ඔබෙ සැප මගේ සතුටයි

සංගීතා
නොවැම්බර් 28, 2019

 

'ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔබෙ නළලෙ තියා
හදවත සපුරා
සිත මගෙ ඉඳුරා
මම ආදරෙයි කියා"

 

ශේක්ස්පියර් රෝමියෝ ජුලියට් ලීවේ ආදරයේ විරහව පෙන්නනන්ට නොව. ආදරය වෙනුවෙන් ජීවිත වුවද පරිත්‍යාග කළ හැකි බව පෙන්වන්නටය.

සිරිල් පී. අබේරත්න තිමති වීරරත්න වෙනුවෙන් සංගීතා චිත්‍රපට කථාව ලීවේ ශේක්ස්පීයර් ගේ රොමියො ජුලියට් හා බිමල් රෝයිගෙ මධුමතී චිත්‍රපටයත් හිතේ තබාගෙන විය හැකිය. පෙර ආත්මයේ සංගීතා මේ ආත්මයේ ගීතා වුවත් පෙර ආත්මයේ විමල් මේ ආත්මයේද විමල්මය. තිමති තම චිත්‍රපටයට ඈදා ගත්තේද අර දුප්පත් පොහොසත් ප්‍රබේදයයි. කෙල්ල පෝසත්ය. කොල්ලා දුප්පත්ය. ඒත් කොල්ලාට ලස්සනට සින්දු කියන්න පුළුවන්ය. කෙල්ල ඒ සිංදුවලට වශී වෙයි. කොටින්ම ඒ සිංදු අහන්නෙ නැතිව කෙල්ලට ජීවත් වෙන්නටත් බැරිය. හැමදාම සිංහල සිනමාවේදී ගෙනෙන කොමන් සම්ප්‍රදාය මෙයය.

විජයසේකර සමඟ විමල් කාරයකින් එක්තරා බංගලාවකට පැමිණේ. මැදිවි⁣ය ඉක්මවූ විජේසේකර විමල්ගේ ඥාතිවරයෙකි. ඔහු විමල්ව මෙම බංගලාවට ගෙන එන්නේ පසුවදා පිට රට සිට ලංකාවට එන ඔහුගේ හිත මිතුරු පවුලක් පිළිගන්නටය. මේ බංගලාව අයිති ඒ පිටරට සිට එන පවුලටය. විජයසේකරට අවශ්‍යය එම පවුලේ එකම දියණිය ව විමල්ට ජෝඩු කිරීමටය. විමල් කියන්නේ වැඩේ හරියන්නේ නැති බවය. ඒ නුදුටු ගැහැනු ළමයව තමාට ගැළපෙනවාදැයි නොදත් නිසාය. කෙසේ හෝ එම රාත්‍රියේ විමල් ටත් විජේසේකරටත් එහී නිදන්නට සිදුවිය. එහී සිටින විට ඔහුට මීට පෙර කිසියම් කාලයක ඔහු මෙම බංගලාවෙ සිටි බවක් සිහි විය. එහී සේවක සියදෝරිස් කීවේ ඇතැම් විට එය සිදු වෙන්නට ඇත්තේ ඉහත ආත්මයේ බවයි. එතැන් සිට විමල්ට ඉහත ආත්මයේ සිදුවීම් මතක් වන්නට විය.

විමල් එකල විශාල බංගලාවක වත්තක් සුද්ද කරන දුප්පත් තරුණයෙක් විය. එම බංගලාවෙ හාමු සහ ඔහුගේ බිරිඳත් ඔවුන්ගේ රූමත් දියණියන් දෙදෙනාත් විසූහ. මේ මුළු පවුලම සංගීතයට ඉතාමත් ප්‍රිය කළ අතර ඒ දියණියන් දෙදෙනාට ලස්සනට ගීත ගයන්නට හැකිවිය. මෙයිනුත් බාල දියණිය සංගීතය තම ජීවිතය සේ සැලකීය. ඇගේ නමද සංගීතා විය. විමල් ද සංගීතයට දැඩිව ප්‍රිය කළ අතර ඔහුට ඉතාමත් දක්ෂ ලෙස ගීත ගායනා කිරීමට හැකි විය. දිනක් ඔහුට ඔවුන් ඉදිරියේ ගීතයක් ගැයීමට අවස්ථාවක් උදා විය.

 

“සල් සපුනා නිල් මහනෙල්

කුමුදු සමන් මල් අතරේ

කිඩාරම් මලේ පවා

සුවඳ දිග හැරේ”

 

මෙම ගීතය ඇසූ පසු සංගීතා ෆුල් කොර විය. සංගීතා පමණක්නොව ඇයගේසොහොයුරිය මව පියා ද එලෙස කොර විය. සංගීතාගෙ හිත මොන මෙනවාද වූයේ එම ගීතය ඇසුණු පසුවය.

