කියවිණි තන් වැසිය එනම් දියසෙන් රජු මෙදිනා

දෙසැම්බර් 5, 2019

"රාජ්‍ය වර්ෂ 2500 වනාහි ව්‍යවහාර වර්ෂ 2020 වන්නේය. එකල්හි හෙළ දෙරණේ විසල් යුද ගිනි නිවාලු විදග්ධ නියමුවාණන් ඒකාන්තයෙන්ම රාජ්‍යත්වයට පත් වී තම මවුබිම පූර්ණ ලෙස සුඛිතමුදිත කරමින් සම්බුදු සසුන ලොව තුළ අප්‍රමාණ ලෙස බබළවන්නේය. මේ බව සුමන සූත්‍රය තුළදී බුදුහිමියන් විසින් අවධාරණය කර ඇත. එය තව නොබෝ දිනකින් නියතව සිදුවනු ඇත." මෙසේ සඳහන් වූයේ යූ ටියුබයේ ගීතයක පදරචනයට පෙරවදනක් ලෙසය. 2020ට ඇත්තේ තව සති තුනක පමණ කාලයකි. මේ දෙරණේ තිස් වසරකට ආසන්න කාලයක් පැවැති, මෑත අතීතයේ දරුණුතම යුද ගින්න නිවාලූ නායකයා ජනාධිපතිධුරයට පත් වූයේ මීට සති තුනකට පමණ පෙරය. එසේ නම් අප මේ එලැඹ සිටින්නේ බුදු හිමියන්ගේ ශ්‍රී මුඛයෙන් වදාළ අනාවැකියක් සත්‍ය වන යුගයකද? පාඨක ඔබටත් දැන් දැන් මෙසේ සිතෙනු ඇත.

වසර 57ක් පුරා රසිකයන් සමඟ කලා තොරතුරු බෙදාහදා ගන්නා සරසවිය වැනි ජාතික කලා පුවත්පතකට දේශපාලනය අදාළ වන්නේ ඉතා අල්ප වශයෙනි. එනිසා රටක පාලකයන් පත්වීම හෝ පහවීම පිළිබඳ පුවත්, තොරතුරු පළ වන්නේද අහම්බෙන්ය. එහෙත් කලාවට සම්බන්ධ පුද්ගලයන් දේශපාලනයට යා වන මොහොතක ඒ පිළිබඳ රසිකයන් දැනුම්වත් කිරීමද නොකර සිටිය නොහැකිය. ඊටත් වඩා රටේ කලාකරුවන් බහුතරයක් එක්ව යම් නිර්මාණයකට දායක වේ නම් එය දේශපාලනික වුවද නොවුවද සරසවියට එය අදාළ වේ. එනිසා පසුගිය දිනෙක අති විශාල කලා ශිල්පී ශිල්පිනීන් පිරිසක් එක්ව ගැයූ ගීතයක් වෙත අපි අවධානය යොමු කළෙමු.

ගීතය නම් කර තිබුණේ තුන් හෙළේ යනුවෙනි. යූ ටියුබයේ ඉතා සරල මට්ටමෙන් විශේෂ රූප රචනාවලින් තොරව නිර්මාණය වූවක් ලෙස චාම් අන්දමින් ප්‍රචාරය වුණු මෙහි සුදෝ සුදු වතින් සැරසී අතේ නෙළුම් මල් පොහොට්ටු ගත් කලාකරුවෝ විශාල සංඛ්‍යාවක් එක් රොක් වී මේ ගීතය ගයති. එහි අර්ථය ගෙන බලන විට වසර 2500ක ඉතිහාස කතාවකට වර්තමානය ගැළපීමට ගත් උත්සාහයක් ලෙස ද පෙනුණි.

