දිගු කලකට පසු ගමරට ආ පි‍්‍රයානන්ද විජේසුන්දර

ඔක්තෝබර් 31, 2019

පසුගිය දිනක ඔහු මවිබිමට පැමිණියේ ඔහු ඇතුළු කලා ශිල්පීන් පිරිසක් වෙනුවෙන් පැවති උපහාර සම්මානෝත්සවයක් වෙනුවෙනි

“ මේ ගී මගේ නොවේ. මා අතින් මේ ගී ලියවුණද ලියන්නට මෙහෙය වූයේ මා තුළ සැඟවී සිටින මගේ විඥානයයි.එය කවුදැයි මා හඳුනන්නේ නැත.එයට මේ අදහස් ලබා දුන්නේ ඔබ සැම තුළ සැඟව සිටින ඔබේ විඥානයයි.ලොවේ වෙනස්වීම් , එක්වී, වෙන්වීම්, ආදරය , ආදරය බිඳ වැටීම් ඔබෙන් මා ලද ඒවාය. ඒ නිසා මේ ගී අයිති ඔබගේ විඥානයටය. සොබා දහම නම් වූ මහා කලාකරුවා මගේ ඇදුරු තුමා විය.“

ඔහු එළි දැක්වූ ගී පොතක එසේ ලියා තිබිණ. සැබවින්ම ඔහු ලියූ ගී දැන් අයිති ඔහුට නොවේ. එකී ගී සියල්ලේ අත්දැකීම් දැන් ගීත ශ්‍රාවකයන් සියල්ල තමන්ගේ කොට ගෙන හමාරය. මිනිස් සබඳතාවන්ගේ අපූර්වත්වය ඔහු සිය පන්හිඳෙන් , ඔහුගේම වචනවලින් අපේ කොට ලියා තිබිණි.ඒ ගී වලට මෙතරම් ශ්‍රාවකයන් වසඟවන්නේ ඒ නිසා වන්නට ඇත. ඔහු හැත්තෑව දශකයේ ලාංකේය ගී කෙත සුපෝෂිත කරන්නට එක්වූ තවත් සුවිශේෂී චරිතයකි. මෙයින් වසර විසි පහකට පමණ පෙර ලංකාව හැර දමා නවසීලන්තයේ පදිංචිව සිටින ඔහු ප්‍රවීණ ගේය පද රචක ප්‍රියානන්ද විජේසුන්දරය.

පසුගිය දිනක ඔහු මවිබිමට පැමිණියේ ඔහු ඇතුළු කලා ශිල්පීන් පිරිසක් වෙනුවෙන් පැවති උපහාර සම්මානෝත්සවයක් වෙනුවෙනි.පසුගිය සැප්තැම්බර් 21 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදර පියතුමන් විසිනි. මෙම උලෙළේදී ඔහු විසින් රචනා කරන ලද ගීත කිහිපයක් පිළිබඳවද හඳුන්වාදෙමින් සහ සාකච්ඡාවට බඳුන් කරමින් පැවති මෙම උළෙල වෙනුවෙන් පිය තුමන් ගේ සුවිශේෂ ආරාධනා ලැබ ඔහු මෙරටට පැමිණ තිබිණ.

“ බ්‍රදර් චාල්ස් මට මුණ ගැහෙන්නේ නවසීලන්තයේදී. එතුමා එරටට පැමිණ සිටියේ සංගීත ප්‍රසංගයක් කරන්න. එදා ඔහු මගෙන් ඉල්ලීමක් කළා ගීත දෙකක් ලියලා දෙන්න කියලා. ඒ වනවිට එතුමා පවත්වාගෙන ගිය ‘ කඳුළ‘ සංගීත ප්‍රසංගයේ තේමාව ඔහුට වෙනස් කරන්න ඕන වෙලා තිබුණා. ඒකට අවශ්‍යකරන අදහස ඔහු මට ලියාගෙන ඇවිත් තිබුණා. ඒ අනුව මම ඒ තේමාවට ගැළපෙන ගීත දෙකක් ලියලා දුන්නා. දැන් ප්‍රසංගයේ ආරම්භයට සහ අවසානයට යොදා ගන්නේ ඒ මා විසින් ලියන ලද ගී දෙකයි.‘‘

මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් ප්‍රියානන්ද විජේසුන්දර හඳුන්වන්නේ මොහොතකින් රසවත් ගීපදවැල් ලියා දෙන්නට සමතෙක් ලෙසිනි.එය ඔහු මෙරට ගීපද රචනා ක්ෂේත්‍රයට පැමිණි මුල්ම කාලයේ පටන්ම ප්‍රකට කළ දක්ෂතාවයකි.ඔහු ලියන්නන් වාලේ පද ගළපන්නෙකු නොවේ. සියලු පදවැල් හර බරය. අර්ථාන්විතය. සුභාවිතය.එවැනි දක්ෂතාවයක් පහසුවෙන් කෙනෙකුට පිහිටිය නොහැකිය. භාෂාව පිළිබඳ වන්නා වූ මනා දැනීම හා එය බුහුටිව හසුරුවාලීමේ ඇති හැකියාවද අවශ්‍ය වන්නේය.පාසල් අධ්‍යාපනයෙන් මෙන්ම ගුරුවරයෙකු වශයෙන් ලද සුවිශාල අත්දැකීම් සමුදායද මෙකී කාරණාව වඩවා ගැනීමට ඔහුට හේතු සපයන්නට ඇත. 

‘ මම ශිෂ්‍ය අවදියේ ඉඳලම ලියන්න කියන්න කැමති කෙනෙක් . ඒ කාලේ අපට උගන්වපු බොහෝ ගුරුවරු අපට බොහෝ පොත් පත් කියවන්න පුරුදු කළා. ඒකෙන් අපේ භාෂා දැනුම හුඟාක් වර්ධනය වුණා.මම මුලින්ම ගීතයන් ලිව්වේ 1967 අවුරුද්දේ.

“ හැන්දෑ කොරේ ගෙදර පැත්තේ 
එන්න කියල කියල යැව්ව 
පණිවිඩයට ඒවි කියලා 
එළිපත්තේ බලා ඉන්නේ මං‘

මේ ගීතය සංගීතවත් කළේ අතුල සෝමසිරි. ගායනය කළේ ලාලනී සෝමසිරි. ඔහු සිය අතීත දිවියේ සැමරුම් මතක් කළේය.

එදා සිට මේ දක්වාම ඔහු නිර්මාණ දිවියට සමු දුන්නේ නැත. නවසීලන්තයේ ගෙවුණු වසර විසි පහ තුළදීද, මේ අදද ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේය. ඔහු විසින් රචනා කරන්නට යෙදුණු නවතම ගීතය රචනා වූයේ මේ ඊයේ පෙරේදා ඔහු මෙරටට පැමිණි දිනක මෙරටදීය. එය මීට බොහෝ කලකට පෙර ඔහු විසින් දසුන පුවත්පතට රචනා කරන ලද චිත්‍රකතාවක් ටෙලි නාට්‍යයකට නැඟී එහි තේමා ගීතය වෙනුවෙනි.

‘මම 1984 දී‘ දසුන ‘පත්තරේට ‘ මහේෂිකා ‘ නමින් චිත්‍ර කතාවක් ලිව්වා.ඒ චිත්‍ර කතාව ටෙලි නාට්‍යයට නඟන්න මීට ටික කලකට ඉහතදී ජයත කරුණාසේකර මගෙන් අවසර ඉල්ලුවා. මමත් කැමැත්ත දුන්නා. දැන් ඒකේ රූ ගත කිරීම් ගොඩක් දුරට නිමයි. මම මේ පාර ආවම ජයත මගෙන් ඉල්ලීමක් කළා මේ ටෙලි නාට්‍ය‍යේ තේමා ගීතය ලියන්න කියලා.මේ ටෙලි නාට්‍ය යේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ජයත කරුණාසේකරමයි. මොකද මේ කතාවට පසුබිම් වෙන්නේ රබන් කරකවන කෙනෙකුගේ චරිතයක් . ජයතට එකවර රබන් 14 ක් කැරකැවීමේ හැකියාව තියෙන කෙනෙක්.මේ ටෙලිනාට්‍යයේ තේමා ගීතය මම රචනා කළා.ගීතය ගායනා කරන්නේ දුමාල් වර්ණකුලසූරිය සමඟ මගේ බිරිඳ සන්ධ්‍යා විජේසුන්දර.

එදා මෙදා තුර ඔහු අතින් ලියැවුණු ගී ගොන්න අපමණය. බොහෝ විට වර්තමානයේ මේ ගී රසවිඳීන ශ්‍රාවකයින් එකී ගීතය රචනා කළේ කවුරුන්ද යන්න කියාවත් නොදන්නවාද විය හැකිය.

