ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ

කුරුලු බැද්ද
දෙසැම්බර් 5, 2019

පී.කේ.ඩී.සෙනවිරත්න එකල ප්‍රචලිතවී සිටියේ ගැමි කථන්තර ලිවීමට හැකි අතී දක්ෂයෙකු ලෙසය. රන් මැණිකාගේ කථාවද එසේ පී.කේ.ඩී. ලියූ එවන් වූ ගැමි කථාවකි.

පී.කේ.ඩී. ගේ කුරුළු බැද්ද ලංකාවේ කොයි පළාතක තිබෙන ගමක්ද කියා දන්නේ ඔහුම පමණි.බොහෝ විට මෙය පී.කේ.ඩී.ගේ මනසේ ඇතිවූ ගමක් විය හැකිය. එහෙත් ඒ තුළ ඔහු හරි අපූරු චරිත -කීපයක් මවා තිබුණි. කයිතන් - සරත් බන්ඩාර - දොස්තර නිහාල් -බන්ඩාර මැණිකේ -සියදෝරිස්- නිව්ටන් -ආතා- හා පොඩිමහත්තයා වැනි චරිත කුරුලු බැද්ද තුල සැරිසරන්නට විය. මේ සියල්ලම අතරින් රන්මැණිකාගේ චරිතය සුවිශේෂිත විය.

“අරුණ උදයේ පිපුණු මල සේ

පිබිද මැළිකම් දුරලලා

මුහුණ දොවලා මිදුල පිසලා

දෙගුරු කුල දෙවි නැමදල”

සියදෝරිස් වැඩ කලේ බංඩාර පවුලට අයත් ඉඩකඩම් හා කුඹුරු වලය. රන් මැණිකා සියදෝරිස්ගේ එකම දියණියයි. පී.කේ.ඩී තම කථාව තුළින් පෙන්වන්නේ රන් මැණිකා අසාමාන්‍ය රූපසම්පත්තියකින් හෙඹී හැම කාර්යකින් සපිරුණු ගැමිලියක් ලෙසටය. එය හරියට කුරුලු බැද්ද ගමට පෑයූ සඳක් වගේය. එතනදී පී.කේ.ඩී. රන්මැණිකාට දුන් අසීමීත අගය උවමනාවටත් වඩා වැඩි යයි සිතේ.

චිත්‍රපටයේ මුල් භාගයේ චිත්‍රපටය අතට ගන්නේ කයිතන්ගේ චරිතයයි. එය විටෙක ප්‍රධාන චරිතයදෝ කියා සිතෙන තරමටම එය ප්‍රබල විය. කයිතන් යනු එක්තරා අන්දමක ගණන්කාර චරිතයක් විය. සට කපට, බොරු බේගල් ඇද බාන, එකිනෙකා කොටවන, නිතරම රා බී වෙරිවී සිටින මැදිවයසට එළැඹුනු හේ ,අවිවාහක පුද්ගලයෙකි. ඔහු ජීවත් වූයේ තම මව සමඟය. සියදෝරිස් සමඟ ඔහු ජම්මන්තර වෛරයකින් පසු වූයේ ඔහු කළ හොරකමකට සියදෝරිස් ඇහින් දුටු සාක්ෂිකරුවෙක් වූ නිසාය. නඩුවේදී කයිතන් සිරගත වීමට ඔන්න මෙන්න කියා තිබියෙදී, නඩුකාර උන්වහන්සේගේ අනුකම්පාව දිනාගෙන ඔහුගේ කනින් රිංගීමට කයිතන්ට හැකිවිය. නඩුවෙන් බේරි ආ දින සිට ඔහු බැලුවේ සියදෝරිස් හා ඔහුගේ පවුලේ උදවියට හතුරු කම් කර ඔවුන්ව නැතිකර දැමීමටය. එය රන්මැණිකාට සෘජුවම බලපෑවේය.

