මගේ හිත ගත්තේ එකම පොතයි

නීතිඥ අශ්විනී කාරියවසම්
නොවැම්බර් 21, 2019

සරසවියට ලියමනක් ලැබිණි. ඒ අශ්විනී කාරියවසම් නම් අපගේ රසිකාවකගෙනි. ඇය අකුරු කියවන්නටත් පෙර සරසවිය පුවත්පත ඇසුරු කරන්නියකි. ඒ ඇගේ මව සතිපතා සරසවිය පුවත්පත නිවෙසේ ටීපෝව මත තැබීමට අමතක නොකරන බැවිනි. හයහතර තේරෙන වයසේ සිට කියවන කලා‌ පුවත්පතේ බුක් මාර්ක් විශේෂාංගයේ තම පරිවර්තන කෘතිය පිළිබඳ යමක් ලියැවෙනු දැකීම ඇගේ ඉමහත් සතුට විය. ඒ නිසාම අලුත් පොතපතට දෙන ඉඩක් ඇගේ අතින් මීට වසර කීපයකට පෙර පරිවර්තනය වූ සත්වැනි සඳේ රෑ කෘතියට වෙන් කිරීමට අපි තීරණය කළෙමු. වික්ටෝරියා හොල්ට් විසින් රචිත 'ඔන් ද නයිට් ඔෆ් ද සෙවන්ත් මූන්' නව කතාවේ පරිවර්තනය වූ සත්වැනි සඳේ රෑ මේ වන විට පස්වැනි මුද්‍රණයට ද යොමු වූ කෘතියකි. අපි ඇගෙන් අසමු ඇය විසින් සම්පාදිත එකම කෘතියට තම නිර්මාණ දිවිය සීමා කළේ කිමද කියා.

ඔබ මේ කෘතිය පරිවර්තනය කරන්න විශේෂ හේතුවක් තිබෙනවාද?

මම පොඩි කාලෙ ඉඳන්ම ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් ගොඩාක් පොත් කියවනවා. මම නොකියවූ පොතක් නැති තරම් ඉස්කෝලෙන් අස්වෙනකොට. අපේ ගෙදරත් තියෙන්නේ පොත් කියවන පරිසරයක්. තාත්තා අපට සීනිබෝල ගේනකල් බලා ඉද්දි අපට ලැබුණේ පොත්. එහෙම වුණත් මේ පොත මම පුස්තකාලෙන් අරන් පොත මොන වගේද කියලා එහෙන් මෙහෙන් පිටු පෙරලලා බලද්දි පුදුම ආසාවක් ඇති වුණේ. හේතුවක් කියන්න අදවත් මම දන්නේ නැහැ. පස්සේ ඒක ගෙදර ගිහින් කියෙව්වාට පස්සේ ඒ කතාවමයි මට දවස පුරා මතක් වෙන්නේ. වෙන කිසිම පොතකට එහෙම වෙලා නැහැ. ඉතින් ඒ ඇති වුණ තදබල ආසාව සමනය කරගන්න තියෙන එකම ක්‍රමය හැටියට මට තේරුණේ පොත පරිවර්තනය කිරීම.

ඔබ කවදා හෝ ග්‍රන්ථකරණයට යොමුවෙන්න හිතාගෙන හිටි කෙනෙක්ද?

