සොඳුරු ගුරුදේව සුගත්

නොවැම්බර් 7, 2019

සුගතපාල සූරීන් ස්වකීය මාහැඟි අත්දැකීම් මා සමඟ හුවමාරු කොට ගත්තේය. “ඔබගේ ජීවිතයේ යම්කිසි අභිමතාර්ථයක් සාධනය කරගන්න කවදාවත් හීන දකින්න එපා” දිනක් සුගතපාල සූරීහු මට පැවසූහ. “ඇයි සර් එහෙම කියන්නේ” යැයි මම විමසුවෙමි. “යම් දෙයක් ගැන හීන මැවුවොත් එය හීනයක්ම තමයි හැමදාම. ඒ නිසා හීන නොදැක එය සැබෑ කරගන්න උත්සාහ ගන්න” එතුමා පැවසූ දේහි ගැඹුර මට පසක් විය.  

ලාංකේය නාට්‍ය වංශයේ කෘතහස්ත පුරෝගාමියකු වූ සුගතපාල ද සිල්වා සූරීන් කීර්තිශේෂභාවෝපගත වී පසුගිය ඔක්තෝබර් 28 වැනිදාට 17 වසරක් සපිරිණ. සුගතපාල ද සිල්වා ගුරු දේවයාණන් මට කලා ලොව හමු වූ මුනිවරයකු සදිසිය. අදින් 25 වසරකට ඉහත අතීතය වෙත මම පිය නඟමි. ඒ 1994 වසරය. කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ මම ශිල්ප හදාරමින් සිටියෙමි. උසස් පෙළ විෂය ධාරාව උදෙසා මා තෝරා ගත් එක් විෂයක් වූයේ නාට්‍ය හා රංග කලාවය. එවක කොළඹ ආනන්දයේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වීමට ගුරුවරයෙක් නොසිටියේය. අදාළ විෂය නිර්දේශය අධ්‍යයනය කොට ඒ අනුව පරිශීලනය කළ යුතු පොතපත අප නිවසේ පුස්තකාලයෙන්ම සපයා ගත් මම නාට්‍ය නරඹමින් ද ග්‍රන්ථ වශයෙන් මුද්‍රණය වූ නාට්‍ය පිටපත් හදාරමින් ද ස්වාධ්‍යායෙන් විභාගයට සූදානම් වූයෙමි.

