අපේ තාත්තා මියගියේ ළය පැළිලා

ලංකා සාන්ත
නොවැම්බර් 21, 2019

ලාංකේය සංගීත ඉතිහාසයේ අති ශ්‍රේෂ්ඨ සංගීතඥයෙකු වූ සුනිල් සාන්තයන්ගේ 104 වැනි ජන්ම දිනය මෙම වසරේ අප්‍රේල් මාසයේ 14 වැනිදාට යෙදී තිබුණි.සුනිල් සාන්තයන්ගේ පුත් ලංකා සාන්ත ප්‍රමුඛ සුනිල් සාන්ත සමාජය වසරක් පාසා එය නිමිති කොට ගනිමින් ගුනානුස්මරණයක යෙදෙනුයේ සෑම වසරකම අවසාන භාගයේදීය. ඒ අනුව මෙම වසරේ සුනිලුන්ගේ ජන්ම දින උළෙල පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණ.විදේශයක පදිංචි වී සිටින සුනිල් සාන්තයන්ගේ දෙවැනි පුත් ලංකා සාන්ත ද මෙම උළෙල වෙනුවෙන් ලංකාවට පැමිණ සිටියේය.මෙවර සුනිලුන් වෙනුවෙන් පැවැත්වූ සමරු දෙසුම මෙරට සංගීත ක්ෂේත්‍රෙය් නව ගමනක නිරත වන තරුණ සංගීතවේදියෙකු වූ අජිත් කුමාරසිරි වෙත පැවරී තිබිණ.ඔහු සුනිලුන් වෙනුවෙන් අපූර්ව අර්ථකථනයක් දී තිබිණ.‘‘ පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා‘‘ඔහු සිය දෙසුම තුළින් සුනිල් සාන්තයන්ගේ සංගීතය පුළුල් වපසරියකින් විග්‍රහයක නියුතු වූයේය. මෙය නිමිත්ත කරගෙන සුනිල් සාන්තයන්ගේ අපූරු දිවියේ තවත් බොහෝ තැන් ස්පර්ශ කරන්නට පසුගිය දිනක ලංකාවට පැමිණ සිටි ලංකා සාන්ත හමු වීමට අපට අවස්ථාව හිමි විණ.මෙම ලිපිය ඒ ඇසුරින් සැකසුණකි.

ඔබේ පියා ගේ 104 වැනි ජන්ම දින සැමරුමෙන්ම අපි අපේ කතා බහ ආරම්භ කරමු? 

තාත්තගේ උපන් දිනය යෙදිල තියෙන්නේ අප්‍රේල් මාසේ 14 වැනිදාට නමුත් අපි පුරුද්දක් වශයෙන් මේ සැමරුම් දේශනය කරන්නේ හැම අවුරුද්දෙම අවුරුද්දේ අන්තිමට.අපි මේ දේශනය කරන්න පටන් ගත්තේ අවුරුදු 100 සපිරුණාට පස්සෙ 2015 දී.උත්සවය වෙනුවෙන් දේශන පිටපත අපි මුදුණය කරලා නොමිලයේ ලබා දෙනවා. ඊට අමතරව මේ පාර තාත්තාගේ පළමුවැනි පොත ‘ හෙළ රිදී වළාව ‘ ග්‍රන්ථයත් මුද්‍රණය කර ලබා දුන්නා.අපි මුදල් සෙවීමේ පරමාර්ථයෙන් කිසිම දෙයක් කරන්නේ නෑ.පොතේ ගාන දාල තියෙන්නේ කිසිම ආදායමක් නොලැබෙන විදියට. පොත් සාප්පුවලට ගියත් පොත් සාප්පුවට 40% ක් ගියාම අපේ වියදම විතරක් ලැබෙන විදියට.

මේ පාර සමරු දෙසුම සාම්ප්‍රදායික දේශනයකින් මිදුණු දෙයක්. මේ තෝරා ගැනීම ඔබේද?