සුමන සමන් දිව්‍ය රාජයා ලෙස පසුකලෙක දේවත්වයට පත් වූ සුමන නම් ශ්‍රද්ධා සම්පන්න පින්වත් මනුෂ්‍ය පුත්‍රයා අරභයා බුදු හිමියන් ලක් දිවට වැඩමවා වදාළ කල්හි දේශනා කර වදාළ සුමන සූත්‍රය මෙයට පාදක වූ බව ඉහත වැකියට අනුව පැහැදිලි වේ. එබැවින් මේ ගීය නිර්මාණය වුණු අයුරු සෙවීමට අපි උත්සුක වුණෙමු. වෙසෙසින්ම ගායක ගායිකාවන්, රංගන ශිලපී ශිල්පිනියන් ඈ නොයෙක් කලාකරුවන් අති විශාල සංඛ්‍යාවක් එකාවන්ව ගීය ගැයීමට එක්රොක් වීම ද වෙනදා නොදුටු අපූර්වත්වයකින් මේ පිළිබඳ සෙවීමට අපට හේතු කාරණා සැපයීය.

මුලින්ම අප ඒ ගීයේ පද රචනය කියවා සිටීම වඩා උචිත යැයි සිතේ. 

කියග මගිය එනු කොහි සිට දද සමනල ගොසිනා 
නොය කිය මුතු එදිගැ බමුණ සුමන සුරිඳු විසිනා 
ගිය කල දෙදහස පන්සිය රජකු එතැයි දියතා 
කියවිණි තන් වැසිය එනම් දියසෙන් රජු මෙදිනා

තුන් හෙළේ ගිනි අවුළා 
ඒ ගින්නෙන් අප දැවෙනා 
ලක් මවගේ ඇස් වහලා 
මගේ රටම ගිනි තැබුවා 
ඒ සියලු ගිනි දැල් නිව නිවා 
රන් දිය අරන් ආවා 
රට මුදාලන රජිඳා 
හෙළ දෙරණ මත පිපුණා... දියසෙන්

නොතිර ජය දද නන්වමින් 
හෙළ දෙරණ යළි දිනවා 
සිහළ දේශය සුරකිනා 
අසමසම විරුවා 
සුනෙර ගිර වීලා 
ජන පවුර සැදුවා 
දැය සුරකින නිරිඳුන් සදා 
දෙරණ මත පිපුණා .... දියසෙන්

නොතිර පැහැසර මෙත් සිතින් 
හෙළ දෙරණ යළි නංවා 
දහම් දීපය සනසනා 
සොඳුරුතම මිනිසා 
පහන් ටැඹ වීලා 
නැණ පහන් දල්වා 
ලොව සනසනා නිරිඳුන් සදා 
දෙරණ මත පිපුණා... දියසෙන්

සේනානායක වේරලියැද්ද, ප්‍රදීපා ධර්මදාස ප්‍රමුඛ ගායක ගායිකාවන් පමණක් නොව විවිධ කලා ශිල්පීන් ද එක්ව ගයන මේ ගීයේ පද රචනය නිශාන්ත විජේසිංහ විසින් ද සංගීතය ජානක ෆොන්සේකා ද, නිර්මාණ අධ්‍යක්ෂණය සුදන්ත තිලකසිරි මෙන්ම නිර්මාණ සැලසුම චන්ද්‍රපාල ලියනගේ විසින්ද සිදු කර ඇති බව එහි සඳහන් වේ.

එනිසා අපි මුලින්ම මෙහි පද රචක නිශාන්ත විජේසිංහ මහතාගෙන් මෙවැනි සංකල්පයක් ඔහුගේ මනසේ ගොඩනැඟුණු ආකාරය විමසුවෙමු.