‘පුතාට විෂය ගැටලු තියෙනවා නම් සුගතපාල සර්ගෙන් දැනගන්න පුළුවන්’ යැයි තාත්තා පැවසුවේය. ඉන් නොනැවතී ඔහු සුගතපාල ඇදුරාණන් වෙත මා යොමු කළේය. එතුමා එකල පදිංචි වී සිටියේ අපගේ නිවහනට ආසන්නයේය. එනම් මොරටුව කල්දෙමුල්ල පාරේ මඳ දුරක් ගමන් කළ විට හමු වන ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසකය. ඉන් පෙර නොයෙකුත් උත්සවවලදී සුගතපාල සූරීන් මට හමු වී ඇතත් අතිශයින් සමීප ගුරු - ගෝල ඇසුරක් අප අතර ගොඩනැඟුණේ මෙතැන් සිටය. සුදෝ සුදු උඩු රැවුලකින් හා දිගු කෙස් වැටියකින් යුතු එතුමාගේ ස්වරූපය දුටු කල්හි මට සිහිපත් වූයේ ඉපැරැණි යුගයේ දාර්ශනිකයෙකි; නොඑසේ නම් විද්‍යාඥයෙකි. සුගතපාල සූරිහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන මා පිළිගත්හ. ඒ නිවසෙහි එතුමාගේ කාමරය පුරා ඉහළින් පොත් රාක්ක පෙළක් වටේට පිහිටා තිබුණි. ඒ හැරුණු විට මේ කාමරයේ දක්නට ලැබුණේ සුගතපාලයන් ලේඛන කාර්යයෙහි නියැළෙන මේසය හා පුටුවත් පසෙක වූ නිදන ඇඳත් පමණි. බාහිරින් මෙබඳු සරල, අල්පේච්ඡ ජීවන රටාවක් උරුම කොට ගත් එහෙත් අභ්‍යන්තරිකව ගැඹුරු ජීවන දර්ශනයකින් හෙබි මුනිවරයකු බඳු ප්‍රාඥයකුට මේ උපභෝග පරිභෝග වස්තු පමණක් වුව ප්‍රමාණවත් විය. මා රැගෙන ගිය නාට්‍ය හා රංග කලා විෂය නිර්දේශය අතට ගත් එතුමෝ උපැස් යුවළ පැලැඳ තම බුද්ධිය හඟවන පටු නළල් තලය රැළි ගන්වමින් තීක්ෂණ දෙනෙත්වලින් එය කියවා බැලූහ. ඉන්පසු එය මා හට දුන්හ. සැබැවින්ම සුගතපාල ඇදුරාණන් පා සෙවණේ නාට්‍ය හා රංගකලාව හැදෑරීමට ලැබීම මගේ කෘත පුණ්‍ය මහිමයකි. ඔහු උසස් පෙළට නාට්‍ය හා රංග කලාව උගන්වන ව්‍යාජයෙන් විශ්වවිද්‍යාල උපාධියකට තරම් වන ඥාන සම්භාරයක් නිර්ලෝභීව මා හට දායාද කළේය. එතුමෝ තත් විෂයෙහි නොනැවතී නවකතාව, කෙටිකතාව, කවිය, සංගීතය, සිනමාව යනාදී විෂය විෂයාන්තර ඥාන තුලනයෙන් සනිදර්ශන, සදුපදේශ සැපයූහ. ඒ සියල්ලටමැ වඩා “ජීවිතය” නම් මේ යැයි පසක් කොට දුන්හ. දිවා රෑ නොබලා ඉඩකඩ ලැබෙන සෑම අවස්ථාවකදීම මම එතුමා සේවනය පි‍්‍රය කළෙමි. බොහෝ විට දිනපතා උදෑසන ස්නානය කරන එතුමා ඉක්තිබි තම දිගු කෙස්වැටිය මැනවින් සකස් කරනු දක්නට ලැබේ. තම ප්‍රිය භාර්යාව ශීලාවන් නිවෙසෙහි රැඳී නොසිටියහොත් සුගතපාල සූරීන් අතින් හැදෙන ‘ප්ලේන් ටීය’ බොහෝ අවස්ථාවල මම රස විඳ ඇත්තෙමි. මේ වකවානුවේ ඔහු ග්‍රන්ථකරණයෙහි නියැළීම හැරුණු කොට තරුණ සේවා සභාව හා එක් වී පර්යේෂණ නාට්‍ය සඳහා යොවුන් පරපුරට තම උපදේශකත්වය ලබා දුන් අතර ඉඩ ලැබෙන පරිදි මා ද ඒ පර්යේෂණ කාර්යයන් සඳහා සහාය කොට ගත්තේය. නාට්‍ය හා රංග කලාව අරභයා මගේ දැනුම හා අත්දැකීම් මෙමඟින් පෘථුල විය. සුගතපාල සූරීන් ප්‍රමුඛ කොට ගොඩ නැඟුණු “අපේ කට්ටිය” හි අවසන් හා වයසෙන් ළාබාලම සාමාජිකයා ලෙස මා බඳවා ගත් බව වරෙක එතුමෝ සිනහමුසු මුහුණින් කීහ. එපමණකදු නොව ‘අපේ කට්ටිය’ ලිපි ශීර්ෂයක (Letter Head) එය සටහන් කොට මට දුන්නේ “මෙය ඔබගේ අනාගතයට කෙබඳු හෝ කාලයකදී ඵලදායක වේවි” යැයි පවසමිනි. උසස් පෙළ ඉහළින් සමත්වීමෙන් ඉක්බිතිව ද එතුමාගේ ඇසුර මම අත් නොහළෙමි. පොත්පත්වලට අසීමිතව ඇලුම් කළ සුගතපාල සූරීන් තම පුස්තකාලයේ පොත් කිසිවකුටවත් බැහැරට ගෙන යෑමට ඉඩ තැබුවේ නැත. එහෙත් එතුමෝ තම පුස්තකාලයේ දොරගුළු මට විවර කොට දුන්හ. මම ද ඔහුගෙන් ලබා ගත් පොත්පත් මැනවින් කියවා ඉතාම සුරක්ෂිතව ආපසු භාර කළෙමි. සුගතපාල සූරීන් ස්වකීය මාහැඟි අත්දැකීම් මා සමඟ හුවමාරු කොට ගත්තේය. “ඔබගේ ජීවිතයේ යම්කිසි අභිමතාර්ථයක් සාධනය කරගන්න කවදාවත් හීන දකින්න එපා” දිනක් සුගතපාල සූරීහු මට පැවසූහ. “ඇයි සර් එහෙම කියන්නේ” යැයි මම විමසුවෙමි. “යම් දෙයක් ගැන හීන මැවුවොත් එය හීනයක්ම තමයි හැමදාම. ඒ නිසා හීන නොදැක එය සැබෑ කරගන්න උත්සාහ ගන්න” එතුමා පැවසූ දේහි ගැඹුර මට පසක් විය.