බොහෝ දෙනෙක් ප්‍රතිචාර දැක්වූවා මේ දේශනයට.දේශනය වෙනස් කිරීමේ බලය තියෙන්නේ දේශනය කරන කෙනා ගේ අතේ.අපි දේශනය කරන්න කෙනෙක් තෝර ගත්තාම එයාට කියන්න බෑ අරක කියන්න මේක කියන්න කියලා.අපට බලපෑම් කරන්න බෑ.අපි එයාට නිදහස දෙනවා එයා සුනිල් සාන්තයන් දකින විදිය ගැන කියන්න.මේ පාර අපි ඒ වෙනුවෙන් අජිත් කුමාරසිරි තෝරා ගත්තා. අපිත් සමඟ ඉන්නවා වසන්ත කුලතුංග කියලා කෙනෙක්. එයා චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. තිර නාටක රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්. අජිතුයි වසන්තයි දෙන්නා බොහොම ළඟින් ඇසුරු කරනවා.අජිත් මට හමු වුණාට පස්සේ දැන ගන්න ලැබුණා ඔහු මීට අවුරුදු 25 ට කලිනුත් සුනිල් සාන්ත ම‘පියා ගැන උනන්දුවෙන් හිටපු කෙනෙක් බව.ඒ නිසා ගිය අවුරුද්දේ ආවම අපි හමු වුණා.හුඟක් දේවල් කතා බස් කළා.ඊට පස්සේ අපි තීරණය කළා මේ දේශනය අජිත්ට දෙන්න. මීට ප්‍රථම අපේ දේශනයක් කළා ඔස්ට්‍රේලියානු ජාතික ආචාර්ය ටෝනි ඩොනල්සන්. ඔහු පි.එච් .ඩී එක කරන කාලේ ලංකාවේ හිටියේ. ඔහු ගේ නිබන්ධන මාතෘකාව වුණේ ‘ කවිකාර මඩුව‘ ඒ කාලේ එයා මෙහේ ඇවිදින් පර්යේෂණ කරන කොට තමයි ඔහු සුනිල් සාන්තයන් ගැන දැනගෙන තියෙන්නේ.ඒ ආචාර්ය තිස්ස අබේසේකර හරහා.එයා කියන්නේ කවිකාර මඩුවේ සංගීතය එක්තරා අයුරකින් සුනිල් ශාන්තයන්ගේ සංගීතයට සමාන කමක් තියෙනවා කියලයි.ලංකාවේ දේශිය කමට නොදැනුවත්වම සුනිල් සාන්තයන්ගේ සම්බන්ධයක් තිබෙන බව එයින් පෙන්වනවා.සමහර අය කිසිම හේතුවක් නොමැතිව තාත්තාගේ සංගීතයට පල්ලියේ සංගීතය කියලා ලේබල් එකක් ගහලා තිබුණනේ.හැබැයි පල්ලියේ සංගීතය කියලා ඔප්පු කරපු කෙනෙක් නෑ.නිකම් කියනවට කියනවා.ඒ කාලේ අද වගේ මාධ්‍ය ආයතන තිබුණෙත් නෑනේ. කොහේ හරි රේඩියෝ එකකින් හරි පුවත්පතකින් හරි කිවුවොත් කිව්වම තමයි.අනෙක් පැත්තෙන් නමගිය කීප දෙනෙක් ඉන්නවා ගුරුකුලවල.ඒ අය කිවුවොත් කිව්වම තමයි.ඒකට පිටින් කවුරුත් යන්නෙ නෑ.ඒත් දැන් තරුණ පරපුර ඊට වෙනස්. හොයල බලලා රිසර්ච් කරල මිසක් පිලි ගන්නෙ නෑ. අපේ දේශන මාලාව වුණත් දැන් අපි කරන්නේ ඒ විදියට.තාත්තා සංගීතය කරන්නෙත් බොහොම කෙටි කාලයක්නේ. මුලින් අවුරුදු 6 කාලයක් ඊට පස්සේ අවුරුදු එක හමාරක වගේ කාලයක් කොහොම හරි ඔක්කොම අවුරුදු අටකට අඩු කාලයක්.

