මට ඉස්තරම් දේ එපා. අනෙක් අයට දෙන දේවල්ම මටත් දෙන්න

ඔක්තෝබර් 24, 2019

ගාමිණි හා විජය පිළිබඳ තුලනාත්මකව ගොඩනැඟී ඇති පුරාවෘත්තයක් මට සිහිපත් වේ. මේ වූ කලී සිනමා ක්ෂේත්‍රයේ දෙවිධියකින් ප්‍රකට වූ මොවුන්ගේ මානව හිතවාදී බව, ආධිපත්‍ය අපූර්ව ලෙස කියාපාන පුරා වෘත්තයකි. ගාමිණි චිත්‍රපටයක රඟපාද්දී අදාළ රූගත කිරීම් සිදු කෙරෙන කාලයේ නිෂ්පාදන අංශයෙන් තමාට ඉස්තරම් ආහාර පාන ලබා දෙමින්, සෙසු ශිල්පීන්ට විශේෂයක් නොවූ බත්, ව්‍යාංජන ලබා දුන් බව ඔහුට සැල වුවහොත් තමාට ලබා දෙන ඉහළම සංග්‍රහය සෙස්සන්ටත් ලබා දෙන ලෙස සිංහ තේජසින් අණ කරනු දැක්ක හැකියි. විජයට මේ ආකාරයෙන්ම නිෂ්පාදන අංශයෙන් ඉහළ සංග්‍රහ ලබා දෙමින් සෙස්සන්ට එසේ නොකළහොත් ඔහුගේ ඉතා මෘදු ප්‍රතිචාරය ලෙස “මට ඉස්තරම් දේ එපා. අනෙක් අයට දෙන දේවල්ම මටත් දෙන්න” යැයි කීම විජයගේ හැටියකි. ඔහුගේ මේ හොඳ වැඩිකමෙන් අයුතු ප්‍රයෝජන ගත් කෛරාටිකයන් ද මේ අතර නොසිටියා නොවේ. 

විවිධ උත්සවවලදී ඔහු කෙබඳු පිරිසක් සමඟ කතාබහ කරමින් සිටියත් ඒ අසලක රැඳී සිටී නම් කුඩා මා වෙත අවධානය යොමු කළ අයුරු විස්මයජනකය. මේ සියලු දේ අතර කුඩා මා සමඟ ද කතා කිරීමට විජයට ඕනෑ තරම් වෙලාව තිබිණ. තාත්තා එකල ඇසුරු කළ සියලු මිතුරන් අතර විජය කුමාරතුංගයන් කුඩා මගේ ළබැඳිම වැඩිහිටි මිතුරා වූයේ ඒ නිසාවෙනි. එතුමා පියා හමුවීමට එකල අප නිවසට පැමිණි කල්හි මා ඔහු සමීපයටම වී සිටින අතර නැවත ආපසු යන තෙක් එතනින් සෙලවෙන්නේ නැත. වැඩිහිටියන්ගේ කතාබහට ළමයින් සවන්දීම සුදුසු නොවුණත් එබඳු කොතෙකුත් අවස්ථාවලදී තාත්තා මට එතනින් යන්න කීවේ නැත. මා ඒ අසලින් බැහැර වුයේ ද නැත. දිනක් විජය පැමිණියේ 1986 දී පමණ ඉන්දියානු සංචාරයකට සහභාගි වීමෙන් පසුවය. එදින ඔහු පියා සමඟ ඉන්දියානු සිනමාව අරභයා බොහෝ දේ කතා කරමින් සිටියේය. ඒ අතර ස්වකීය පෙම්වත් මුහුණින් විජය මෙසේ කීවේය.

“අමලා කියලා අලුත් නිළියක් දකුණු ඉන්දියානු සිනමාවට ඇවිල්ලා ඉන්නවා. මට ඉන්දියාවේදී හමු වුණා. හරිම ලස්සනයි. එයා සෑහෙන ජනප්‍රිය වේවි”. විජය එදා පැවසූ පරිදිම අමලා දමිළ සිනමාවේ ඉතා සුප්‍රකට නිළියක් බවට පත් වූවාය. විජය එදා ඇගේ රූප සෞන්දර්ය, පංච කල්යාණිය වැනූ ආකාරය මම විස්මයෙන් යුතුව අසා සිටියෙමි. සිරිඟර රසය හෙවත් ශෘංගාර රසය යනු කවරක්දැයි මා මුහුකුරා යද්දී වටහා ගත් පසුව එදා ඔහු කී දේ මට ගළපා ගත හැකි විය. ස්ත්‍රියක් දුටු විට පද්මිණි, චිත්‍රනී, සංඛිනි, හස්තිනි යන සිව් වර්ගීකරණයෙන් කෙබඳු වර්ගයකට ඇය අයත්දැයි යන්න සුපැහැදිලිව කිව හැකි ශාස්ත්‍රය මා උගත්තේ පසුකලෙක ශ්‍රී කල්යාණ මල්ල නමැති සකු කවියාගේ පොත් කියවීමෙනි. (මේ ඇතැම් කෘති ඉංග්‍රීසියටත් සිංහලයටත් පරිවර්තනය වී ඇත). එහෙත් විජය කුමාරතුංගයන් එකී ශාස්ත්‍රය දැන සිටි බව දැන් මට සිතේ. ඔහු ඒ ශාස්ත්‍රය උගත්තේ කල්යාණ මල්ලයන්ගේ පොත් කියවීමෙන්දැයි මම නොදනිමි. විජය තරම් ආදරණීය ප්‍රේමවන්තයකු (Lover) රසවතකු, සෞන්දර්යවාදියකු කලා ලොව මට හමු වී නැත. 

