සරසවිය සම්මානය හැදූ ලෝක පූජිත මූර්ති ශිල්පියා තිස්ස රණසිංහ ජීවිතයෙන් සමුගනී

නොවැම්බර් 7, 2019

“සිංහල ප්‍රතිමාකාරයකුගේ තනිකර පිළිම දැක්මක් වූ පළමුවන වාරය තිස්ස රණසිංහ ගේ පිළිම දැක්ම (1949 මාර්තු මස) විය හැකිය. රණසිංහ ගේ පිළිම බැලු හැම එකකු තුළ දැඩි කුහුලක් ඇති වී යයි යයි මම සිතමි.”

ඒ කුහුලට හේතුව කුමක් දැයි සොයන්නට ටික දෙනෙකු වෙහෙසෙන්නට ඇත. පොදුවේ එවැනි කුහුලක් හට ගැන්විය හැකි පිළිම පළමුවැනි දැක්මට තබන්නට පුළුවන් වීම රණසිංහ උසස් අනාගතයක් ඇති කලාකාරයකු බව හෙළි කරන ලකුණකි.” 

පසුගිය දා එංගලන්තයේ දී වසර 95ක් ආයු වළඳා මියගිය ජාත්‍යන්තර කීර්තියට පත් මූර්ති ශිල්පී තිස්ස රණසිංහයන් ගැන මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා 1959 දෙසැම්බර් 20 සිළුමිණ පත්‍රයට ලියූ ලිපියක එළෙස සඳහන්ව තිබිණ. ප්‍රසිද්ධියට අකමැති තිස්ස රණසිංහ නම් ශ්‍රේෂ්ඨ මුර්ති ශිල්පියා අපට වැදගත් වන්නේ මීට වසර 56කට එපිට මුල් සරසවිය සම්මාන උළෙලේ ‘සරසවිය සම්මානය’ නිර්මාණය කළ කලාකරුවා හැටියටය.

තිස්ස රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පැවැත් වූ අවසාන මූර්ති ප්‍රදර්ශනය දිනය එනම් 2007 සැප්තැම්බර් 23 වෙනිදා ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදීය. ඔහු හමු වී මට ‘ලක්බීම’ ඉරිදා සංග්‍රහයට විශේෂාංගයක් ලිවීමට අවස්ථාව ලැබිණි. එදා හැරල්ඩ් පීරිස් කලාගාරයේ පැවැති ප්‍රදර්ශනයේ දී මට ‘සරසවිය සම්මානය’ නිර්මාණය කිරීමේ අතීත කතාව ඇසීමට හැකිවිය.

“මට මතකයි “සිළුමිණ” කර්තෘ ධර්මපාල වෙත්තසිංහ මහතා එවකට බම්බලපිටියේ ෆ්රෑන්ක්ෆර්ට් පාරේ අංක 29 දරණ මගේ නිවසට ඇවිත් සරසවිය සම්මානය නිර්මාණය කරන්න භාර දුන් අවස්ථාව. එයට බෙහෙවින් බලපාන්නට ඇත්තේ ධර්මපාලගේ බිරිඳ සිබිල් වෙත්තසිංහ මා ගැන කළ හඳුන්වා දීම වෙන්නට ඇති. එදා ධර්මපාල ආවේ ලේක් හවුස් ආයතනයේ බෙදා හැරීමේ කළමනාකාර රෝලන්ඩ් අබේසිංහ සමඟ. ඔහුගේ සහෝදරයා තමයි ප්‍රවීණ චිත්‍රශිල්පී ස්ටැන්ලි අබේසිංහ. ස්ටැන්ලි 1963 ප්‍රථම සරසවිය චිත්‍රපට සම්මාන තේරූ විනිශ්චය මණ්ඩලයෙන් කටයුතු කළා.

සරසවිය සම්මානය කිව්ව ගමන්ම මගේ මතකයට ආවේ සරස්වතී දේවිය මොණරකු පිට වීණාවක් අත ඇතුව ඉන්න ආකාරය. මුල්ම සරසවිය සම්මාන එකක් නිර්මාණය කිරීමට එදා (1963) මට ලැබුණේ රුපියල් 300ක්. ඒ කාලේ ඒක ලොකු මුදලක්. තරුණ, කඩවසම්, රංජීත් විජයවර්ධන මහත්තයා එංගලන්තයේ ඉගෙන ගෙන ලංකාවට ඇවිත් ලේක්හවුස් එකේ සභාපතිවරයා වූ අලුත. ඒ මම මුර්ති ගොඩක් හදල තියෙනවා. ඒ වුණාට සරසවිය සම්මානයට මගේ ලොකු සෙනෙහසක් තිබුණා. මගේ බිරිඳයි, මමයි මේ සඳහා හුඟාක් මහන්සි වුණා. තඹ, ඊයම් උණු කරන්න අපි ලොකු දුකක් වින්දා. ඒ නිසයි මගේ ඒ ගැන තෘප්තිය වැඩි.”