තාත්තා ජීවතුන් අතර ඉන්න කාලේ ඔබලා සමඟ කොයි වගේ සම්බන්ධ කමක්ද තිබුණේ? 

අපේ තාත්තා අනෙක් අයගෙන් හුඟක් වෙනස් කෙනෙක්.එයා පැය විසි හතරම හිටියේ අපිත් එක්ක. හැම වෙලේම එයා අපිට පේන්න හිටියා. අපේ පවුලේ කොල්ලො තුන් දෙනයි නංගියි නේ හිටියේ. අපි හැම වෙලේම රන්ඩු කරගන්නවා. ගහ ගන්නවා.හුඟක් වෙලාවට ගහපු කෙනා ගිහින් තාත්තා ලඟින් ඉන්නවා. එතකොට අනෙක් අයට දුවගෙන ගිහින් ගහන්න බෑනේ.නමුත් තාත්තා දන්නෙවත් නෑ අපි රණ්ඩු කරගෙන තමයි මේ ඇවිත් වටේ කැරකෙන්නේ කියලා.වෙන පවුල් වලට වඩා තාත්තා අපේ ලඟින් හිටියා. මොකද රැකියාවට ගියේ අම්මා. තාත්තා ගෙදර දොර වැඩ කරගෙන අපිවත් බලා කියා ගෙන ගෙදර හිටියා.අපේ පාඩම් වැඩ පවා බැලුවේ තාත්තා තමා. තාත්තා අපිව සංගීතෙන් අයින් කරලා තිබුණේ. මට මතකයි ඉස්සර පත්තර වලින් අපේ ගෙදරට එනවා තාත්තා හමු වෙන්න. ඒ හැම අවස්ථාවකදීම මාධ්‍යවේදියෝ අහනවා දරුවෝ සංගීතයට යොමු වෙලා නැත්ද කියලා.මට තාමත් මතකයි තාත්තා ගේ වචන ‘‘ ඒ ගොල්ලන්ට සංගීතය තහනම්‘‘ කියලා තමයි හැම තිස්සෙම කිව්වේ.එහෙම කියලා ඒ ගොල්ල ඉගෙන ගන්න ඕන කියලා කියනවා.

මම අහලා තියෙනවා සුනිල් සාන්තයන් ගේ ළමා අවදියේම ඔහුට ඔහුගේ මව් පියන් අහිමි වෙනවා කියලා. ඒ අතීත කතා පසු කලෙක ඔබලා සමඟ කියලා තියෙනවද?

