -80 කාල ගැන සොයලා බැලුවොත් ගීතයක් විඳීන්න කාටවත් කියලා දෙන්න ඕන කමක් තිබුණේ නෑ.අධ්‍යාපන පසුබිම, ගෙවල් වල වට පිටාව, පාසල් වල පසුබිම ආදිය මඟින් ඉබේම ඒ පසුබිම නිර්මාණය වී තිබුණා. හොඳ සාහිත්‍ය ඇසුරක් ඒ කාලයේ බොහෝ දෙනාට තිබුණා. නමුත් අද ඒ තත්ත්වය දකින්න නෑ . සමාජයෙන්ම තියෙනවා එක්තරා කඩා වැටීමක්. ඒක නිර්මාණය වුණෙත් සමාජයෙන්ම තමයි. තාක්ෂණික දියුණුවත් එක්ක සමාජයේ අවශ්‍යතා සංකීර්ණ වුණා. විෂයයන් වෙනස් වුණා. පාසල් විෂය පද්ධති වලට පවා අලුත් අලුත් විෂයයන් හඳුන්වා දුන්නා. තරගකාරී ලෝකයක් තමයි නිර්මාණය වුණේ.’

මේ තත්වය තුළ රසාස්වාදය සොයා යාමට , ඒ සඳහා මඟ පෙන්වීමට රසාස්වාදය හඳුනන්නාවූ ධම්මික වැන්නන්ට වූ වගකීම ඔහු හොඳීන් හඳුනා ගත්තේය. ඒ හඳුනා ගැනීමේ ප්‍රතිඵලය වූයේ ‘ගීතාලංකාරය’ නම් වූ වැඩ සටහනේ ආරම්භයයි.

“මට ඔය ගැන මුලින්ම අසාවක් ඇතිවුණේ මම ඉස්කෝලෙ යන ශිෂ්‍යයෙක්ව සිටින කාලයේදීයි. මම දවසක් දැක්කා 1984 දී විතර නන්දන මාරසිංහ කියන කැරලි නායකයා කරුණෑගලදි කරපු දේශනයක් . ඔහුට අවශ්‍ය වුණා ‘කාලයේ රාවය’ කියලා ප්‍රසංගයක් කරන්න ගුණදාස කපුගේ මහත්මයාගේ. කම්පන ප්‍රසංගයටත් කලින්. ඒක සංවිධානය වුණේ කුරුණෑගලදි. එතකොට තමයි ඔහු මේ දේශනය කරන්නේ. ඒක මම අහගෙන හිටියා. ඊට ටික කාලයකට පස්සේ මහින්ද චන්ද්‍රසේකර වැන්නෙකු ගේ දේශන කෙරෙහිත් මගේ හිත යොමු වුණා. පස්සෙ කාලෙක මම හොඳ සින්දු ටිකක් හොයාගෙන ලැප්ටොප් එකකට දාගෙන පොඩි පොඩි සාහිත්‍ය උත්සව වල අර සින්දු ප්ලේ කරලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.ඒකෙන් තමයි මේ ගීතාලංකාර කියන වැඩ සටහන ආරම්භ වුණේ.’

ශිෂ්‍ය අවදියකදි තම සිත පැහැර ගත් දේශනයක් නිසාවෙන් ඉන් බොහෝ කලකට පසු ගීතයක නියම රස හඳුනා ගැනීම පිළිබඳ රස බර, හරබර කතා විලාශයක්ද සමඟ ධම්මික නිර්මාණය කළ ‘ ගීතාලංකාරය’ වැඩසටහන අද වනවිට මෙරට පාසල් පද්ධතිය තුළ මෙන්ම විශ්ව විද්‍යාල, වෙනත් රජයේ හා පෞද්ගලික ආයතන ඇතුළු බොහෝ තැන්හි චිර ප්‍රසිද්ධව පවතී.එහෙත් ධම්මික පාසල් ශිෂ්‍යයකුව සිටියදී විද්‍යා විෂයන් හදාරමින් සිටි අයෙකි. සාහිත්‍යය කෙරෙහි හෝ කලාව කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට එකල ඔහුට කාල වේලාවක්ද නොතිබුණි. පසුව කලා විෂයයන් හදාරමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවතීර්ණ වන ඔහු එතැන් පටන් සිය අවධානය කලාව හා සාහිත්‍යය ඇසුරේ වඩවා ගත්‍තේය.

