ලංකා TV අන්දරය

බෑ කියලා බෑ බෑ බෑ
නොවැම්බර් 21, 2019

ප්‍රේමකීර්ති - ෆෙ‍්‍රඩී සිල්වා සුංයෝගයෙන් නිර්මාණය වී 70 දශකයේ දී ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වූ පාන්කිරිත්තා, හඳමාමා, බොරු කකුල් කාරයෙක්, ගමන බිමන හරි කඩිසර වැනි ගීත තුළින් ශ්‍රාවකයාට ළං කරන ලද කිසියම් ආදර්ශයක් ගැබ්වුණු ගීත, 80 දශකයේදී රූපවාහිනී මාධ්‍යය තුළින් නැවත ප්‍රේක්ෂක ජනතාවට සමීප වන්නේ ප්‍රේමකීර්ති - ටයිටස් තොටවත්ත සුසංයෝගය හේතුවෙන් විශිෂ්ට නිර්මාණ කිහිපයක එසේ ජනතාවට දායාද කරන ලද අතර, ඔවුන් දෙදෙනා අතර බැඳුණු රසවත් කතා ද ක්ෂේත්‍රය තුළ ශේෂ වී ඇත. කාටුන් චිත්‍රපටයට අදාළ ගීතය කිසි විටකදී හෝ ප්‍රේම් අතින් කලට වේලාවට ටයි මහතාගේ සුරතට ලැබුණේ නැත. ඒ ඔහු රාජකාරි කටයුතුවල බොහොමයක නිරතව සිටි බැවිනි. සමහර දිනක මේ අතපසු වීම නිසා ප්‍රේම් ටයි මහතාගෙන් වසංවීමට ද උත්සාසහ ගත්තේය. ටයි මහතාට ගීතයේ අවශ්‍යතාවය දැඩිව දැනී තිබිණි. එහෙත් ප්‍රේම් ගැන ආරංචියක් නොවීය. දිනක් ඔහු රූපවාහිනිය කැන්ටිම තුළ තේ එකක් බොමින් සිටින බව ටයි මහතාට ආරංචි විය. සිතට නැඟුණු කෝපය ආයාසයෙන් පාලනය කර ගනිමින් ටයි මහතා කැන්ටිම දෙසට පිය මැන්නේය. ප්‍රේම්ට ඔහුගෙන් ගැලවීමක් නොවීය.

“අයිසෙ ප්‍රේම් තමුසෙට සින්දුව දෙන්න බැරිනම් මට කියනවා. මං වෙන කෙනෙක් ලව්ව ලියාගන්නම්” ටයි මැඬගත් කෝපයෙන් යුතුව ප්‍රේම්ට කෑගැසීය. 

ටයි මහතාගේ කෝපය නිවීමේ කෙම් ක්‍රම ප්‍රේම් හරිහැටි දැන සිටියේය. ඔහු තේ බීම නවතා වහා නැඟිට ගොස් ටයි මහතාගේ බඩ වටා අත් දෙක යවමින් සිනහමුසු මුහුණෙන් යුතුව ඔහුව බදා ගත්තේය.

“ඔබතුමා ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් නේද ඇයි මේ අපි වගේ සොක්කො ලගින තැන්වලට ඇවිල්ල කෑමොර දෙන්නේ”

ප්‍රේම් නිවැරැදි නිලය අල්ලා සද්දන්තයාව හීලෑ කළේය.

“ටයි මහත්තයා යන්න මං පැය භාගයක් ඉස්සෙල්ලා සිංදුවත් අරන් සෙක්ෂන් එකේ ඇති”

ටයි මහතා ප්‍රේම්ගේ කීම අසා එයට අවනතව කැන්ටිමෙන් පිටව ගියේ ඔහුගේ අත් දෙක ගසා දමමිනි. ටයි මහතා ගිය පසු ප්‍රේම් තම කලිසම් සාක්කුවේ හිර වී තිබූ කඩදාසියක් ගෙන එය මත පෑන තැබුවේය.

බැහැයි කියල බැහැයි කියල බෑ

බෑ කියල බැරිය මලේ - බෑ කියලා බැරිය නඟේ

බෑ කියලා බෑ බෑ බෑ

ගීතය ලියන්න බැරිද කියා ටයි මහතාගේ බැන අඬ ගැසීම අවසන් වූ තැන ප්‍රේම්ගේ ගීතය ආරම්භ වී තිබිණ. ඔහු අතින් හදිසියේ ලියැවුණු සාරවත් ගීත ගොන්න අතරේ දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපටයක් සඳහා ලියන ලද මේ ගීතයට විශේෂ තැනක් හිමි වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.