මම දන්න හැටියට තාත්තට මාස තුනේදී තමයි තාත්තගේ තාත්තා සර්පයෙක් කාලා නැතිවෙලා තියෙන්නේ. තාත්තගේ අම්මා තාත්තා ඇතුළු දරුවෝ තුන්දෙනාත් අරගෙන අම්මගේ ගමට එනවා.තාත්තට වඩා අවුරුදු 10 ක් වැඩිමල් අයියෙක් හා අවුරුදු 4ක් වැඩිමල් අක්ක කෙනෙක් ඉඳලා තියෙනවා.තාත්තා තමයි පවුලේ බාලයා.තාත්තගේ අම්මා මහ ගෙදරට ඇවිත් ඉන්නකොට තාත්තට වයස අවුරුදු තුනක් වෙනකොට අම්මත් නැති වෙනවා.ආච්චි ඇතුළු තාත්තගේ ඥාතීන් එක්ක තමයි තාත්තා හැදිල තියෙන්නේ.තාත්තා පාසල් හැරයාමේ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වෙනවා.ඒ කාලේ තාත්තා කියනවා තාත්තගේ ලොකු අම්මා කුස්සියේ උයන්න කුප්පි ලාම්පුව අරන් එහාට මෙහාට යනකොට තාත්තත් එයා පස්සෙන් යනවලු පොත අරන් පාඩම් කරන්න.එක ලාම්පුවලු තිබුනේ.තාත්තා අසාමාන්‍ය විදියට දක්ෂ කෙනෙක්.තාත්තගේ සහෝදරයෝ දෙන්නට ඒක තිබිලා නෑ.මට මතකයි තාත්තා අපේ අයියට කියලා තිබුණා‘‘ මට විද්‍යා විෂයන් කරන්න ලැබුණා නම් හොඳ ඉන්වෙන්ටර් කෙනෙක් වෙනවා කියලා. තාත්තට අළුත් දේවල් කරන්න ලොකු උනන්දුවක් තිබුණා.මට මතක කාලේ , ඒ කියන්නේ හැට ගනන්වල අපට රේඩියෝ එකක් තිබුණේ නෑ.හැමෝම රේඩියෝ ගත්තා. තාත්තා කලේ රේඩියෝ හදන හැටි තැපැල් මාර්ගිකව ඉගෙන ගත්තා.ඉස්සර තිබුණා වෑල් රේඩියෝ කියලා ජාතියක්.රේඩියෝ එකක් පේන්න නෑ. කෑලි ටිකක් විතරයි. නමුත් සද්දේ ඇහෙනවා.එහෙම එකක් තාත්තා හැදුවා. ඊට පස්සේ ආවා ට්‍රාන්සිස්ටර් රේඩියෝ. තාක්ෂණය වෙනස් වෙලා.ඇළුමිනියම් කෑල්ලක් ට්‍රාන්සිස්ටර් කෑලි මූට්ටු කරලා තාත්තා ඒකත් හදනවා.ඊට පස්සේ එයා ට්‍රාන්ස්මීටර් එකකුත් හැදුවා.ගෙදර ඉඳන් කතා කළාම ඒක වෙන ගෙදරක රේඩියෝ එකකින් ඇහෙනවා.තාත්තා එහෙම දේවලුත් කළා.ඒවට අයියා තමයි තාත්ත ගේ ගොඩක් ලඟින් හිටියේ.මම ඉතින් මල්ලිත් ඇදගෙන සෙල්ලම් කරන්න දුවනවා. 

තාත්තා ගෙදරදි අඩුම තරමින් සින්දුවක් වත් මුමුණලා නැත්ද?

