“සුමිහිරි පානේ" ඇත්තම කතාව

නොවැම්බර් 7, 2019

පූර්ව සිනමා (1908-47) ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසය තුළ බයිලා සහ කපිරිඤ්ඤ ගීත හමුවන්නේ ඉතා අතළොස්සකි. ටවර් හෝල් යුගයේ (1908-1935) කාල සීමාවේදී ඕඩියන් සහ පර්ලොෆොන් ලේබල යටතේ නිකුත් වූ තැටි කිහිපයක බයිලා ගීත සහ වාදන නිකුත් වූ අතර, මරදානේ ක්ලෙමන්ට් රුද්‍රිගු මහතාගේ නමින් නිකුත් වූ ගීත තැටි ඒ අතුරින් ප්‍රධාන තැනක් ඉසිලී ය. 1939-1945 වකවානුව තුළ හිස් මාස්ටර්ස් වොයිස් (HMV) සහ කළම්බියා ගීත තැටි සමාගම් සදහා ගායක ගායිකාවන් ලියා පදිංචි වීමෙන් අනතුරුව HMV සමාගමේ රූපසිංහ මාස්ටර් ගේ සංගීත අදියුරුවම යට‍තේ 1939-1944 වකවානුවේ බිහි වූ බයිලා ගීත සහ බයිලා වාදන ලෙස නිකුත් වූ ශබ්ද වාහිනී තැටි කීපයකි. N 9352 අංකය යටතේ සැන්ඩා සහ පිරිස ගායනා කළ “ඇසිලි වදින්නේ” සහ “පාට ජලයෙනි” ගීත යුග්මයත් (1940), N 9319-9321 යටතේ ගීත තැටි තුනකින් ඇස් .ඒ. නෝබට් රුද්‍රිගු සහ පිරිස ගායනා කළ කපිරිඤ්ඤ කොටස් 6 ක්‍ පමණි.

1944 අග භාගයේදී HMV තැටි සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරය බි. එස්. පෙරේරා මහතා වෙත ලැබුණු පසු ඔහු විසින් බයිලා ගීත රාශියක් ග්‍රැමොෆෝන් තැටි ලෙස නිකුත් කරනු ලැබීය. අදටත් අප අතර ජනප්‍රිය “ආයාම්මා කොතන ගියා” වැනි බයිලා ගායනා මුල් වරට නිකුත් කරන ලද්දේ බි.එස් පෙරේරා විසිනි. මෙහි සදහන් “සුමිහිරි පානේ” ගීතය අද අප අතර ප්‍රචලිතව ඇත්තේ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා විසින් පසු කාලීනව ගායනා කරනු ලැබූ ගායනාව ය. නමුත් "සුමිහිරි පානේ” මුල් ගීතයට දශක හතකට ආසන්න ඉතිහාසයක් ඇති බව පැවසුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය.

මෙම ගීතයේ මුල් ගායනාව 1940 දශකයේ බි.ඒ. ඩබ්ලිව් ජයමාන්න මහතාගේ “සැඟවුණු පිළිතුර“ නාට්‍යය (මෙය පසුව 1951 දී චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන ලදී) වෙනුවෙන් එඩි ජයමාන්න මහතා සහ පිරිස විසින් ගායනා කරනු ලැබූ, හියුගෝ ප්‍රනාන්දු මහතා විසින් පද රචනය කළ බයිලා ගීතයයි. 1944 වසරේ “රුක්මණී“ නමින් නිකුත් කළ ගීත පොතක මෙම ගීතයෙහි පදමාලාව සදහන් වේ. කෙසේවෙතත්, ජයමාන්න මහතාගේ වේදිකා නාට්‍යවලට ඇතුළත් වුණු බොහෝ ගීත, පසු කාලීනව එකී නාටක පිටපතම, ඔහුගේ චිත්‍රපට සදහා යොදා ගන්නා අවස්ථාවන්හිදී භාවිත වුයේ නැත. එසේම, එම නාට්‍ය ගීත කිසිවක් ග්‍රැමොෆෝන් තැටිවලට 1940-46 වකවානුව තුළ පටිගත කෙරුණේ ද නැත. එබැවින්, මුල්ගීතයේ තනුව කෙසේ වීද යන්න නිශ්චය ලෙස සදහන් කළ නොහැකි ය. අවාසනාවකට මෙන් එඩී ජයමාන්න සහ පිරිස ගැයූ මුල් ගීතය කාලයත් සමගින් වියැකී ගොස් ඇත. 1944 මුද්‍රිත නාට්‍ය ගීත පොතේ ඇතුළත් එම මුල් නාට්‍ය ගීතයේ පදමාලාව, සේයාරුවක් සමගින් මෙහි ඉදිරිපත් කර ඇත.

