සිංහල සිනමා ගීතයේ බෙංගාලි අනුකරණය -

“ගලා කන්දේනි මතුවෙනා දොලකි මේ ප්‍රීති ජීවිතේ”
නොවැම්බර් 28, 2019

සිංහල සිනමාවේ මුල් යුගයේ බොහොමයක් චිත්‍රපට ගීත, හින්දි (උත්තර භාරතීය) හෝ ද්‍රවිඩ (දක්ෂිණ භාරතීය) ගීත ආභාසයෙන් හෝ අනුකරණයෙන් නිපදවුවද, 1948-1955 වකවානුව තුළ බිහි වූ ඇතැම් සිංහල චිත්‍රපට ගීත බෙංගාලි (වංග) ගීත තනු අනුසාරයෙන් නිෂ්පන්න වූ බවට ඇති සාධක ඉතා සීමා සහිත ය. නිදසුන් ලෙස, 1947 වසරේ තිරගත වූ මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” සිනමාපටයෙහි අන්තර්ගත රුක්මණී දේවී සහ ස්ටැන්ලි මල්ලවාරච්චි විසින් ගායනා කරන ලද, "ලෝකයේ මගේ ආනන්ද රූපා" නම් යුග ගීතය, බෙංගාලි නිළි -ගායිකා කානන් දේවි විසින් ගායනා කරන ලද, බෙංගාලි සංගීත අධ්‍යක්ෂක ආර්.සි. බෝරාල් විසින් සංගීතය සැපයූ "ස්ට්‍රීට් සිංගර් (වීදි ගායකයා)"ග1938ඝ නම් චිත්‍රපටයෙන් උපුටා ගැනුණකි. එලෙසම 1950 වසරේ බී .ඒ ඩබ්ලිව් ජයමාන්නයන් අධ්‍යක්ෂණය කළ බී .එස් පෙරේරා විසින් සංගීතය සැපැයූ "හදිසි විනිශ්චය" චිත්‍රපටයේ ඇතැම් ගීත බෙංගාලි තනු හෝ බෙංගාලි ගායක ගායිකාවන් විසින් ගායනා කළ හින්දි ගීත ඇසුරින් නිර්මාණය කරන ලද ගීත විය.

 1948 වසරේ දෙසැම්බර් මස 03 දින තිරගත වූ, මෙරට පස්වැනි කතානාද චිත්‍රපටය වූ, මීගමුවේ මිනර්වා සමාගම වෙනුවෙන් බී .ඒ.ඩබ්ලිව ජයමාන්න මහතා විසින් නිෂ්පාදනය කළ, ජ්‍යෝතිශ් සිංග් විසින් අධ්‍යක්ෂණය කළ "වැරදුණු කුරුමාණම" චිත්‍රපටයේ ඇතැම් ගීත තනු ද, බෙංගාලි ආභාසය ඇතිව නිෂ්පන්න කළ ගීත තනු ඇතුළත් ය. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂක පණ්ඩුරංගන් මෙන්ම, ශ්‍රී ලාංකික සංගීත අධ්‍යක්ෂක බි. එස්. පෙරේරා මහතා ද, දායක වීම විශේෂත්වයකි. සිංහල චිත්‍රපටයක් සඳහා පළමු වරට සිංහල සංගීත අධ්‍යක්ෂක වරයෙකු සම්බන්ධ වූයේ ද, වැරදුණු කුරුමාණම චිත්‍රපටය සඳහා ය. චිත්‍රපටයේ ගීත සියල්ලම රචනා කළේ පි.එල්.ජේ. නන්දනකීර්ති මහතා විසිනි.

මෙම සටහන සඳහා අද මා තෝරාගත්තේ “වැරදුණු කුරුමාණම” චිත්‍රපටයට ඇතුළත් වූ ඔබ අප කවුරුත් දන්නා “ගලා කන්දෙනි මතුවෙනා” ගීතය යි.

