සිහින ලොවේ මල්සරා,අපේ කට්ටිය සහ බෝඩිංකාරයෝ

නොවැම්බර් 28, 2019

“ගාමිණි ගැන මුලින්ම ලීවේ මමයි” දිනක් සුගතපාලයෝ මා සමඟ පැවසූහ. ඒ අතීතය දැනගැනීමට මම රුචි කළෙමි.

“ඒ 1962 දී. එතකොට ගම්පෙරළිය තිරගත වෙලත් නැහැ. “රන්මුතුදූව” නිසා ඔහු අතිශය ජනප්‍රිය වෙලා හිටියේ” එතුමෝ කීහ. සුගතපාලයන් පැවසූ මේ ලිපිය පසුව මම සොයා ගතිමි. මවිිසින් ලියා 2004 වර්ෂයෙහි පළ කරන ලද “ගාමිණි : විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා” ග්‍රන්ථයෙහි (පිටු 168 – 172) එකී ලිපිය මම උපුටා දැක්වීමි. 1962 දෙසැම්බර්14 වනිදා “විසිතුර” පුවත්පතෙහි මේ ලිපිය පළ විය. සුගතපාලයන් එහිදී ගාමිණි හැඳින්වූයේ “සිනමා ලෝලයන්ගේ සිහින ලොවේ මල්සරා” ලෙසිනි. ගාමිණි සමඟ පවත්වන සංවාදයක් ද සහිත සුගත්ගේ මේ පුවත්පත් ලිපිය මඳක් දීර්ඝ වුවත් මා මෙහි උපුටා දක්වන්නේ මෙරට පහළ වූ මහා රූපණවේදියකු ගැන මහා නාට්‍යවේදියකු විසින් රචනා කරන ලද අපූර්ව වියමනක් ලෙස අද ඊට ඓතිහාසික වටිනාකමක් පවතින බැවිනි. සුගතපාල රසවත් බස් වහරකින් මේ ලිපිය ලියා ඇත. අනෙක් අතට එවක තාරුණ්‍යයේ සිටිි මේ මහා කලාකරුවන් දෙදෙනාම කලා ලොවට පා තැබු මුල් යුගය එය වේ.

“සිනමා නළු නිළියන් තරම් ලෙහෙසියෙන් තරුණ පෙළේ ආදරය දිනාගැනීමට පුළුවන් වෙන කාටද? ජනප්‍රිය නළුවකු වන ගාමිණිට නාඹර වියේ තරුණියන්ගෙන් ලැබී ඇති ලියුම්වලින් එය පැහැදිලි වෙයි.

‘ඔබ සැරයක් දැක ඔබ සමඟ වචනයක් කතා කොට දෙහිවල දුම්රියපළේදී දුම්රියට බෙල්ල තියලා මැරුණත් සැපයි’

මේ වගේ ලිපියක් නාඳුනන නාඹර කෙල්ලකගෙන් ඔබට ලැබුණොත් ඔබට මොනවා හිතෙයිද? මේ ප්‍රශ්නය මම තවත් කෙනකුගෙන් ඇසුවෙමි. ජීවිතයේ එක ආශාවක් ලුහු බැඳීමේදී තවත් තැනක රැඳුණ, දැන් දහසක් කෙල්ලන්ගේ සුරතලා වී සිටිනා ගාමිණි ෆොන්සේකාගෙන් මම මේ ප්‍රශ්නය ඇසුවෙමි.

අර ප්‍රශ්නය මා ඔහුගෙන් ඇසුවේ ඒ ලිපිය ලැබී තිබුණේ ඔහුට නිසයි. හිස පැත්තකට කඩාගත් ඔහු නිකටේ දවසක් පමණ වැවී තිබුණ රැවුල්ගස් ද අතගාමින් මා දෙස මොහොතක් බලා සිටියේය. දෙවැනි මොහොතේ අර කෙල්ලන් අල්ලන හිනාව - නිෂ්පාදකයන්ගේ පෙට්ටි ලක්ෂ ගණනින් තර කරන හිනාව - ඔහුගේ මුව පුරා පැතිරිණි. ඔහු සිනාසෙන විට ඔහුගේ දෙනෙතද සිනාසෙයි. ඒ හිනාව හදවතින්ම එන බව මා සිතා ගත්තේ බැලීමෙනි.

