“අනේ විජය මහත්තයට මුකුත් කරදරයක් ද දන්නේ නැහැ”

ඔක්තෝබර් 31, 2019

විජය තරම් කාර්යබහුල කලාකරුවකු මා එදත් අදත් දැක නොමැත. අවුරුදු 42 ක සිය කෙටි ජීවිත සමයේදී ඔහු චිත්‍රපට එකසිය විසි ගණනක රඟපාමින් තම දේශපාලන කටයුතු සඳහා ද දිවා රෑ නොබලා කැප වූයේය.

මට තවමත් සිතා ගැනීමට අපහසු දෙයක් නම් මේ සා කාර්යභාර්යන් අතරතුර විජය තම මිත්‍රයන්ගේ උපන් දින සාද, ප්‍රදර්ශන, විවාහ උත්සව, පොත් ජනගත කිරීම්, චිත්‍රපට දර්ශන, අවමංගල්‍ය කටයුතු, කොටහළු මඟුල් යනාදී එකී මෙකී නොකී කිසිදු අවස්ථාවක් මඟ නොහැර සහභාගි වීමට කාලය කළමනාකරණය (TIME MANAGEMENT) කොට ගත්තේ කෙසේද? යන්නය. මෙරට කලාකරුවන් සියලු දෙනා අතර කාල කළමනාකරණය ශූර ලෙස අපට කියාදුන් ගුරුවරයා විජය කුමාරතුංගයන් ලෙස මම දකිමි. ඔහු ඒ අතර තම භාර්යාවගේ හා ප්‍රාණ සම දරු දෙදෙනාගේ කුදු මහත් කටයුතුත් කලට වේලාවට ඉටු කළේය. එපමණකුදු නොව තම මවගේ ඇකයෙහි හිස තබා ගිමන් නිවා, සැනසී සිය ප්‍රාණය මෙන් රැක බලා ගත් ඇයගේ සිත සැනසීම ද පැහැර හැරියේ නැත. මේ සියලු දේ අතර එවක මා වැනි කුඩා දරුවන්ගේ සුරතල් බලා අප සමඟ කතා කිරීමට ඕනෑ තරම් ඔහුට වෙලාව තිබුණි. විජය දෙවියන් විසින් මෙලොවට එවනු ලැබ දෙවියන් විසින්ම කෙටි කලකින් නැවත ගෙන්වා ගනු ලැබූ විස්මිත මිනිසෙකැයි මට සිතන්නේ එබැවිනි. වත්මන් නළු නිළියන් කාර්යබහුල නැතැයි මම කිසිවිටක නොකියමි. එහෙත් විජය තරම් ඔවුන් කාර්යබහුල නැතැයි සිතීමට මට ඕනෑවටත් වඩා සාධක තිබේ. තතු එසේ හෙයින් සාධාරණ නොවන හේතු මත ඇතැම් නළු නිළියන් (බොහෝවිට නව පරපුර) විවිධ උත්සව, මිතුරන්ගේ කුදු මහත් කටයුතු මඟ හරිමින්, දර්ශන තලවලට, මාධ්‍ය සාකච්ඡාවලට නිසි වෙලාවට නොපැමිණෙමින්, දුරකථන ඇමැතුම්වලට පිළිතුරු නොදෙමින් “ව්‍යාජ කාර්යබහුලත්වයක්” මවා පානු දකින, අසන මට කෝපයක් වෙනුවට සිනාවක් නැඟෙනුයේ විජය සිහිපත් වීමෙනි. මෙබඳු බොරු කාර්ය බහුලත්වයක් මත, ව්‍යාජ මහන්තත්වයෙන් සිහින ලෝකවල පාවෙන ඇතැම් නළු නිළියන්ට විජය ඉටු කළ මහා මෙහෙවරෙන් අසෙන් අසක්වත් කළ නොහැකි බව මම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දනිමි. මේවා ඔවුන්ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා විජයගෙන් උගත යුතු පාඩම්ය. 

