මේ සීත සුවදෙන රැයේ දැන් මතකද?

නොවැම්බර් 21, 2019

එය තරමක අඳුරුවූ රාත්‍රියකි. දෙමහල් නිවසක උඩුමහල කාමරයේ සිටි සුරූපි සන්ධ්‍යාගෙ ජිවිතයේ අවසන් විනාඩි කීපය වේ. ඒ ඇය තව සුළු මොහොතකින් තම අත ඇති තුවක්කුවෙන් වෙඩි තබා ජීවිතක්ෂයට පත් වන නිසාය. එයට හේතු ලෙස ඇය දක්වන්නේ තම පියා ඇයගේ පෙම්වතා වූ ආනන්දට කැමතිවී සිට දැන් ඩොමී සමඟ විවාහ වන්නට කියා බලකරන හෙයිනි.

ඇය වෙඩිතියා ගන්නට ඔන්න මෙන්න තිබියෙදි, උඩුමහලේ මේ කාමරයට හොරෙක් ඇතුළු විය. මට එක් වරම ජේම්ස් හැඩ්ලිගේ ' චේස්' කථා මාලාව මතක් විය. ඩීමන් ආනන්දගේ මාරක කථාද මතක් විය.

හොරා, හොරකම් කිරීම පසෙක තබා සන්ධ්‍යාව බේරා ගැනීමට උත්සහා කෙරීය. මොනව වුනත් ඔහු යුක්ති ගරුක හොරෙක් විය. හොරා සන්ධ්‍යා අත තිබූ තුවක්කුව උදුරා 'සිය දිවි හානි කර ගැනීමෙ' පල විපාක ගැන 'ෆුල් ලෙක්චරයක් ' දුනි. එම ලෙක්චරයෙන් පසු සන්ධ්‍යාගෙ සිත වෙනස් වී සිය දිවි හානිකර ගැනීම තම සිතෙන් අයින් කර ගති. ඉන් පසු හොරාද හොරකම් කෙරු බවක් පෙනෙන්නට තිබුණේ නැත. පසුව හොරා හොරකම් අත් හැර සන්ධ්‍යා සොයා දුන් පෙට්‍රල් ෂෙඩ් එකක පෙට්‍රල් ගැහීමේ ජොබ් එක කරන්නට විය.

මේ 'නීල් රූපසිංහගෙ' ආගමනය වූ 'දැන් මතකද' චිත්‍රපටයේ තිබූ එක් ජවනිකාවකි. සේනාධීර රූපසිංහ විසින් කථාව හා දෙබස් ලියූ මෙම චිත්‍රපටය තුල එහී එන කපිලගෙ චරිතයට වැඩි බරක් තම කථාවෙන් දීමට උත්සහ කළේ එම චරිතය සේනාධීරම රඟපාන නිසා වන්නට ඇත. එහී ප්‍රධාන චරිතය වූ ආනන්ද ගෙ චරිතයට අඩු රූප සංඛ්‍යාවක් ලැබුණද , එම ආනන්දගේ චරිතය රඟපෑ 'ආනන්ද ජයරත්න' නම් වූ නළුවාගෙ කඩවසම් බව ඒ සියල්ලම යටපත් කොට ආනන්ද යන චරිතය ඉස්මතු විය.

රූපසිංහගේ සිනමා පුණරාගමනය සිදුවූයේ විමෝදාත්මක ට්‍රැක් එක මතය. ඔහු ආනන්ද ජයරත්නව තෝරා ගත්තේ එවකට සිටි කඩවසම් නළුවා ඔහු නිසා වෙන්නට ඇත. එහෙත් ඒ වන විට සිංහල රිදී තීරයේ සිටි කඩවසම් නළු ප්‍රතිරූපනයවූ ආනන්ද ජයරත්න, ටෝනි රණසිංහ හා ගාමිණී ෆොන්සේකා වැන්නන් මැදිවියට එළඹී එන කාලයයි. එලෙසම භද්‍රයෞවන කඩවසම් නළුවන් වූ 'විජය කුමාරණතුංග,' 'ඩග්ලස් රණසිංහ', 'තිස්ස විජේසුරේන්ද්‍ර වැන්නන් ලාංකේය රිදී තීරයට එබී බලන කාලයයි. විජයගෙ 'හන්තානේ කථාව', ඩග්ලස්ගේ 'රෝමියො ජුලියට් කථාවක්", හා තිස්සගෙ 'නිම් වළල්ල' හැදෙන කාලයයි. එහෙත් රූපසිංහ තම ප්‍රධාන නළුවාට තෝරා ගත්තෙ මැදිවියට එළැඹෙමින් සිටි ආනන්ද ජයරත්නවය. ඔහු මැදිවියට එළැඹෙමින් සිටියද ඔහුගේ කඩවසම් බව වියැකී ගොස් තිබුණෙ නැත. රූපසිංහ විශ්වාසය තැබුවේ ඒ මතය.