නමුත් අද අප මෙහි ඉදිරිපත් කරනු ලබන්නේ ග්‍රැමොෆෝන් තැටියකට නැගුණු “සුමිහිරි පානේ“ මුල් බයිලා ගීතයයි. 1945 වසරේ මීගමුවේ ඩබ්ලිව්. ඩී .මර්සිලිනු ඇල්බට් මහතා විසින් රචනා කරනු ලදුව, බි.එස්. පෙරේරා මහතාණන් විසින් ගීත තනු සැපයු මේ ගීතය අඩංගු HMV තැටියේ (එව් 13) සඳහන් අයුරින් ගීතය ගායනය කරනු ලබන්නේ “HMV තාරකාවන්” විසිනි. බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න මහතාගේ ඇතැම් නාට්‍යවල ගේය පද රචකයෙකු ව සිටි මීගමුවේ ඩබ්ලිව්. ඩී මර්සිලිනු ඇල්බට් මහතා, එවකට අතිශය ජනප්‍රියවූ “සුමිහිරි පානේ“ නාට්‍ය ගීතය ඇතැම් විට සිය ග්‍රැමොෆෝන් ගීත රචනාව සඳහා පාදක කරගත්තේ යැයි සිතිය හැකි ය. නමුත් නාට්‍ය ගීතයේ සහ ග්‍රැමොෆෝන් ගීතයේ පදමාලාවන් එකිනෙක වෙනස් ය.

1945 දී තැටියට නැගුණු මුල් ග්‍රැමොෆෝන් ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

කන්ඩ බොන්ඩ ඕනතරම් තියෙනව සල්ලී 
යන්ඩ යමුකො ජොලි කර කර වත්තල් පල්ලී
පාරුවෙ නැඟලා -කිය කිය බයිලා
සුමිහිරි පානේ - පදමට ගහලා
කැලණි ගඟේ උඩහ වැහැල බොරදිය එන්නා
හැඩ පාරේ ඉන්න බැරුව මාළු පනින්නා
පොඩි පොඩි ඉස්සෝ -ලොකු ලොකු ඉස්සෝ
සුමිහිරි පානේ - පදමට ගහලා
ගත්ත නේද ඩාලිං ඒ විස්කි බෝතලේ
අඩිය නොගහ පැදල යන්න බැරිය සීතලේ
සුමිහිරි පානේ -පදමට ගහලා
සුමිහිරි පානේ -පදමට ගහලා
එගොඩ ගොඩේ බෙලි පඳුරේ බෙලි මල් පිපිලා
දෙන්නද මයි ඩියර්ට ඒ බෙලි මල් කඩලා
යමු හරවාලා -එගොඩට පැදලා
සුමිහිරි පානේ - පදමට ගහලා
සුළං වැදීලා වතුරේ රැල්ල නඟින්නා
අන්න අතන හැඩපාරේ සුළි කැරකෙන්නා
ගන්නඩකො ඩාලිං -මේ විස්කි බෝතලේ
සුමිහිරි පානේ - පදමට ගහලා
ඈත පෙනේ ගඟ පහළින් පාරු පදින්නා
හැඩපාරෙන් එන්න බැරිව කඹෙන් අදින්නා
හුළං ඇදෙන්නා - රුවල් වැනෙන්නා
සුමිහිරි පානේ - පදමට ගහලා
පරිස්සමෙන් පදිමු අතන ගලේ හැපේවී
අපොයි අපොයි ඩියර් අපිව ගඟේ වැටේවී
ගල බේරාලා - යමු යමු පැදලා
සුමිහිරි පානේ -පදමට ගහලා
කඳු උඩහින් බොහොම වැරෙන් එයි පීනාලා
ඔන්න ඩියර් අපිව ගිලියි එනවා කිඹුලා
ඉක්මන් කරලා - යමු යමු පැදලා
සුමිහිරි පානේ - පදමට ගහලා

