ළපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනි...

නුවන් කුමාර කටුගම්පල
නොවැම්බර් 7, 2019

මල් පිබිදෙනවා 
සුවඳ හමනවා 
බඹරුන් එනවා 
මල්පැණි බොනවා

1980 දශකයේ මුල්භාගයේ එක්තරා දවසක ‘ මිහිර‘පත්තරේ පළවුණු මේ කවිය එවකට හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුංචි පිරිමි ළමයෙකු ගේ සිතේ උපන් මනරම් සිතුවිල්ලක්. තම සිතේ උපදින සිතුවිලි පුංචිකාලේ ඉඳන්ම කවි බවට පරිවර්තනය කරපු ඔහු පසුකාලයකදි මේ රටේ කාගේත් කතාබහට ලක්වෙන ගීත රචකයෙකු හෝ කවියෙකු වේ යැයි එදා කාටවත් හිතෙන්න නැතුව ඇති.ජන්මයෙන්ම දායාද වුණු ඔහු ගේ කවි සිත ඔහුටත් නොදැනී ඔහු කවියෙකු කළා. ඒ විතරක් නොවෙයි පසු කලෙක ඔහු ගීත රචකයෙකු බවටත් පත් කළා.

එවකට හෝමාගම ජල්තර මහා විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ සිටි ඔහු නමින් නුවන් කුමාර කටුගම්පල ය.කාලය බොහෝ දුර ඉගිල ගොස්ය. දවසින් දවස වසරින් වසර පමණක් නොව දශකයෙන් දශකයද ගෙවී ගොස් මේ එළඹ ඇත්තේ නුවන් කුමාර කටුගම්පල නම්වු කවියා ගේ , ගීත රචකයාගේ කුළුඳුල් කවි පොත මෙන්ම ගීත රචනා සංග්‍රහයද එළි දකින සුවිශේෂී මොහොතයි.

මේ දිනය එළඹෙන තුරු ඔහුට කිසිදු නොඉවසිල්ලක් තිබුණේ නැත. කවි කෙතරම් ලියා තිබුණත් එය පොතක් වශයෙන් එළි දක්වන්නට හදිස්සියක්ද තිබුණේ නැත. ඔහු ලියූ ගී පද බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන් ගයා තිබුණද ඊටද හදිස්සියක් තිබුණේ නැත. හෙමින් ගමනක යෙදෙමින් ,සතතාභ්‍යාසයෙන් නිර්මාණ කරණයේ යෙදුණු ඔහුට ඒ සඳහා කාලය එළඹ ඇත්තේ දැන්ය.

එළඹෙන 07 වැනිදා සවස 2.30 මහවැලි කේන්ද්‍රයේදී නුවන් ගේ පොත් ද්විත්වයක් එළි දකින ඒ සුබ මොහොත ගැන කියන්නට පසු ගිය දිනක අප හමුවුනෙමු.

‘මගේ ප්‍රථම ගීත සංග්‍රහය සහ කවි එකතුව මේ මස 07 වැනිදා සවස කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දකිනවා. මේ අවස්ථාවේදී ප්‍රවීන කිවිවර රත්න ශ්‍රී විජේසිංහ, මහින්ද කුමාර දළුපොත සහ සහන් රංවල දේශන පැවැත්වීමට නියමිතයි.ඊට අමතරව සේනානායක වේරලියද්ද, සංගීත් විජේසූරිය, සහන් රංවල පදනම, සහ වයිට් ලීෆ් රංග කලා ඇකඩමිය ප්‍රසංගාත්මක අයුරින් මේ සඳහා සහභාගි වෙන්නට නියමිතයි.මම මගේ ගීත පොත නම් කළේ ‘‘ ගායෙන් මං මුදවලා‘‘ නමින්. කවි පොත නම් කළේ ‘ දත වැටිලා ‘ නමින්. මේ පොත් දෙකම මේ විදියට එළි දකින්නේ ඇත්තටම මහින්ද කුමාර දළුපොත සහෝදරයා ඒ වෙනුවෙන් වුණු මහන්සිය නිසාමයි. මගේ ගීත පොතට මා විසින් රචනා කරන ලද ගීත 63 ක් අඩංගුයි. කවි පොතට කවි 53 ක් එකතු කරලා තියෙනවා.‘ 