1925 මැයි 09 වෙනිදා සඳලංකාවේ යෝගියානේ උපත ලැබූ තිස්ස රණසිංහ මුලින්ම අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ යෝගියානේ සිංහල පාසලටය. ඉන්පසු මීගමුවේ හරිශ්චන්ද්‍ර, කොළඹ රාජකීය විද්‍යාලයන් හි අධ්‍යාපනය ලැබු ඔහුගේ පියා වුයේ සොලමන් රණසිංහ රාළහාමිය. මව වූයේ නාරංගමුවේ සෝමා රණසිංහය. කුඩා තිස්ස බිත්තිවල චිත්‍ර ඇදිමෙන් චිත්‍රකලාවට තිබූ ඇල්ම තේරුම් ගත්තේ අම්මාය. ඉගෙනීමෙන් පසු 1944 වසරේ තිස්ස පේරාදෙණිය ගොවිකම් අභ්‍යාස විද්‍යාලයේ මහඉලුප්පල්ලමේ ගොවිපොළේ සේවයට ගියේය.

චිත්‍ර කලාවට තිබූ ආසාව නිසා රජයේ ලලිත කලායතනයට පැමිණි ඔහු එහි අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා හමුවිය. තමා විසින් අඳින ලද චිත්‍ර හා ගමේ ගස්වලින් නිර්මාණය කළ රුක් නිර්මාණ කිහිපයක් ඔහු ගෙන ගියේය. කුහක සිතින් සිසුන්ට වින කැටීමට නොව, හදවතින්ම තිස්සට උදව් කිරීමට ජේ.ඩී.ඒ විදුහල්පතිවරයා ඉදිරිපත්විය. එදා තිස්සට ජේ.ඩී.ඒ. පෙනුණේ දෙවියකු ලෙසය. ජේ.ඩී.ඒ නොපමාව තිස්ස කලායතනයට බඳවා ගත්තේය.

මුර්ති අංශයෙන් තිස්සගේ හැකියා දියුණු කරගැනීමට මවු සෙනෙහසින් උපකාර කළේ රතී ධනපාල මැතිතිනියයි. ඇය මහා පත්‍ර කලාවේ දී ඩීබී ධනපාලයන්ගේ බිරියයි.

තිස්ස මුර්ති අංශයෙන් ඉහළටම ගියේය. ඔහුට ලන්ඩනයේ චෙල්සි කලාගාරයට යෑමට සුදුසුම ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ඇතැම් ගුරුවරු කුමන්ත්‍රණය කළහ. එවැනි හැකියාවක් නැති අවර ගණයේ ඇත්තෝ තාවකාලිකව ජය ගත්හ. එහෙත් අධෛර්යවත් වූයේ තිස්ස නොවේ.

සුදුස්සාට සුදුසු තැන කවරදා හෝ ලැබේවියැයි හෙතෙම හිත හදාගත්තේය. ජේ.ඩී.ඒ හා රතී ඔහුට ධෛර්යයම දුන්හ. කෙසේ හෝ මහන්සි වී යුක්තිය ඉටු කරගැනීමට තිස්ස සමත් විය. ඔහු ඛ්ඩඥතඥඵඥච ඵජඩධධත ධට චපබ ආයතනයට ඇතුළත් විය. ඒ අවස්ථා ගුණදාස ලියනගේ විස්තර කර ඇත්තේ මෙසේය.

“ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් (අනිසි ලෙස) ජයගත් ශිෂ්‍යයාත් පරාජිත තිස්සත් 1954 වර්ෂයේ එකම නැවකින් එංගලන්තය බලා පිටත් වූහ. දෙදෙනම එකම දවසේ ලන්ඩනයේ වෙල්සි කලා පීඨයට ඇතුළු වූහ. එකට ඉගෙන ගත්හ. එහෙත් වැඩි දිනක් ගත වන්නට මත්තෙන් නියම දක්ෂයා කවුරුදැයි යන්න මතු වී කැපී පෙනේනනට විය. තිස්සගේ දක්ෂකම් අවබෝධ කරගත් එහි ගුරුවරු ඔහුට වැඩි වැඩියෙන් අනුබල දුන්නෝය.”