‘‘ මගේ ලේඛන දිවිය පසෙක තබා ගීතාලංකාරය ගැන කතා කළොත් මම ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල ආදියෙහි මේ ප්‍රසංගය කරමින් ඉන්න අවදියේ මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා.ඒ කාලේ තිබුණා නායකත්ව පුහුණු වැඩමුළු විශ්ව විද්‍යාල ප්‍ර වේශය ගත් සිසුන්ට. මේ පුහුණු වැඩමුළු වල හැමදාම හවසට විනෝදාස්වාදන වැඩසටහන් තිබුණා. හැබැයි ඒ කාලේ ඒවා කලේ සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය මඟින්.පිටට දීලා තිබුණේ නෑ. මට කවුරු හරි කීවා උසස් අධ්‍යාපන අමාත්‍යාශයට ගීතාලංකාරය ගැන ලියන්න කියලා.මම මේක ව්‍යාපෘතියක් හැටියට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ලිව්වා. මම හිතුවේ නෑ ඒකට අනුමැතිය හම්බ වෙයි කියලා. නමුත් මට කැඳවීමක් ඇවිත් මාව ඒකට තෝර ගත්තා. ඊට පසු මම හමුදා කඳවුරු රුසක මෙම වැඩසටහන කලා.ඒ වෙනකොට මට ශිල්පීන් කණ්ඩායමක් හිටියේ නෑ . නමුත් මම කුරුණෑගල පැත්තේ හිටපු දක්ෂ දරුවෝ ටිකක් එකතුකරගෙන මේ කණ්ඩායම හැදුවා. මේ සියළු දෙනාම නවක ශිල්පීන්. අද නම් ඔවුන් ප්‍රවිණයෝ බවට පත් වෙලා. මේ කණ්ඩායමත් එක්ක වට තුනක් මම මේ ප්‍රසංගය කළා හමුදා කඳවුරු 35 ක. ඒ වැඩ සටහන් අවසානයේ පොඩි පෝරමයක් පුරවලා ඔවුන් ගේ ප්‍රතිචාර විමසනවා. අංක එකේ වැඩ සටහන බවට පත්වෙලා තිබුනේ මේ වැඩසටහන තමයි.‘‘

මේ වැඩ සටහනට ධම්මික කිසිදා ප්‍රචාරයක් ලබා ගත්තේ නැත. එහෙත් අද වනවිට පහලොස් දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් ඔහු සමඟ ඔහු දිගු ගමනක නිරත වී ඇත..මේ ප්‍රසංගය ඇතුළත ගීතය හා කලාව පිළිබඳ ඔහු විසින් පවත්වනු ලබන දේශනයක්ද අඩංගුය.ඒ අතර මැදට උදාහරණ වශයෙන් ගීත ගායනා කිරීමට අනෙක් කණ්ඩායම එක්වෙති.

‘ ගීතාලංකාරය පවත්වාගෙන යාමේ අරමුණු කිහිපයක් තිබෙනවා. වර්තමානය වෙනකොට අපි ඉන්නේ පුදුම තරමේ තරගකාරී ලෝකයක. ඒ තුළ දිනෙන් දිනම මිනිස් ගුණ ධර්ම පරිහාණියට පත්වෙමින් යනවා.තමන් විතරක් ජීවත් වුණොත් ඇතියි කියන තැනට හිතන්න තරම් අද මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. අනෙක් කෙනාට මොනවා වුණත් කමක් නෑ මමයි මගේ පවුලයි ඇතුළු පිරිස ජීවත් වුණොත් ඇතියි කියන තරමට හිතන්න මින්ස්සු පුරුදු වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් මිනිස්සු ධනයට බලයට නිලයට තරග කරන් න ගියාම ඇති වෙන ආතතතියෙන් තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ ආතතිය නැති කරන්න ෆාමසියේ බහෙත් නෑ. නමුත් ඒක ගීතයෙන් නැති කරන්න පුළුවන්.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න 
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

මේ ධම්මික බණ්ඩාරයන් ලියූ තවත් ගී පද රචනාවකි. අමරසිරි පීරිස් ගේ හඬින් ගැයෙන මේ ගීතය සැබවින්ම ආතතිය තුරන් කරන්නක් නොවෙයිද? ඔහු ගේ ගීතාලංකාරයට යොදා ගන්නේ ඔහුගේම ගීත පමණක් නොවේ . ප්‍රවීනයෙකු හෝ නවකයෙකු වේවා අපට විඳීය හැකි ගීතයක් වේනම් එය ඔහුගේ අවධානයට ලක්කර ගන්නට ඔහු කිසිවිටෙකත් පසුබට වන්නෙකු නොවේ.