නෑ කිසිදවසක නෑ. ගෙදර පැත්ත පලාතක සංගීත භාණ්ඩයක් වත් තිබුනේ නෑ. තාත්තා සාමාන්‍යයන් ගීතනුවක් වුණත් ලියාගෙන ගිහින් ගුවන් විදුලියෙදි තමයි වාදනය කරන්නෙත් .සංගීත දිවියේ හුඟක් තොරතුරු අපට මඟ ඇරෙන්නේ අපි ලැබෙන කොටත් තාත්තා සංගීත දිවියෙන් අයින් වෙලා හිටපු නිසා වෙන්න ඕන.තාත්තා ඉන්දියාවේ ගිහින් එන්නේ 1944 දී.ඉස්සරලාම යන්නේ ශාන්ති නිකේතනයට. එතැන අවුරුද්දක් ඉඳලා එතැනින් භාත්ඛණ්ඩේට යනවා. එතැන අවුරුදු හතරක උපාධිය කරනවා.මම අහල තියෙනවා ශාන්ති නිකේතනයේ ඉන්න කාලෙ එහෙ තියෙන තරග වලට තාත්තා දක්ෂ විදියට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා.තාත්තා ගාල්ලෙ ඉන්න කාලෙ නාට්‍යයත් කරලා තියෙනවා.ඒ වගේම තමයි එයා ඉතාම දක්ෂ ගුරුවරයෙක්.කියලා දෙන එක හැමෝටම කරන්න බෑනේ.තාත්තගේ සංගීත පංතිවල මුල් කාලෙ හිටපු අය අතරින් දෙතුන් දෙනෙක් තාම ඉන්නවා.එක්කෙනෙක් දොස්තර විල්ෆ්‍රඩ් පෙරේරා දැන් වයස අවුරුදු 91 යි. එයා තාත්තගේ ඥාතියෙක්.ඒ ළඟම ඉන්නවා දොස්තර මහින්ද තෙන්නකෝන්.එයට අවුරුදු 87 යි.ඒ අය හතලිස් ගණන්වල තාත්තගේ ගෝලයෝ.ඒ අය කියන විදියට තාත්තගේ සංගීත පංති වලට ලොකු රැල්ලක් ඇති වෙලා තියෙනවා.මේ ‘ ඕලු පිපීලා ‘ සින්දුව එහෙම කියපු කාලේ.ඒ කාලේ ඉහල පැලැන්තියේ බොහෝ උගත් ළමයි තාත්තගෙන් සංගීතය ඉගෙන ගන්න ආවලු.ඒ අය අතර දොස්තර නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය විනී විතාරණ වැන්නෝ ඉඳලා තියෙනවා.අමරදේවයන් පවා තාත්තගේ පානදුරේ සංගීත පංතියේ ඉඳලා තියෙනවා.සමහර දේවල් ඇත්තටම සැඟවුණු කාරණා බවට පත්වෙලා.සමහරු එයාගෙන් සංගීතය ඉගෙන ගත්තා කියලා කියන්න කැමති නෑ.මට මතකයි ඒ. ජේ. රණසිංහ මහත්මයා 1990 ගනන් වලදි එක් සංගීතවේදියෙක් පත්තරයට කරපු සම්මුඛ සාකච්ඡාවක් දැකලා ‘ මේ කතාව රසවත් වෙන්න මේ ටිකත් කිව්වා නම් හොඳයි කියලා ලිපියක් ලියලා තිබුණා.ඒකෙ තිබුණා තාත්තා බලංගොඩ රක්වානේ ඉන්න කාලෙ ඉඳන්ම ඒ.ජේ රණසිංහ පවුල දන්නවා කියලා. ඒ කාලේ තාත්තා ඉඳලා තියෙන්නේ චිත්‍ර සේන සමඟ. දවසක් තාත්තා කීවලු එයාගේ පංතියේ ළමයෙක් හොඳට වයලීන් ගහනවා කියලා. එක දවසක් තාත්තා එයාව එක්කන් ඇවිත් වයලීන් ගස්සවල පෙන්නුවලු. චිත්‍රසේන කිව්වලු කැමතිනම් මෙහේ ඉඳලම සංගීතය ඉගෙන ගන්න කියලා. ඒ.ජේ රණසිංහ ගේ කාරකෙන්ම ගිහින් ඔහු එදාම ආවලු නවතින්න. හැබැයි ඒ ඉතිහාසය අර ලිපියේ තිබුණෙ නැතිලු කියලා ඔහු ලියලා තිබුණා.තාත්තාගේ හිත් රිදුන සිද්ධි ඔක්කොම වෙත්දී අපි නෑ. අපට යමක් තේරෙන කාලේ වෙන්නේ 1960 පමණ වෙනකොටනේ.

ඔබට මතක කාලේ තාත්තා ගෙදර ඉන්නකොට කලේ මොනවාද?