ඩොමී ට අයත් ඡායාරූප ශාලාවක් තිබුණි. ඔහු එහීදී බොහෝ විට ගැනූනේ සුන්දර තරුණියනගෙ පින්තූරයන්ය. එලෙසම ඔහුට තාවකාලික පෙම්වතියන් කීපදෙනෙක්ම සිටියහ. ඔහු ඔවුනගෙ ඡායාරූප ගන්නා අතර ඔවුන් සමඟ විමෝද චාරිකාද යයි.

 

ආදරේ හිතෙනව දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් එන්න සුදෝ
මං ළඟටම එනවා දැං හොඳයි"

 

පියල් අමුණුගම පරම්පරාවෙන් ආ ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු තරුණ කල දුප්පත් තරුණියකට පෙම් බඳීන්නට විය. ප්‍රේම කරන අතරවාරයෙ ඇයව ඔහු අතින් අනාථ වන්නට විය. අනාථ වූ නිසා එම තරුණිය ,තමාව ඉක්මණින් විවාහ කරගන්න කියා කරදර කෙරු අතර, අමුණුගම ඇයව මග හරින්නට උත්සහ කළද ඇය ඔහුගෙ ඇගේ එල්ලෙන්නට විය. එයට උරණ වූ අමුණගම අතින් ඇය ගේ ගෙල මිරිකා මරණයට පත් වන්නට විය. ඇගේ බෙල්ල මිරිකන අවස්ථාවේදී කොහේදො සිට පැමිණී ඩොමී, එය තම කැමරාවෙන් රූ ගත කළේය. එදින පටන් ඩොමී විසින් අමුණුගමට එම ෆොටො එක පෙන්වමින් අමුණුගමව 'බ්ලැක් මේල්' කරන්නට විය.ඩොමී එය පෙන්වමින් අමුණුගම ගෙන් මුදල් ගරන්නට විය.

'දැන් මතකද? චිත්‍රපටය තුළ ඔය වගෙ කථා කෑලි දහයක්, පහළොවක් ඇත. 'ලව් ස්ටෝරිය' ගියේ ආනන්ද හා සන්ධ්‍යා අතෙර්ය. ඔවුන් පළමුව මුණ ගැහෙන්නේ මහපාරෙදීය. ඒ අමුත්තන් දෙදෙනක් ලෙසටය. එහෙත් අවසානයේදීය තේරුම් යන්නේ ඔවුන් දෙදෙනා ඥාතින් බව. ඒ සිංහල චිත්‍රපටවල හැටිය.

දැන් ඔවුනට ප්‍රේම කිරීමට කිසිදු තහංචියක් නැත. ඔවුන් එකට 'ක්ලබ් යයි. රැඟුම් රඟයි. ගීත ගයයි.

 

'මේ සීත සුවදෙන රැයේ
පිපුණු සුවඳ මලේ
දෙ අත ගනිමින්- දෙපය තබමින්
රඟමු ආදරයෙන්

 

කපිල, ජෙරි, හා මයිකල්, ගමක යාළුවන් තිදෙනෙකි. මොවුන් තිදෙනාටම රැකියාවක් නැත. මොවුන් මුදල් සොයාගත්තේ පික් පොකට් ගැසීමෙනි. කපිලගේ පෙම්වතිය සෝමාය. සෝමා මයිකල්ගේ සහොදරියයි. මේ තිදෙනාගෙ ජීවිත හරියට හිස් ටින් එකක් වගේය.