‘ ඉස්සරහට අපිට මිනිස්සු කියන ජාතිය නැත්තටම නැතිවෙනවා .ඔළුව කඳ බඩ ඇති පරාණ තියෙයි. නමුත් ඔවුන් අතරේ මිනිස්සු නැතිවෙයි. ඒ නැති වී යන මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්නත් , සංවේදී දරු පරපුරක් අපි බිහි කල යුතුයි යැයි මම විශ්වාස කරනවා මේ වැඩ සටහන ඒකට යම්තාක් දුරට රුකුලක් වෙයි කියලා හිතෙනවා..නැතිවෙන්න යන මනුෂ්‍යයා යම්තාක් දුරට තව ටික කාලයක් පවත්වාගෙන යන්නත් පුළුවන් වෙයි.‘

ධම්මික ගීත රචනා කලාවට යොමු වන්නේ මෑත භාගයකදීය. එහෙත් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටියදී පුවත්පත් කලාවට පිවිසි අපේ වරිගයේ ඥාතියෙකි.

“ ඒ කාලේ මම කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය හැදෑරුවා. මමයි උපුල් ශාන්ත සන්නස්ගලයි එකම කාමරේ තමයි බෝඩින් වෙලා හිටියේ. සන්නස්ගල මහා පරිමාණයෙන් ටියුෂන් රස්සාවට බැස්සා. මමත් සුළු වශයෙන් ටියුෂන් රස්සාව කරපු කෙනෙක්.ඒ කාලේ ඉතින් නිතරෝම විශ්ව විද්‍යාලය වහලානේ තිබුනේ. එදාවේල සොයා ගන්න වගේ තමයි මම ටියුෂන් කලේ. පස්සේ කාලෙක මම ගුරු වෘත්තියට ගියා.නමුත් මම විශ්ව විද්‍යාලයේදී සාහිත්‍ය උත්සව වලින් හැම අවුරුද්දෙම දිනුවා.ගීත රචනා හා කවි පැත්තෙන්.මට මතකයි එකම අවුරුද්දක් විතරක් මම දෙක වුණා සමන්ත හේරත් එක වුණා.ඇත්තටම මට පත්තර රස්සාවට එන්න ලැබුනේ අහම්බයකින්. දවසක් මමත් උපුල්ශාන්ත සන්නස්ගලත් ගියා ලක්බිම කාර්යාලයට .ඔහු ගියේ ‘සරසවි දියණියෝ ‘ නවකතාව දෙන්න. ඒ ගියාම මට එවකට අරලිය පත්තරේ කර්තෘ වරයාව සිටි බන්දුල පද්මකුමාර මහතාව හඳුනා ගන්න ලැබුණා. ඔහු තමයි මට අවස්ථාව දුන්නේ ‘ සරසවි දැහැන ‘‘ලිපිපෙළ ලියන්න. ඒ දවස්වල විශ්ව විද්‍යාලයේ සිදුවන මොනවා හරි සිද්ධියක් පදනම් කරගෙන මම ‘සරසවි දැහැන‘ ලිව්වා. මුකුත් නැතිනම් මොනව හරි මවලා ලිව්වා. ඒකට විශේෂම උනන්දුවක් ඇතිවුනේ ඒ දවස්වල ඒ ලිපියට මට රුපියල් 150 ක් ගෙව්වා . බන්දුල මහත්තයා නිසා තමයි මම එවකට නවයුගය සඟරාවේ හිටපු අජන්තා රණසිංහ හමුවුණේ. ඒ මාර්ගයෙන් මම නවයුගය සඟරාවට සම්බන්ධ වුණා.‘

පුවත්පත් තලා ජීවිතයත් , ගුරු ජීවිතයත් සමඟ අත්දැකීම් සමුදායක් ලබන ධම්මිකට සින්දු ලියන්නට සිත් වන්නේද අහඹු ලෙසය. කලින් කලට අපේ ගීත රචනා ක්ෂේත්‍ර තුළද විවිධ රැළි පෙරළි දක්නය ලැබිණ. එක්තරා කාලයත විවිධ මල් වර්ග පිළිබඳ ලියවුණු ගීත ගණනාවත් එක දිගටම පැමිණියා ඔබට මතක ඇති. මේ යුගයේ අහන්නට ගීතයක් සොයාගත නොහැකිය යන හැඟීම ධම්මික තුළ නිරන්තරයෙන්ම ඇතිවිය. ඔහු අතින් ‘ මගේ පුංචි රෝස මලේ‘ ගීතය ලියවෙන්නේ මේ අයුරිනි. කිසිවෙකුත් නොසිතූ අයුරින් එම ගීතය මේරටේ ශ්‍රාවක සිත් සතන් ඇද බැඳ ගනිමින් ධම්මික බන්ඩාර නම් ගීත රචකයා මේ රටේ අභිසෙස් කරන ලදී. එතැන් සිට ඔහු අතින් රචනා වූ බොහෝ සුභාවිත ගීත මේ රටේ ශ්‍රාවක සිත් සතන් පුබුදු කරමින් ඔවුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු කිරීමට හැකි මාවතක් හෙළි කරමින් සිටින්නේය.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.