80 දශකයේ අග භාගයේ මෙරට දකින්නට ලැබුණු අයහපත් සමාජ, දේශපාලන වාතාවරණය මැද විජය කිසිදු ආරක්ෂාවක් නොමැතිව, නිදහසේ, රිසි සේ දිවයිනේ සතර දිග් භාගයේ ගමන් කරමින් සිටීම ඔහුට ඉතා ළබැඳි, බෙහෙවින් ආදරය කළ මිතුරන්ගේ භීතියට හේතු වී තිබිණ. වරක් විජය එවක අප පදිංචි වී සිටි දෙමටගොඩ ඩැනිස්ටර් ද සිල්වා මහල් නිවාසයේ නිවසට පැමිණි දිනයක අපි (මාත්, පියාත්, මවත්) ඔහු සමීපයේ අසුන් ගෙන සිටියෙමු. විවිධ දේ ගැන සිදු කෙරුණු කතාබහ අතරතුර තාත්තා බැරෑරුම් ලෙස මෙසේ ඔහුට කීවේය.

“කොහොමටත් විජය, දැන් මේ රටේ තියෙන වාතාවරණය එච්චර හොඳ නැහැ. ඒ නිසා ඔයා පරිස්සම් වෙන්න”.

තාත්තා කී දේ පසුව අම්මා පුනරුච්චාරණය කළාය. මවත් පියාත් එසේ පවසද්දී මම නිහඬව ඔහු දෙස බලමින් ඒ සිත විනිවිද දකිමින්, කියැවීමට තැත් දැරුවෙමි. ඔහු මුහුණ මඳක් පහතට නවාගෙන, ආකර්ෂණීය සුන්දර සිනහව මුවෙහි රඳවා ගෙන එක අතක් මිට මොළවමින් සවන් දී සිටියේය. තම මිතුරන් ඔහුට බැරෑරුම් දේ පවසද්දී හෝ උපහාසයෙන් තමා සිනහ ගැන්වීමට වෑයම් කරද්දී ඉබේම එක් අතක් මිට මොළවා ගැනීම විජයගේ සිරිතකි. මම ඔහුගේ සිත කියැවීමට උත්සුක වූයෙමි. මගේ දෙමවුපියන් පැවසූ දෙයට ඔහු මුවින් කිසිවක් පැවසුවේ නැතත් ඒ සුන්දර මුහුණෙහි සටහන් වී තිබූ දෙය මට කියවා ගත හැකි විය.

“මම මේ රටේ මිනිසුන්ට කොපමණ ආදරේ කරනවාද? ඔවුන් මට කොපමණ ආදරේ කරනවාද? ඉතින් මාව මරන්න කිසිවකුට හිතෙයිද? එසේ කළ හැකි මිනිසා කවරෙක්ද?” විජයගේ සාත්වික අභිනයෙන් මතු නොව සකලාංග අභිනයෙන්ම (BODY LANGUAGE) ඉස්මතු වුයේ මේ ප්‍රශ්නාවලිය බව මට දැනිණ. ප්‍රශ්නයත් ඔහු නිහඬවමැ මතු කොට ගෙන පිළිතුරත් ඔහු නිහඬවමැ සපයා ගත් බව දිස් විය. “මේ ආදරණීය මිනිස්සු මාව මරන්නේ නැහැ” ඒ මිනිස් සමනළයකුගේ නිගමනය විය. එය ඔහුගේ අප්‍රමාණ විශ්වාසයක් බවට පත් වී තිබිණ.