1982 දී නැක්සලයිට් චෝදනා නඟමින් එවක පැවැති රජය විජය කුමාරතුංග සිර භාරයට ගත්තේය. මේ වූ කලී එවක යාන්තම් සය හැවිරිදි වියෙහි සිටි කුඩා මා කම්පාවට පත් කළ සිදුවීමකි. ඒ සිදුවීම වඩාත් මා සිතට කා වැදුණේ අසල්වැසි නිවසක සිටි මට වඩා මඳක් වැඩිමහල් රේණුකා නමැති දැරියක නිසාවෙනි. ඇය චිත්‍රපට පිස්සියක වූ අතර විජයට මා තුළ තිබූ අසීමිත ඇල්ම හොඳින් දැන සිටියාය. අනෙක් අතට විජයගේ චිත්‍රපට නරඹා නිවසේදී සෙල්ලමට ඔහු අනුකරණය කරමින් “ඒක පුද්ගල” චිත්‍රපට මා රඟපාද්දී ඒවා නරඹන “ඒක පුද්ගල” ප්‍රේක්ෂිකාව වූයේ ඇයයි. තතු එසේ හෙයින් මෙහි බරපතළ බව නොදැන හුදෙක්ම මා කුප්පනු පිණිස රේණුකා මෙසේ කීවාය.

‘අන්න ඔයාගේ මහ ලොකු විජය අන්කල් හිරේට දාලා’

ඇගේ කියුමෙන් මම මහත් කම්පාවට පත් වූයෙමි. ‘අම්මේ, හිරේට දාන්නේ නරක වැඩ කරන මිනිස්සුනේ. විජය අන්කල් එහෙම කෙනෙක් නෙවෙයිනේ’ යැයි මා මවගෙන් විමසත්ම අසල සිටි ඥාතිවරියක මෙසේ කී බැව් මට තවමත් මතකය. ‘එහෙම නැහැ පුතා, සමහර වෙලාවට කුරා කූඹියකුටවත් වරදක් නොකළ මිනිස්සුන්ටත් නිරපරාදේ හිරේ යන්න වෙනවා. ඔයා තවම පොඩි වැඩියි ඕවා තේරෙන්න’.

එකල ගමන් බිමන් යද්දී චිත්‍රපට ප්‍රචාරක පුවරු  (Cut Outs) දෙස බැලීමට මම ඉතා රුචි කළෙමි. එකල මෙකල මෙන් ඩිජිටල් සේයා රූ රැගත් ප්‍රචාරක පුවරු නොතිබිණ. කුසලතා සපිරි චිත්‍ර ශිල්පීන්ගේ සුරතෙන් සිතුවම් කළ, එදා දක්නට තිබූ ප්‍රචාරක පුවරු කොතරම් සුන්දරද? විජය රඟපෑ චිත්‍රපටවල ප්‍රචාරක පුවරු බැලීමේදී පෙර කී ඇල්ම දෙගුණ තෙගුණ වේ. එහෙත් අමිහිරි අත්දැකීමක් නම් එක් කලකදී මේ ප්‍රචාරක පුවරුවල ඔහුගේ සුන්දර මුහුණ වැසෙන සේ ගොම ගා තිබූ අයුරු මා මතකයේ තැන්පත් වී තිබේ.

