‘ආවේගශීලී කෝපාවිෂ්ට තාරුණ්‍යයේ’ සෙවණැල්ල

නොවැම්බර් 21, 2019
ගාමිණි ෆොන්සේකා “වැලිකතර” චිත්‍රපටයේ

 

1956 මාර්තු මාසයේ එංගලන්තයේ එක් සුවිශේෂ නාට්‍යයක් වේදිකා ගත කෙරිණි. එනම් ජෝන් ඔස්්බෝන් විසින් නිර්මාණය කරන ලද ““Look Back In Anger” ” නමැති නාට්‍යය වේ. මේ නාට්‍යය ඔස්්සේ දෙවැනි ලෝක යුද සමයේ සිට 1956 තෙක් පැවැති සමාජ තත්ත්වය වෙනස් කළ යුතුය යන දෘෂ්ටිය මුල්වරට කුළුගැන්විණ.

අතීතය වර්ණනා කොට නොසිට අනාගතය දෙස අලුත් ඇසකින් බැලීමේ වැදගත්කම මේ නාට්‍යයෙන් තරුණ පරපුරට අවධාරණය කෙරිණ. ආවේගශීලී කෝපාවිෂ්ට තාරුණ්‍යයේ (YOUNG ANGRY MEN)) ප්‍රතිරූපය මෙමඟින් කුළුගැන්විණ. මේ නාට්‍යයෙන් ඇති වූ වෙනස පිළිබඳව මුලදී කිසිවෙක් අවධානය යොමු නොකළහ. බී.බී.සී. නාට්‍ය අංශයේ සිටිි මාර්ටින් එස්ලින් ( අසම්මත නාට්‍ය කලාව හඳුන්වනු පිණිස ‘Absurd’ යන ඉංග්‍රීසි පදය ද නිර්මාණය කරන ලද්දේ මොහු විසිනි). එරට ’Observer’’ පුවත්පතෙහි ලියූ ලිපියක් මඟින් ‘Look Back in Anger’  නාට්‍යය විචාරයට ලක් කළේය. මෙය ඉංග්‍රීසි නාට්‍ය කලාව උඩු යටිකුරු කළ බව දැක්වූ හේ මෙය නොබැලූ ඉංග්‍රීසිකාරයෙක් සිටියි නම් තමා ඔහුට වෛර කරන බව (I Hate Him) අවධාරණයෙන් කියා සියේය.

 

සුගතපාල ද සිල්වා

‘Look Back in Anger’ නාට්‍යයෙන් ලොව පුරා පැතිරගිය තාරුණ්‍යයේ අභිනව චින්තනය මෙරට ක්ෂේත්‍ර දෙකක කලාකරුවන් දෙපළක විෂයෙහි බලපෑ බැව් මම හඟිමි. ඉන් එක් අයකු වූ ගාමිණි ෆොන්සේකා එවක ආසියාවේ පැවති නාට්‍යාතිශය, භාවාතිශය රූපණ සම්ප්‍රදාය දෙස හැරී බලා සිනමා මාධ්‍යයට උචිිත යථාර්ථවාදී රූපණ සම්ප්‍රදායක් බිහි කිරීමට උත්සුක වූයේය. මෙය වූ කලී එතෙක් පැවති තත්ත්වයට එරෙහිව ගත් අභිනව මාවතක් වේ. ගාමිණි අනුදත් යථාර්ථවාදී රූපණයට තාරුණ්‍යයේ ජවසම්පන්න වීර පෞරුෂය ද එක් කළේය. ‘සන්දේශය’, ‘රන්මුතු දූව ‘, ‘ගැටවරයෝ’, ‘ධීවරයෝ’, ‘චණ්ඩියා’ වැනි චිත්‍රපට ඔස්සේ ඔහුගේ රංගනයෙන් පිළිබිඹු වූයේ ‘Young Angry Men’ සංකල්පයේ සෙවණැල්ලය.