සරත් බන්ඩාර, එම ගමේ ප්‍රභූ තරුණයෙකි. ඔහු ජීවත් වූයේ තම මව වූ බන්ඩාර මැණිකේ සමඟය. ඔහුගේ පියා මියගොස්ය. ඔවුන් කෙතරම් ප්‍රභූවරුන්ද කිවහොත් ඔවුන්ට අලි, ඇතුන් පවා සිටියහ. පොහොසත් කමින්, මාන්නයෙන් බංඩාර මැණිකේ හිස උදුම්මාගෙන සිටියද ඇය අසාධාරණ, සැර පරුෂ ගැහැණියක්ම නොවේ. ඇයට අවශ්‍ය වී තිබුණේ, මේ විශාල බංගලාව, ධනස්කන්ධය රැක බලාගෙන සිටිය හැකි, ප්‍රභූ පැලැන්තියට අයත් පවුලකින් වැදගත්, උගත්, රූමත් තරුණියක් සමඟ තම එකම පුතුවූ සරත් බණ්ඩාරව විවාහ කර දීමටය.

රන් මැණිකාව ඔහුගෙ නෙත ගැටෙනුයේ ඔහු මෙසේ ගම තුල දුප්පත් මිනිසුන් සොයා යන අතරේදීය.

“ගමන නාලිය වැනිය ඈ

පිය නගා ළිඳ වෙත දියට යයි

ළිපෙහි ගිනිදළු, ලෙසට යුහුසුළු

ඇගේ ඉරියව් කඩිසරයි”

රන් මැණිකාගෙ රූපයට වඩා සරත් බණ්ඩාරගේ හිත ගියේ ඇගේ හැදියාවටය. ඇගේ ගැමි සුන්දරත්වයටය. ඇයව දකින්නට ඔහුගේ නෙත ආශා කළේය. ඇය හා දොඩන්නට ඔහුගේ සිත ඉල්ලුවේය. ඇයටද ඔහු ගැන ඇතිවූයේ විශාල පැහැදීමකි. එය ආදරයක් වූවද එයට ආදරය යයි කීමට ඇය බිය විය. ඒ ඔවුන් අතර තිබෙන විශාලවූ පන්ති බේදය නිසාය. ඇය ගේ පියා සරත් බන්ඩාරලාගෙ වතුවල වැඩ කරන දුප්පතෙකි. ඉතින් ඔවුන් පෑහෙන්නෙ කෙසේද?.

පී.කේ.ඩීට සාලිය අසෝකමාලා ප්‍රේම වෘත්තාන්තය නැවත පුනරුත්පත්ති කළ හැකි වූවද, කෙලෙසකවත් සරත් හා රන්මැණිකාව එකතු කළ හැකි වේවිද?

සරත්ගේ හොඳම යහළුවා වූයේ නිහාල්ය. එවකට ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක් විය. ඔහු නිවාඩු ලද විටදී නිතරම සරත් බණ්ඩාර ගේ නිවසට එයි.ඔවුන් දෙදෙනා එක්ව ගම වටේ ඇවිදියි. ඒ අතරය නිහාල්ට ගමේ රූප සුන්දරී තරඟයක් පවත්වන්නට අදහසක් ඇතිවූයේ.

පී.කේ.ඩී. සෙනවිරත්න මේ රූප සුන්දරි තරඟය තම කථාවට එකතු කර ගත්තේ රන්මැණිකාට තව තවත් වටිනාකමක් දෙන්නට විය හැක. රූප සුන්දරී තරඟය තියන්නටත් ප්‍රථම රූප සුන්දරිය වන්නේ කව්දැයි ප්‍රේක්ෂකයෝ දනී. දමිළ අධ්‍යක්ෂකයෙක් නොව, හොලිවුඩ් අධ්‍යක්ෂක වරයෙක් අධ්‍යක්ෂණය කලත්, සිංහල චිත්‍රපටවල හැටි එහෙමය.

රන් මැණිකා රූප සුන්දරි තරඟයෙන් පළමුවැනි ස්ථානය ලබා ගැනීම ගැන උරණ වූ දෙදෙනෙක් විය. ඒ කයිතන් , හා සරත් බණ්ඩාරගේ මව වූ බන්ඩාර මැණිකේය. ඒ වන විට තම පුතු සරත් , රන් මැණිකා ගැන වැඩි සැලකිල්ලක් හා අවධානයක් යොමු කරන බවක් බන්ඩාර මැණිකේගේ කණට ගොස් තිබුණී.