අඟහිඟකම්වලින් පීඩිත කලාකරුවන්ට විජය පිහිට වූ අවස්ථා අපමණ වුවත් මේ උපකාර ගැන තමාත් අදාළ කලාකරුවාත් හැරුණු විට කිසිවකුගේ දැන ගැනීමට ඔහු ඉඩ තැබුවේ නැත. එබඳු එක් අවස්ථාවක් පිළිබඳ මෑතකදී මා සමඟ හෙළි කළේ නව පරපුරේ කුසලතා සපිරි නළුවකු වූ චින්තක වාස්ය. චින්තක යනු ජ්‍යේෂ්ඨ නළු වින්සන්ට් වාස්ගේ පුත්‍රයෙකි. ඔහු ලේක්හවුස් ආයතනයේ සේවයෙහි නියැළේ. වින්සන්ට් වාස් ආර්ථික ගැටලුවලින් පරිපීඩිතව සිටි සමයක විජය සොයා එවක රොස්මිඩ් පෙදෙසෙහි නිවසට ගියේය. වාස් දුටු විජය “ඉඳගන්න. මං ඉක්මනින් එන්නම්’ කියා නිවස ඇතුළට ගියේය. වාස් ඔහු එනතුරු අසල ටීපෝව මත තිබූ පුවත්පත පෙරළා බලමින් උන්නේය. විජය ඒ අසලින් වරින්වර එහාට මෙහාට ගියේය. ඒ අතරම පත්‍රයේ පිටු අතරින් රු: 500 ක මුදල් නෝට්ටුවක් (1980 මුල රු: 500 යනු සැලකිය යුතු මුදලකි) රූරා තමා වෙත වැටෙන අයුරු වාස් දුටුවේය. විජය ඒ උපකාරය කළේ නිවසේ ඒ වන විට රැඳී සිටි කිසිවකුට කොටින්ම කීවෝත් බිරිය චන්ද්‍රිකාවන්ට ද (හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය) නොදැනෙන පරිද්දෙනි. වාස් ඔහුගෙන් කිසිදු උපකාරයක් ඉල්ලුවේ ද නැත. එහෙත් ඔහුගේ මුහුණ, හැඟීම් ශුර ලෙස කියැවීමේ හැකියාව විජයට තිබුණි. විජය නිපද වූ ‘සමාව’ චිත්‍රපටය සංගීතවත් කිරීම සඳහා ආර්. මුත්තුසාමි මාස්ටර් තෝරා ගත්තේ ද එවක කිිසිදු අවස්ථාවක් නොමැතිව ඉතා කනගාටුවෙන්, ආර්ථික පීඩනයෙන් දිවි ගෙවු ඔහු දිරිමත් කරනු පිණිසය.

විජය තරම් දැකුම්කලු. ආකර්ෂණීය නළුවකු මෙතෙක් මගේ ජීවිත කාලය තුළ මා දැක නැත. ඔහුගේ රූපකායට කාන්තාවන් වශීකෘත වීමෙහි කිසිදු අරුමයක් නැත. බාල, තරුණ, මහලු, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමදෙනාම පාහේ ඔහුට ආකර්ෂණය වූ බැවිනි.

විජය මල් යහනාවක සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ නළුවකු නොවේ. ඔහු සිනමා ජීවිතය හා දේශපාලනය වෙනුවෙන් අපරිමිතව කැප වූයේය. එකල්හි විජය නිසි කලට ආහාර ගැනීම, අව්ව, වැස්ස පවා නොතකා දුෂ්කර ක්‍රියා කළේය. ඔහු කළ දුෂ්කර ක්‍රියා වෙනත් නළුවකු කළේ නම් ඔහුගේ සිරුර වැහිරී යනු නියතය. එහෙත්, විජය මියයන තුරු විජයගේ බාහිර රූපකාය පැවතුණේ අධි සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කළ, කිසිදු වෙහෙසක් දිස් නොවු ප්‍රබෝධවත් මිනිසකු පරිද්දෙනි. එතරම්ම රන්වන් පැහැයෙන් බැබළෙන, අසාමාන්‍ය සුන්දරත්වයක් විජයගෙන් පිළිබිඹු වුයේ ඔහු අකල් මරණයක් උරුම කොට ගත් නිසාදැයි මම නොදනිමි. වරක් මා පියාණන් හා ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක නැසීගිය පීටර් පෙරේරා සමඟ එදා පොල්හේන්ගොඩ පිහිටි විජයගේ නිවසට ගිය ගමන ද මට අමතක නොවේ. ඔහු උපතින් කතෝලික ආගමට අයත් වුවත් සෑම ආගමකට දහමකට ඉතාමත් ගරු කළේය. ගාමිණි ෆොන්සේකාගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් 1986 කොළඹ ගංගාරාම විහාරයේ පැවැති බෝධි පූජාවට ඔහු පැමිණි දා බුද්ධ වන්දනාව සිදු කළ ආකාරයෙන් ඒ බැව් මට පසක් විය.

ඉතිරි කොටස ලබන සතියේ...

Add new comment