තාත්තා ගුවන් විදුලියෙන් අයින් වෙලා සංගීතයත් අතහැරලා ඉන්න කොට අපේ ඉගෙනීම ගැන උනන්දු වුණා.අපි හොඳට ඉගෙන ගන්නවා බලන්න තමයි එයාට ඕන වුණේ.හැබැයි දැන් වගේ ඒකට මහා බලපෑමක් අපිට කලේ නෑ. අපිට කන්න බොන්න දුන්නා. ඉස්කෝලෙ යැව්වා. අපි පාඩම් වැඩත් එක්කම සෙල්ලම් කළා.මුල් කාලේ අපි තුන්දෙනාම ගියේ ජා ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට. අය්යා දොළහේ මම එකොළහේ .මල්ලි දහයේ හිටියේ.උගන්නන්න ගුරුවරු අඩුයි කියලා අපි ඉස්කෝල මාරු කළා.අයියයි මමයි මීගමුවේ ශාන්ත මේරි විද්‍යාලයට ගියා. මල්ලි මීගමුව මාරිස්ටෙලා ප්‍රයිවට් ඉස්කෝලෙට ගියා.අයියා උසස් පෙළ සමත් වෙලා පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට ගියා.මමයි මල්ලියි ඊළඟ අවුරුද්දේ ඉංජිනේරු පීඨයට ගියා.මල්ලියි මමයි දෙන්නම එකම බැච් එකේ.මට මතකයි ඉස්කෝලෙ යන කාලේ හවසට අපි සෙල්ලම් කරලා මහන්සියෙන් ආවොත් තාත්තා කියනවා නිදා ගන්න කියලා . තාත්තා පාන්දර හතරට ඇහැරෙනවා.අපි හතර දෙනාට පාට හතරකින් ප්ලාස්ටික් කෝප්ප හතරක් තිබුණා. තාත්තා ඔය කෝප්ප හතරට තේ හදලා ඇවිත් අපට කතා කරනවා. අපේ පස්ස පැත්තට තට්ටුවක් දානවා. අපි ඉතින් නැගිටලා තේ එක බීලා පාඩම් කරනවා.කොහොම හරි හය හමාර වෙනකොට මීගමුවේ ඉස්කෝලෙට යන්නත් පිටත් වෙනවා.අපේ අම්මා තාත්තට ගරු කරගෙන හැම වෙලේම කටයුතු කළා.කවදාවත් රස්සාවකට යන්න කියලා බල කලේ නෑ. මුලින් තාත්තා අම්මව රුකියාවෙන් අස් කරගෙන හිටියේ. ඒත් තාත්තට රැකියාව නැතිවෙලා අපට අමාරුකම් එනකොට අම්මා ආයෙත් ගුරු සේවයට යන්න ගත්තා.තාත්තා ඒ කාලෙ ගෙදර වැඩ ඔක්කොම කළා. ඒ අතරතුර ඡායාරූපකරණයේත් යෙදුණා.තාත්තා සල්ලි ඉතුරුකරගෙන ගෙවල් දොරවල් හදන්න හිතුව කෙනෙක් නොවෙයි.අපිට කන්ඩ බොන්ඩ දුන්නා අඳීන්න දුන්නා .ඉගැන්නුවා. තාත්තා අපෙන් බලාපොරොත්තු වුණු දේ අපිත් කළා.

තාත්තා 1952 ඉඳලා ගෙදර ඉන්නේ. රතන ජංකර් පරීක්ෂණයට ඉදිරිපත් නොවුණ නිසානේ.නමුත් ඊට පස්සේ ගුවන් විදුලියෙන් තාත්තට ආයෙත් ආරාධනාවක් ලැබෙනවා රතන ජංකර් කරපු පරීක්ෂණය තාත්තාට කරන්න කියලා. ඒ සැරේ තාත්තා ඒක බාර ගන්නවා.අමරදේව මාස්ටර් සහ රූපසිංහ මාස්ටර් තාත්තා සහයට ගන්නවා. එතකොට අමරදේව ඉන්දියාවේ ඉඳලා ඇවිත්.පැනල් එකේ හෙඩ් තාත්තා.ඒ කාලේ තාත්තා ගුවන්විදුලියට ගියේ තනියම නෙවෙයි. මට එතකොට අවුරුදු දහයයි. අපි තුන්දෙනාගෙන් කවුරු හරි තාත්තා තනිවට අරන් යනවා.සමහර දවසට අපි ඉස්කෝලෙ මග ඇරලත් යනවා.අපි පැත්තකින් ඉඳගෙන ඉන්නවා.මට මතකයි සී.ටී ප්‍රනාන්දු පරීක්ෂණයට ආවා. තාත්තා ලකුනු 92 ක් දාලා ඔහුට සුපර් ග්‍රේඩ් එකක් දුන්නා. ඒත් අනිත් දෙන්නා ඒකට විරුද්ධ වුණා. තාත්තා කොලේ ඉරලා විසි කළා. ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නෑ.

තාත්තා ගුවන් විදුලියට තනිවම ගියේ නැත්තේ ඇයි කියලා ඔබලාට කියලා තිබුනේ නැත්ද?