“මොනව කියන්නෙයි කියලද සුගත් මට කියන්නේ” ඔහු ඇසුවේය.

“ඕන එකක් – කියන දෙයක් ගොහිල්ල මම ලියන්නම්” මම සිගරැට්ටුවක් ඉරුවෙමි.

“එහෙනං මං නොකියාම ඉන්නම්කො. ඒක වැඩිය හොඳයි”

මිදුලේ මලසුන් ගෙයි දැල්වෙන හඳුන්කූරු සුවඳ පිසගෙන එන මඳනල අප සිප ගනී. කාමරේ කොනක වූ රේඩියෝ පෙට්ටියෙන් සිහින් සංගීතයක් නික්මෙයි. හඳුන් අප මෝහනයට පත් කරයි.

හඳුන්කූරු සුවඳට තවත් සුවඳක් එක් විය. ඒ ගාමිණිට ලැබුණු තවත් ලිපියක් දිග හරිද්දී එයින් හැමූ ගෝයා සුවඳය. ඔහුගේ අලුත් චිත්‍රපටයේ පින්තූර වගයක් තෝරමින් සිටි ගාමිණි ඒ සුවඳ දැනීදෝ එක ඇසක් පමණක් ඔසවා මා දෙස බැලුවේය. ඒ බැල්මේ දඟකාර බවක් සැඟවිණ.

දවල් තිස්සේ මගේ වැඩේ ඔයා ගැන හිතන එකයි. ඔයා ගැන කතා කරන එකයි. කෙල්ලකට නිදහසක් තියෙන්නේ නින්ද ගියාම විතරයි. අනේ දෙයියනේ මට ඒ නිදහසත් නෑ. මට ඔයා හීනෙන් පේනවා . මේකට බේතක් කියන්න.

‘මෙන්න වෙද මහත්තයගෙන් බෙහෙතක් අහල තියෙනවා’ මම ගාමිණි වෙත ලිපිය දිගු කළෙමි. ඔහු උරහිස් සෙලෙව්වේය.

සීත වලාවෙක ලාලිත ගීයයි
නීලඹරෝරේ රන්තරු පායයි
පවසන සිනමා ලෝකය මෙයයි
ගාමිණි කුමරා අද කමනීයයි

මේ කවිය මා උදුරා ගත්තේ තවත් කෙල්ලකගේ කවි පොතකිනි. ඒ කවි පොත ඇක්සයිස් පිටු අසූවක් දුවයි. එක පිටුවක ගාමිණිගේ පින්තූරයකි. අනික් පිටුවේ කවි පෙළකි.

‘මේ හැම පින්තූරෙකම අත්සන් කරලා පොත ආපසු මට එවන්න’ ඈ ලියා තිබිණ. මේ කෙල්ලට වෙන රස්සාවක් නැතිව ඇති මට සිතිණ.

ලිපියෙන් හිස ඔසවා බලන මට ජනේලය එහා පැත්තේ ගෙට ඉහළින් දුවන මහ පාර පෙනේ. සුදුු ගවුම් ලා ගත් කෙල්ලන් දෙදෙනකු කීප වරක්ම පාරේ එකෙල මෙකල වනු මම දුටු වෙමි. ඔවුහු මොහොතක් වැට අයිනේ නැවතී ගේ දෙස බලා සිටිියහ. ඔවුන් බසයක් එන තෙක් ඉන්නවා වෙන්නැතියි මම සිතුවෙමි.

‘ඔබ දුටුවාට පසු අපට එල්විස් ප්‍රෙස්ලිත් එපා වුණා’ යයි ලියන එකියන් සිනමා ලෝලයින්ගේ සංගමයක් ඇරඹීමට යෝජනා කරයි. කෙල්ලන් තිදෙනකු හවුලට ලියන ලිපියක් කියැවෙන්නේ මෙහෙමයි.