මේ සංකල්පයෙහි ආභාසය ලත් අනෙක් කලාකරුවා සුගතපාල ද සිල්වාය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයෙන් ස්ථාපිත වූ කාව්‍යාත්මක, ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය අවිචාරයෙන් අනුකරණය කළ නාට්‍ය රැල්ලක් බිහි වෙමින් පවතින සමයක මුළුමනින්ම එකී සම්ප්‍රදායෙන් විනිර්මුක්තව තාත්වික, ස්වාභාවික නාට්‍ය ප්‍රවණතාවකට සුගත් ‘බෝඩිංකාරයෝ’ (1962) නාට්‍යයෙන් මුල පිරුවේය. ඔහුගේ ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’, ‘හෙලේ නැග්ග ඩෝං පුතා’ වැනි නාට්‍යවලින් තාරුණ්‍යය කේන්ද්‍ර කොට ගත් අභිනව විකල්ප චින්තනයක් දක්නට ලැබිණ. “Look Back in Ange” නාට්‍යය ප්‍රවීණ නාට්‍යවේදී තිලක් ජයරත්න විසින් පරිවර්තනය කොට නිෂ්පාදනය කරන ලද්දේ “සංඛනාද” නමින් 1966 දීය.

 

රවීන්ද්‍ර රන්දෙණිය “සිරිපාල හා රන්මැණිකා” චිත්‍රපටයේ

 70 දශකයේ මැද භාගයේ ඉන්දියානු සිනමාවේ සුපිරි තරුව අමිතාභ් බච්චන් ස්ථාපිත කළ (නිදර්ශන - ““Zanjeer” ” – 1973, “Deewar” – 1975) අභිනව “ආවේගශීලී කෝපාවිෂ්ට තාරුණ්‍යය” එරට විචාරකයන් හැඳින්වූයේ “Young Angry Man” ප්‍රතිරූපය ලෙසිනි. “Look Back in Anger” අපරදිග නාට්‍යය ඉන්දියාවට සිදු කළ බලපෑම ඉන් හෙළි වේ. එකී ප්‍රතිරූපය ඉන්දියානු සිනමාව තුළ ස්ථාපිත කිරීමට අමිතාභ් හට ඉන් පෙර පූර්වාදර්ශ සැපයූණේ ධර්මේන්ද්‍ර වෙතින් යැයි මම සිතමි. ආවේගශිලී ජවසම්පන්න තාරුණ්‍යය බොලිවුඩ් සිනමාවේ පළමුවෙන්ම ස්ථාපිත කරන ලද්දේ ධර්මේන්ද්‍ර විසිනි. “Phool Aur Paththar” (1966) “Satyakam” (1969) යන චිත්‍රපට මීට නිදර්ශන වේ.

සුගතපාල සූරීන්ගේ මුල් යුගයේ නාට්‍යවල (‘බෝඩිංකරයෝ’, ‘තට්ටු ගෙවල්’) තාරුණ්‍යයේ ප්‍රමුඛ භූමිකාවන්හි “Young Angry Men” සංකල්පයේ හෙවණැල්ල දක්නා ලැබේ. 70 දශකයේ ඉන්දියාවේ අමිතාභ් බච්චන්ට සමකාලීනව මෙරට මෙකී සංකල්පයේ ආභාසය මා දුටු මහා රූපණවේදියා රවීන්ද්‍ර රන්දෙණිය වේ. රවී මැවූ “සිරිපාල සහ රන් මැණිකා” (1977) “චූඩා මාණික්‍යය” (1979), “එක් දවසක් රෑ” (1981) යන චිත්‍රපටවල භූමිකා මීට දෘෂ්ටාන්තයෝ වෙත්.

 

““Look Back in Anger” නාට්‍යයෙන්

 

ලාංකේය සිනමා විචාර කලාවේ පුරෝගමීන් ලෙස 50 දශකයේ ජයවිලාල් විලේගොඩ, කරුණාසේන ජයලත් ඈ විචාරකයන් සම්භාවනීයත්වයට පාත්‍ර වූවත් සාහිත්‍ය විචාරවාදයෙන් ඔබ්බට දිවෙන සිනමා මාධ්‍යයට ආවේණික විචාර ක්‍රමවේදයක් බිහි කිරීමට ඔවුහු සමත් නොවූහ. සිනමා මාධ්‍යයට ආවේණික විචාර කලාවක් බිහි කිරීමට උත්සුක වූ විචාර පරපුර පහළවීම, ආගමනය 60 දශකයේ මුල් භාගයේ දක්නට ලැබිණ. එහිලා තෝතැන්නක් බවට පත් වූ ඥාන උල්පත් පාදා දුන් මූලාශ්‍ර ද්වයක් එකල දිස් විය.

1. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පෞද්ගලික පුස්තකාලය පරිශිලනය කිරීම

2. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන සංස්කරණය කළ ‘විසිතුර’ පුවත්පත වටා ඒකාරාශි වීම.

නව රැල්ලේ තාරුණ්‍යයේ දක්ෂ ලේඛක, විචාරක පරපුරකට ඉන් මඟ විවර විය. සුගතපාල ද සිල්වා ප්‍රමුඛ “අපේ කට්ටිය” හී සාමාජිකයෝ ද යථෝක්ත මූලාශ්‍ර ද්වයම සේවනය කළය. සුගතපාල ද සිල්වා, සිරිල් බි. පෙරේරා, ඔගස්ටස් විනයාගරත්නම්, රැලෙක්ස් රණසිංහ, ධර්මසිරි වික්‍රමරත්න, රෙජී සිරිවර්ධන, රෙජී රණසිංහ, ගාමිණි ෆොන්සේකා, තිස්ස අබේසේකර, ටෝනි රණසිංහ, නීල් අයි. පෙරේරා, වික්‍රම බෝගොඩ, ප්‍රේමරංජිත් තිලකරත්න, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, සුනන්ද මහේන්ද්‍ර ප්‍රමුඛ ධී ශක්තියෙන් හෙබි තරුණයෝ කලාව අරභයා තර්ක, විතර්ක, විසංවාද නඟමින් අන්‍යෝන්‍ය ප්‍රතිපෝෂණය ලැබුහ.

ජෝන් ඔස්බෝන් 

සුගතපාල ද සිල්වා සූරීන් ලේඛකයකු, විචාරකයකු වශයෙන් “විසිතුර” පුවත්පතට දායක වූයේය. ඔහුට ගාමිණි ෆොන්සේකා සූරීන් මුල්වරට හඳුනාගැනීමට ලැබුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මඟින්ය. සුගතපාලයන්ගේ “බෝඩිංකාරයෝ” නාට්‍යයෙහි විවිධ කටයුතු සඳහා ගාමිණි උපකාර කළේය. සුගතපාල ද සිල්වා, තිස්ස අබේසේකර, ටෝනි රණසිංහ, සිරිල් බී. පෙරේරා ඇතුළු පිරිස ඉමහත් අපේක්ෂා දල්වා ගෙන බලා සිටියේ ආචාර්ය ලෙස්ටර්ගේ “ගම්පෙරළිය” චිත්‍රපටය තිරගත වන තෙක්ය. ලාංකේය කලාත්මක සිනමාවේ ප්‍රබල සන්ධිස්ථානයක් සනිටුහන් කරන සිනමා කෘතිය මතු නොව මෙරට රංගන අනාගතය බවට පත්වන අග්‍රගණ්‍ය රූපණවේදී ගාමිණි ෆොන්සේකාගේ ඉස්මතු වීම ගැනත් මේ මිතුරු කැල තැබූ විශ්වාසය “ගම්පෙරළිය “ තිරගත වීමෙන් පසුව සියල්ලන් ඉදිරියේ තහවුරු වනබව ඔවුහු දැන සිටියහ.

අමිතාභ් බච්චන් “Deewar” චිත්‍රපටයේ

අනෙක් අතට සුගත්ගේ “අපේ කට්ටිය” නාට්‍ය කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් තිදෙනා වූ ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ හා ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර “ගම්පෙරළිය” (1963) චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වීමට මඟ බලා සිටියහ. එය සුගත්ට නිහතමානී ආඩම්බරයක්මැ විය. ලෙස්ටර්ගේ මේ තෝරා ගැනීම්වලට සෘජුවම බලපෑවේ ස්වකීය “බෝඩිංකාරයෝ” නාට්‍යයේ මේ නළුවන් තිදෙනාගෙන් පළ වු ප්‍රතිභාප්‍රභාවන්ය.

 

ධර්මේන්ද්‍ර 
“ර්‍Phool Aur Paththa”  චිත්‍රපටයේ

 

ඉතිරි කොටස

ලබන සතියේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.