"විජය රජ්ජුරුවෝ නිල වශයෙන් රාජ්‍යත්වයට පත්වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 480දි නේ. එතකොට කොහොමත් රාජ්‍ය වර්ෂ 2500 වෙන්නේ එලැඹෙන 2020දි. හැබැයි ජනශ්‍රැතියේ එන කරුණුවල මේ පිළිබඳ පොඩි පොඩි පරස්පරතා නැතුවා නෙවෙයි. බුද්ධ වර්ෂ 2500 හා රාජ්‍ය වර්ෂ 2500 වෙනස්. බුද්ධ වර්ෂ දෙදහස් පන්සියය එක විදිහකට ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1956 වෙනවා. එහෙම බැලුවොත් මේ බුද්ධ වර්ෂ 2563. ඒ ගැනත් තර්කානුකූලව බැලුවොත් මේ අවුරුදු 63 තුළ නැවත ධර්මද්වීපයක් කරා රට ගෙනයන්න පුළුවන් පාලකයෙක් බිහිවුණේ නැහැ. මුළු ලෝකයටම බුදු සසුන ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණෙත් නැහැ. ඒ වගේම පසුගිය කාලය වැනි යුද සමයක් තිබුණෙත් නැහැ. ඉතින් බුද්ධ වර්ෂ දෙදහස් පන්සීයෙදි එවැන්නක් නොවුණ නිසා රාජ්‍ය වර්ෂ 2500 අරබයා මේ සූත්‍රය දේශනා කළ බව හිතන්න ඉඩකඩ වැඩියෙන් තිබෙනවා. ඒ වගේම බුදු රජාණන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාට දේශනා කළ සුමන සූත්‍රය ගැන මූලාශ්‍ර ගණනාවකම සඳහන් වෙනවා. ජනශ්‍රැතියටත් මේ කරුණු එකතු වෙලා තිබෙනවා. ඒ දෙකම විස්ලේශනය කරලා බැලුවාම තේරෙනවා බුදු දහමේ තිබෙන පරම සත්‍යතාව මුළු ලෝකයටම ව්‍යාප්ත කරන පාලකයෙක් නැවත ලක්දිවෙන් බිහි වන බව. ඇත්තෙන්ම සුමන සූත්‍රය කියන්නේ සූත්‍ර පිටකයේ සඳහන් සූත්‍රයක් නෙවෙයි. ඉන් පරිබාහිරව දේශනා කළ එකක්. විශේෂයෙන්ම හෙළ ද්වීපයට බුදුහිමියන් වැඩම කර දේශනා කළ සූත්‍ර, සූත්‍ර පිටකයේ සඳහන් නොවුණේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් නොසිටි බැවින්ද කියලත් ඉතිහාසයේ සැක කරනවානේ. විශේෂයෙන් බෞද්ධ ඉතිහාසය ගෙන බැලුවොත් ත්‍රිපිටකයට ඇතුළත් නොවූ සූත්‍ර ගණන වැඩියි. මොකද පැවිදි භික්ෂූන්ට දේශනා කළ මතක තබාගත් ඒවා හැර ගිහියන්ට දේශනා කළ සූත්‍ර විශාල ප්‍රතිශතයක් එයට අයත් නොවන නිසා. එවැනි සූත්‍ර විශාල වශයෙන් ඉන්දියාවෙත් විසිරී තිබෙන බව මිලින්ද මූලාශ්‍ර ආදියේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම වෙන්න ඇත්තේ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාට වැදගත්වන ධර්ම කරුණු අඩංගු සූත්‍රවලටනේ ප්‍රමුඛත්වය දෙන්න ඇත්තේ. ගිහියන්ගේ භාණක පරපුරක් බිහිවුණේ නැහැනේ. ඒ නිසා ඒ සූත්‍ර එකක්වත් ත්‍රිපිටකයට ඇතුළත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පැරකුම්බා සිරිත ලියද්දි යොදාගත් තොරතුරු බොහොමයක් මේ ගීයේ සංකල්පය ගොඩනැඟෙන්න හේතු වුණා. 

සුමන සූත්‍රයේ දේශනා කර වදාළ අපූර්ව සිද්ධි දාමයක් වර්තමාන සිදුවීම් සමඟ ගැළපෙනවා කියන්න පුළුවන්. එකක් දෙරණ මත නෙළුම් කුලුණක් පහළ වෙනවා කියලා තියෙනවා. අද කෘත්‍රිමව හෝ එවැනි දෙයක් සිදුවී තිබෙනවානේ. අනෙක නෙළුම් මතින් මතුවන නායකයෙක් ගැන කියනවා. සංකේතාත්මකව හෝ ඒ දේවල් සිදු වෙලා තිබෙනවානේ. සමහරවිට පවිත්‍රබව කියන්න වෙන්න ඇති මේවා යොදා ගත්තේ. ඒත් ඒ සංකේථාර්ථ, දිවුරුම්දීමට රුවන්වැලි සෑය තෝරා ගැනීම වැනි දේවල්වලින් විශාල සාම්‍යයක් තිබෙනවා.