නුවන් ගේ පළමු කවි ගී එකතුව මෙසේ පෙළ ගැසෙන්නේ ඔහු ක්ෂේත්‍රයට පැමිණ බොහෝ කාලයක් ඉක්ම ගිය පසුවය. සමහර විට ඒ ප්‍රමාද වීම ඔහු ගේ පසුබෑමක් වන්නට ඇත. එසේත් නොමැති නම් කාර්ය බහුලත්වයත් සමඟ පැමිණි අවිවේකී බව නිසාද විය හැක.එහෙත් ඔහු 2010 වසරේදී ‘ බිංදුව ‘ නමින් ළමා පොතක් එළි දැක්වූයේය.

‘ මේ ප්‍රමාද වීමට විවිධ හේතු බලපාන්නට ඇති. මගේ වෘත්තීය ජීවිතයත් එක්ක පැමිණෙන අවිවේකී බවද මේකට එක හේතුවක්.අනිත් පැත්තෙන් මට මගේ දේ ගැන හැමවෙලේම හිතෙන්නේ තව මදි නේද කියලයි. අනෙක් අය මගේ නිර්මාණ ගැන අගය කිරීම් කළත් මට දැනෙන්නේ මම තව මදි කියලයි. ඒ දැනීමත් මේ ප්‍රමාදයට හේතුවක් වෙන්න ඇති.අද අපේ සමාජය පුරාත් එක රැල්ලක් තියෙනවානේ පොතක් විදියට එළි දැක්වූයේ නැත්නම් කවියෙක් නොවෙයි , ගීත රචකයෙක් නොවේ කියන හැඟීමක්. නමුත් මම හැම මොහොතෙම හිතුවේ පොතක් නොකෙරුවට කවියක් හරි ගීතයක් හරි එක නිර්මාණයක් කළා නම් මිනිස්සුන්ට දැනෙන්න ඒක ජනතාව පිළි ගත්තා නම් ඔහු කවියෙක් කියලයි, ඔහු ගීත රචකයෙක් කියලයි.

‘ මගේ කවි ලිවීම ආරම්භ වුනේ මම බොහොම කුඩා ශිෂ්‍යයෙක්ව සිටිය කාලෙදීයි. මගේ කවියක් ඉස් ඉස්සෙල්ලාම පුවත් පතක පළවුනේ මම හතරේ පන්තියේ ඉන්නකොට . ඒ ඔබ ආයතනයෙන්ම පළ කරන ‘ මිහිර‘ ළමා පුවත්පතේ.ඒ පුරුද්ද මට කවදාවත් අත් ඇරුනෙ නෑ. ඒකට මම ජීවත්වුණු පරිසරයත් හේතුවක් වුණා.අපි පුංචිකාලේ අපේ ආච්චිල අපිට කතාන්දර කියලා දෙනවා.පන්සලට ගියාම හයියෙන් ගාථා කියනවා.අනෙක් පැත්තෙන් ගමේ ජීවත්වුණු සුන්දර පරිසරය.පාසැල් අධ්‍යාපනයේදී ලබන ගුරු ඇසුර. මේ හැම දෙයක්ම අපේ භාෂා ඥානය වර්ධනයට හේතුවක් වුණා.

ඊළඟට ශිෂ්‍යත්ව විභාගය නිසා අපට විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. භාෂාව පිළිබඳ, වගේම සමාජ ජීවිතය පිළිබඳ.අනෙක් පැත්තෙන් මගේ අම්මා සහ තාත්තාත් කවියට ගීතයට පෙම් කරපු උදවිය. ඒ කාලේ තාත්තා අතින් ලියපු කවි පොතකුත් මම කියවලා තිබුණා. අපේ අම්මාත් ඒ කාලේ තිබුණු කවි සඟරාවලට කවි ලියපු කෙනෙක්. ඒ ආභාසයත් මගේ ගමනට අත්වැලක් වෙන්න ඇති.‘

කවියෙක් වුණු නුවන් ගේ සිත ගීත රචනා පැත්තට යොමු වෙන්නේ පසුකාලීනවයි. බොහෝවිට ඊට හේතු වෙන්න ඇත්තේ නිතර ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළ ගීත වෙන්න ඕන කියලයි නුවන් හිතන්නේ.