නෑ කිසිම දෙයක් කියලා තිබුනේ නෑ. අපේ තාත්තා කිසි කෙනෙක් ගැන අපට වෛරයක් ඇතිවෙන දෙයක් කියපු කෙනෙක් නෙවෙයි.පස්සේ කාලෙක තාත්තගේ හිතවත් අයගෙන් දැන ගත්ත සමහර දේවල් තිබුණා. සූර්ය ශංකර් මොල්ලිගොඩ තාත්තගේ හොඳ යාළුවෙක්.එයා අවුරුදු තිස් ගණනකදි විතර නැතිවෙනවා.‘‘ සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ ‘‘ කියලා තාත්තා එයාට සින්දුවක් හදලා කියනවා.ඒ සින්දුවේ එක පදයක් තිබෙනවා‘‘ ආමා මිතුරා ගැලවූ සැටි මා සතුරන් අතරින්නේ‘‘ කියලා.ඒ ගැන අපට කිසි හැඟීමක් ඒ කාලේ තිබුනේ නෑ. අපේ සුනිල් ශාන්ත සමාජයේ ඉන්නවා තිලින කළුගමුව කියලා මහත්තයෙක්. එයා අපට කිව්වා එයා ගේ තාත්තා අපේ තාත්තගෙන් මේ ගැන අහපුවම තාත්තා දුන්න උත්තරේ. ‘‘ කට්ටියක් මට වහ දෙන්න හැදුවා. ඒකෙන් මම බේර ගත්තේ සූර්ය ශංකර් මොල්ලිගොඩ තමයි කියලා.ඉතින් ඔය ඔත්කොම අහනකොට තාත්තට ගුවන් විදුලිය දාල යනඑක ඒ තරම් ප්‍රශ්නයක් වෙලා තිබිලා නෑ.තාත්තා ගුවන් විදුලිය දාල ගියාම තාත්තගේ සංගීත පංතිවලට එන ළමයිනුත් අඩුවෙලා තියෙනවා. මොකද තාත්තගේ ගෝලයින් කියලා දැන ගත්තාමත් ඒ අයටත් කැපිලි තිබිලා තියෙනවා.

1956 තාත්තා රේඛාව චිත්‍රපටයේ ගීතනු නිර්මාණය කරලා ඒවා පුරුදු පුහුණු කලත් තාත්තා ඉන්දියාවට යන්නේ නෑ. තාත්තා වෙනුවට යන්නේ අයිවෝ ඩෙනිස්. ඊට පස්සේ සංදේශය කරත්දිත් තාත්තා ඉන්දියාවට යන්නේ නෑ.ඒකට හේතුව දැන් අපට තේරෙනවා. සේනක බිබිලේට වෙච්ච දේ දන්නවානේ.තාත්තා ඉන්දියාවට ගියා නම් එයාටත් ඒ දේ තමයි සිද්ධ වෙන්නේ.ඉන්දියාවෙදි එහෙම දෙයක් කරන එක හරිම පහසුයි.ඉන්දියාව තාත්තව වෙනම දේශපාලනමය විදියට හඳුනා ගන්නවා.එයා ලංකාව ඉන්දියානු සංගීතයෙන් අයින් කළා.එයාට පවුලක් ඉන්න නිසා ඒ ගැන එයා සැලකිල්මත් වුණා. දැන් අපට තේරෙනවා මේ ගමන් එයා නොගිහින් හිටිය කාරණය ඒකයි කියලා අපි විශ්වාස කරනවා.ගුවන්විදුලියට වුණත් එයා අපිත් එක්ක යන්න බය වුනේ නෑ. ඒ ගියාම අපි ඔක්කොම එකට තමයි කෑවෙ බීවේ.එහෙම දෙයක් කරනවා නම අපි ඔක්කොටම කරන්න ඕන. 