 

කන්දෙනි මතුවෙනා දොලකි මේ ප්‍රීති ජීවිතේ

ගලාවී දොල සේ මා ප්‍රීති ජීවිතේ

 

ගලා කන්දෙනි මතුවෙනා දොලකි මේ ප්‍රීති ජීවිතේ

 

රාත්‍රී කාලේ - චන්ද්‍රා ලෝකේ

*කේඳී සේ දිය සෙලවෙවී

දොලකි මේ ප්‍රීති ජීවිතේ

 

ජලේ *බුබුල් නැගී

සැලේ සෝබා මල් මල්

සඳේ කාන්ති වැදී

ඉන් ගෙතේ පෙම් වැල්

 

දොලේ ජලේ නාදේ

ප්‍රාණේ ගීතේන්

මුහුදේ හමු වේවි

ප්‍රේමෙන් ගලා

 

දොළකි මේ ප්‍රීති ජීවිතේ

ගලාවි දොල සේමා ප්‍රීති ජීවිතේ.

 

හෙළ සිනමාවේ නිළි රාජිණි , ගීත කෝකිලා "රුක්මණී දේවිය" විසින් රගපාමින් ගායනා කළ මෙම ගීතය දශක සතක් ගෙවුණ ද, අදටත් රසික ජනයා අතර ඉතා ජනප්‍රිය ගීතයක් වන්නේ එහි ඇති ඉතා මනරම් වූ තනුව නිසාම ය. ගීතයේ ආරම්භක සංගීත ඛණ්ඩය මාත්‍රා 4/4 ; කෙහෙර්වා තාලයෙන් ආරම්භ වන අතර ගායනය බටහිර සංගීතයෙහි දැක්වෙන මාත්‍රා 6/8 තාලය එසේත් නොමැති නම් හින්දුස්ථානි ඛේම්ටෝ තාලයට අවතීර්ණ වී ගැයීමක් සිදු වෙයි. රුක්මණී දේවියගේ ප්‍රශස්ත ගායනය පිළිබඳව අමුතුවෙන් කිවයුත්තක් නොමැත, එය එතරම් ම ගම්භීර ය, සුගායනීය ය. නිරායාසයකින් මන්ද්‍ර ස්වර වල සිට උච්ච ස්වර දක්වා ඉතා ස්ථාවර සහ ගතික ලෙස ස්වකීය ස්වරය විසර්පණය කිරීමට රුක්මණී දේවිය විසින් දක්වන ලද නිසඟ හැකියාවට මෙම ගීතය කදිම උදාහරණයකි. ඇතැමුන් සඳහන් කරන ආකාරයට ගීතයේ දැක්වෙන *බුබුල් සහ *කේඳී යන වචන යුග්මය ගායිකාව විසින් වැරදි ලෙස උච්චාරණය කිරීමක් ලෙස හුවා දැක්වුව ද, ගීතයට ඉතා හොඳීන් සවන්දීමෙන් පෙනී යන්නේ, ගීතයේ තාලය රැකගනු වස්, රුක්මණී දේවිය එම වචන යුගලය ඒ අයුරින් ගැයීම ඇතැම් විට සංගීත අධ්‍යක්ෂක ගේ බලපෑමක් යට‍තේ සිදුවුණු ලද්දක් විය හැකි බව මාගේ පිළිගැනීමයි.

බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න්න මහතා 1948 වසරේ දී, “වැරදුණු කුරුමාණම” කතාව චිත්‍රපටයට නැගීමට පෙර, 1942 වසරේ දී නිපදවන ලද, “වැරදුණු කුරුමාණම” නාට්‍යයෙහි ගීත ගොන්නට මේ ගීතය ඇතුළත්ව තිබුණේ නැත. එම ජවනිකාව සඳහා රුක්මණී දේවීය විසින් ගයන, “පෙම් ගී රසෙනි” යනුවෙන් සදහන් වෙනත් ගීතයක් ඇතුළත්ව තිබු අතර, එය එවකට ජනප්‍රිය ග්‍රැමොෆෝන් ගීතයක් වූ , පාලි කුමාරි ගායිකාව විසින් ගැයූ “භවේ හීන ගුණේ දුටු දා” ගීතයේ තනුවට සමාන එකක් විය. මේ අයුරින් , චිත්‍රපටයට නැගීමේදී කතා සාරය එලෙසම පැවැති අතර, ජවනිකා සඳහා බොහෝවිට නව ගීත ( මුල් නාට්‍යයෙහි ඇතුළත් නොවූ) ගීත ඇතුළත් කිරීමට ජයමාන්න මහතා කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, මේ ගීතය බොහෝ දෙනෙකු දැන සිටියේ බි.එස්.පෙරේරා මහතා අතින් නිමවුණු ස්වතන්ත්‍ර තනුවක් ලෙස ය. එනමුත්, “ගලා කන්දෙනි මතුවෙනා” ගීත යේ මුල් තනුව සෙවීමට මා උත්සුක වූ යේ, වරක් සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා විසින් කරන ලද එක්තරා ප්‍රකාශයක් නිසාවෙනි . ඒ මහතා වරෙක, රුක්මණී දේවී සමරු උත්සවයක දී සඳහන් කර සිටියේ වැරදුණු කුරුමාණම චිත්‍රපටයට ඇතුළත් “මෝරනවා ප්‍රේමේ හදේ ” සහ “ගලා කන්දෙනි මතුවෙනා” ගීත යුගලය ම බෙංගාලි ගීත තනු බව ය. කෙසේ වෙතත්, ඊට වසර 25 ට පමණ පසු මේ ගීතයේ බෙංගාලි ගීතය සොයාගැනීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

මුල් අනුකාරක බෙංගාලි ගීතය ගායනා කරන්නේ "ඣාරණා දේවී" නම් ගායිකාව විසිනි. මෙම ගීතය අඩංගු තැටි ලේබලයේ ගීතරචකයා හෝ සංගීතය ගැන කිසිදු සදහනක් නොමැත. ඣාරණා දේවී 1930-40 දශක වල ඉතා ජනප්‍රිය බෙංගාලි ගායිකාවක් වූ අතර සුප්‍රසිද්ධ ශාන්ති නිකේතනයේ ශිෂ්‍යාවකි. ඣාරණා දේවී සහ සුප්‍රසිද්ධ බෙංගාලි/හින්දි ගායක, සංගීත අධ්‍යක්ෂක හේමන්ත් කුමාර් මුකර්ජි දෙදෙනාම ශෛලේෂ් දාස්ගුප්තා නම් බෙංගාලි සංගීත අධ්‍යක්ෂක ගේ ප්‍රධාන පෙළේ ශිෂ්‍යයෝ වුහ. ඔවුන් දෙදෙනාගේම පළමු ග්‍රමොෆොන් ගීත නිකුත් වුයේ ද 1937 වසරේදීය. ඔවුන් දෙදෙනාම ඉතා කුලුපග මිතුරන් වූ අතර, ඔවුහු දෙදෙනාම ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ , ට්ඡ් 2500 අංක ශ්‍රේණිය යටතේ නිකුත් වූ තැටි සදහා ගීත පටිගත කළෝ ය. ඣාරණා දේවී ගේ මුල් යුගයේ ගීත බොහොමයක් සදහා සංගීතමය දායකත්වය හේමන්ත් කුමාර් විසින් ලබා දුනි. “ගලා කන්දෙනි මතුවෙනා” සිංහල ගීතයේ අනුකාරක බෙංගාලි ගීතය වන “අමී පාහාරි ඣාරණා රුම් ඣුම් රුම් ඣුම්” ගීතය ඣාරණා දේවී ගේ 1943 වසරේ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ලේබලයෙන් නිකුත් වුණු අතර එවකට අතිශය ජනප්‍රිය බෙධගාලි ගීතයක් විය. බෙංගාලි ගීතය සිංහල ගීතය මෙන් නොව සම්පූර්ණයෙන්ම ඛේම්ටෝ තාලයෙන් නිර්මිත ය. සිංහල ගීතය තාල දෙකකින් වැයෙන බැවින් සංගීතමය අතින් සිංහල ගීතය වඩා ඉදිරියෙන් සිටින බවක් පෙනෙයි.