සුගතපාල සූරීන් බොහෝ කලකට පෙර බම්බලපිටියේ එවක පැවැති KVG  පොත්හලේ සේවය කළේය. බහුල ලෙස පොතපත කියවීමටත් පෙර පරපුරේ සහ සමකාලීන විද්වතුන්, කලාකරුවන් ඔහුට හඳුනා ගැනීමටත් ලැබුණු තෝතැන්න වූයේ මේ KVG  පොත්හලය. සුගතපාලයන්ට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් මුල්වරට හඳුනා ගැනීමට ලැබෙන්නේ ද KVG  පොත්හලේදීය. කලක් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් පදිංචිව සිටි නිවසක කාමරයක එවක යොවුන් වියේ පසු වූ සුගතපාලයෝ නවාතැන් ගෙන සිටියහ. ලෙස්ටර් විකුම්සිහයන්ගේ “ගම්පෙරළිය” නවකතාව ඇසුරෙන් සිනමා කෘතියක් නිර්මාණය කිරීමට තීරණය කළ පසුව ඒ සඳහා මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගැනීම අවැසි විය. 1962 දී ලෙස්ටර් කැඳවා ගෙන ගොස් මාර්ටින් වික්‍රමසිංහයන්ට හඳුන්වා දෙන ලද්දේ සුගතපාල විසිනි. මේ අනුව “ගම්පෙරළිය” සිනමාවට නඟනු පිණිස වික්‍රමසිංහයන්ගේ අනුමැතිය ලබා ගැනීමට ඔහු මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. එපමණකුදු නොව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” නාට්‍යය සිනමාවට නැඟීමටත් ආචාර්ය ලෙස්ටර් එකල අපේක්ෂා කළ බව බොහෝදෙනා නොදනිති. මේ උදෙසා අනුමැතිය ලබා ගනු පිණිස ලෙස්ටර් කැඳවාගෙන සරච්චන්ද්‍රයන් හමුවීමට ගියේ ද සුගත්ය. ඒ අරභයා දීර්ඝව සාකච්ඡා සිදු කෙරුණු නමුදු මේ සිනමා ව්‍යාපෘතිය ඵල දැරුවේ නැත. 

“වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර නවාතැන් ගත් කාලේ එතුමාගේ පුස්තකාලයේ පොත්පත් කියවන්න ඇති නේද?” මම වරක් විමසීමි.

සුගතපාලයෝ එකෙණෙහිම සිනාසුණාහ. “වික්‍රමසිංහ මහත්තයා එච්චර කැමැත්තක් දැක්වූවේ නැහැ මං පුස්තකාල කාමරයට යනවාට. අපි වගේම එතුමාත් තමාගේ පොත් පරිස්සම් කර ගත් නිසා වෙන්නැති. ඒත් මම සමහර පොත් කියෙව්වා. “ගම්පෙරළිය” නවකතාවට වැඩියෙන්ම ආභාසය වූ රුසියානු නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් එතැනදි මට හමු වුණා” යැයි සුගතපාලයන් කී කල්හි කුහුලින් මඩනා ලද මම “ඒ ඇන්ටන් චෙකෝෆ්ගේ The Cherry Orchard  නාට්‍යය ද” යැයි ඇසුවෙමි.

“නැහැ. බොහෝ දෙනා හිතන්නේ ගම්පෙරළියට ආභාසය වූයේ චෙකොෆ්ගේ The Cherry Orchard  කියලා. නමුත් ඊටත් වඩා ගම්පෙරළියට ආභාසය වු අප්‍රකට රුසියානු නවකතාවක් මට ඒ පුස්තකාලයෙන් හමු වුණා. අවාසනාවකට අද මට එහි නම මතක නැහැ. පුස්තකාල කාමරය නිතර වසා තැබුණු නිසා මම ඒ පොත උඩින් පල්ලෙන් තමයි කියවූයේ. ගම්පෙරළිය ඒ කිසිවක අනුකරණයක් නෙවෙයි. නමුත් මා කියන්නේ he Cherry Orchard නාට්‍යයට වඩා වික්‍රමසිංහයන්ට ගම්පෙරළිය නවකතාව ලියන්න ආභාසය වූයේ මට එහිදී හමු වූ අප්‍රකට රුසියානු නවකතාව බවයි.”

ඉතිරි කොටස ලබන සතියේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.