1945 වසරේ නිකුත් වූ මෙම ගීතය ගායනා කළ “HMV තාරකාවන්” කවුරුන් දැයි ග්‍රැමොෆෝන් ගීත තැටි ලේබලයේ සදහන් ව නොමැත. එවකට මුද්‍රිත ගීත පොත් වල අඩංගු කරුණු සොයා බැලීමෙන් සහ ගායනයන්ට සවන් දීමෙන් තහවුරු වුයේ, ගීතය ගායනා කළේ එවකට ජනප්‍රිය HMV තාරකාවන් යුවලක් වුද, පසුව යුගදිවියට පිවිසුණා වුද, “ස්වර්ණ මන්ත්‍රී“ (විල්ෆ්‍රඩ් පෙරේරා) සහ “චිත්‍රලේඛා” (වී.පි.අනුලාවතී) ගායක යුවළ බවය. 1940 දශකයේ එම් . කේ වින්සන්ට් සමගින් ගැයූ “මාතා කුසයේ,” “ ප්‍රේමි මගේ ප්‍රේම හිමි මාගේ”, “ශ්‍රී සෙත් සාදයි මෝක්ෂපුරේ“, “ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ” ආදී ගීත වී.පී අනුලාවතී ගේ ජනප්‍රිය ගායනාවන් ය. ආනන්ද සමරකෝන් මහතා සමගින් බොහෝ ගීත ගායනා කළ වී. පී. ලීලාවතී මහත්මිය එතුමියගේ සොහොයුරිය යි. 1944 න් පසු සිය සැමියා වූ විල්ෆ්‍රඩ් පෙරේරා (ස්වර්ණ මන්ත්‍රී) සමගින් ගායනා කළ “සාර කෙතේහි ” සහ “කාන්ති දේ චන්ද්‍රා ලෝකේ“ ආදී ගායනා එම දෙපළගේ එවකට ප්‍රසිද්ධියට පත් වූ තවත් සුගායනයන් ය. වී.පී අනුලාවතී (චිත්‍රලේඛා) මහත්මිය එවකට ගුවන්විදුලි ගායිකාවක ලෙස ද, මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියා ය.
මෙම ගීතයේ සංගීතය ගැන වෙසෙසින්ම සදහන් කළ යුතුය. බටහිර වාද්‍ය භාණ්ඩ මුසුකර සිංහල සංගීතය නව මගකට යොමු කළ මුල්කාලීන සංගීතඥයින් අතුරින් බි.එස්.පෙරේරා මහතාට හමුවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෙම ගීතය සාමාන්‍ය බයිලා ගීතයක භාවිත කරන සංගීත භාණ්ඩ භාවිතයට වඩා සුසාදිත නිර්මාණ භාවිතයක් ප්‍රකට කරනු ලබයි. විශේෂයෙන් ක්ලැරිනට් වැනි වාද්‍ය භාණ්ඩයක් ප්‍රමුඛවත්, වයලීනය, ගිටාරය, වැනි බටහිර වාද්‍ය භාණ්ඩයන් ද, මෙම ගීතය සඳහා භාවිත කර ඇත. මෙම ගීතයේ පියානෝව වාදනය කළේ ද, බී .එස්.පෙරේරා මහතා විසිනි. තාල වාද්‍ය භාණ්ඩ භාවිතයක් මෙම ගීතය තුළ දක්නට නොලැබීම ද එක්තරා විශේෂත්වයකි. කාසියකින් බෝතලයකට ගසමින් තාලය සැපයීම ද, තවත් සුවිශේෂි ලක්ෂණ ලෙස පෙන්වාදිය හැකි ය. ගී තනුව ඉතා අවම ස්වර කිහිපයකින් නිර්මාණය කොට ඇති අතර අන්තර් වාද්‍ය ඛණ්ඩ ද, එක් තනුවක් ම පුනර් වැයිමෙන් ද, වැළකී සිටීම මගින් ගීතයේ කර්ණරසායනභාවය තීව්‍ර කිරීමට සමත් වී ඇත.

දශක ගණනාවක් කාලයේ වැලි තලාවෙන් මැකී ගිය, ශ්‍රාවක පරපුරු ගණනාවක් මෙම රසාලිප්ත ගීතයෙන් පිනැවූ සියලුම කලාශිල්පීන්ට අපගේ උපහාරය ම වේවා !!

විශේෂ ස්තුතිය :
ගීත තැටි සංරක්ෂක මධුර ශාමාල් මහතා, ගීතයේ සංගීතමය වටිනාකම පිළිබඳ දැනුවත් කළ ප්‍රවීණ සංගීතඥයන් වන තරුපති මුණසිංහ සහ රෝහණ ධර්මකීර්ති මහත්මාවරු

ඉසුරු උදයංග කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.