තාත්තා හරි අමුතු කෙනෙක් එයා ඒ කාලෙ රේඛාව , සංදේශය චිත්‍රපට කරලා ගත්තු සල්ලි වලින් බිස්නස් කළා. එක සැරයක් කරවල බිස්නස් කළා. තව සැරයක් රෙදි බිස්නස් කළා.රෙදි බිස්නස් කරපු වෙලාවේ මිනිස්සු දෙන්නෙක් ඇවිත් රෙදි ගෙනිච්චලු විකුණලා ගෙනත් දෙන්නම් කියලා. ගියා ගියාමයි ඊට පස්සේ ආවේ නැතිලු.ඊට පස්සේ දවසක් තාත්තා යාළුවෙක් එක්ක කාරෙකේ යනකොට ජා ඇල ටවුමේදී අර මිනිහ ඉන්නවා දැකලා . තාත්තා කාරෙක නවත්තලා අර මිනිහට කතාකළාලු. ඒ මිනිහ ළඟට ආපුවම සාක්කුවට රුපියල් දහයක් දාල ආවලු.අන්න ඒ වගේ තාත්තා හැම දෙයක්ම සල්ලි වලින් මැන්නෙ නෑ.

අපි කැම්පස් යනකොට තමයි රාජගිරියේ ගෙදරට ආවේ. ඒ කාලේ අවට මිනිස්සු අපේ අම්මට කියනවලු ‘ දැන් නෝනට හරි ජයයි ඉංජිනේරුවොම තුන් දෙනෙක් ඉන්නවා නේද කියලා. අපි කැම්පස් යන ගමනුත් පොඩි පොඩි ජොබ් කලා. ට්‍රේනින් යන ගමන්. එතකොටත් අපට පොඩි ගානක් හම්බ වෙනවා. අපි ඒකත් අම්ම අතට තමයි ගෙනත් දෙන්නේ. මට මතකයි අම්මා ඒවා ණය විදියට පොතක ලියා ගන්නවා.

මල්ලිගේ වියෝවද තාත්තගේ වියෝවටත් හේතු වුණේ?

මම විශ්වාස කරනවා. ඒ වෙනකොට මායි මල්ලියි දෙන්නම විශ්ව විද්‍යාලයෙන් අවුට් වෙලා.තාත්තයි අපියි අතරේ තිබුනේ ලොකු බැඳීමක්. මල්ලි නැතිවුණා කියලා දැන ගත්ත මොහොතෙම මමයි අයියයි කතා වුනේ මේක තාත්තා කොහොම ගනියිද කියන එකයි.මල්ලි නැතිවෙලා තාත්තා සති හයක් වත් හිටියේ නෑ. මුකුත් ලෙඩක් තිබුනෙ නෑ. හිටපු ගමන් හාට් ඇටෑක් එකක් ආවා.දැන්නම් දොස්තරලා මේකට නමක් හොයාගෙන තියෙනවා. බ්‍රෝකන් හාට් සින්ඩ්‍රෝම් කියලා . අර ඉස්සර කාලෙ තිබුණේ හද පැලී මිය ගියා කියලා. අන්න ඒක තමයි ඇත්තටම වුනේ.තාත්තා ජීවිතේ පැමිණි අනිත් හැම කරදරයක්ම, වේදනාවක්ම , හැම සිත් රිදීමක්ම දරා ගත්තා. ඒත් මේක දරා ගන්න බැරිවුනා.තාත්තා නැතිවෙනකොට අපි කැම්පස් අවුටු වුණ අළුත . ඒ පැත්තෙන් දුකක් තියෙනවා තාත්තයි අම්මයි අපිට කරපුවට අපිට හරි හමන් යමක් කරන්න බැරිවුනා කියලා. නමුත් තාත්තගේ නිර්මාණ රැක ගනිමින් ඔහු අදටත් ජීවමාන කරන්න මේ ගෙන යන ප්‍රයත්නය මම බොහොම බැති සිතින් කරන දෙයක්.මගේ අයියයි මමයි දෙන්නම දැන් ඉන්නේ ඇමරිකාවේ. නංගී නැතිවුනා. දැන් රාජගිරියේ ගෙදර වහලා. නමුත් මම අවුරුද්දට පස් වතාවක් විතර ලංකාවට ඇවිත් යන්න එනවා.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.