රංජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය

සුනිල් මිහිඳුකුල ලියූ අවසන් කෘතියයි
නොවැම්බර් 28, 2019

එඩ්වඩ් චන්ද්‍රසිරි

 

රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය කෘතිය එළි දැක්වීම දෙසැම්බර් මස 04 වැනි දින සවස 3.30 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව එම ග්‍රන්ථයේ සංස්කාරක එඩ්වඩ් චන්ද්‍රසිරි මහතා සරසවියට පැවසුවේය. එම කෘතියේ කර්තෘත්වය දරන්නේ මීට --- වසරකට පෙර අපෙන් සමුගත් සුනිල් මිහිඳුකුල නැමැති සුන්දර මිනිසාය. අපේ හිතවත් සහෘදයාය. ඔහු සරසවිය පුවත්පතේ කතුවරයා ලෙස සේවය කිරීමේ ගෞරවය වෙනුවෙන්ද, මේ කෘතියට පාදක ලිපි පෙළ පළ වූයේ සරසවියේම වීම නිසාද, සිළුමිණ - රසඳුන ටැබ්ලොයිඩයේ කර්තෘවරයා ලෙස අප අතර තිබූ සුහදත්වය වෙනුවෙන් සේම, සිග්නීස් ඕසීඅයිසී සිනමා හා රූපවාහිනී සම්මාන ඇතුළු විවිධ විනිශ්චය මණ්ඩලවල ඔහු සමඟ සුහද වාද විවාදවල යෙදීමේදී ඔහුගේ දැනුම හා ක්ෂේත්‍රය පිළිබඳ තිබූ අවබෝධය මැනවින් හඳුනාගත්තකු ලෙස මේ කෘතිය පිළිබඳ ලිවීමට ලැබීම සුනිල් මිහිඳුකුල සොහොයුරා වෙනුවෙන් කළ හැකි උපහාරයක් ලෙස මම සලකමි. එසේම දශක හතරක පමණ කාලයක් නාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම පුවත්පත් කලාවේද නියැලුණෙකු ලෙස ලේඛක එඩ්වඩ් චන්ද්‍රසිරි තම අතිජාත මිත්‍ර සුනිල් මිහිඳුකුලගේ අවසන් කෘතිය අවසන් කිරීමට ගත් වෑයමද අගය කළ යුතුය. රන්ජිත් ධර්මකීර්ති ප්‍රවීණ නාට්‍යවේදියාණන්‌ගේ නාට්‍යාවලිය පිළිබඳ මෙහි ඇතුළත් කරුණු සහ මේ කෘතිය අවසන් කළ ආකාරය පිළිබඳ අපි එඩ්වඩ් චන්ද්‍රසිරි මහතාගෙන් විමසුවෙමු.

මේ පොත ඔබ‌ටත් විශේෂයි?

ඔව්. සුනිල් මිහිඳුකුල කියන්නේ අපට හිටිය හොඳ ලේඛකයකු වගේම ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඒ ලේඛකයාගේ අන්තිම ග්‍රන්ථය තමයි මේ. විශේෂයෙන් සරසවිය පුවත්පතටත් මෙය වැදගත් වනවා මොකද, සරසවිය වත්මන් කර්තෘ අරුණ ගුණරත්නගේ ඉල්ලීම මත සුනිල් විශ්‍රාම ගිය පසුවත් ලිපි පෙළක් ලීවා නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිට පිළිවෙළින් නාට්‍යකරුවන් ගැන බොහෝ මහන්සියෙන් තොරතුරු සොයා බලා ලීවේ. ඒ අතර එක පියවරක් ආවා රන්ජිත් ධර්මකීර්තිගේ නාට්‍ය ගැන ලියන. ඒ ලිපිය අවසන් කළ පසු රන්ජිත් ධර්මකීර්ති මේ රටේ සාධනීය නාට්‍ය 12ක් පමණ කළ කෙනෙක් නිසා සුනිල් අහලා තියෙනවා ඒ නාට්‍යාවලිය ගැන ග්‍රන්ථයක් කළොත් හොඳ නේද කියලා. එය සුනිල්ට පැවරුණු පසු ඔහුට ලොකු පහසුවක් වුණා ඔහු ඊට කලින් පවා රන්ජිත් ධර්මකීර්ති සමඟ කතා බහ කර තිබීම. කෙසේ වෙතත් මෙය නාට්‍ය හා රංගකලාව හදාරන විද්‍යාර්ථීන්ට වැදගත් කියලා මම හිතනවා.

