කාගෙවත් පස්සෙ යන්නෙත් නැහැ පස්සෙ යනවුන්ට කැමැතිත් නැහැ

දෙසැම්බර් 5, 2019

‘අපේ කට්ටිය’ අරභයා වරක් රැලෙක්ස් රණසිංහයන් “හරිම බඩු හයක්’ නාට්‍යයේ පෝස්ටරයක සඳහන් කොට තිබුණේ මෙලෙසිනි.

‘එකට කන, එකට බොන, එකට යන, එකට රණ්ඩු කරන, කාගේවත් පස්සෙ යන්නෙ නැති, පස්සෙ යනවුන්ට කැමැති නැති ‘අපේ කට්ටිය’ යනුවෙනි. 

සුගත්ගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයට 1962 වසරේ පැවැති ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය උත්සවයේදී සම්මාන ගණනාවක්ම හිමි විය. මෙහිදී හොඳම නළුවාට (තාත්වික) හිමි අග්‍රාණ්ඩුකාරතුමාගේ ත්‍යාගය’බෝඩිංකාරයෝ’ හී ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රට පිරිනැමිණ. එසේම හොඳම රචනය (තාත්වික) හා හොඳම නිෂ්පාදනය (තාත්වික) යන ත්‍යාග ද්වයම සුගත් විසින් දිනා ගන්නා ලදි. 1956 සමාජ, ආර්ථික, දේශපාලන පෙරළියෙන් ඇති වූ වෙනස්කම් 1959 දී ශ්‍රී ජයවර්ධන පුර, කැලණිය විශ්වවිද්‍යාල හරහා සරසවි අධ්‍යාපනය පෘථුල වීම් ආදිය හේතු කොට 60 දශකයේ මුල බෝඩිම්වල අවශ්‍යතාව ඉහළ නැඟිණ. එය අතීතයේ මෙරට පැවැති නේවාසික ක්‍රමයකට වඩා සංකීර්ණ ස්වභාවයක් ඉසිලීය. ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයට ප්‍රස්තුතය වූයේ මෙකී අභිනව බෝඩිංකාරයන් හා ඔවුන් මුහුණපාන සංකීර්ණ ගැටලු ආදිය වේ. ලාංකේය තාත්වික නාට්‍ය ධාරාවේ පුනරුදය උදා කරමින් පශ්චාත්කාලීන නාට්‍ය රාශියකට ‘බෝඩිංකාරයෝ’ ආභාසය හා අනුප්‍රාණය නොඅඩුව සැපයීය. 