ඉතා සුවිශේෂි ම කාරණය වන්නේ, සිංහල සහ බෙංගාලි ගීත ද්වයේම අර්ථය බොහෝදුරට එක සමාන වීම ය. බෙංගාලි ගීතයේ ප්‍රේමයෙන් උද්දාමයට පත්වූ තරුණියක් ස්වකීය ප්‍රීති ප්‍රමෝදය ඉදිරිපත් කරන ආකාරයේ අදහසක් ම සිංහල ගීතයෙන්ද , ඉදිරිපත් වෙයි . බෙංගාලි ගීතයේ අරුත පහත පරිදි වේ. “කන්දකින් ගලා හැලෙන දිය දහරක හඬ සේ "චම් චම්" නාදයෙන් මාගේ පාසලඹ නටයි . කන්දෙන් ගලා හැලෙන දිය දහරේ රිද්මය මාගේ නර්තනය යි. එකී රිද්මය මාගේ ගීතය යි. සඳ එලිය වැටුණු විට මගේ හදවත නමැති වීණාවේ තත් "චල් චල් " හැදින් වැයෙයි . එය මාගේ නර්තනයට, ගායනයට තනුව සපයයි. මාගේ ජීවන දහරේ පිපි මානෙල් මලින් මාලා දාමයක් සාදා මාගේ ගෙලේ පලදා ගනිමි. සිනහාවෙන් මුව සරසාගනිමින් කඳු ගැට අතරින් මම සක්මන් කරමි. මාගේ දෙසවනට ඇසෙනා රමණීය ගී ගයනා විහගුන් මාගේ මිතුරෝ ය. ඒ සමගින් කිසිවෙකුගේ හඬක් මට ඇසෙයි. ඔහු කවරෙක් දැයි, මාගේ සිහිනයෙන් අවදි වී මම සොයමි."

එක්කෝ ගීතරචක නන්දනකීර්ති බෙංගාලි /වංග බස දැනසිටියා විය හැකි ය. එසේ නොමැතිනම්, ඉන්දීය සංගීත අදියුරු බෙංගාලි බස දැන සිට, එම වංග ගීතයේ අදහසම ගැබ් වන පරිදි සිංහල ගීතයක් චිත්‍රපටයේ අවස්ථාවෝචිත අයුරින් ගීත රචකයාට පබදන්නට කිව්වා විය හැකි ය. කෙසේ වෙතත් , ගීත යුගලය ම අතිශයින් මිහිරි ය. එම මිහිරියාව දශක ගණනක් පුරා සමස්ත ශ්‍රාවකයනට තිළිණ කළ සියලු ශිල්පීන්ට මාගේ උපහාරයම වේවා!

 

(විශේෂ ස්තුතිය : ගීත තැටි සංරක්ෂක ජයරත්න ප්‍රනාන්දු මහතා, බෙංගාලී ගීතය ලබා දුන් වංග ජාතික සෞනාක් ගුප්තා මහතා, චතුර ශ්‍රී පතිරණ මහතා, ගීතයේ සංගීතමය අගය පිළිබඳ දැනුම්වත් කළ

සංගීතාචාරිනි විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය, සහ බුද්ධි ජයසේකර මහතා, සේයා රූ සංරක්ෂණයෙහි තාක්ෂණික දායකත්වය ලබාදුන් ප්‍රභාත් සමරසූරිය මහතා)

******************

 

ගියවර මේ ලිපියේ ආනන්ද සමරකෝන් නමින් සුනිල් සාන්තගේ සේයාරුවක් පළ වූයේ ප්‍රමාද දෝෂයකිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.