විජය කුමාරතුංගයන්ට මා සිත තුළ තිබූ දැඩි ඇල්ම නිසාම ඔහුගේ රුව රැගත් සේයාරුවක් අප නිවසෙහි රාමු කොට තබා ගැනීමට මට අවැසි විය. 1983 වසරේ සරසවිය සම්මාන උලෙළට ඔහු කළු පැහැති කුර්තාවකින් හා සරමකින් සැරසී සහභාගී වූයේය. එවක විජයගේ මුහුණෙහි උඩු රැවුලක් තිබිණ. එදින අප හිතාදර උපාලි ෆොන්සේකා මහතා ගත් විජයගේ සේයාරුවක් මා සතුව තිබිණ. මෙය විශාලනය කොට (ENLARGE) රාමු කොට දෙන්නැයි එවක දස හැවිරිදි වියේ (1986) සිටි මම තාත්තාට දිගින් දිගටම ඇවිටිලි කළෙමි. ඔහු මගේ ඉල්ලීම ඉටු කොට දුන්නේය. එය එවක දෙමටගොඩ අප නිවසේ පුස්තකාල කාමරයේ ඉහළින් එල්ලා තිබුණු අතර දිනක් අප නිවසට පැමිණි විජය කුමාරතුංගයන්ට තාත්තා එය පෙන්වමින් මෙසේ කීවේය. “පුතාගෙන් බේරෙන්න බැහැ. ඔන්න මං ඔයාගේ මේ PHOTOණ එක FRAME කරලා එල්ලුවා”. විජය මා තුරුලු කොට ගෙන නිවසෙහි එල්ලා තිබෙන ඒ සේයාරුව දෙස සිනහමුසු මුහුණින් බලා සිටියේය.

මේ සේයාරුව පිළිබඳ මා මෙහිදී සඳහන් කළේ ඒ හා සැබැඳුණු වෙනත් සිදුවීමක් සහෘද ඔබට පැවසීමටය. මේ සේයාරුව එල්ලා තිබුණු එවක අප පදිංචි වී සිටි නිවසේ පුස්තකාල කාමරයේ ජනෙල්, කවුළු නොතිබිණ. ඒ වෙනුවට දෙමටගොඩ මහල් නිවාසයේ සෑම ගෙයකම තිබුණේ වාතාශ්‍රය සැපයීමට මල් මෝස්තර රටා දැමූ සිමෙන්ති දැල් කවුළුවක් පමණි. ඉන් සුළං නිවස ඇතුළට හැමුවේ ඉතා අවම වශයෙනි. විජය මියයෑමට ඉතා ආසන්නයේ දිනයක විජයගේ මේ සේයාරුව බිමට කඩා වැටී වීදුරු රාමුව මුළුමනින්ම බිඳී සී සීකඩ වැ ගියේය. මේ වූ කලී අසුබ නිමිත්තකැයි සිතීමට මම මැළි වූයෙමි. එවක අප නිවසෙහි මෙහෙයට සිටි වැඩිමහලු කාන්තාවගේ මුවින් ගිලිහුණේ මෙවැනි වදනකි. “අනේ විජය මහත්තයට මුකුත් කරදරයක් ද දන්නේ නැහැ”.

විජයගේ ඒ සේයාරුව එල්ලා තිබූ ස්ථානයේ එස්. මහින්ද හිමි, මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, සත්‍යජිත් රේ, පියදාස සිරිසේන, චාලි චැප්ලින්, මහගමසේකර යනාදී මහා කලාකරුවන්ගේ, සාහිත්‍යවේදීන්ගේ සේයාරූ රාමු කොට තිබිණ. ඒ සියල්ල අතර විජයගේ සේයාරුව පමණක් බිම පතිත වී වීදුරු රාමුව බිඳී යෑම අහඹු ස්වාභාවික හේතුවකින් සිදු වූවක් ද අසුබ නිමිත්තක් ද යන්න තවමත් මට විසඳා ගත නොහැකි වූ ගැටලුවකි.