ඇත්තටම ගුවන් විදුලිය මට ගීත ලියන්න පෙලඹවීමක් ඇති කරන්න එක හේතුවක් වුණා. ගීත ශ්‍රවණය කරන බොහෝ අවස්ථාවල මටත් මේවගේ ගීතයක් ලියන්න ඇත්නම් කියන සිතුවිල්ල මගේ හිතට ආවා. ඒක මට ගීත ලියන්න හොඳ උත්තේජනයක් වුණා.

නුවන් ප්‍රසිද්ධ ගායකයෙකුට මුලින්ම ගීතයක් රචනා කරන්නේ සේනානායක වේරලියද්ද කරපු කැසට් පටයකට.ඔහු ගායනා කළ ‘‘ කඳුළු බිංදුව‘ තමයි ඒ ගී පද රචනාව. නමුත් මේවන විටත් නුවන් ගීත රාශියක්ම රචනා කර තිබුණා. සේනානායක වේරලියද්ද විසින්ම ඔහු ගේ දෙවැනි කැසට් පටයට ගායනා කළ නුවන් විසින් රචනා කළ ‘රාජිනි ‘ගීතයද ඔහු මේ වන විට රචනා කර තිබුණා. එහෙත් වේරලියද්ද පළමු වරට තෝරගෙන තිබුණේ ඔහු ගේ කඳුළු බිංදුව ගීතයයි.

නළල වියලවා විගසින්- තිලකයක් තියා අලුතින් 
දොරකඩට ඇවිත් හිටගෙන-හිනාවෙන නමුත් 
තවම කෙහෙරුළින් දිය වෑහෙනවා රාජිනී 
ළපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනි......

1992 යෞවන සම්මාන උලෙළේ හොඳම ගීපද රචනය ලෙසින් ප්‍රථම ස්ථානය දිනා ගත් මේ ගීතය1998 පැවති 10 වැනි විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික තරගාවලියේදීද සම්මානයට පාත්‍ර වූවා.වේරලියද්ද ගේ ‘ කන්ද පිරිමැද‘ ගීත එකතුව සඳහා ඔහු එවර තෝරා ගත්තේ නුවන් ගේ මේ ගීතයයි.

නුවන් ගේ ගීත රචනා කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයන් ලෙසින් මා දකින්නේ ඔහු විසින් සංගීත් විජේසූරිය සඳහා රචනා කරන ලද පහත ගීතයයි.

ලොලේ ලොලේ ලොලේ................. 
ගායෙන් මං මුදවලා - සීලෙන් අගතැන් කළා 
කෝලම් කර මාගේ පාලු මකමකා 
මේ ලස්සන ලොව පුරා-මා එක්කම සැරි සරා 
ජීවත්වෙන කාලෙ තාලෙ හුරු කළා........ අම්මා.... 
ලොලේ ලොලේ.......

‘ මේ ගීතය ආකෘතිමය වශයෙන් වෙනස් ගීතයක් තමයි.මම මේ ගීතය රචනා කළේ තනුවකටයි.දකුණු ඉන්දියානු සංගීත ශිල්පියෙකු වන රවීන් රාමෝජී විසින් නිර්මාණය කරන ලද ඒ තනුව දකුණු ඉන්දියානු දරු නැලවිල්ලක නාද රටාවක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරලා තිබුණේ. මට ඕන වුණේ ඒ ආශ්‍රයෙන් අම්මව නලවන්න තමයි.

නුවන් වෘත්තීය ජීවිතය අරඹන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්. පාසල් අධ්‍යාපනය හමාර කරන නුවන් විශ්ව විද්‍යාලය වෙනුවට තෝර ගන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැකියාවක්. ඔහු අදටත් එහි තාක්ෂණ ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.මේ කාර්ය බහුල රාජකාරී දිවිය නුවන්ගේ සාහිත්‍ය දිවියට සේම නිර්මාණ ජීවිතේට වරින්වර බාධා පමුණුවන්න ඇති. එහෙත් ඔහු ඒ සියල්ල දරා ගනිමින් අදටත් යහපත් ලොවක් නිර්මාණය කිරීම උදෙසා අවැසි වන යහපත් නිර්මාණකරණයේ නියැළෙන්නට උත්සාහ දරයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.