ලංකා TV අන්දරය

අඩි ගාණක් වළක් කපලා
නොවැම්බර් 14, 2019

අඩි ගාණක් වළක් කපලා

සිංහලෙන් හඬ කවන ලද කාටුන් චිත්‍රපට ළමා පරපුර අතර තවදුරටත් ජනප්‍රිය වන්නේ දොස්තර හොඳ හිත වැඩ සටහන් මාලාවත් සමඟය. ලොකු බාස්, පොඩි බාස් සහ අහළ පහළ කාටුන් චිත්‍රපට දෙකෙහි මුල් පිටපත් වීඩියෝ කැසට් පට වශයෙන් ලද හේතුවෙන් එය හඬ කැවීම අතිශය දුෂ්කර විය. එහෙත් දොස්තර හොඳ හිත වැඩ සටහන් පෙළ ටයි මහතා අතට පත්ව තිබුණේ මි. මී. 16 චිත්‍රපට වශයෙනි. එය ඔහුට මඳ අස්වැසිල්ලක් වුවද චිත්‍රපට හඬ කැවීම් කටයුතු සඳහා ජාතික රූපවාහිනියේ ඒ වන විට පහසුකම් නොතිබූ බැවින් නිර්මාණ දිවියේ ටයි මහතාගේ පළමු නවාතැන වූ රජයේ චිත්‍රපට අංශයේ මැදිරි අංගනයට ඒ සඳහා යාමට සිදු විය. මුල් පිටපත හොඳින් කියවා බලා එය අපේ කර ගැනීමට සහ සරල ආකාරයෙන් ළමා මනසට එය ප්‍රක්ෂේපනය කිරීම සඳහා දොස්තර හොඳ හිත කතා මාලාවට අයත් සෑම කතාවක් ඔස්සේම ටයි මහතා සාර්ථක විය. එය ඔහු සතු වූ ඉංග්‍රීසි සහ සිංහල ද්වි භාෂා ඥානයේ වපසරිය කදිමට පැහැදිලි කර දෙන එක් අවස්ථාවකි. දොස්තර හොඳ හිත කතා මාලාවට අන්තර්ගත වූ සෑම කතාවකම අදහස වඩාත් තිව්‍ර කිරීම සඳහා එයට ඇතුළත් ගීත කණ්ඩයන් ද මහෝපකාරී විය. ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පෑන් තුඬින් ගිලිහුණු සෑම පද රචනාවකටම පහේ සංගීතය සපයන ලද්දේ සෝමපාල රත්නායකයන් විසිනි. බැහැයි කියල බෑ ගීතයේ පමණක් සංගීතය ප්‍රවීණ සංගීතවේදී සෝමසිරි ඉලේසිංහයන් ගෙනි. ඔහු ඒ වන විට ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ ප්‍රධානියා විය.

අඩි ගාණක් වළක් කපල – අඩි ගාණක් අනුන් හෙළල

අඩියක්වත් ඉහළ යන්න උඹට බෑ පුතේ

කාටුන් චිත්‍රපට කතාවේ අන්තර්ගතය හා ඓන්ද්‍රීයව බැඳී පවතින ගීතය ඇසුරෙන් ළමයින්ට දෙන පණිවිඩය අව්‍යාජ විය. සරල වචන කිහිපයක් එකතු කරගෙන ගැඹුරු දෙයක් කියා පෑ ගේය පද රචකයන් අතරේ ප්‍රමුඛයා තමා බව යළිත් වරක් ස්ඵුට කිරීමට ප්‍රේ්මකීර්ති මෙවැනි ගීත රචනාවන් ඔස්සේ සමත් වෙයි.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.