මම මේ කියන දේ කවුරුත් විශ්වාස කරයිද දන්නෙත් නැහැ. අනුර රණසිංහගේ ස්ටූඩියෝ එකේ හදපු සින්දුවෙ ට්‍රැක්ස් ටික තමයි මට එව්වේ. ගීතයේ තනුව එවලා මම ඒක අහලා නින්දට ගියා. මට හීනයෙන් වගේ තමයි මේ දියසෙන් කුමාරයා පිළිබඳ වස්තුබීජය ඔළුවට ආවේ. ඒ තනුව හරියටම පද රචනයට ගැළපුණා. දියසෙන් කියන කොටසටත් හරියටම ඉඩක් ඒ තනුවේ තිබුණා. හරිනම් ගීතයක් ලියලා එපැයි තනුව නිර්මාණය කරන්න. මේක සිදුවුණේ අනික් අතට."

ජානක ෆොන්සේකා ඒ තනුව නිර්මාණය කරන්නට ඇත්තේ ජනතාවගේ බලාපොරොත්තු සහ ජවය එක්තැන්වල දේශීයත්වය මෙන්ම උදාරත්වය මුසු කරමින් යැයි එය ශ්‍රවණය කරන අයෙකුට අර්ථකථනය කළ හැකිය.

ප්‍රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාස මේ ගීතයේ ආරම්භය ලබා දෙන්නේ ගැමී ඌරුව හොඳීන් දැනෙන පරිදි මුල් සීපදය ගායනා කිරීමෙනි. ඇය මේ ගීයට මුල පුරන්නේ සිය ස්වාමිපුරුෂයා අදාළ දේශපාලන පක්ෂයේ පෙරමුණේ සිටින නිසාද? අපට නිතැතින්ම නැඟුණු පැනයයි.

"මම නිශාන්තව අඳුනන්නේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ ගීත සංරක්ෂණයට එහෙම දායක වූ කෙනෙකු නිසයි. මීට අවුරුදු හතරකට පහකට කලින් ඔහු සිතිවිලි කියලා ධම්ම පදයේ ගාථා ඇසුරෙන් අපේ සිතිවිලි කොහොමද අපේ ආධ්‍යාත්මයට බලපාන්නේ කියන එක ගැන ඉතා ලස්සන ගීතයක් කළා. මමත් එයට සම්බන්ධ වුණා. සුමන සූත්‍රයේ එන මේ කවිය සමඟ මේ ගේයපද නිර්මාණය කළාම ඔහුට හිතුණලු ප්‍රදීපා අක්කා තමයි මේ කවිය කියන්න හොඳ කෙනා කියලා. ඊට පස්‌සෙ ගීතය පිරිමි හඬකින්ද ගැහැනු හඬකින්ද කිව යුත්තේ කියලා දෙගිඩියාවක ඔහු හිටියේ. ඒ ගීතය පටන්ගන්නේ ඉහළ ස්වරයකින්. ඉතින් කාන්තා හඬකින් ඒ තරම් ඉහළින් ගයනවාට වඩා හොඳ පිරිමි හඬකින් කීවොත් ගැළපෙන නිසා, පණ ඇති නායකයා ගීතය ගැයුව සේනානායක වේරලියැද්දගෙ හඬින් කීවානම් හොඳයි කියන දේ මම ඔහුට යෝජනා කළා. එය සාර්ථක වුණා.

මම කියන කවි කොටස ගැන සංඝයා වහන්සේලා වුණත් හරියට ප්‍රතිචාර දැක්වූවා. මට දුරකථන ඇමතුම් දීලා පවා කීවා ඔබ එය කට ඇරලා පණ ඇතුව කියන නිසා හදවතටම දැනෙනවා කියලා. ඇත්තෙන්ම එය පැල් කවි, පාරු කවි කියනවා වගේ ජන ගී හඬකින් කියන්නෙ. කේමදාස මාස්ටර් ළඟ 88-89 කාලේ සත්‍යාංගනා නාට්‍යය කරන කාලේ මම කළ සත්‍යාංගනා චරිතයේ ගීත 18ක් කියන්න තිබුණා. ඒක අවුරුද්දක් විතර අපි පුහුණු වුණා මොකද ප්‍රේක්ෂකාගාරයේ අන්තිම පේළියේ රසිකයා දක්වා ඇහෙන විදිහට කියන්න කියලා මාස්ටර් තමයි මට කියලා දුන්නේ. කලාභූමියේ මම සංගීතය ඉගෙන ගත්තාට ඒ පුහුණුව ලැබුණේ කේමදාස මාස්ටර්ගෙන් බව පිං දීලා මම කියන්න ඕනෙ.