මං කැමති ඔයාගේ ඇස් දෙකට. හැමදාමත් ඒකේ පීන පීන ඉන්න ඇත්නම් කියා මට හිතෙනවා. මම කැමති ඔයාගේ නහයට. ඒකෙන් හොඳ පුුරුෂ ලක්ෂණයක් ප්‍රකාශ වෙනවා. අනේ ඉතින් ඉතින් මම මොනවට කැමති කියන්නද? අනිත් දෙන්න සේරම බදු අරගෙනනේ. මට ඕනෙ ඔහේ පින්තූරයක්වත් එවන්න බල බලා ඉන්න’

‘කෙහෙද සුගත් ඕව බල බලා ඉන්නවා මිසක් මොකවත් බොන්නේ නැහැනේ’ ගාමිණි කීවේය.

මම අමතක වී තිබුණ වීදුරුව දෙසට හැරුණෙමි. මම නැවතත් ජනේලය එහා පැත්තේ කෙල්ලන් දෙදෙනා දුටුවෙමි. ඔවුහු මහත් ඕනැකමකින් ගාමිණිගේ ගේ දෙස බලති.

ඔබෙ රුව මට හොඳයි ඔබෙ පැල්පතත් හොඳයි
ඔබෙ ගුණ මට හොඳයි ඔබෙ සේවයත් හොඳයි
ඔබෙ හිත මට හොඳයි ඔබෙ තනිකමත් හොඳයි
ඔබේ බැල්මද හොඳයි ඔබෙ හැමදේම හොඳයි

මගේ නෙත් නැවතත් පාරේ අනිත් පැත්තේ සිටි කෙල්ලන් වෙත යොමු විය. ගාමිණිගේ නිවස දෙස බලා සිටි ඔවුන් පඩිපෙළ බසිනු මම දුටුවෙමි.

‘ඔබෙන් ටෙලිෆෝන් නොම්මරය අසා එව්වේ මා උගන්වන කොන්වන්ට් එකේ ටෙලිෆෝනයක් තිබෙන නිසයි. ඔය නිකං ඉන්න වෙලාවක කතා කර කර ඉන්න.කොහේද ඔයාල අපි ගැන හිතන එකක්යැ. අපටත් දවසක හඳ පායාවි’ ඒ ලියලා තිබුණේ පාසල් ගුරුවරියකි.

‘ගාමිණි අයියා ඉන්නවද?’ ඉස්තෝප්පුවේ පැත්තෙන් කෙල්ලකගේ කටහඬ ආවේය.

‘ඔහොම වාඩිවෙන්න අර ඇතුළෙ පොඩි වැඩක්’ කවුදෝ උත්තර දෙනු මට ඇසිණ. ඔහු තවත් ප්‍රශ්නයක් අසන්නට ඇත. මට ඇසුණේ එයට ලැබුණ පිළිතුර පමණි.

‘මේ සමරු පොත අත්සන් කරවගන්න’කෙල්ලකගේ කටහඬ නැවතත් ආවේය.”

සුගත්ගේ යථෝක්ත ලිපියෙන් ගාමිණි වැනි වචනයේ පරිසමාප්ත අරුතෙහිම සුපිරි තරුවකට එකල පැවැති සැබෑ රසිකත්වය හෙළි වේ.

සුගතපාල ද සිල්වා සූරීන් නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ 1958 “එකවල්ලේ පොල්” නාට්‍යය රචනා කිරීමෙනි. මහරගම රජයේ ගුරු විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගමය වෙනුවෙන් රාජගරු එම්. චන්ද්‍රපාල විසින් මේ නාට්‍යය නිෂ්පාදනය කරන ලදි.

පූර්වයෙහි ද මවිසින් දක්වන ලද පරිදි තාත්වික නාට්‍ය ධාරාවෙහි පුනරුදය ලෙස සුගත්ගේ “බෝඩිංකාරයෝ’’ නාට්‍යය (1962) පේ‍්‍රක්ෂක, විචාරක උභය පාර්ශ්වයෝ ඇගැයුමට ලක් කළහ. මෙලෙස ස්වකීය කුලුඳුල් නාට්‍ය නිර්මාණයෙන්ම “සුගතපාල ද සිල්වා මුද්‍රාව” ස්ථාපිත වූයේ ද “බෝඩිංකාරයෝ” නාට්‍යයෙනි. 60 දශකය නිසැකව ලාං

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.