මා කාටවත් වරදක් කර නෑ

ඒත් මට මෙහෙම වුණා
දෙසැම්බර් 5, 2019

කුමාර රණේපුර ඔබ හොඳීන්ම හඳුනන්නේ ජව සම්පන්න සටන් නළුවෙකු මෙන්ම දුෂ්ටයාගේ චරිතය නිරූපණය කරන්නෙකු ලෙසය. එහෙත් මේ ඡායාරූපවලින් ඔබ දකින්නේ චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක සටන් ජවනිකාවකින් පසු දර්ශනයක් නොවේ. මේ සැබැවින්ම කොළඹ මහ රෝහලේ 80 වාට්ටුවේ 3වැනි ඇඳේ රණේපුර වැතිර සිටින අයුරු අප කැමරාවට හසු වූ ආකාරයයි. පසුගිය 19 වැනිදා සවස කැලණියේදී හදිසි අනතුරකට ලක් වූ ඔහු අද දැඩි සත්කාර ලබමින් සිටියි. ඔහුගේ සුෂුම්නාවට බරපතළ ලෙස හානි සිදුවීම නිසා දෑත් දෙපා සෙලවිය හැක්කේ ඉතා මඳ වශයෙනි. ඉතා අපහසුවෙන් වචන කීපයක් කතා කරන ඔහුට ආහාර වශයෙන් ලබා දිය හැක්කේ දියර වර්ග පමණි. අප තිරයේ දකින ජව සම්පන්න ප්‍රතිවීරයා වෙනුවට අද ලෙඩ ඇඳ මත වැතිර සිටියේ අහිංසක රෝගියෙකි.

වචන ගැටගසමින් වුව ඔහු අපට සිදුවීම මෙසේ විස්තර කළේය. 

“එදා කැලණියේ අසේල ඉන්ද්‍රලාල්ගේ ස්ටූඩියෝ එකේ ඩීවීඩී සිනමාපටයක් කරලා තිබුණා. ඒක බලලා ඉතිරි ටික කරන්න එන්නම් කියලායි මම පිටත් වුණේ. ඒ වෙලාවේ හොඳටම වැස්ස. කිරිබත්ගොඩ ඉඳන් කඩවතට යන්න කෙටි පාරක් තියෙනවා. මම ඒ පාරේ එද්දි එකපාරටම බයිසිකලේ කැපිලා මාව උඩින් ගිහින් වළක වැටුණා. එච්චරයි මට මතක.“

අවට රැස් වූ පිරිස ඔහු කොළඹ ජාතික රෝහලට ගෙන එන්නට ඇත. දින තුනකට පසු ඔහු ට සිහිය එන විටය තමන් සිටින්නේ රෝහලක බවත්, දෑත් දෙපා සොලවන්නට නොහැකි බවත්, බෙල්ල හොලවන්නට බැරි බවත් දැනගෙන ඇත්තේ. තව දුරටත් ඔහු විස්තරය කියන්නට විය.

“මම බයිසිකල් පැදිල්ල නතර කරලයි හිටියේ. ෆිනෑන්ස් කරලා පොඩි කාර් එකක් අරගෙන ඒකෙන් තමයි ගමන් බිමන් ගියේ. එදා ඉක්මනින් යන්න ඕන නිසයි මම බයිසිකලෙන් ගියේ. ඒක මගේ වෙලාව. මම කාටවත් වරදක් කරලා නැහැ. චරිතවලට අවශ්‍ය විදිහට ගහගත්තට මම කාටත් උදවු කරන කෙනෙක්. කිසිකෙනකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒත් මෙහෙම වුණේ ගිය ආත්මේ කරපු දේකටද දන්නේ නැහැ.“

