රැෂෙල් වෙයිස් එලිසබෙත් ටේලර් වෙයි

ඔක්තෝබර් 31, 2019

එලිසබෙත් ටේලර් කියන්නේ 1940 දශකයේ ලෝක සිනමාව ග්‍රහණයට ගත් හොලිවුඩ් නිළියක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඇ‍මෙරිකානු මව්පිය යුවළකට දාව 1932 පෙබරවාරි 27 ලන්ඩනයේ උපන් ඇය අවරුදු 79ක් පුරා ලෝකප්‍රකට නිළි අධිරාජිනියකව සිට 2011 මාර්තු 23දා මේ ලොව හැර ගියත් අදටත් එලිසබෙත් ටේලර් කියන්නේ ලෝක උරුමයක් හා සමාන නමක්. වයස අවුරුදු 10දී පමණ ළමා නිළියක ලෙස දෙයාර්‘ස් වන් බෝර්න් එව්රි මිනිට් චිත්‍රපටයේ සුළු චරිතයකින් සිය රංගන දිවිය ඇරඹූ ඇය 1999 වනවිට ඇමෙරිකානු සිනමා ආයතනය විසින් හත්වැනි විශිෂ්ටතම කාන්තා සිනමා තරුව ලෙස නම් කළා. පිරිමින් හත් දෙනකු සමඟ අටවරක් විවාපත් වූ ඇය පසුව රංගන දිවිය අතහැර එච්අයිවී ඒඩ්ස්වලට එරෙහි ක්‍රියාකාරිනියක ලෙස සමාජ සේවයේ නියුතු වුණා. ඒඩ්ස් වැඩසටහන් සඳහා සම්බන්ධ වූ තාරකාවන් අතර පුරෝගාමී චරිතයක් වූ ඇය ඒ සමාජ සේවය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූයේ සිය රංගනය සඳහා ලද ඇකඩමි සම්මානවලට අමතරවයි. එලිසබෙත් ටේලර්ගේ මේ ස්වභාවය මෙන්ම ආකර්ෂණීය රූ සොබාව නිසා සිය පෞද්ගලික ජීවිතය මාධ්‍ය වාර්තාවලින් බේරා ගැනීම බොහොම අපහසු වුණු චරිතයක්.

අප මේ සියල්ල පැවසුවේ එලිසබෙත් ටේලර් පිළිබඳ ලියන්නට නෙවෙයි. රංගන ජීවිතයේ සිට සමාජ සේවා ක්‍රියාකාරිනියක වීම දක්වා වූ ඇගේ ගමන අදාළ චරිතාපදානමය චිත්‍රපටයක් ළඟදී නිර්මාණය වීමට නියමිතයි. එහි එලිසබෙත් ටේලර්ගේ චරිතය නිරූපණයට තෝරාගෙන ඇත්තේ ඔස්කාර් සම්මාන ලාභිනී රැෂෙල් වෙයිස්. චිත්‍රපටයේ නම ‘අ ස්පෙෂල් රිලේෂන්ෂිප්‘. වෙයිස් පසුගිය වසරේ ද ෆේවරිට් චිත්‍රපටයේ සහාය රංගනය සඳහා නිර්දේශ වුණු අතර 2005දී  අ කොන්ස්ටන්ට් ගාඩ්නර් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ නිළියක්. ඉදිරියේදී මාවල් කතාපෙළේ බ්ලැක් විඩෝ කෘතියේ ඇගේ රංගන කුසලතාවන් බලාගන්න අපට පුළුවන්.

එලිසබෙත් පිළිබඳ චිත්‍රපටයේ තිරරචනය කරන්නේ ස්ලම්ඩෝග් මිලියනෙයර් ලියූ සිමොන් බියුෆෝයි. ටේලර්ගේ සහායක රොජර් වෝල්ගේ දෘෂ්ටිකෝණයෙන් තමයි පිටපත ගොඩ නැඟෙන්නේ. බර්ට් සහ බර්ටි නමින් හඳුන්වන අධ්‍යක්ෂ යුගල වන කේටි එල්වුඩ් සහ ඇම්බර් ෆින්ලේසන් මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස නම් කර තිබෙනවා.

චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන ඉයන් කැනිං සහ එමිල් ෂර්මන් පවසන්නේ සුප්‍රසිද්ධ හොලවුඩ් තරුවකගේ පෞද්ගලික ජීවන තොරතුරු ප්‍රේක්ෂකයන් මන්මත් කරවන්නට සමත් බවයි. “එලිසබෙත් ටේලර් තරම් සුප්‍රකට චරිතයක් තවත් නැහැ. සිමොන් තිරරචනය කර තිබෙන්නේ රැෂෙල්ගේ අසාමාන්‍ය දක්ෂතාවයන් ඔස්සේ එලිසබෙත් සතු වූ හාස්‍යයට සහ මනුෂ්‍යත්වයට දීප්තියක් එක් කරවන අයුරින්.“ නිෂ්පාදකවරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා. ටේලර්ගේ නිවෙස සහ වතුයායේ භාරකාරත්වය මේ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය සපයන බවත් වාර්තා වෙනවා. එහෙත් චිත්‍රපටය සම්බන්ධ වෙනත් කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි දරව් වී නැහැ. කෙසේ වෙතත්, එලිසබෙත් ටේලර්ගේ චරිතයට මීට පෙර ශිල්පිනියන් දෙදෙනකු විසින් පණ පොවනු ලැබුවා. ඒ 2012 වසරේ ‘ලිස් ඇන්ඩ් ඩික්‘ චිත්‍රපටයේ ලින්ඩ්සේ ලොහාන් විසින් සහ 2014 වසරේ ‘බර්ටන් ඇන්ඩ් ටේලර්‘ චිත්‍රපටයට හෙලේනා බොන්හැම් කාටර් විසින්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.