1964 දී වේදිකාගත වූ ‘තට්ටු ගෙවල්’ විචාරක මතවාදවලට තුඩු දුන් සුගත්ගේ දෙවැනි නාට්‍ය නිර්මාණය විය. තත්කාලීන සමාජ පසුබිමෙන් ඉස්මතු වූ තට්ටු ගෙවල්් පෙළක මධ්‍යම පාන්තික පවුල් ජීවිතවලට එබිකම් කිරීම මේ නාට්‍යයට වස්තු විෂය විය. එනම් විවාහය, පවුල් සංස්ථාව පිළිබඳ සම්මතයෙන් ඔබ්බට දිවෙන දැක්මකින් විවරණය කිරීමට මෙහිදී සුගත් ප්‍රයත්න දැරූ අයුරු දැකිය හැකිය. විවාහ ජිවිතයට ඇතුළත් වීමට වෙර දරන පෙම් යුවළක් සහ අසාර්ථක යුග දිවියක් ගෙවන අඹු සැමි යුවළක් එකිනෙකට තුලනය කරමින් විවාහ ජීවිතයට අදාළ ගැඹුරු සංකීර්ණ ප්‍රශ්න ‘තට්ටු ගෙවල්’නාට්‍යයට විෂය විය. සමලිංගික හෙවත් සමරිසි සේවනයට ඇබ්බැහි වූ සැමියකු නිසා බිරියක ලබන්නා වූ පීඩනයත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය අනියම් පෙමක පැටලීමත් යන ‘අන්තෝ ජටා බහි ජටා’ (ඇතුළත් අවුල් පිටතත් අවුල්) සංකීර්ණ ගැටලුවක් ඔස්සේ සුගත් පෙන්වා දෙනුයේ ගිහි ගෙය ගිනිගෙයක් බවය. (ආදිත්තස්මිං අගාරස්මිං) අද්‍යතනයෙහි පවත්නා බෝඩිම 60 දශකයේ පැවති බෝඩිම නොවන්නට පිළිවන. එසේම අද පවතින දැවැන්ත නිවාස සංකීර්ණ හෝ මහල් නිවාස 60 දශකයේ පැවති තට්ටු ගෙවල් නොවන බව සත්‍යයකි.බාහිර සාධක මෙසේ පරිණාමය වී ඇතත් අභ්‍යන්තරිකව මිනිසා මුහුණපාන සංකීර්ණ ආධ්‍යාත්මික, සමාජීය ගැටලුවල ස්වරූපය අදත් වැඩි වෙනසක් නොමැත. එහෙයින් සුගත්ගේ මේ නාට්‍යවලින් ඔහු විවරණය කළ මානව සත්තාවන්, සංකීර්ණතා, ගුඪ චෛතසිකයන් යල් පැන ගොස් නැත. අදත්, හෙටත් එසේමය. ඇතැම්විට අද්‍යතනයෙහි පෙරටත් වඩා සංකීර්ණ මුහුණුවරකින් මේ ගැටලු දැක්ක හැකිය. මේ අනුව සමලිංගිකත්වය සිංහල වේදිකාවේ මුල් වරට සාකච්ඡාවට ලක් කළේ සුගත් බැව් පෙනේ. ඔහු මේ වස්තු විෂය ඉතා සංයමයෙන් ‘තට්ටු ගෙවල්’ නාට්‍යය ඔස්සේ ඉදිරිපත් කළේය. ඉන්පසුව ප්‍රතිභාපූර්ණ නාට්‍යවේදී ප්‍රේමරංජිත් තිලකරත්න ’තොත්ත බබා’ (1966) නාට්‍යය උදෙසා සමලිංගිකත්වය හා අනාචාරය පාදක කොට ගත්තේ ජෝ ඕර්ටන්ගේ Entertaining Mr Sloane නමැති මතභේදාත්මක බ්‍රිතාන්‍ය නාට්‍යය අනුවර්තනය කිරීමෙනි. එහිදී බොහෝ විචාරකයන්ගේ දෝෂාරෝපණ ඔහු වෙත එල්ල වූ අතර මුලින් ‘තොත්ත බබා’ නාට්‍යය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ තහනමට ද ලක් විය. ‘තොත්ත බබා’ ස්වකීය නාට්‍ය දිවියේ ‘ලෙල්ලමක් වූ සෙල්ලමක්’ බව පසුකලෙක පේ‍්‍රමරංජිත් තිලකරත්නයෝ කීහ. මා විසින් පූර්වයෙහි ද සඳහන් කරන ලද පරිද්දෙන් සුගත් මුල් යුගයේ තරයේම පිහිටා සිටියේ ‘දේශීය නාට්‍ය කලාව දියුණු කළ හැකි වනුයේ ස්වතන්ත්‍ර නාට්‍යවලින් පමණකි‘ යන මතවාදයෙහිය. එහෙයිනි, ඔහු රචනා කළ ‘එක වල්ලේ පොල්’ මෙන්ම තමා රචනා කරමින් නිෂ්පාදනය කළ ‘බෝඩිංකාරයෝ’ හා ‘තට්ටු ගෙවල්’ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ බවට පත් වූයේ. එහෙත් යථෝක්ත නාට්‍ය යුගලෙන් පසුව “විශ්ව සම්භාවනීය නාට්‍ය පරිවර්තනය හෝ අනුවර්තනය කිරීමෙන් ද දේශීය නාට්‍ය කලාව සුපෝෂණය කළ හැකිය” යන මතවාදයට සුගත් ක්‍රමිකව නැඹුරු වූ අයුරු පෙනේ.

‘හරිම බඩු හයක්’ (1965) නාට්‍යය එහිදී සුගත් තැබූ ප්‍රථම පියවර වේ. මේ වූ කලී ඉතාලි ජාතික නාට්‍යවේදී ලුයිජි පිරැන්ඩෙල්ලෝගේ Six characters in search of an author’ නමැති නාට්‍යයෙහි අනුවර්තනයකි. ප්‍රශස්ත නාට්‍ය නිෂ්පාදනයක් ලෙස එය සාර්ථක නොවූව ද අපූර්ව අත්හදාබැලීමක් වශයෙන් දේශීය නාට්‍ය කලාවට ඉන් සිදු වූ බලපෑම සුළුපටු නැත. එහිදී වරෙක පේ‍්‍රක්ෂකාගාරයෙන් නැඟිට ගොස් නළු නිළියෝ වේදිකාවට පිවිසුණාහ. විටෙක නාට්‍යයේ පාත්‍ර වර්ගයෝ ප්‍රේක්ෂකයන් සමඟ කතාබහ කළහ. එසේම නාට්‍යයේ චරිතවල විධානය පරිදි ආලෝකය නිවමින් දල්වමින් අභිනව වේදිකා ශිල්ප ක්‍රම සුගත් මෙහිදී අත්හදා බැලුවේය.

