ලංකා TV අන්දරය

තෝ ද ඩිරෙක්ටර් මං ද ඩිරෙක්ටර්
දෙසැම්බර් 5, 2019
ටයිටස් තොටවත්ත

1986 පෙබරවාරි මස 04 වන නිදහස් දින රාත්‍රී හත රූපවාහිනී තිරය මත දිස් වන විට ටයි මහතා මැදිරි අංක 01 පාලක මැදිරියේ සිට මේ නවමු අත්දැකීම රසවිඳීම සඳහා පුලපුලා බලා සිටි ප්‍රේක්ෂක ජනතාව ඇමතීය. ටෙලි නාට්‍යයේ අපූර්වත්වය කෙටියෙන් පැහැදිලි කරන ලද ඔහු පළමු රූප රාමුව ගැනීමට කැමරා අංක 1 ට අණ කළේය. කිසිදු වැරැද්දක් සිදු නොවීමට වගබලා ගනිමින් පුරා විනාඩි 50 කට ආසන්න කාලයක තුළදී රංගන ශිල්පීහු සහ ටෙලි නාට්‍යයට සම්බන්ධ වූ සෙසු වෘත්තිකයෝ තමන්ගේ යුතුකම් කොටස මැනවින් ඉටු කළහ. ඒ පිළිබඳව උතුරා ගිය සතුට ටයි මහතාගේ උපැස් යුවළට යටින් ගාල ආ කඳුළුවලින් ප්‍රතිබිම්භනය විය. එදින උදේ සිට වරින් වර කැන්ටිමට ගොඩ වැදී සිගරට් පුලුස්සමින් ඔහුගේ සිතේ තිබුන චකිතය මුදා හැරියේ තවත් අභියෝගයක් ඉතා සාර්ථකව ජය ගනිමින්, තමාගේ නිර්මාණ දිවියට එය එකතු කර ගනිමිනි. රූපවාහිනි කෙටි ඉතිහාසය තුළ මෙවැනි හපන්කමක් කිරීම පිළිබඳව එවකට රූපවාහිනියේ සේවයේ යෙදී සිටි ජපන් විශේෂඥයන් පවා විශ්මයට පත් වූයේ ඔවුනගේ රටේ ඒ වකවානුව වන විට ද, එවැනි අභියෝගාත්මක නිර්මාණ කාර්යයකට අත ගැසීමට පවා කිසිම රූපවාහිනී අධ්‍යක්ෂවරයකු ඉදිරිපත් වී නොසිටිය බැවිනි.

රූපවාහිනිය මාධ්‍යය සඳහා ටයි මහතා විසින් කරන ලද කාර්යභාරය අසමසමය. ඓතිහාසකය. විදේශීය නිර්මාණ කෘතියක් හෝ පේ‍්‍රක්ෂක රස වින්දනය සඳහා ගෙන එන ලද්දේ තෝරා බේරාගෙනය. අද දවසේදී රූපවාහිනී නාලිකාවන් බදු අරගෙන අනාගත පරපුර විනාශ කිරීමට මූලික වී ඇති කසිකබල් ඉන්දියානු ටෙලි නාට්‍ය සිංහලෙන් හඬ කැවීමේ ව්‍යසනය හමුවේ ටයි මහතා ජීවත්ව සිටියේ නම් ‘මල්ගුඩි දවස’ වැනි නිර්මාණයන් ලෝක නිරමාණ තලයේ සොයා පීරමින්, ලාංකික ප්‍රේක්ෂක ජනතාවට ඒවා ළං කිරීමේ ආධ්‍යාශයක ඔහු නිරත වනබව නම් සහේතුකය.

ටයි මහතා ජීවත්ව සිටි කාලයේදී කිසිම දේශපාලන බලධාරියකුට හෝ ඔහුගේ සහචරයකුට හිස නොනැමූ සෘජුපටි ගුණයෙන් සපිරි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක් විය. මෙය ස්ඵුට කිරීමට කතා බොහොමයක් ඔහු වටා ගෙතී ඇතත්, මේ කතාව ඒ අතුරින් සුවිශේෂී වේ. දිනක් ටයි පටියක් පැළඳි තරුණයෙක් කිසිදු ගරු කිරීමකින් තොරව අප රාජකාරි කටයුතු කරන ලද කාමරයේ දොර ඇරගෙන පැමිණියේය. ඔහුගේ (අ)වාසනාවට දෝ ටයි මහතා ද ඒ මොහොතේ තම අසුන මත වාඩි වී සිටියේ භාරදූර රාජකාරියක නිරත වෙමිනි.