අභාග්‍යයකට වගේ සුනිල්‌‌ගේ රෝගී තත්ත්වය නිසා පොත අවසන් කරගන්න බැරි වුණා. හැබැයි මාව ලේඛකයෙකු කළේ සුනිල් මිහිඳුකුල බව මතක් කළ යුතුමයි. මට මුලින්ම පොතක් ලිවීම සම්බන්යෙන් උනන්දුවක් ඇති කළේ සුනිල්. ඒ වගේම පත්තරවලට ලියන්නත් ඔහු මට අවස්ථාවල ලබා දුන්නා. අවසානයේ රන්ජිත් ධර්මකීර්ති නාට්‍යවේදියා මගෙන් ඇහුවාම සුනිල්ගේ වියෝවෙන් නතර වුණු මේ පොත අවසන් කර දෙන්න කියලා. මට පුදුමත් හිතුණා.

 

මෙවැනි කෘති ඔබ මීට පෙර සම්පාදනය කර තිබෙනවා?

වර්තමාන නාට්‍ය ප්‍රබෝධය ලංකාවේ ඇති වන්නේ 50 දශකයෙනේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, බන්ධුල ජයවර්ධන, සුගතපාල ද සිල්වා ප්‍රේමරන්ජිත් මුල් පිරිසට අයත්. ඉන්පසු තමයි රන්ජිත් ධර්මකීර්ති සහ ආර්. ආර්. සමරකෝන් එන්නේ. මට භාග්‍යයක් ලැබුණා ඒ නාට්‍යකරුවන් අතරින් ආර්.ආර් සමරකෝන්ගේ සියලුම නාට්‍යවල නිෂ්පාදන කළමනාකරණයෙන් සහාය වෙන්න. ඒ අනුව මම නාට්‍යකරණය වගේම ඔහුගේ චරිතය පිළිබඳවත් විශාල දැනුමක් ලබා ගත්තා. සමරකෝන්ගේ නාට්‍යකරණය සහ ග්‍රන්ථකරණය පිළිබඳ දන්නා නිසා ඔහුගේ අභාවයෙන් පසු මම ලීවා රසාලිප්ත රඟමඩලක උරුමක්කාරයා ආර්.ආර් සමරකෝන් කියලා. මට ඒ පිළිබඳ නිහතමානී සතුටක් තිබෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයාගේ ගෝලයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා ඒත් ඔහුගැන වගේම ඒ පරපුරේ ඉහත කියූ අනෙක් නාට්‍යකරුවන් ගැනත් කිසිවකු පොතක් ලියා නැහැ. ඒ නිසා සුනිල් මේ ආකාරයෙන් රන්ජිත් ධර්මකීර්තිගේ නාට්‍යාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම වැදගත්.

 

එවැනි පොත් අඩුවෙන් ලියැවෙන්නේ ඇයි?

වසරක් පාසා නාට්‍ය උලෙළ නරඹන විට අපට පේනවා කෙතරම් විශාල සංඛ්‍යාවක් සිසුසිසුවියන් ඒ සඳහා සහභාගී වෙනවාද කියලා. ඔවුන් සඳහා අත්පොත් ලෙස තිබෙන ග්‍රන්ථත් අඩුයි. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ටික හරියට විග්‍රහ කරන්න පොතක් අත්‍යාවශ්‍යයි. ඒ වගේම වාර්තාකරණය පිළිබඳ මුලින්ම නාට්‍යානුසාරයෙන් කළේ දයානන්ද ගුණවර්ධන, ඒ වගේම ශෛලිත සම්ප්‍රදායෙන් මිදිලා පෙරළියක් කරගෙන තාත්ත්වික නාට්‍යවලට ආ කෙනා සුගතපාල ද සිල්වා ඒත් ඔහු ගැනත් ලියැවිලා නැහැ. ඒ අනුව ඇත්තටම මෙය බොහෝ ලඝු විදිහට සලකා තිබෙන බවයි පේන්නේ.