තිමතිට අවශ්‍ය ව තිබුණේ සංගීතා චිත්‍රපටය ප්‍රේමණීය සංගීත චිත්‍රපටයක් කිරීමටය. ඔහු එයට එච්.ආර් ජෝතිපාලගේ ප්‍රේමණීයවූ ආකාර්ෂණීය හඩ හරහා චිත්‍රපටය ප්‍රබෝධමත් කළේය. එය ටක්කෙටම හරි ගියේ අදත් එමගීත වල ඇති ජනප්‍රියත්වය දුටු විටය.

 

 

“මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනාසෙනු පෙනේ
පැතුම් විසිරිලා
කුරුලු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා”

 

කථාවට කිසියම් ත්‍රිලක් දෙන්නේ ඩෝල්ටන් ගේ චරිතය තුළිනි. ඩෝල්ටන් වලව්වෙ හාමුගේ ගෙදර කරක් ගහන්නේ එම පවුලේ වැඩිමහල් දියණිය වූ ශ්‍රියාව විවාහ කර ගැන්මටය. එහෙත් ඔහුගෙ හිත දැඩිව බැදෙන්නෙ ඇයගේ නැගෙණිය වූ සංගීතා වෙතය. එහෙයින් ඔහු

ශ්‍රියාව තම හිත මිතුරු වික්ටර්ට පංගර්තු කරයි.

සංගීතා කෙලෙසකවත් ඩෝල්ටන්ට කැමති වෙන්නේ නැත. ඇයගේ සිත දිනෙන් දින බැදෙන්නේ විමල් වෙතටමය. මෙය ඩෝල්ටන් දැනගත් පසු ඔහු විමල්ට අඩම් තේට්ටම් කරයි.

චිත්‍රපටයේ තවත් විගඩම් චරිතයක් සිටී. තීමති වීරරත්න මෙම චරිතය එකතු කරන්නට ඇත්තේ කොමික් කෑලි ටිකක් දැමිය යුතු නිසා විය හැක. එහෙත් මේ චාලි නම් චරිතය විටෙක හරි වාතයක් විය. චාලිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ක්ලබ් එකක නැට්ටුම් කාරියෙක් විය. ඇය මයුරාය.

 

“පෙම් ලොව නින්දෙදි
මා දුටු සුන්දර සිහිනේ
දැන් එළිවී ඇත සඳ වගේ ලස්සන මූණේ
හද පොපියයි සිත නළියයි
බැලු බැලු අත එළියයි”

 

චාලි වලව්වෙ හාමුගෙ පුතාය. සංගීතා හා ශ්‍රියාගේ සොහොයුරාය. ඔහු යලටත් නැති මහටත් නැති පුද්ගලයෙකි. ඔහු ඩෝල්ටන්ට සපෝට් කරයි.

මේ අතර සංගීතා විමල් සමඟ පෙමින් බැඳී සිටි අවස්ථා කීපයක්ම ඩෝල්ටන්ට අහුවේ. ඔහු එය සංගීතා ගෙ දෙමාපියන්ට කී පසු ඔවුන් විමල්ව එලවා දමයි. විමල් සංගීත කණ්ඩායමකට බැ⁣දී සිටින විට ඩෝල්ටන්ගේ සඟයෝ විමල්ව සොයා අවුත් අඩම් තේට්ටම් කරයි. සංගීතාගෙන් වෙන්ව සිටීම ඉතාමත් අපහසු වූවද ඩෝල්ටන් ඇයව විවාහ කර ගන්නට යන බව අසා විමල් ඇගේ සැපත ගැන සිතා නිහඬව සිටී..

 

“ඔබෙ සැප මගේ සතුටයි
ඔබෙ සැප මගේ සතුටයි
මුතු බිහි කරලා
අනුනට බෙදලා
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ”

 

සංගීතා චිත්‍රපටය උද්වේගකර වෙන්නේ ඩෝල්ටන්ගේ සඟයන් විමල්ව කන්දෙන් පහළට තල්ලු කර මරා දැමූ පසුය. එතැන් පටන් සංගිතා චිත්‍රපටය දිව යන්නේ ශෝචනීය ට්‍රැක් එකකය . පියාගේ බල කිරීම මත සංගීතාට ඩෝල්ටන් හා විවාහ වීමට සිදුවිය. එතැන් පටන් සංගීතා ජීවත් වූයේ කදුළු බිබීය.

 

“ලෝකයේ වෙනස් වුණේ
මිනිසදෝ දෙවිදදෝ
ආදරේ නමින් මා තැවේ තැවේ”

 

විමල් සංගීත සන්දර්ශනයක ගීත ගායනා කරන අවස්ථාවක් අහම්බෙන් සංගීතාට දකින්නට ලැබුණි. එයින් ඇය තේරුම් ගත්තේ ⁣විමල් මිය ගිය බව කීම ඩෝල්ටන්ගේ කුමන්ත්‍රණයක් බවය. එතැන් පටන් ඩොල්ටන් හා සංගීතා අඩදබර වන්නට විය.