අප අතරින් වියෝ වූ ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ගේ මුල්ම ගීතය රචනා කර ඇත්තේද ප්‍රියානන්ද විජේසුන්දර විසිනි.ඒ අතීතය රසබර අතීතයකි.

දෑස නිළුපුල් තෙමා -කඳුළු මුතු වැල් සලා 
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ 
හඩනු මල් මාලියේ- හඩනු මල් මාලියේ

‘ මේ ගීතය ලියවුණේ හරිම හදිසියේ දවසක ගුවන්විදුලියේදී. මම ඇත්තටම ගුණදාස කපු ගේ අඳුනගෙන හිටියේ නෑ. ඒ කාලේ මම හොරණ විද්‍යාරත්නයේ උගන්නනවා.උදේ හවා පිළියන්දල ඉඳලා බස්එකේ හොරණට යනකොට අපේ බස් එකේම උස මනුස්සයෙක් යනවා එනවා දැකලා තිබුණා.ඒත් මම කවුද කියලා දන්නේ නෑ . දවසක් මගේ යාළුවෙක් මුණ ගැහිලා කිවිවා ඉන්දියාවේ ඉඳලා යාළුවෙක් ඇවිත් ඉන්නවා ඔහුට සින්දුවක් ලියලා දෙන්න කියලා. මම ඉතින් හා කියලා කිව්වා . දවසක් බස් එකේදී මේ දෙන්නම මුණ ගැහිලා මට කපුගේව අඳුන්නලා දුන්නා.බලනකොට අර බස් එකට නඟින උස මනුස්සයා තමයි කපුගේ. එතකොට ඔහු ඉන්දියාවේ ඉඳලා ආපු අලුතමයි. දවසක් මම ගුවන්විදුලියට මොකක්ද එහෙකට ගියාම බොහොම හදිස්සියකින් කපුගේ මැදිරියක් අස්සේ ඉඳලා ආවා. මාව දැක්ක ගමන් මා ළඟට දුවගෙන ආවා. හොඳ වෙලාවට උඹ ආවේ. මට සින්දුවක් ලියලා දියන් කිව්වා. මම කිව්වා හා ලියලා දෙන්නම් කියලා. එතකොට කපුගේ කියනවා. එහෙම බෑ මේ දැන් ලියලා ඕන කියලා. පස්සේ අපි දෙන්නම ගුවන්විදුලියේ කැන්ටිමට ගිහින් තේ එකක් බීලා මැදිරියට ඇවිත් සර්පිනා එක ළඟ වාඩිවුණා. කපුගේ ඒවන විටත් සනත් නන්දසිරි මහත්මයාගෙන් මෙලඩි එකක් ඉල්ලාගෙන ඇවිත් තිබුණා. කපුගේ සර්පිනා එන ගහමින් මෙලෙඩි එක හම් කරනකොට මම සින්දුව ලිව්වා .ඒ විදියට තමයි ඔහුට ඔහුගේ ප්‍රථම සරල ගීතය මම රචනා කරලා දුන්නේ.ඊට පස්සේ මම ඔහුට ‘ සඳ රෑ සිහිනයේ ඇතුළු ගීත කිහිපයක්ම රචනා කළා. වරින්වර හමුවුණු වෙලාවල ඔහු මගෙන් ඉල්ලගන්න ගීත ඔහුගේ කැසට්වලට ඔහු ගායනා කළා.‘‘

ප්‍රියානන්ද විජේසුන්දර වැඩිපුරම ගීත රචනා කර ඇත්තේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙනුවෙනි. කුඩා සාමණේරයන් වහන්සේ නමක ගේ සිතුවිලි රැගත් මේ ගීතය අදටත් අපේ හිත් තුළ ඇති කරන්නේ අමුතු සංවේදනාවක්.මේ ගීතය ඔහු රචනා කර ඇත්තේ 80 දශකයේ රූපවාහිනියේ පැවති ‘සංඛ පද්ම ‘වැඩසටහනටය.

‘ බෝ මළුවේ මල් සුවඳක පැටලී 
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ 
නුපුරුදු උණුහුමකට සිත ඈඳී ගේ 
දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ 
දං බෝවිටියා කැලේ මැදින් 
එන්න හිතයි ඔබ ළඟට සැනින්‘

එපමණක් නොව මහාචාර්ය තුමන් ගායනා කරන ‘ සිතගාව සිරකාරියයි- නෙත ගාව දඟකාරියයි, දූදරුවන් අප අතහැරයාවී- උන්ගේ දරුවන් රකිනු නියා, මේ රුදුරු වන අරණේ,නිම් නැති ආකාසේ මට තනි රකිනා, සංසාරයේ යාත්‍රා කළෝ, සුදු බිත්ති හැඩ කෙරූ, ඇතළු ගීත රාශියක් ඒ අතර වේ.