 

හිස් ටින් එකක් වාගෙ අපෙ
මේ ජිවිතේ මල්ලි
කිසි වාසියක් නැහැ හාමතේ
නැත්නම් අතේ සල්ලි

 

එදා සන්ධ්‍යා තම නිවසේ උඩුමහලේ සිට වෙඩි තියා ගන්න හදන විට ඇයව බේර ගත් හොරා මේ කපිලය. මෙහී කථාව ලියූ සේනාධීර රූපසිංහ කථාව කරකවා හැදුවෙ මෙ ලෙසිනි.

ආනන්ද හා සන්ධ්‍යා අමනාප වන්නේ මේ අතරෙදීය. මට නම් හිතුනේ සෝක සිංදුවක් චිත්‍රපටයට එක් කරන්න උවමනා වූ නිසා එසේ බොරු අමනාපයක් ඇති කෙ⁣රුවා කියාය.

 

" කොහේදෝ, කොහේදෝ මොකෝ මේ දුවන්නෙ

වැරද්දක් වුණා නම් සමා වෙන්න ඔනේ"

 

නීල් රූපසිංහ හා එක්ව ලියු තිරනාටකය තුළ බොහෝ විට දක්නට ලැබුණේ ලෙනින් මොරායස් ගේ 'ස්ටයිල් එකය. චරිත ගනනාවක් එකතු කලද අවසානයෙදී ඒවා එකිනෙකාට සම්බන්ධ කිරීමට ලෙනින් මොරායස් දක්ෂය. ඔහු තිර නාටකය ලියා තිබුනේ ඒ ආකාරයටය. ආනන්ද, සන්ධ්‍යා, ඩොමී, පියල් අමුණුගම, ඇලිස්, ⁣කපිල, මයිකල්, ජෙරි, සෝමා, වැනි චරිත සියල්ලම එක දම්වැලේ පුරුකක මෙන් තබන්නට ලෙනින් මොරායස්ගෙ තිරනාටකය සමත් විය.

චිත්‍රපටයකට ජනප්‍රිය අංග එකතු කරන්නෙ කෙසේද යනු ලෙනින් මොරායස් හරි හැටි දැනගෙන සිටියේය. ඔහු නීල් රූපසිංහට හා ඔහුගේ 'දැන් මතකද' චිත්‍රපටයටද එසේ ගුරුහුරුකම දුනි. 'දැන් මතකද 'නීල් රූපසිංහගේ අධ්‍යක්ෂණයක් වූවාට, එහී තිබූ ආකෘතියෙ හැඩය සම්පූර්ණයෙන්ම ලෙනින් මොරායස් ගේ ශෛලයය. තිරනාටකයෙන් හා කැමරාවෙන් ලෙනින් නීල්ට එකතුවූවාට, 'දැන් මතකද' ලෙනින්ගේම චිත්‍රපටයක් යැයි සිතට ඒම වැලැක්විය නොහැකිය.

සංගීතය, නැටුම්, සටන්, විහිළු යන අංගවලින් සපිරුණු ලෙනින්ගෙ චිත්‍රපට මෙන්ම 'දැන් මතකද'ද එලෙස පිරවීය. ගීතය එතැනට අවශ්‍යද, නැද්ද යන්න සොයා බලනවාට වඩා ගීත තැනින් තැන තිබිය යුතුයි යන මතයේය ලෙනින් සිටියෙ. නීල් ද එය අනුමත කළ බවක් තිබුණි. එම්. එස්.ප්‍රනාන්දුගෙ ගීතය චිත්‍රපටයට බලෙන් එබ්බුවාට, ඒවා ගැළපෙන අන්දමට දැමීමට ලෙනින් දක්ෂය.

 

"මැණිකෙ මම ආයෙ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
ඔච්චර ආදරේ කෙරුවත් මා ගැන අවිශ්වාස වෙනවා
ඉවසලා, ඉවසලා,අන්තිමේදි මට හරි කේන්ති යනවා
ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිට වෙනවා
මින්පසු එන්නෑ කියලා ගියත් මම ආයෙ ගෙදර එනවා"

 