විජය මෙන් ජාති, ආගම්, කුල භේදයකින් තොරව ජනතාවට ආදරය කළ මානව හිතවාදී කලාකරුවකු මා තවමත් දැක නැත. විජය තුළ තිබූ ශූර උපහාස කතා කීමේ හැකියාව දැන සිටියේ සමීපතමයන් පමණකි. විවේකීව සිටි බොහෝ අවස්ථාවල ඔහු අසීමිතව පොතපත කියැවූයේය. එක් දිනක් මාරි සීටන් ලියු ඒ A Portrait of a Director Satyajit Ray අචර නමැති ග්‍රන්ථය ඔහු කියවනු මම දුටුවෙමි. විජය කුමාරතුංගයන් අවසන් වරට අප නිවසට පැමිණියේ 1986 නොවැම්බර් 28 වැනිදාය. එදින එවක අප විසූ නිවසේ රාත්‍රී සාදයකට ඔහු සහභාගි වූයේය. හිටපු සරසවිය ප්‍රධාන කතුවරියක වන දීප්ති ෆොන්සේකා හා ඇගේ සැමියා වූ ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා ද මීට එක් වූහ. එවක දස හැවිරිදි වියෙහි පසු වූ මම දෙවැනි මහලේ පිහිටි සඳලු තලයෙන් විජය එනතුරු නොඉවසිල්ලෙන් මඟ බලා සිටියෙමි. මඳ වේලාවකින් කාරයක් පැමිණ මිදුලේ නතර විය. රියැදුරු අසුනින් බැස්සේ එතුමාය. කළු සිහින් ඉරි සහිත සුදු කමිසයකින් හා කළු කලිසමකින් සැරසී (ඝාතනයට ලක් වූ 1988 පෙබරවාරි 16 වැනිදා විජය සැරසී සිටියේද මේ ඇඳුමෙනි. එදා මුළුමනින්ම රත් පැහැයට හැරී තිබුණේ ඒ සුදු කමිසයමදැයි සිතූ කල්හි ජීවිතයේ අනියත බව පසක් වේ) ඔහු තමාටම ආවේණික වූ අපූර්ව ගමන් විලාසයෙන් අපේ නිවස දෙසට පැමිණෙමින් සිටියේය. මා වහාම සඳලු තලයෙන් මෑත් වී නිවසෙහි දොර දෙසට දිව ගියේ විජය පිළිගැනීමේ අටියෙනි. මඳ වේලාවක් ගත වූ නමුදු ඔහු පෙනෙන්නට නොමැත. නැවතත් මම සඳලු තලයට ගොස් පහත බැලීමි. අප නිවසට පහළ නිවසේ එක් අවුරුදු වයසැති කුඩා දැරියක් සිටි අතර, ඇය මුවෙහි සූප්පුක් ගසාගෙන සිටියාය. විජය ඇයගේ මුවින් වරින් වර සූප්පුව උදුරමින් ඇය වඩා ගනිමින් සුරතල් කරමින් සිටිනු මම දුටුවෙමි. ඔහු කෙතරම් ඉක්මනින් කුඩා දරුවන් හා සමීප වීද? උපාලි අයියාගේ කැමරා කාචයට පින් සුදු වන්නට විජය කුමාරතුංගයන් මා තුරුලු කොටගෙන සිටින ඡායාරූප මට ත්‍යාගයක් ලෙස ලැබිණ.