කුමාර රණේපුර රංගන ශිල්පියකු ලෙස කලඑළි බසින්නේ 1980 දශකයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙනි. කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විදුහලෙන් හා දෙමටගොඩ ශාන්ත මැගසින් මැතිව්ස් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු කලාවට ඇති ලැදියාව නිසාම ඒ ක්ෂේත්‍රය තෝරා ගත්තේය. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය ඔස්සේ තම දක්ෂතා මැනවින් දැක්වූ ඔහු සටන් කලාවට දැක්වූ හැකියාව නිසාම දුෂ්ටයා ලෙස හෝ දුෂ්ඨයාගේ මිතුරා ලෙස සීමා වූ චරිතවලටම කොටු විය. වෘත්තීය රංගන ශිල්පියකු වන ඔහුට චරිත තෝරා බේරාගෙන නිරූපණය කිරීමට නොහැකි වන්නේ ක්ෂේත්‍රයේ පවතින තත්ත්වයන් නිසාමය. පෙම්වතාගේ චරිතවලට ඕනෑතරම් ශිල්පීන් සිටියද දුෂ්ටයාගේ චරිත බාරගන්නේද අතළොස්සක් පමණි. ඒ ජනතා ආකර්ෂණය ගැන සිතන නිසාය. එහෙත් මේ දිනවල තිරගතවන ෆේස් ටු ෆේස් සිනමා පටය නරඹන බොහෝ දෙනා කුමාර රණේපුරට ආකර්ෂණය වන බවද නොකියාම බැරිය. එහෙත් මේ අනතුර නිසා ඔහුට ක්‍රියාදාම චිත්‍රපටයක් වන ජීවා හි රූපගත කිරීම්වලින් සහභාගී විය හැකි වූයේ අඩකට පමණි. ඒ කෙසේ වුවද මේ වනවිට රණේපුර සිනමා පට 50ට පමණද ඩීවීඩී සිනමා පට 70ට පමණද සිය සටන් රංගන හැකියාවන් දායක කර තිබේ.

එවන් හැකියාවන් සහිත සටන් නළුවකු වූ කුමාර රණේපුර අද සිය සහෝදර ශිල්පීන් තමන්ගේ දුක සැප සොයන්නට එනතුරු අසරණව බලා හිඳීයි. 

“ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙක් දන්නේ නැහැ මට මෙහෙම වුණා කියලා. ආරංචිය ලැබෙන අය මාව බලන්න එනවා. මම කැමතියි කවුරු හරි මාව බලන්න එනවා නම්. එතකොට මගේ වේදනාව ටිකක් මඟහැරෙනවා. ඒ නිසා මගේ සහෝදර ශිල්පීන් මාව බලන්න එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම නිතර ඉන්නේ“ එසේ පවසන විට ඔහුගේ දෙනෙතට දරාගත නොහැකි වූ කඳුළු බින්දුවක් රූරා වැටිණි. ඔහු තවත් ඉල්ලීමක් අපට කළේය.

“මට තනියම මගේ වැඩ කරගන්න තවම බැහැ. ඒ නිසා කවුරුහරි අපේ ක්ෂේත්‍රෙය් යාළුවෙක් හෝ මල්ලි කෙනෙක් මගේ ළඟ නතර වෙන්න එනවා නම් ලොකු උදව්වක්. මොකද මාව බලාගන්න ඉන්න කෙනකුට ගෙවන්න තරම් මුදලක් අපේ ළඟ නෑ. මට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒකයි.

සුෂුම්නාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන ශල්‍යකර්මයට රුපියල් ලක්ෂ 15ක් වියදම් වන බව රෝහල් කාර්යමණ්ඩලයෙන් සහ වෛද්‍යවරුන්ගෙන් විමසූ අපට දැනගන්නට ලැබිණි. ඒ නිසා සරසවිය සියලු කලාකරුවන්ට මෙන්ම රසික ජනතාවට ආරාධනා කරන්නේ අපේ සහෝදර ශිල්පියාට, ඔබේ සිත පිනවූ සටන් නළුවාට යළිත් ඒ අයුරින්ම සටන් කරන්නට, දුෂ්ටයා වන්නට අවස්ථාව සලසා දෙන්නට එක්ව ප්‍රාර්ථනා කරන ලෙසයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.