‘ ඇත්තටම කිවුවොත් මම මහාචාර්ය තුමන්ට රචනා කළ ‘ දූ දරුවෝ අප අතහැර යාදෝ ‘ ගීතය ගත්තොත් එදා සිට අද දක්වා හැම පවුලකම තිබෙන යථාර්තය ඒක නේද? දැන් අපේ පවුල ගත්තොත් අපේ අම්මගේ ගම පයාගල. නමුත් අපේ අම්මා අපිට උගන්වන්න ඕන නිසා දරුවොත් අරගෙන පිළියන්දලට ආවා අම්මගේ දෙමාපියෝ ගෙන් වෙන්වෙලා. ඊට පස්සේ අපේ පවුලෙන් මුලින්ම වෙන්වුණේ මගේ මල්ලි. ඊට පස්සේ මම ගියා නවසීලන්තයට.දැන් ඒ තත්වය අප වෙත ළඟා වෙමින් පවතිනවා . දැන් අපේ දරුවෝ ලොකුයි ඔවුනුත් කොයි මොහොතක හෝ අපෙන් ඈතට ඇදේවි. ඔවුන්ගේ ජීවිත හොයාගෙන.ඒ පරම සත්‍යය තමයි මේ ගීතයෙන් කියවෙන්නේ.

ප්‍රේමය , ආදරය , විරහව ප්‍රස්තුත කොට ගෙන නිර්මාණය වුණු ඔහු ගේ බොහෝ ප්‍රේම ගීත ශ්‍රාවක හද සන්තානයේ බොහොම ගැඹුරින් සනිටුහන් වුණු ඒවාය. බොහෝවිට ඒ අත්දැකීම් ශ්‍රාවකයා ඔවුන්ගේම කොට ගත් අවස්ථා වැඩිය.

මේ පාළු සීත රාත්‍රියේ 
කියා දෙන්න රහසින් 
ප්‍රේමය නම් කිමැයි කියා

චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ ගීතය අදටත් නොවිඳීන ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් සිටිය නොහැකියි.මනරම් ප්‍රේමය සමඟ ඔහු ස්වභාව සෞන්දර්යයයේ අසිරිය මුසු කරමින් ගොඩනංවන ශෘංගාරය මිනිස් හිත් කොයි තරම් ප්‍රේමයෙන් මුසපත් කරනවාදැයි ගීතය වින්ද කෙනෙකුට අමුතුවෙන් විස්තර කළ යුතු නැත.ඒ විතරක් නොවේ එවන්ම වූ පාරිසරික චමත්කාරයක් සමඟ ප්‍රේමය මුසු කළ තවත් අවස්ථාවක් මේ.

මේ උයන් කොනේ- නිල්දිය රුඳුන විල්තෙරේ 
ඇලේ දොලේ හඩ ඇසුණේ -අපේ ආදරේ 
සීත හිමපෙතේ සීතල දැවටෙනා වෙලේ 
නුවන් නුදුටු රුව ඇඳුණා -හීන් හීතලේ 

‘ මගේ බොහෝ ගීත සඳහා මම පාරිසරික සෞන්දර්යය මුසු කරගෙන තිබෙනවා. මට හිතෙන්නේ ඒ මම ජීවිතේ වින්ද හැටි වෙන්න ඇති. මම නීලා වික්‍රමසිංහට ලියපු ‘ ඉඟි බිඟි කරනා ගීතයට පසුබිම වුණේ මම දැකපු හරිම සරල සිද්ධියක්. ඒ දවස්වල මම හොරණ විද්‍යාරත්නයට උගන්නන්න යන කාලේ මම බයිසිකලයෙන් යනකොට මට ඈත පෙනෙනවා කුරුල්ලො දෙන්නෙක් බිම වැටිලා ඉන්නවා. එක කුරුල්ලෙක් වාහනයක වැදිලා තුවාල වෙලා. අනිත් කුරුල්ලා හොටයෙන් අනෙකාව තල්ලු කරනවා පාරෙන් අයින් කර ගන්න. මම පාර අයිනේ බයිසිකලය නවත්තලා ඉස්කෝලෙ ළමයි දෙන්නෙකුට කිව්වා කුරුල්ලව පාරෙන් අයින් කරන්න කියලා. පස්සෙ මම ගියා හාමුදුරුවෝ මුණ ගැහෙන්න.එතකොට මම මේ සිද්ධිය හාමුදුරුවන්ට කිව්වා. හාමුදුරුවෝ මට කියනවා මහත්තයා දන්නෙනැත්ද මයිනෝ කියන ජාතිය පවුල් වශයෙන් ජීවත් වෙන සත්තු ජාතියක්නෙ. කියලා. ඔවුන් සිය සහකාරිය මැරුණහම තනිකඩව ජීවත්වෙන ජාතියක් කියලා .මේ ගැන ඇසීමෙන් මගේ හිත කම්පා වුණා ඒකට තමයි මම මේ ගීතය රචනා කළේ.