නෑ. කවදාවත් මම පොතක් ලියන්න හෝ පරිවර්තනය කරන්න හිතාගෙන හිටියේ නැහැ. පොත කියෙව්වට පස්සේ ඒ සිතිවිල්ල මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. මට බොහෝ දෙනෙක් ඉන් පස්සේ ආරාධනා කළා තව පොතක් ලියන්න කියලා. ඒත් මගේ හිත වශීවන තව පොතක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ඒ භාෂාව පුදුම විදිහට යොදාගෙන තිබුණේ. කතුවරිය කියන්න යන කතාව අකුරුවලින් ඔබ්බට ගොස් මැවිලා පේන ජීවමාන ගතියක් ඒ භාෂා භාවිතයේ තිබුණා. මේ පොත නිසා මම වික්ටොරියා හොල්ට්ගේ තව පොත් හොයාගෙන පරිවර්තනය කරන්න උත්සාහ කළා. ඒත් එකම කතුවරියගේ වුණත් අනෙක් කතාවල මේ කතාවේ තරම් ආකර්ෂණීය බවක් තිබුණේ නැහැ. ඒ නිසා මට හිතෙන්නේ මේ කතා තේමාවෙත් යම් වෙනසක් අනෙක්වාට වඩා තිබෙනවා කියලයි. මෙය පිවිතුරුම, ඉතාම සංයමයෙන් ලියැවුණු ප්‍රේම කතාවක්. මෙහි සංස්කෘතිය වෙනස් වුණත් අපට පොදු කළ හැකි ලක්ෂණයක් ඒ කතාවේ තිබුණා. ඒ වගේම අපට නුහුරු දේවල් මම පාදක සටහන් ලෙස යෙදීම උපක්‍රමයක් ලෙස භාවිත කළා. ඒ නිසා පාඨකයන් බොහෝ රසයක් වින්ද බව මට කියා එවා තිබුණා.

ඔබ වෘත්තියෙන් නීතිඥවරියක්?

ඔව්. මම රාජ්‍ය ආයතනයක නීති කළමනාකාරිණිය ලෙස කටයුතු කරනවා. මම පශ්චාත් උපාධිය කළේ සමුද්‍ර පරිසරය පිළිබඳ. මගේ තාත්තා අ.ග. සි. කාරියවසම්. මිය යන විටත් බෞද්ධ විශ්වකෝෂයේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළේ. ඒ නිසා මගේ පරිවර්තනයට තාත්තගේ භාෂා දැනුමේ ලොකු බලපෑමක් තිබුණා. තාත්තා නිතරම කීවේ කතා කරනවා නම් එක්කේ සිංහලෙන් නැත්නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න භාෂා දෙක සංකලනය කරලා කතා කරන්න එපා කියලා. නිතරම තාත්තා අපව උනන්දු කළා පොඩි හරි සැකයක් වචනයක් ගැන තියෙනවා නම් ඒක ශබ්දකෝෂයෙන් බලන්න කියලා. ඒ පුරුද්ද නිසා මේ පරිවර්තනයෙදීත් පුංචි හරි වචනයක් තිබුණොත් එය උච්ඡාරණය කරන ආකාරය සහ තේරුම නිශ්චිතවම දැනගන්න මම උත්සාහ කළා. පොත පරිවර්තනය කිරීමේ කටයුත්තේ පසුපසින් හිටියේ අම්මා දයා කාරියවසම්. ඇය ගෘහණියක් වුණත් කියවීමේ රුසියෙක්. ඉතින් පොත මුද්‍රණයෙන් එළියට එන්න අම්මාගේ ශක්තිය බොහොම වැදගත් වුණා.

මේ පරිවර්තනයට ඔබට බොහෝ කල් ගත වී තිබෙනවා?

ඇත්තටම අවුරුදු පහක් විතර ගත වුණා. මොකද තාත්තා ඇතුළු හොඳටම ඉංග්‍රීසි දන්න මේ පොත කියවපු අය කීවා මේක ලේසියෙන් පරිවර්තනය කළ හැකි පොතක් නොවේ කියලා. මොකද වික්ටෝරියා හෝලට් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක්. ඇමරිකන් ලේඛකයන් වගේ නොවෙයි බ්‍රිතාන්‍ය ජාතිකයන් හොඳම ඉංග්‍රීසි භාවිත කරන්නේ. මට ඕනෙ වුණේ හැම වගන්තියක් ගාණෙම කතුවරියගේ ඒ තිබුණු ආකර්ෂණීය බව නොබිඳෙන ආකාරයෙන් පරිවර්තනය කරන්න. ඒ නිසා මට නැවත නැවත කියවන්න, සංස්කරණය කරන්න සිදු වුණා. විශේෂයෙන් මේ කෘතිය කරන කාලේ මම නීති නිලධාරිණියක් ලෙස කටයුතු කළ නිසාත් කාලය මදි වුණා. අනෙක මට යමක් කළා කියලා කියනවාට වඩා හරියට යම් දෙයක් කළා කියන්නයි අවශ්‍ය. ඒ නිසා නිරවද්‍යතාව ඉදිරියට එද්දි කාලය ගෙවුණා.