දැන් මතකද චිත්‍රපටයේ සවතන්ත්‍ර ගීත දෙකකුත්, අනුකාරක ගී තුනකුත් තිබුණි. එම්.එස්.ප්‍රනාන්දු ගැයු ඉහත ගීතය සවතන්ත්‍ර ගීතයක් විය. චිත්‍රපටය තිර ගතවීමට ප්‍රථම එම්. එස්. ප්‍රනාන්දු විසින් සංගීත සන්දර්ශනයක මෙම ගීතය ගැයූ හෙයින්, නීල් රූපසිංහ එම්.එස්ට. විරුද්ධව මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක්ද ගොනු කළේය. නඩුවෙදී එම්.එස්.වරද පිළිගත හෙයින් ඔවුන් සමාදානයට පත් විය. එම්.එස්., එය වෙනුවෙන් නීල්ට වන්දියක ගෙව්වාද කියා නම් මට මතක නැත. එහෙත් මෙම සිදුවීම නිසා එම ගීතයත්,චිත්‍රපටයත් ඉමහත් සේ ජනප්‍රිය විය.

 

"අකල් වැස්ස තුරල් වෙලා
සහන් එළිය පහන් වුනාවෙ
රන්වන් කරලින් බරවී
ජීවන කෙත සාර වුණාවෙ"

 

ආනන්ද සහ සන්ධ්‍යාගෙ ආදරය තව තවත් ගීතවත් විය. එහෙත් එයට හෙණයක් පාත් වුණේ ඩොමී නිසාය. සන්ධ්‍යා, පියල් අමුණුගමගෙ එකම දියණිය විය. ඩොමී ඇයව දුටු පසු, ඔහුට ඇයව විවාහ කර ගැන්මට උවමනා විය. ඔහු, පියල් අමුණුගමට, පියල් විසින් ඇලිස්ව බෙල්ල මිරිකා මරණ ඡායාරූපය පෙන්වා ඔහුගේ දියණියව තමාට විවාහ කර දෙන මෙන් ඉල්ලීය. ඩොමී කළේ එම පින්තූරය පෙන්වා පියල්ගෙන් මුදල් ගැනීම වූවද, මෙවර ඔහු පියල් ගෙන් ඉල්ලුවෙ ඔහුගෙ දියණියවය. අර පින්තූරය ඩොමී අත තිබෙන තෙක්, පියල්ට 'නො චොයිස්'ය. අකමැත්තෙන් හෝ පියල් එයට කැමැත්ත දුනි. එදා හොරා පැමිණෙන විට, සන්ධ්‍යා වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගන්නට උත්සහ කළේ ඔය හේතුව නිසාය. පසුව සන්ධ්‍යා මෙම විස්තරය හොරාට කීය. හොරා සන්ධ්‍යාට උපකාර කරන බවක් කීය. මේ හේතුව නිසා සන්ධ්‍යා ,හොරා වූ කපිලගෙ නිවසට යන්නට සිදුවිය. මේ තමාව තරුණ කල අනාථ කෙරු පියල් අමුණුගමගෙ දියණිය බව ඇලිස් දැනගති. කපිල හෙවත් හොරා, ඇලිස්ගෙ පුත්‍රයාය. එපමණක්ද නොවේ, මේ කපිල යනු එදා පියල් අමුණුගමට දාවා ඇලිස්ට උපන් දරුවාය. එවිට කපිල හා සන්ධ්‍යා සහොදර සහොදරියන්ය. ඇලිස් මේ බව දැන ගත්තද, මොවුන් දෙදෙනා අවසානය වන තෙක් අයියලා නංගිලා හඳුනා ගන්නෙ නැත. සිංහල චිත්‍රපටවල හැටි එහෙම තමාය. විශෙෂයෙන් ලෙනින් මොරායස් ගෑවුණු චිත්‍රපට එහෙමය.