ඉඟිබිඟි කරනා තරු නෙතු වලට හොරා 
සැඟව සිනාසෙමු අපි ලොව හිඳීන තුරා 
ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ අප දෙදෙනා බවයේ 
ඔබට කලින් මා මටද කලින් ඔබ කිසිම දිනකහෝ අපට හො‍රෙන් 
ගිවිසා ගත්තෙමු වෙන්වී යන සේ අප දෙදෙනා බවයේ 
මා මිය යන දින ඔබ මිය යන දින එකම දිනක් ලෙස මතු භවයේ 
මේ වගේම තමයි මම පුන්සිරි සොයිසාට ලිව්ව පහත ගීතය 
බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් 
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්....

ගීතය ගැන මේ ළඟදි දවසක නෙනෙක් කියනවා ඒ ගීතයේ සම්පුර්ණයෙන්ම තියෙන්නෙ අතහැරීම නේද? කියලා ඇත්තටම මම මේ ගීතය ලියනකොට මට එහෙම හැඟීමත් කොහොමටවත් තිබුණේ නෑ.නමුත් අදටත් මිනිස්සු ඒවට විවිධ අර්ථ කතන දෙනවා . ඒ ගැන මට සතුටුයි.‘

ප්‍රියානන්ද ගේ සෑම ගීතයක් තුළම ඇත්තේ මේ ලොවට යහපතක්ම කරන ආදරය . කරුණාව . දයාව කැටිවුණ මානව ගුණාංගයන්මය. හැම ගීතයකින්ම ඔහු අපට යමක් සිතන්නට දෙයක් ඉතිරි කරන්නේය. අසංක ප්‍රියමන්ත පීරිස් නම් ගායකයා මෙරට ගීත ක්ෂේත්‍රයට පැමිණී මුල් යුගයේදීම ඔහුට අපූරු ගීත කිහිපයක්ම ඔහු රචනා කළේය.‘ හිරු හැපී හඩන සයුරේ, සෙනෙහසකට අරුතක් පුරවන්නට,අද මගේ කුටියට ඔබ ඇවිදින්,සුන්දරයි කියා සිතූ වැනි ගීත ඒ අතර විය.එසේම ඔහු ගේ ගීත රචනා කලාව වෙනස්ම මානයකට කැන්දූ ගීතයක් වශයෙන් අප අතරින් වියෝ වූ ගායන ශිල්පී ෆ්‍රෙඩි සිල්වා ගයන පහත ගීතය හැඳීන්විය හැකිය‍

දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා 
කෙලින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා 
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා 
කෙළින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා

ප්‍රියානන්ද මෙරට සිටියදී ගීත රචකයෙකු පමණක් ලෙසින් නොව ප්‍රසංග නිවේදකයෙකු . රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙකු , ලෙසින්ද නමක් දිනා සිටි අයෙකි. සිනමා නිර්මාණකරණයේදීද කැමරා ශිල්පියෙකු සංස්කරණ ශිල්පියෙකු ලෙසින් කටයුතු කළේය. සිනමා නිර්මාණ පහක සහාය අධ්‍යක්ෂවරයා වශයෙන්ද එකල ඔහු කටයුතු කර ඇත.අද මේ මොහොත වන විට ඔහු වෙනත් රටක දිවි ගෙව්වද ඔහු අපට , අපේ රටට අභිමානයක් ගෙන දුන් කලා කරුවෙකි. එබැවින් නිර්මාණකරණයෙන් ඔහු මෙරටට ලබා දුන් ගෞරවනීය බව මෙරට ඉතිහාසය තුළ සදා අමරණිය වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.