මට ඇත්තෙන්ම සතුටුයි රට වෙනුවෙන් යමක් කිසිම පාට පක්ෂ භේදයකින් තොරව කරන්න. ඒක තමයි සැබෑ කලාකරුවකුගෙන් විය යුතු දේ. ඇත්තෙන්ම ඩලස් අලහප්පෙරුමගේ දේශපාලනය නිසා මට වුණේ බොහෝ දේවල් නැති වුණ එකයි. (ඇය සිනාසෙයි) මම ඒක කියන්නේ තරහකින් නෙවෙයි නංගි. ඇත්තෙන්ම එයා පවු. දේශපාලනය නිසා එයාටත් බොහෝ දේවල් වුණා. ඒත් මගේ දේශපාලන ස්ථාවරයේ මම ඉන්නවා හැමදාම. කලාකාරිනියක් ලෙස විතරක් නෙවෙයි, පුරවැසියකු ලෙසත් අපි ඉපදුණු රට ජාතිය වෙනුවෙන් යමක් කරන්න ඕනෙ කියන තැන මම ඉන්නේ. අපි මේ රටෙන් කෑවේ බීවේ, ඉගෙන ගත්තේ මේ රට තමයි අපේ ජීවිතේ හැමදේම නිසා ඒ බැඳීම අපට තිබිය යුතුයි.

මම නිශාන්ත ගැනත් යමක් කියන්න ඕනෙ. ඔහු අලුත් නායකයෙකු පත් වෙනවා නම් කියලා රටේ ආර්ථික විප්ලවය, දේශපාලන විප්ලවය, ආධ්‍යාත්මික විප්ලවය, සංස්කෘතික විප්ලවය, සාහිත්‍ය විප්ලවය කියමින් ඒ සැම ක්ෂේත්‍රයකින්ම කළ යුත්තේ කුමක්ද කියන දේට ලස්සන නිර්මාණ කළා. ඒ වගේ නිර්මාණ ඔස්සේ අපේ තිබෙන මාධ්‍යායතනවලින් ඒ පිළිබඳ කතිකාවක් ගොඩනඟන්න පුළුවන් නම්, අපි හැම දේටම බැන බැන ඉන්නවාට වඩා ඒක හොඳ වේවි. එහෙම වුණොත් රට, වගේම අපේ සමාජයේ ආධ්‍යාත්මය ගොඩනැඟීම සඳහා මාධ්‍යවලින් ලොකු මෙහෙවරක් කරන්නත් පුළුවන් වේවි"

ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වේරලියැද්ද මෙහි ප්‍රධාන ගායකයාය. ඔහු මේ ගීයට සම්බන්ධ වූයේ කෙසේ දැයි අපි ඔහුගෙන්ද විමසුවෙමු.

“මම රාජ්‍ය නායක නායිකාවන් කීපදෙනකුම පත්වන අවස්ථාවල ගීත සඳහා සහභාගී වී තිබෙනවා. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ වගේම මහින්ද මහත්තයා වෙනුවෙන් පණ ඇති මිනිහෙක් ගීතයත් ගැයුවා. මේ වරත් ගීතය සඳහා අපි සහභාගි වුණේ සාමූහිකව. රට ගොඩනඟන බුදු දහම ලොව පතළ කරන නායකයෙක් බිහිවන බව ඉතිහාසයේ පවා ලියැවී තිබෙන බව කියන මේ ගීතය ජනතාවගේ බලාපොරොත්තුව ගැන කියන්නක්. ඒ වගේම හැම ජාතියකටම ආමන්ත්‍රණය කළ හැක්කේ කලාවෙන් බව කියන්නයි අපි කලාකරුවන් එකමුතුව මේ ගීතය ගයන්න සහභාගී වුණේ. අපි එකමුතු වනවා වගේම ජනතාවත් එකමුතු වෙලා මේ රට හදයි කියන හැඟිම පෙරදැරි කරගෙන තමයි මේ ගීය අපි ගැයු‍වේ. ප්‍රධාන හඬ මුසුව මගේ වුණාට බොහෝ දෙනෙක් මෙයට සහාය ගායනයෙන් එකතු වුණා. කවුරුත් මෙවැනි ගී සඳහා ඉදිරිපත් නොවන කාලෙත් මම ඉදිරිපත් වුණ නිසා වෙන්න ඇති මාව තෝරාගන්න ඇත්තේ. මටවඩා ප්‍රවීණයන් අපේ මේ වෑයමේදි එකාවන්ව කටයුතු කළබවත් සතුටින් කියන්න ඕනෑ“