1988 පෙබරවාරි 16 වැනිදා මහා සිව රාත්‍රී දිනයක් වූ හෙයින් එදින පාසල් නිවාඩු දිනයකි. මිතුරු කැල සමඟ දොළොස් හැවිරිදි මා ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී වරින්වර මට දක්නට ලැබුණේ දෙමටගොඩ මහල් නිවාසයේ පිහිටි නිවාසවල වැඩිහිටියන් තැන් තැන්වල කණ්ඩායම් සෑදී බරපතළ කරුණක් සාකච්ඡා කරමින් සිටින බවය. කුමක් හෝ අනතුරක සේයාවක් ඉව වැටුණු බැවින් මම සෙල්ලම් කිරීම නවතා නිවස වෙත ගියෙමි. අම්මාගෙන් මට දැන ගැනීමට ලැබුණේ කිසිදා ඇදහිය හැකි දෙයක් නොවේ. එනම් මා සදාදාරණීය ‘විජය අංකල්’ ඝාතනයට ලක් වී ඇති බවය. විජය වෙනුවෙන් සරසවිය විශේෂ කලාපයක් නිකුත් කිරීමට සිදු වූ බැවින් තාත්තා එදින නිවසට පැමිණියේ රාත්‍රියේය. තාත්තාත්, අම්මාත්, මාත් කිසිවක්ම කතා නොකොට ගල් පුවරු තුනක් සේ සිටි එවන් දිනයක් මට තවත් මතක නැත. අපට එදින ආහාර ගැනීමට පවා අවශ්‍යතාවක් නොතිබුණි. නිවසේ දැඩි නිහඬතාවය වරින් වර බිඳ වැටුණේ දිගු සුසුම්වලින් පමණි. විජය කුමාරතුංගයන් කෙරෙහි මා සිත තුළ පැවැති අපරිමිත ගෞරවය, ආදරය අදත් එසේමය. ‘ඔහු ජීවත්ව සිටියා නම්’ කියා නොසිතුණු දින පසුගිය 31 වසර පුරා තිබුණේ නම් ඒ ඉතා අඩු ගණනකි. ඒ රික්තය පිරවිය හැක්කක්ද? විජය කුමාරතුංග නමැති රූපණවේදියා හා ඔහුගේ රඟපෑම් පිළිබඳව මම මින් ඉහත නොයෙක් තැන්වල කියා ඇත්තෙමි. නොයෙක් ලිපිවල ලියා ඇත්තෙමි. විජය හා මා අතර පැවැති සමීප ඇසුර ගැන මෙලෙස මා ලියූ අවස්ථා විරලය. කුඩා කාලයේ සෙල්ලමට සිනමා පුවත්පත් සැකසීම මගේ සිරිතකි. මුළු සිනමා පුවත්පතම මගේ අතින් ලියැවේ. ඊට උචිත සේ ඡායාරූප යෙදීම, රූ රටා සැලසුම් මගේ අතින් නිමැවිණ. ඒ සිනමා පුවත්පත්වල පිට කවරය බහුල ලෙස සැරසෙන්නේ මගේ ප්‍රියතම නළු විජයගේ සේයාරුවකිනි. මෙලෙස අතින් ලියූ පත්‍ර ඔහු අප නිවසට පැමිණි අවස්ථාවක මම පෙන්වීමි. විජය මා තුරුලුකොට ඒවා කියවා බලමින් මට මෙසේ කීවේය. “නුවන් පුතා කවද හරි මට සල්ලි දීලා ගන්න පුළුවන් පත්‍රවල ලියන්න. මිලදි ගන්න පුළුවන් පොත් ලියන්න”.

මේ අනුව මා ලියූ පළමු ලේඛන කියවා ඒවා අගය කොට, ගුණදොස් පෙන්වා දුන්, මගේ නිල නොලත් පළමු කලා ගුරුවරයාද, විචාරකයාද පාඨකයාද විජය මැ විය.

විජයගේ ආශීර්වාදය එදා ලත් මම පසු කාලයේ මිල දී ගත හැකි පුවත්පත්වල අනේක විධ ලිපි ලීවෙමි. ග්‍රන්ථ 15 ක් ලියා පළ කළෙමි. එහෙත් ඒවා මිලට ගෙන කියවීමට සදාදරණීය ‘විජය අන්කල්’ මා ළඟ නැත.

බොහෝ කලාකරුවන් පිරිවරා මේ ග්‍රන්ථ ජනගත කළ සෑම අවස්ථාවකදීම මගේ සිත තුළ දුක්බර හිඩැසක් තිබිණ. ඒ ප්‍රේක්ෂකාගාරය තුළ විජයට වෙන් වූ අසුන හිස්ව තිබූ බැවිනි. විජය නිතර උත්සවවලට අඳින සාටකය සහිත කුර්තාවෙන් හා සරමෙන් සැරසී තමාටම ආවේණික වූ සුන්දර වූ ගමන් විලාසයෙන් හා ආකර්ෂණීය සිනාවෙන් කොයි මොහොතක හෝ ඊට පැමිණෙතැයි මා සිතූ නමුදු එය කිසිදා සැබෑ නොවන සිහිනයක් බැව් මම දනිමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.