අවසානයේදී මේ හුටපට සියල්ලම අසුවේ. ඇලිස් මිය ගොස් නැති බව පියල් අමුණුගම දැනගනී. දැන පියල්ට අර ඩොමී අත තිබෙන ඡායාරූපය ගැන බය වෙන්නට කිසිදු හේතුවක් නැත. බියවෙන්නට ඔහු මිනිමැරුමක් කර නැත.ඇලිස් නිරුප්‍රදිතව පැමිණ දුටු ඩොමීට මල පනී. ඔහු සිය තුවක්කුවෙන් කපිලට වෙඩි තිබ්බද දාරක දරු සෙනෙහස උතුරා ගැලූ ඇලිස් ඒ මැද්දට පනී. වෙඩිල්ල ඇලිස්ට වැදී මිය යයි. කපිලගෙ මාතෘ ප්‍රේමයද පිටාරය ගලයි. දැං එතන හෙන ගුටි කෙළියකි.ඔය සිදුවීම වෙන වෙලාව ආනන්දත්, සන්ධ්‍යාත් අතිනත ගන්නා මංගල්ලයයි. එහෙයින් එතැන ආනන්ද හා සන්ධ්‍යාද සිටියි. ආනන්දද මෙම ගුටිකෙළියට හවුල් වේ. ඒ අතරෙදී පොලීසිය පැමිණ ඇලිස්ට වෙඩි තියා මැරූ සිද්ධියට ඩොමීව අත්අඩංගුවට ගෙන කුදලාගෙන යයි. පියල් අමුණුගම තම පුත්‍රයා වූ කපිලව හඳුනා ගනී.එලෙසම , අම්මලා දෙන්නෙකුගෙ වූවද, එකම තාත්තගෙන් ලැබුණු සොයුරු,සොයුරියන් වූ කපිල හා සන්ධ්‍යා හඳුනා ගනී. ඔවුන් සියල්ලොම කපිලට බංගලාවෙ නවතින්න කීවද, කපිල එම බංගලාවෙන් එළියට බැස මෙතෙක් තමන් සමඟ එකට ජීවත් වූ ගමේ යහළුවන් දෙදෙනා වූ මයිකල් හා ජෙරී සමඟ එකතුවෙ.

නීල් රූපසිංහගෙ ප්‍රථම චිත්‍රපටය වූ 'දැන් මතකද' තුළින් විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් අල්ලා ගැන්මට ඔහුට හැකිවූ අතර, විමෝදාත්මක චිත්‍රපට අධ්‍යක්ෂනය කිරීම ගැන 'බ්‍රැන්ඩඩ්'විය. ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවු හොඳම හා සාර්ථකම විමෝදාත්මක චිත්‍රපටය වූ 'හතර දෙනාම සූරයෝ' නිර්මාණය කිරීමට නීල් රූපසිංහ ප්‍රවේශයක් ලැබූවේ මේ 'දැන් මතකද' චිත්‍රපටය තුළිනි.

ආනන්ද ජයරත්න හා මාලනී ෆොන්සේකා, ආනන්ද හා සන්ධ්‍යා ලෙස රඟපෑ අතර, කපිල හා සෝමා වූයේ සේනාධීර රූපසිංහ හා සුමනා අමරසිංහය. ඇන්තනී.සී පෙරේරා හා බන්ධු මුණසිංහ පිළිවලින් මයිකල් හා ජෙරි විය. ඩොමි ජයවරධන, ඩොමී ගෙ චරිතයට පණදුන් අතර එච්.ඩී.කුලතුංග හා රීටා රත්නායක පියල් අමුණුගම හා ඇලිස් විය. හියුගෝ ප්‍රනාන්දු, හෙලන් කුමාරි, උදුලා දාබරේ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, නෙලී ප්‍රනාන්දු, එම්.එස්.ප්‍රනාන්දු, රෝයි හඳපාන්ගොඩ හා ප්‍රැන්සිස ප්‍රනාන්දු සෙසු චරිත රඟපෑවෝය. සංගීතය පී.එල්. ඒ.සෝමපාල විය. ජෝතිපාල,ඇන්ජලින්, ලතා,මිල්ටන් පෙරෙරා, සුජාතා, හා බෙග්, ගීත ගැයූහ. කථාව, දෙබස් සේනාධීර රූපසිංහගෙනි. තිරනාටකය ,ලෙනින් මොරායස් සමඟ, නීල් රූපසිංහය. සහය අධ්‍යකෂණය ඇන්ටන් ග්‍රෙගරිය. සමුද්‍රා චිත්‍රපට ඉදිරිපත් කිරීමක් වූ වාණිජ්‍ය වශයෙන් අතී සාර්ථක වූ "දැන් මතකද?" නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළේ නීල රූපසිංහය.මෙය 1970 මාර්තු 3 වෙනිදා සිට තිරගතකිරීම ආරම්භ කළේය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.