ඔබ බොහෝසෙයින් පොතපත පරිශීලනය කරන්නියක ලෙස මෙන්ම පරිවර්තිකාවක ලෙස යම් පරිවර්තනයක කොටස් ඉවත් කිරීම ගැන මොකද හිත්න්නේ?

මගේ පොතේ නම් එකම අකුරක්වත් අහක දැමීමේ අවශ්‍යතාවක් මතු වුණේ නැහැ. හැබැයි මගේ විශ්වාසයේ හැටියට යම් කතුවරයකුගේ පොතක් පරිවර්තනය කරනකොට ඒ මුල් කතුවරයාගේ වස්තුබීජය කෙරෙහි යම් ගෞරවයක් තියෙන්න ඕනා. ඒ නිසා කොටස් ඉවත් කිරීම යෝග්‍ය නැහැ කියලයි මම හිතන්නේ. මටත් එවැනි පොත් හමුවී තිබෙනවා අපේ සංස්කෘතියට නොගැළපෙන, අපට නොතේරෙන කරුණු තිබෙන ආදී වශයෙන්. ඒ වෙලාවට මම කළේ පරිවර්තනය කිරීමෙන් වැළකී සිටීම. යම් විදිහකින් එහෙම කොටස් ඉවත් කරනවා නම් එය සඳහන් කළ යුතුයි. ඒත් අද තිබෙන තත්ත්වයන් අනුව බැලුවාම අපටත් ඒ විවිධ සංස්කෘතින්, අත්දැකීම් ආදියට යා හැකි මඟක් එයින් වැලකෙනවා කියා හිතෙනවා. අනෙක මුල් කෘතිය කියවන කෙනකුට පරිවර්තනය කියවීමේදී නීරසබවක් ඇතිවන්නත් පුළුවන්. සම්පූර්ණ පණිවිඩය, පූර්ණ භාවමය හැඟීම් ඇති නොවන්නත් පුළුවන්. ඒ නිසා එය මුල් කෘතියට කරන අසාධාරණයක් ලෙසයි මට දැනෙන්නෙ. ඒ නිසා පරිවර්තනයක් කරනවා නම් එය පූජනීය ලෙස කළ යුතුයි කියලයි මම හිතන්නේ.

අපේ රටේ වර්තමාන සාහිත්‍ය පිළිබඳ සමස්තයක් ලෙස ඔබේ දැක්ම?

අපේ යුගයේ වගේ පොත් කියවන උනන්දුවක් වර්තමාන පරම්පරාවට නැහැ කියලා මම හිතනවා. එයට හේතුව නවීන තාක්ෂණයට යොමු වී තිබීම. අපේ කාලේ පොත පතට අමතරව තිබුණේ සිනමාව සහ ගුවන්විදුලිය පමණයි. සිනමා කෘතියක් බැලීම කියන්නේ බොහොම උත්සවාකාරයෙන් කරන කාර්යයක්. ඒ මුළු ගමනම අපට අමුතුම අත්දැකීමක්. අද එහෙම නෙවෙයි අපේ අත ළඟටම චිත්‍රපට ඇවිත්. ජංගම දුරකථනයෙන් බලන්නත් පුළුවන්. ඒ නිසා සියුම් වින්දනය තරමක් අඩුවෙලාද කියලත් හිතෙනවා. ඒත් පොත්මාසෙට පොත් ප්‍රදර්ශනය බලන්නත් පිරිස යනවා. හැබැයි තරගකාරී සමාජ රටාව නිසා විවේකී මනසින් පොත් කියවන්නෙත් නැහැ වගේ. අද පොත් කියවද්දි දැනෙන දේ තමයි සමහරුන් ගුණාත්මක බව හිතද්දී තවත් සමහරු තමන්ගේ පොත් සංඛ්‍යාව වැඩි කරගන්න හදනවාදෝ කියන දෙය.

ඔබ ඉදිරියේදී ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වනවාද?

හොඳම විදිහට යමක් කිරීමයි මගේ අරමුණ. ඉතින් යම් ආකාරයකින් හොඳ වස්තුබීජයක් ලැබිලා එය ඉතා හොඳීන් වියමන් කරගන්න පුළුවන් කියා හිතුණොත් සලකා බලනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.