ඒ සිදුවීම් තුළට, අතිනුත් තව තව බොරු විස්තර එකතු කර බන්ඩාර මැණිකේගේ කනේ තියන්නෙ වෙනින් කව්රුත් නොව කයිතන්ය. මේ හෙයින් මේ හැම ආරංචියක්ම මැණිකේට දැන ගන්නට උවමනා නිසා මැණිකේ කයිතන්ට විශේෂව සලකන්නට විය. කයිතන් ටද අවශ්‍ය වූයේ මොන ක්‍රමයකින් හෝ සියදෝරිස් ගෙන් පළිගැනීමටය. ඔහු එයට උපයෝගි කර ගත්තේ මේ අහිංසක රන් මැණිකාවය.

රන් මැණිකා රූප සුන්දරී තරඟයෙන් දිනූ පසු ඇය ගම තුල 'හයි ලයිට්' විය. පුවත් පත්වල මුල් පිටුවෙ ඇගේ පින්තූරය පල වූයේ කුරුලු බැද්ද ගම්මානයේ රූපරාජිනිය ලෙසය. ගමේ තරුණයෝ රන් මැණිකා සමඟ යහළු වීමට දැගලුවෙ හරියට සුපර් ස්ටාර් තරඟයකට ඉදිරිපත් වෙන ආකාරයටය. බොහෝ තරුණයෝ ඇයගේ නිවස අද්දර එහාට මෙහාට ගියේ ඇයව දැක ගැන්මට මෙන්ම ඔවුන් වෙත ඇයගේ අවධානය යොමු කර ගැන්මටය. නිව්ටන් හා පොඩි මහත්තයා ද ඔය 'ට්‍රයි' කරන තරුණයන් අතර විය. ඔවුන් දෙදෙනාම රන් මැණිකාව තමනට යාළු කර දීමේ කොන්ත්‍රාත්තුව බාර දුන්නේ කයිතන්ටය.

මුන් නම් නියම 'මෝරු' දෙන්නෙක් කියා දැනගත් කයිතන් , ඔවුන් දෙදෙනාගෙන් ගජරාමෙට ගරා ගත්තේය. ඔවුන් දෙදෙනා දෙන අයුරින් සබන්, පියරු, සුවඳ විලවුන්, අරුමෝසම් බඩු, ද්‍රව්‍යමය වශයෙන් ගත් අතර, සාරි හැට්ට අරන් දීමට කියා මුදල්ද අර ගත් කයිතන් , අර සබන්, පියරු හා අනෙක් බඩු, වෙළදම් කිරීමට එන බායියෙකුට දී මුදල් ගත්තේය. අවසානයේදී කයිතන්ගෙ 'ගේම්' එක නිව්ටන්ට හා පොඩි මහත්තයාට මාට්ටු වී , ඔවුන් දෙදෙනා කයිතන්ට, එලව එලවා නෙළුවෙ, ආයෙත් ඔවැනි වැඩ නොකිරීමටය.

රන් මැණිකාගේ හිතේ ආදරයක් ඇතිවූවා නම් ඒ සරත් බන්ඩාර මහතා වෙත පමණී. සරත්ද, රන් මැණිකාට දැඩිව ආදරය කළද, තමන් අතර තිබෙන පන්ති බේදය නිසා ඇය සමග කිසිම දිනක එකතු වීමට නොහැකි වන බව දැනගෙන සිටියේය. එහෙයින් ඔහු තම සිහින ලෝකය තුළ ඇය සමඟ සැරිසරන්නට විය.