ගීතයේ නිර්මාණ සැලසුම කළ චන්ද්‍රපාල ලියනගේ සහ නිර්මාණ අධ්‍යක්ෂණය කළ සුදත්ත තිලක්සිරි මහත්වරුන් බොහෝ විට දැක්වූයේ එකම අදහස්ය.

“රටක රාජ්‍ය නායකයෙක් බිහිවීම අහම්බෙන් වෙන්නේ නැහැ. ජනතා ආකර්ෂණය අනුවයි එය සිදුවන්නේ. ඒ සඳහා ඔවුන් යම් බලයක් ශක්තියක් වගේම අභියෝග ජයගන්න පුළුවන් අය විය යුතුයි. ලෝක ඉතිහාසයෙත් සිදුවන්නේ එහෙමයි. එවැනි නායකයන් බිහිවන විට ජනතාවට දැනෙනවා රටේ තිබෙන ප්‍රශ්නවලට ඔරොත්තු දිය හැකි පුද්ගලයා කවුද කියලා.

මේ ජයග්‍රහණයට ඇත්තෙන්ම පෙළ ගැසුණේ කල්ලි කණ්ඩායම්වලට වඩා සාමාන්‍ය ජනතාව, කලාකරුවන් වගේ අය. ඉතින් අපි හිතුවේ කලාකරුවන් කොපමණ ඒ වෙනුවෙන් කැප වුවත් ඔවුන් විසිරී හිටිය නිසා ඔවුන් සියලු දෙනා එකතු කළ යුතුයි කියලා. ඔවුන්ගෙන් පොදු පණිවුඩයක් දෙන්න කළ විවිධ ක්‍රියාකාරකම් අතර හොඳ ගීත කීපයක් ඉදිරිපත් කළ යුතුයි කියන අදහසත් ආවා. සියලු කලාකරුවන් සමඟ රැස්වීමක් තියලා ප්‍රඥප්තියක් එළිදැක්වුවා. පසුව සංස්කෘතික අධ්‍යක්ෂගේ සහ ලේකම්ගේ අනුමැතිය ඇතිව නිදහස් චතුරශ්‍රයේ ඒ ගීතය රූගත කරන්න අපි ගෙවීම් කර අවසර ගත්තා. ඒත් වෙනත් වැඩසටහන්වලට අවසරය දී තිබියදී අපේ ගීතය රූපගත කිරීම තහනම් කළා. කලාකරුවන් තුන්හාරසීයයක් එකතුවෙලා සිටිය නිසා මේ ප්‍රශ්නය විසඳන්න ගංගාරාමයට ගියත් ඒකත් ව්‍යර්ථ වුණා. සවස තද වැස්ස නිසා සියලු කටයුතු අවුල්වියවුල් වෙද්දි බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනයට එන්න පුළුවන් කලාකරුවන්ට දුරකතනයෙන් කතා කරමින් ගෙන්වාගෙන පුළුවන් විදිහට රූපගත කිරීම කළා. ඒ නිසා තමයි භක්ති ගීයක් වගේ පේන්නෙ. එවැනි අභියෝග මැද්දේ රූපගත කිරීම් කළාට පසු තමයි අවසන් ගීය පටිගත කළේ. කොහොමහරි පැය 24කින් කළ වැඩක් මේ ගීතය.“

ගීතයේ අර්ථය සැබෑ වන්නේදැයි අත්දකින්නට අපට ඇත්තේ තව සුළු කාලයකි. ඉතින් අපි බලාහිඳීමු ඒ දිනය උදාවනතුරු!


CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.