ඔබ රන්ජිත් ධර්මකීර්ති කලාකරුවාගේ නාට්‍යවල දකින සුවිශේෂත්වය කුමක්ද?

රන්ජිත්ගේ නාට්‍යවල සුවිශේෂත්වය පටන් ගන්නේ ඔහුගේ පළමුවැනිම නාට්‍යය වන එක වහල යට තාත්ත්වික නාට්‍යයෙන්මයි. එතෙක් ආ නාට්‍යවලට වඩා වෙනස් ආකාරයක ආකෘතියක් ඔහු පෙන්නුවා. ඊළඟට හස්තිරාජ මහත්තයා විකාර රූපි / විමති රූපී (ඒඡඵභපඤ) නාට්‍යයක්. එහි රඟපෑවේ කරුණාරත්න හඟවත්ත, එච්.ආර්, අයිරාංගනී (එච්.ආර්. ජෝතිපාලගේ නංගි), රම්‍යා වණිගසේකර වැනි අය. මෙය නාට්‍ය ලෝකයේ විශාල පිබිදීමක් ඇති කරන්නට සමත් වුණා. පස්සේ එයිනුත් විශාල පිම්මක් ඉදිරියට තබමින් හිරු නැති ලොව නිර්මාණය කළා. එය මැක්සීම් ගෝර්කිගේ නාට්‍යයක පරිවර්තනයක්.

යමෙකු කරමින් සිටි කෘතියකට මගදී උරදීම තරමක අභියෝගයක්?

සුනිල් මිහිඳුකුල මම හඳුනාගත්තේ 80 දශකයේ වගේ. අපි නාට්‍ය, චිත්‍රපට උලෙළ, සම්මන්ත්‍රණ ආදියට එකට ගියා. සුනිල් මට වඩා බාල වුණත් ඔහුගේ ලේඛනයේ යම් පරිණත බවක් මම දුටුවා. ඔහුගේ ඒ ශෛලියට ගැළපෙන ආකාරයට මෙය සංස්කරණය කිරීම තමයි තිබුණු ලොකුම අභියෝග. ඇතැම් අවස්ථාවල ඔහුගේ භාෂා විලාසය රැක ගැනීම සඳහා මගේ දිගු වාක්‍ය වෙනුවට කෙටි වාක්‍ය ලියන්නට සිදුවුණා. ඒ වගේම ඔහු වාග් කෝෂය පුරවා ගත්තේ යම් නොදන්නා වචනයක් වේ නම් ඒ පිළිබඳ දන්නා කියන අයගෙන් අසා දැනගෙන එය නිවැරැදිව භාවිත කිරීමෙන්. ඒ නිසා ඔහු පවත්වාගත් ප්‍රමිතියද මේ කෘතියට බලපෑවා. ඒ සියල්ල ඔහුගේ ශෛලියට ගැළපෙන ආකාරයෙන් නිම කිරීම තමයි මට තිබුණු අභියෝගය.

සුනිල් මිහිඳුකුල පවුලෙන් මෙයට ලැබුණු දායකත්වය?

මට මුලින්ම රන්ජිත් ධර්මකීර්ති ඉල්ලීම කළ වෙලාවේ මම ඒ පිළිබඳ සුරාජිට ( බිරිය සුරාජි කරුණාරත්න) කීවා. පුතුන් සිව් දෙනා සහ සුරාජි අපට සෑහෙන සහායක් දුන්නා. සුනිල් නැති වන වේලාවේ සුරාජි හිටියේ ලොකු ජීවන බරක් සහිතව. මම ග්‍රන්ථය කරන්න යනවා කීවාම ඇය ඉත සිතින් එය අනුමත කළා. විස්තර දුන්නා. ඒ අතර මම දුටු විශාල අභාග්‍යයක් තමයි සුනිල් සතුව තිබූ දත්ත ගබඩාව. යම් කලාකරුවකු පිළිබඳ ඇසුවොත් සුනිල් ටිකක් ඉන්න කියලා අපට තොරතුර දෙනවා. ඒත් ඔහුගෙන් පසු ඒ දත්ත ගබඩාව කරගෙන යන්න කෙනෙක් නැතිව යනවා. ඒ වගේම අසීමිත සම්පත් තොගයක් ඔහුගේ පුස්තකාලයේ තිබුණා. ඒ සියල්ල වගේම අපි සුනිල් ඇසුරු කළ කාලයේ කියූ තොරතුරු රැසක් මතක් කරගන්නත් මට මේ පොත ලියද්දි හැකියාව ලැබුණා.