“ඔය බැල්ම ඔය කැල්ම

නිලුපුල් නෙතේ -

පුබුදාවි මල් මාල නොඉඳුල් සිතේ

සඳ රැල්ල, කිරි රැල්ල

උතුරා ගියා-

සැනසෙන්න අප දෙන්නා

දිනුවා කිය”

කයිතන් හිරේට ගියේ, සියදෝරිස් ගේ ගෙදරට ගිනි තැබූ නිසාය. එදින රාත්‍රියේ ගමේ පින්කමකි. පන්සලේ රෑ එළි වෙන තුරු බණ හා පිරිත් දේශනයකි. සියදෝරිස්, බිරිඳ හා රන්මැණිකා එයට සහභාගි වන අතර තුරදීය, කයිතන් හොරෙන්ම ගොස් සියදෝරිස්ගෙ නිවස ගිනි තැබුවේ. සියදෝරිස් විසින් තමාට විරුද්ධව සාක්කි දීම නිසා එයට පලි ගැනීමත්, රන්මැණි⁣කා, සරත් බන්ඩාර සමඟ යහළුවී ඇතැයි යන ඊරිසියා සිතුවිල්ල යන කරුණු දෙක මතය කයිතන් සියදෝරිස් ගේ නිවෙස ගිනි තැබුවේ. කයිතන් හිරේට නියම වූ පසු කයිතන්ගෙ චරිතය චිත්‍රපටයෙන් බැහැර විය.

රන්මැණිකාට, සරත් බණ්ඩාර සමඟ විවාහ වීමට නොහැකි විය. ඔවුන් අතර තිබූ විශාල සමාජ පරතරය එයට හරස් විය. එක් අවස්ථාවක සරත් බණ්ඩාරගේ හිත මිතුරා වූ දොස්තර නිහාල් සරත්ට කීවේ, කුමක් හෝ තීරණයක් ගන්නා ලෙසය. ඒ, තම මව හා තම වත්කම්, දේපළ හා ප්‍රභූ තත්වය අමතක කර දමා රන් මැණිකාව විවාහ කර ගන්නා ලෙස හෝ රන් මැණිකාව අමතක කර දමා තම මව කියන විවාහයකට කැමති වන ලෙසටය. එවිට සරත් බන්ඩාර කීවේ, ඒ දෙකම ඔහුට කිරීමට නොහැකි නිසා, ඔහු ජීවිත කාලයටම විවාහ නොවී තනිකඩව සිටින බවය.

නමුත් රන්මැණිකාට එසේ තනි තීරණයක් ගැනීමට නොහැකි විය. ඇයට තම දෙමාපියන් බල කරන⁣ දෙයට අකමැත්තෙන් හෝ එකඟ වීමට සිදුවිය. ඇය සරත් බණ්ඩාරව අමතක කර දෙමාපියන් ලෑස්ති කර දුන් තරුණයෙකු සමඟ විවාහ විය.

පි.කේ.ඩී. සෙනවිරත්න සිංහල ගැමි ආරෙට තම කථාව , දෙබස් තිරනාටකය ලීවද, මෙය අධ්‍යක්ෂණය කිරීමට පැවරුනේ දමිළ අධ්‍යක්ෂකවරයෙකුටය. ඒ, එල්. එස්. රාමචන්ද්‍රන්ටය. ඇත්තෙන්ම එය තරමක අභියෝගයක් විය. චිත්‍රපටයෙ බොහෝ තැන් හැකිතාක් දුරකට හෙළ ගැමි ආරෙට රූ ගත කළද, තවත් බොහෝ තැන් වල කෘතිම ලක්ෂණ පෙනෙන්නට තිබුනි. රූප රාමු වැඩි හරියක්ම නාට්‍යානුසාර විය. නළු නිළියෝ ජවනිකාවලට පැමිණෙන්නේ හරියට තිරය පිටුපස සිට වේදිකාවට පැමිණෙන්නාක් මෙනි. සරත් බණ්ඩාරගෙ මව වූ බණ්ඩාර මැණිකේ නම් තමනට අයිති චරිතය රඟපෑවෙ ,මෙය වේදිකා නාට්‍යයක් සේ සිතාය. එහෙත් ,රාමචන්ද්‍රන් ඇතැම් ජවනිකා තුළින් හෙළ ගැමි සිරිත් විරිත් ඒ අයුරින්ම පෙන්වන්නට උපරිම උත්සහයක් ගෙන තිබුණි. විශේෂයෙන් රන් මැණිකාගේ මඟුල් ගෙය නම් එකල ලාංකේය ගැමි විවාහ උත්සවයන් ගත් ආකාරයටම රූ ගත කෙරීය. එහෙත් චිත්‍රපටයේ අවසානයේදී නම් එල්.එස්.රාමචන්ද්‍රන් , පී.කේ.ඩී. සෙනවිරත්නගෙ ගැමි ශෛලයෙන් මිදී, ' නාඩෝඩි මන්නන්' ශෛලයට මාරුවී තිබුණි. චිත්‍රපටය මුල් ජවනිකා හා සසදන විට අවසානය නිකං ගැමි ගෙදරක ජීවත්ව සිට දකුණු ඉන්දියාවෙ ,මදුරාසියට 'ට්‍රිප්' එකක් ගියා වගේ හැගීමක් දැනුනි.