විමල්ව එදා මැරීමට තැත් කළද ඔහු මිය ගොස් නැත. එදා කන්දෙන් පහලට තල්ලු කිරීමේදී විමල් ගේ පාදයට ආබාධයක් සිදුවූ නිසා ඔහු ඇවිදිනුයේ කිහිලි කරුදෙකිනි. ඔහු නැවතී සිටිනුයේ අම්බලමකය. සංගීතා ඩෝල්ටන් හොරෙන් විමල්ව බැලීමට යයි. එහෙත් එයද ඩෝල්ටන් ගේ අතට අහුවෙයි. ඔහු සංගීතාට හා විමල්ට ගුටිබැට දෙයි. තවත් දිනක් සංගීතා විමල් සොයා පැමිණ තමා හදිසියේ මිය ගියහොත් තම මිනිවල ලඟට පැමිණ ගීත ගායනා කරන ලෙස ට කියයි...එවිට නම් මේවා මාරම මාර පිචැර් යයි සිතේ. දුක හිතෙනවාට වඩා මේවා නම් මල කෝලං කියාද සිතේ. ඉන්පසු සංගීතා නිවසට ගොස් නිදිපෙති අහුරක් බී මිය යයි.

විමල් සංගීතාගෙ ඉල්ලීම ඉටුකරමින් සංගීතාගේ වල ළඟට ගොස් ගීත ගයයි.

 

“පායන හිරු සඳු දෑසින් දකිනා දින පිරිහී යනවා
ආදරයක නව අරුත කියා දුන් ඔබ මට සිහිවෙනවා
සංගීතා සංගීතා සංගීතා සංගීතා”

 

ඩෝල්ටන් ගේ සඟයෝ නැවත වතාවක් විමල්ව මැරීමට ඔහූ ගීත ගය ගයා සිටි මිනිවල ළඟට පැමිණ විමල් ගේ ගීතය අසා මිනී මැරීමත් අමතක වී ගීතය අසමින් රස විඳීන්නට විය.

මේ ජවනිකා ජෝක්ස්ද නැත්නම් සිරියස්දැයි සිතා ගැන්මට නොහැකිව අප අන්ද මන්ද වේ. ගීතය සංවේදීව අසා සිටී මැරයෝ ගීතය නිම වූ සැනින්ම යළි විමල්ව මැරීමට තැත් කරයි. එවිට නම් අයියෝ තිමති කියා සි⁣තේ. එතැනට ඩෝල්ටන්ද පැමිණ ඔහුගේ අතින්ම විමල්ව මරා දමයි. එවිට සංගීතා හොල්මනක් ලෙස පැමිණ ඩෝල්ටන්ව මඩ වලක ගිල්වාමරා දමයි. පොලිසිය පැමිණ ඉතුරු මැරයන්ව කුදලාගෙන යයි. හොල්මනක් සේ පැමිණුන සංගීතා විමල්ගේ ආත්මය රැගෙන යන්නේ අපවත් හොල්මන් කරය.

ඉන්පසු ගිය ආත්මෙ කථාව ඉවරය. දැන් යළි මේ ආත්මයට පැමිණෙ. විමල් විජේසේකර සමඟ ගුවන්තොටුපලට යන්නේ විජේසේකර විසින් තමනට යෝජනා කල ගැහැනු ළමයාව බැලීමටය. ඇය ගීතාය. විමල් ගීතාව දුටු ගමන් මේ ගීතා නොවේ මේ ගිය ආත්මෙ මගෙ සංගීතා කියා ඇයව වැලඳ ගනී. ආත්ම දෙකක කථාව එසේ නිම වේ. අප තුෂ්නිම්භූතවේ.

විජය කුමාරණතුංග විමල් ලෙස රඟපෑ අතර මාලනී ෆොන්සේකා සංගීතා හා ගීතා විය. ඩෝල්ටන් ලෙස රඟපෑවේ ගාමිණී අබේසිංහය. චාලි දොන් සිරිසේන වූ අතර ෆරීනා ලායි මයුරා විය. එඩී ජූනියර් ශාන්ති ලේඛා අනූෂා ගීතංජලී නෙල්සන් කරුණාගම කුසුම් පෙරේරා පියදාස විජේකෝන් සෙසු චරිත රඟපෑවෝය. කරුණාරත්න අබේසේකරගේ ගී පදවැල් වලට සරත් දසනායක හරි අපූරු ගී තනු කීපයක් ජෝති ඇන්ජලින් ලතා එම්.එස්. ගායනා කළෝය. සංගීතා වාණිජ්‍ය අතින් අතී සාර්ථක විය. සිරිල් පී.අබේරත්න කථාව හා දෙබස් ලියූ සංගීතා චිත්‍රපටය තිරනාටකය ලියමින් කැමරාව හසුරවමින් නිෂ්පාදානය අධ්‍යක්ෂණය කළේ තිමති වීරරත්නය. මෙය තිරගත කිරීම ආරම්භ කළේ 1975 නොවැම්බර් 28වනදාය.⁣

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.