“(කවුද මේ, 222යි)

චෙල්සි කලායතනයේ මුර්ති කලාව පිළිබඳ පළමු වැනි ත්‍යාගය. දිනාගත් තිස්සට ඩිප්ලෝමා සහතිකය ද හිමිවිය.

ඔහුට හැකියාවන් දියුණු කිරීමට උපකාරී වූයේ ඒ ආයතනයේ චිලී සුකෝෆ් සහ බර්නාඩ් මෙඩෝස්ය.

ලංකවේ ප්‍රකට පුද්ගලයන් රැසකගේ මූර්ති නිර්මාණ කරනු ලැබ ඇත්තේ තිස්ස අතිනි.

පැරණි පාර්ලිමේන්තුවේ ඉදි කර ඇති ඩී.ඇස්.සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, කර්නල් ඕල්කොට්, මුහන්දිරම් සමරවීර ආදීන්ගේ ප්‍රතිමාද, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, සංගීතඥ එච්.ඩබ්ලිව් රූපසිංහ, ටවර් හෝල් යුගය බැබළ වූ රොම්ලස් ද සිල්වා හා ඇනී බොතේජු, ලේඛක ජිනදාස විජේතුංග, රංගනවේදිනියන් වූ අයිරාංගනී සේරසිංහ, ට්‍රිලිෂියා ගුණවර්ධන උඩුකය පිළිරූ ද කොළඹ රාජකීය විද්‍යාලයේ නවරඟහලේ අපේ නාට්‍ය වංශය නිරූපණය කරන බිතු කැටයම ද තිස්සගේ නිර්මාණය.

“ටවර් යුගය අලෝකවත් කළ රොම්ලස් ද සිල්වා. ඇනී බෙතේජු, රූපසිංහ මාස්ටර්ගේ උඩුකය ප්‍රතිමා මා නිම කළේ ඒ අයට මම මුදල් ගෙවලා. ඒ කාලේ ඒ අය පාරේ යන කොට “සුපර් ස්ටාර්ස්ලා” වගේ මඟ දෙපස හිටිය අය පොර කකා බැලුවා. හැබැයි මම පිළිම නෙළන කාලයේ මේ අය හිිටියේ බැස යන තරු විදියට.

මේ අයගේ උඩුකය ප්‍රතිමා හැදුවට මට සංස්කෘතික දෙපාර්තමේන්තුව එකකට රුපියල් 3000 ගණනේ ගෙවලා කලා භවනේ තැන්පත් කළා. ඒ මුදල මට ලෝභ ගන්නත් මදි.”

මට ලැබුණු මුදල්වලින් රුපියල් 1000ක් රොම්ලස් මාස්ටර්ටයි ඇනී බොතේජුටයි දුන්නා. ඒ කාලයේ රූපසිංහ මාස්ටර් ජිවතුන් අතර හිටියේ නැහැ. දවසක් ඇනී බොතේජු මාව හම්බ වෙන්න ඇවිත් කිව්වා ‘මහත්තයා මට මේ තරම් මුදලක් කවදාවත් ලැබිලා නැහැ. මගේ උගස් තියපු රත්තරන් බඩු මේ මුදලින් බේරාගත්තා.” කියලා. මට ඒක අහලා ලොකු සතුටක් දැනුණා.” තිස්ස කීවේය.

‘ලංකාවෙන් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වියදම් කර තනවන ලද ඩී.ඇස්.සේනානායක ප්‍රතිමාව පාර්ලිමේන්තු මන්දිරය ළඟ සවි කිරීමෙන් පසු එය නියම ඩී.ඇස්.ප්‍රතිමාව නොවන බවට නැඟුණු උද්ඝෝෂණයේ දී ඩී.ඇස්.ගේ ජිවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් අඹා දීමට ඉදිරිපත් වූයේ තිස්ස රණසිංහ බව ගුණදාස ලියනගේ සඳහන් කර තිබිණි.

රජයේ කලායතනයේ තිස්ස විදුහල්පතිව සිටිය දී සිටි දක්ෂ සිසුන් ගැන ද ඔහු එදා කතා කළේය. ලීලා පීරිස් බණ්ඩාරනායක, ප්‍රභාත් විජේසේකර, ඒ.කේ.වී විජේසේකර, පුෂ්පානන්ද වීරසිංහ, මමෝ රංජන් හේරත් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. මගේ හොඳම ගෝලයා පුෂ්පානන්ද වීරසිංහ අකාලයේ මිය යෑම ඔහු සිහි කළේ “සැබෑ දක්ෂයෙකුට ආයුෂ කෙටි වෙනවා.” යයි කියමිනි.