රනිජිත් ධර්මකීර්ති මහත්මයා ඔබවම මේ සඳහා තෝරා ගන්න බලපෑ හේතුව?

ඔහුගේ බොහෝ ජනප්‍රිය වුණු නාට්‍යයක් තමයි මෝදර මෝල. නාට්‍ය නිෂ්පාදන කළමනාකරණය සාර්ථකව කරලා මම බොහොම කාර්යබහුලව සිටිය යුගයක වුණත් රන්ජිත් මගෙන් මෝදර මෝල කරගෙන යන්න කියලා ඉල්ලීමක් කළා. මම සිමිත කාලයක් එය කළා. අපි දෙන්නා දැන හඳුනගත්තේ ඒ කාල සීමාවේ. ඒ ඇඳුණුම්කම තමයි මේ ග්‍රන්ථය අවසන් කිරීමට මට බාර දෙන්න හේතුවත්. ඔහුගේ තොරතුරුත් මට නොපැකිළව ලබා දුන්නා. රංජිත්‌ගේ නාට්‍යාවලියෙන් බහුතරයක් ග්‍රන්ථ ලෙස නිකුත්වෙලා තිබුණ නිසා ඒවා මට දුන්නා. විශේෂයෙන් කිව යුතුයි ඔහුගේ අංගාරා ගඟ ගලා බසී නාට්‍යය ගැන. එය 70 දශකයේ ඉතාම මනස්කාන්ත නාට්‍යයක් වුණත් එයට හිමි විය යුතු ප්‍රේක්ෂක අවධානය යොමු වුණේ නැහැ. හේතුව කැලණි පාලම දෙබස් නාට්‍යයක් ලෙස බොහොම මුඛරි අක්ත පදවලින් යුතුව නිර්මාණය වුණු කතාවක්. ඒ නිසා කතාවට කියන්නේ අංගාරා ගඟ උඩින් කැලණි පාලම ගියා කියලා. පසුව 2012 වසරේත් ඔහු දෙවැනි නිෂ්පාදනයක් කළත් එහි මුලින් සිටි ශිල්පීන් ඒ වන විට එහි සිටියේ නැහැ. ඒ නිසා දෙවැනි වර පෙරටත් පඩා තදින් ගිලී ගියා. මේඝ නාට්‍යයටත් එවැනිම අසාධාරණයක් වුණා ප්‍රසන්න විතානගේගේ දීප්ත හා කේ.බී හේරත්ගේ නාග ගුරුලා එකම වසරේ පැමිණි නිසා. මේ නිසා රන්ජිත් ධර්මකීර්ති නාට්‍යකරණයෙන් ඉවත් වුණා. එහෙත් ඔහු ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස නිර්මාණකරණයේ තවමත් යෙදෙනවා.

අපි ඔබේ ග්‍රන්ථ නිර්මාණ පිළිබඳවත් කතාකරමු?

මම ලාංකික මැලේවරුන්ගේ අභිමානය තමයි මුලින්ම ලීවේ. එහි එක් පර්ච්ඡේදයක් තිබෙනවා ඔවුන්ගේ කෑම පිළිබඳ. රසින් සපිරි මැලේ බොජුන් කියලා පොත කළේ ඒ අනුවයි. අනෙක් පොත කරළියේ රසමුසු තැන් කියලා 1968 සිට 1987 දක්වා විවිධ රසකතා ගොනු කළ එකක්. ඊළඟට දේශපාලන කරළියේ රසමුසු තැන් පිළිබඳ දේශපාලන කරළියේ සිනා නමින් පොතක් කළා. චරිතයක් පිළිබඳ පොතක් හැටියට ලීවේ මේ පොතම තමයි.

 

නිශ්ශංක විජේරත්න

Add new comment