‘ඔයාද ටයිටස් තොටවත්ත’ ටයි මහතා ඉදිරියේ පෙනී සිටි මේ තරුණයා ටයි පටිය සකස් කරමින් තමන්ගේ උඩඟුකම මුදා හැරියේය. ටයි මහතා එයට පිළිතුරු නොදී ඔහුට අසුනක් හෝ පවරන්නේ නැතිව අප සමඟ දොඩමළු වූයේ තමන් නියැලී සිටි රාජකාරි කටයුත්ත ද පසෙක තබමිනි. විනාඩි දහයක් පමණ ගත වුව ද තරුණයා සමඟ එක වචනයක් හෝ කතා කිරීට ටයි මහතා හෝ අප කිසිවකු පෙලඹුණේ නැත. නොඉවසිල්ලෙන් බලා සිටි තරුණයාට කේන්ති ගියේය.

‘මං ආවේ ජනාධිපතිතුමාගෙන්‘

ටයි මහතා කොක් හඬලා සිනාසුණේය.

‘ඒයි මේ බලපං මාර වැඩක්නේ. අපි නම් ඇවිල්ලා තියෙන්නේ අම්මගෙන්. මෙයා ඇවිත් තියෙන්නේ ජනාධිපතිගෙන්ලු. ඒක වෙන්න පුළුවන්ද බං?’

තරුණයා මැඬගත් කෝපයෙන් යුතුව ටයි මහතා දෙස කිහිපරක් බලා ක්ෂණිකවම දොර ඇරගෙන යන්නට ගියේය. ඔහු ඒ මොහොතේ පැමිණ තිබුණේ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ හදිසි පණිවිඩයක් රැගෙන බව පසුව අප හට ආරංචි විය. වරක් රජයේ චිත්‍රපට අංශය යටතේ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම ටයි මහතාට පැවරිණි. එහි රූපගත කිරීම් කරන දර්ශන තලයන්ට විෂය භාර අමාත්‍යවරයා පැමිණීමට පුරුදු වී සිටියේ. එවැනි අවස්ථාවලදී ඔහු විසින් චිත්‍රපටයට අන්තර්ගත කළ යුතු රූප රාමු පිළිබඳව ටයි මහතාට ඇවිටිලි කරන්නට ද පුරුදු වී සිටියේය. දිනක් එම වාර්තා වැඩ සටහනේ රූපගත කිරීම් කටයුතුවල ඉතා කඩිසරව ටයි මහතා නියැළී සිටන අතරතුරේදී අදාළ අමාත්‍යවරයා දර්ශන තලයට පැමිණ සුපුරුදු පරිදි ටයි මහතා යම් දෙයක් ප්‍රකාශ කරන විටදී ටයි මහතාගේ රතු කට්ට පැන්නේය. ඔහු අධ්‍යක්ෂ අසුනෙන් නැගිට්ටේය.

‘ඈ යකෝ දැන් මේ වැඩේ ඩිරෙකටර් තෝද එහෙම නැත්නම් මන්ද? මෙන්න ඩිරෙක්ටර් පුටුව, වාඩිවෙන එකැයි ඇත්තේ’.

අමාත්‍යවරයා කිසි දෙයක් ප්‍රකාශ නොකර මඳක් වේලා ටයි මහතා දෙස බලා සිටියේය. ඔහු එතැනින් නික්ම ගොස් තම වාහනයට නැග ගිය පසුව ටයි මහතා නිදහසේ තමන්ගේ රාජකාරි කටයුතුවල නියැළුණේය. කොන්ද කෙළින් තබාගෙන නිර්මාණ කාර්යයේ යෙදුණු කලාකරුවන් අතුරින් ටයිටස් තොටවත්ත යන නාමය ඉහළ තලයක රැඳී ඇත්තේ රූපවාහිනී මාධ්‍යයේ අද දවසේ නියැළී සිටින නිර්මාණකරුන්ට ප්‍රදීපස්ථම්භයක් වෙමිනි.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.