රන්මැණිකාට විවාහ වී තම සැමියා සමඟ මාස නමයක්වත් සිටීමට නොහැකි විය. ඔහු ළිඳකට වැටී රෝහල් ගත විය. රෝහලෙ දොස්තර වූයේ සරත් බන්ඩාරගෙ හිත මිතුරු දොස්තර නිහාල්ය. ඒවා නිකං 'සෙට්' කෙරුවා වගේය. ඒ 'සෙට්' කිරීම මොන තරම් ගැඹුරටම කලාද කිව හොත්, රෝහලේදී රන්මැණිකාගේ සැමියාව සුව කිරීමට නොහැකි වී මිය ගියේය. ඒ වන විට රන් මැණිකා ගැබ්බරවී සිටියාය. ඇයවද එම රෝහලටම ඇතුළත් කළාය. පණිවිඩය වහා සරත් වෙතට ගියේය. සරත් හැල්මෙ දිව ආවේය.

දොස්තර නිහාල්ට රන්මැණිකාව ගොඩ දැමීමටද නොහැකි විය. රන්මැණිකා මිය යෑමට ප්‍රථම සරත් බණ්ඩාරගෙන් පොරොන්දුවක් ගත්තාය. ඒ යම් හෙයකින් ඈ මිය ගියහොත් ඇයගේ දරුවාව භාර ගන්නා ලෙසටය. ඒවා ඒ අයුරින්ම සිදුවිය. රන් මැණිකා දරු ප්‍රසුත්තියේදී මිය ගියාය. සරත් බණ්ඩාර රන්මැණිකාට දුන් පොරොන්දුව ඉටු කරමින් එම දරුවාව තමාගේ බාරයට ගති.

'කුරුලු බැද්ද' පුරාවටම දක්ෂ රඟපෑමක් ඉදිරිපත් කළා නම් ඒ කයිතන් ලෙස රඟපෑ ඩී.ආර්. නානායක්කාර පමණි. ඔහු නිසා චිත්‍රපටයට යම් ජීවයක් එකතු විය. එලෙසම ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගැයූ 'අරුණ උදයේ පිපුණු මලසේ' ගීතය චිත්‍රපටයට දැවැන්ත ආලෝකයක් ලබා දුනි. එය අදත් විශිෂ්ට ගීතයක් ලෙස ගණනය කෙරේ. රන් මැණිකා වූයේ පුණ්‍යා හීන්දෙනියය. එකල ඇගේ රඟපෑම් තුල වූවද දක්නට ලැබුනේ නුහුරු බවකි. ඇය දකුණු ඉන්දියානු ශෛලයෙන් මිදුනද, කුරුලු බැද්ද තුළින් නම් ඇය ඉදිරිපත් කළේ නාට්‍යානු රංගනයයි. දයානන්ද ගුණවර්ධන සරත් බන්ඩාර වූ අතර,ආරියදාස පීරිස් දොස්තර නිහාල් විය. සරත් ගේ මව වූ බණ්ඩාර මැණිකේගේ චරිතයට පණ දුන්නේ මිලී කහඳවලය. සියදෝරිස් වූයේ එස්.ඒ. ජේම්ස්ය. ලිලියන් එදිරිසිංහද මෙහි චරිතයක් රඟපෑවා මතකය.

ආර්. මුත්තුසාමි සංගීතය මෙහෙය වූ, අතර, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, ලතා හා ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි පෙරේරා ගීත ගායනා කළහ.

'කුරුලු බැද්ද' 1961 මාර්තු 29 වෙනිදා සිට තිර ගත කිරීම ආරම්භ කළේය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

Add new comment