නාට්‍යය ඇරඹෙනුයේ නාට්‍ය නිෂ්පාදකවරයෙක් තම නළු නිළියන් සමඟ වේදිකා නාට්‍යයක පුහුණුවීමක් ආරම්භ කිරීමෙනි. මේ අතර ආගන්තුක චරිත හයක් වේදිකාවට පිවිසෙන අතර ඔවුහු එකම පවුලක සාමාජිකයෝය. තමන්ගේ දුර්ලභ, ඛේදජනක කතාව නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන ලෙස ඔවුහු නාට්‍ය නිෂ්්පාදකවරයාගෙන් ඉල්ලා සිටිති. ඉක්බිති දක්නට ලැබෙනුයේ මේ අරභයා දෙපිරිස අතර හටගන්නා වූ මතභේදයකි. අවසන ස්වකීය නාට්‍යයේ පුහුණුව නවත්වා මේ කතාව ඔවුන් ලවාම නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමට නිෂ්පාදකවරයා තීරණය කරයි. සැබැවින්ම ‘හරිම බඩු හයක්’ මෙරට ප්‍රේක්ෂකාගාරයට පෙර නොවූවිරූ නැවුම් සහානුභූතියක් රැගෙන ආ නාට්‍යයක් බැව් පැවසීම යුක්තියුක්තය. මෙසේ ලුයිජි පිරැන්ඩෙල්ලෝ නමැති ඉතාලි නාට්‍යවේදියා සිංහල වේදිකාවට හඳුන්වා දෙන ලද්දේ සුගතපාලයන් විසිනි. මුඛරි සංවාද බාහුල්‍යය සුගත්ගේ ‘බෝඩිංකාරයෝ’, ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’ ඈ නාට්‍යත්‍රයෙහිම දක්නට ලැබිණ. ඒ වෙනුවට වස්තු විෂය විසින් ඉල්ලා සිටිනු ලබන සරල, සුගම, ස්වාභාවික සංවාද ශෛලියක් ප්‍රකට වූයේ ඔහුගේ ’හෙලේ නැග්ග ඩෝං පුතා’ (1966) නාට්‍යයෙනි. මේ වූ කලී ඇමරිකානු නාට්‍යවේදී ටෙනිසි විලියම්ස්ගේ ‘Cat on a Hot Tin Roof’  නාට්‍යයෙහි පරිවර්තනයකි. මේ නාට්‍යය ඇසුරෙන් ‘Cat on a Hot Tin Roof’ නමින්ම රිචඩ් බ්‍රෲක්ස් සුප්‍රකට චිත්‍රපටයක් නිර්මාණය කළ අතර එහි එලිසබෙත් ටේලර් හා පෝල් නිව්මන් එකිනෙකා පරයා ප්‍රශස්ත ලෙස රඟන අයුරු පේ‍්‍රක්ෂකයන්ට අමතක නොවේ. ‘Cat on a Hot Tin Roof’ ඉංග්‍රීසි භාෂාවේ ජන කියමනකින් නම් කෙරුණු නාට්‍යයකි. එය සිංහලයට නැඟූ සුගතපාලයන් සිංහල භාෂාවේ ජන කියමනකින් ‘හෙලේ නැග්ග ඩෝං පුතා’ ලෙස මේ නාට්‍යය නාමකරණය කෙතරම් නම් ඖචිත්‍යපූර්වකදැයි මට සිතේ. ‘හෙලේ නැග්ග ඩෝං පුතා’ සාර්ථක නාට්‍යයක් නොවූවත් එය බැහැර කළ නොහැකිය. නැවතත් සුගත් මේ ඔස්සේ සමලිංගික තේමාවක් වස්තු විෂය කොට ගත්තේය. සැමියාගේ සමලිංගික සබඳතා නිසා පීඩාවට පත් වන බිරියක් වටා මෙහි වස්තු විෂය ගොඩනැඟී ඇත. ටෙනිසි විලියම්ස් 60 දශකයේදී ලාංකේය නාට්‍යවේදීන් ඉතා ප්‍රිය කළ නාට්‍යවේදියකු වූ බැව් පැවසීම සහේතුකය. ඔහුගේ නාට්‍ය ගණනාවක්ම මෙරට කෘතහස්ත නාට්‍යවේදීන් පරිවර්තනය හෝ අනුවර්තනය කිරීමෙන් ඒ බැව් සනාථ වේ. ටෙනිසි විලියම්ස්ගේ ‘Cat on a Hot Tin Roof’ ඇසුරෙන් සුගතපාල ද සිල්වා ‘හෙලේ නැග්ග ඩෝං පුතා’ නාට්‍යය ද ‘A Streetcar Named Desire’ ඇසුරෙන් ධම්ම ජාගොඩ ‘වෙස් මුහුණු’ නාට්‍යයද ‘I Rise in Flame’ ඇසුරෙන් එස්. කරුණාරත්න ‘හිරු අවරට ගියාදෝ’ නාට්‍යය ද ‘The Glass Menagerie’ ඇසුරෙන් ආචාර්ය හෙන්රි ජයසේන ‘‘අහස් මාලිගා” නාට්‍යයද නිර්මාණය කළ බව මා සිහියට නැඟේ.

ඉතිරි කොටස ලබන සතියේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.