“මා ඉහළින්ම සලකන මූර්තිය තිබෙන්නේ පොලොන්නරුව ගල් විහාරේ. එතැනට ගියාම මටම මා ගැන ලැජ්ජා හිතෙනවා. අපි මොනවද කරලා තියෙන්නේ කියලා. මේ පිළිම හදපු මිනිස්සුනෙ නියම මිනිස්සු! අපේ මිනිස්සු හදන්නේ බොල් ප්‍රතිමා, එංගලන්තේ දැන් ඉන්න මිනිස්සු කියන දෙයක් තමයි ‘පරණ අයගේ හපන්කම් ගැන හිතන කොට අපි පග්මිවරු වගේ කියලා.”

“මූර්තියක් බොහොම වටිනවා. රජ කෙනකුගේ මූර්තියක් රනින් කළ සිංහාසනයකට වඩා වටිනවා. සයිබිරියස් රජු ජීවමාන වුණේ කාසියක තිබුණු ඔහුගේ රූපය නිසා බව කතාවට කියනවා. මූර්ති ශිල්පියෙක් වෙන එක ලෙහෙසි නැහැ. කැප වෙලා මහන්සි වෙලා. අධෛර්යයවත් නොවී වැඩ කළ යුතුයි.

අපේ ගුරවරු කියලා තියෙන්නේ මූර්ති ශිල්පියෙක්ව පිහියක් පිටුපස තියලා තල්ලු කරලා ඉදිරියට ගෙන යා යුතුයි කියලා. ලෝකයේ දක්ෂ චිත්‍ර ශිල්පීන් 1000ක් හිටියොත් දක්ෂ මූර්ති ශිල්පීන් ඉන්නේ 10ක් විතරයි.

මැටි පිඬු අනන මූර්ති ශිල්පියා සැබැවින්ම අන්‍යයන්ට පේ‍්‍රම කළ මිනිසකු විය යුතු බව චෙල්සි කලාගාරයේ විශිෂ්ට ගුරුවරු අදහන දෙයක්” තිස්ස වරක් පවසා ඇත.

ලන්ඩනයේ කවුන්ට් කවුන්සිලයේ කලා කෘති එකතුව තිස්සගේ කෘති මිල දී ගෙන තිබේ. 1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලන්ඩනය සහ ප්‍රංශ ආයතනය මඟින් කරන ලද බෞද්ධ කලා ප්‍රදර්ශනයට තිස්ස රණසිංහ ගේ කෘතියක් ඇතුළත් කරන ලදි.

ඒ ප්‍රදර්ශනයට තෝරාගන්නා ලද්දේ ඔහු විසින් තනන ලද මුචලින්ද නා රජු දරණ මැද වැඩ සිටිනඅයුරු නිරූපිත බුදු රුවයි. ඔහුගේ මූර්ති ගී‍්‍රසියේ ද, ඇමෙරිකාවේ ද කලා එකතු අතර වෙයි. 1954 දී යුනෙස්කෝව මඟින් තිස්ස වෙත ශිෂ්‍යත්වයක් පිරිනමන ලදි. පසුව ලන්ඩනයට ගිය ඔහු රාජකීය කලා විශ්වවිද්‍යාලයේ දී (අධරචත ඛ්ධතතඥඨඥ ධට ඒපබ) අච්චුවේ දමා රූප ඇඹීමේ ශිල්පය හැදෑරුවේය.

එංගලන්තයේ ජිවත් වන ආචාර්ය තිස්ස රණසිංහ අවසන් මොහොත දක්වාම දිනකට පැය 5ක් ලෝහ මුර්ති කලාවට කැප කරයි. තමාට ලොකු ස්ටූඩියෝවක් නැති බව පවසන ඔහු වැඩ කරන්න දන්න මිනිහට පුංචි කාමර කෑල්ලක් සෑහෙන බව පවසයි.

සඳලංකාවේ හිටපු ඇමැතිවරයකු වූ ටී.බී. සුබසිංහ හා වින්සන්ට් සුබසිංහ තිස්සගේ මවගේ සමීප ඥාතිහුය. කටුගම්පොළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලීලානන්ද වීරසිංහ තිස්සගේ මවගේ වැඩිමහල් අයියාගේ පුතාය.

රට රටවලින් සම්මාන ලබා සිටින තිස්ස කලාසූරි සම්මානයෙන් ද පුද ලැබීය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ඔහු වෙත පිරිනමනු ලැබිණි.

“මට මොන සම්මාන ද ! මම නිකම්ම නිකම් තිස්ස රණසිංහ, මම දැන් වයසක මනුස්සයෙක්” ඔහු 2007 වසරේදී මට කීවේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.