චිත්‍රපට නරඹන්න නොවේ - විඳගන්න තැනක්

දෙසැම්බර් 12, 2019
පොඩ්ඩන්ට වෙන් වූ Audi 5 - Play House ශාලාව

මේ දවස්වල කලඑළි දකින බොහොමයක් චිත්‍රපටවල මාධ්‍ය දර්ශන තියන්නේ PVR එකේ... මුලින්ම අපි පීවීආර් ගියේ එය විවෘත කරන දවසේ, ඒ කියන්නේ නොවැම්බර් 09 වෙනිදා සිනමා ශාලා 09ක් සමඟ අලුතෙන් එක් වුණු සිනමා සංකීර්ණයේ පෙන්වපු සුනාමි චිත්‍රපටය බලන්න. ඊට පස්සෙ යූටර්න්. දැන් රෂ් චිත්‍රපටයේ දර්ශන තුනක් දවසකට පෙන්වනවා. PVR විවෘත වුණේ වන් ගෝල්ෆේස් (One Galle Face) පරිශ්‍රයේ. වන් ගෝල් ෆේස් කියන්නේ ෂැංග්‍රිලා හෝටලයටම අයත් මෝල් එක. ගාලු මුවදොරට මුහුණලාමයි තියෙන්නේ. පීවීආර් සිනමා සංකීර්ණය තියෙන්නේ මේ මෝල් එකේ හය වැනි තට්ටුවේ. විවෘත කරන දවසේ මේ සාප්පු සංකීර්ණයට ගියාම මේ ලංකාවමද කියලා හිතෙන තරමට සුඛෝපභෝගී ආකාරයෙන් මේ නිර්මාණය සිදුවෙලා තියෙන බව දැනුණු වග නම් නොකියාම බැහැ. ඉතින් සරසවිය පාඨක ඔබත් සමඟ PVR සිනමා සංකීර්ණයේ වගතුග බෙදාගන්න හිතාගෙන මමත්, නිශ්ශංකත්, අපේ චන්දන සොහොයුරාත් හෝරා කීපයක් තිස්සේ මේ පරිශ්‍රයේ කරක්ගෑවා.

වන්ගෝල්ෆේස් පරිශ්‍රයට ප්‍රවේශ මාර්ග කීපයක් තිබුණත් අපි තෝරගත්තේ ගෝල්ෆේස් පිටියටත් මුහුදටත් මුහුණලා තිබෙන ප්‍රධාන පිවිසුම. කැමැති නම් දුවන පඩිපෙල් ඔස්සේ හයවැනි මහලට යන්නත් පුළුවන්. ඒත් අපි මේ යන්නේ සාප්පු සවාරියක් නෙවේනේ. සරසවිය අපට තියෙන්නේ සිනමා පිස්සුව. ඒ නිසා විදුලි සෝපානයෙන් කෙළින්ම හයවැනි මහලට ගියාම හරි. එයින් එළියට ඇවිත් කොරිඩොවෙන් මතුවෙනකොටම PVR Cinemas (පීවිආර් සිනමාස්) කියලා ලොකු අකුරින් පේනවා. කළු පැහැ නිල ඇඳුමෙන් සැරසුණු දොරටුපාල රාජකාරියේ යෙදෙන අය තමයි ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට වගේම අදාළ ශාලාවලට එහෙම රසිකයන් යොමු කරන්නේ.

දැන් හිතෙනවා ඇතිනේ මොකක්ද මේ PVR කියන අකුරු තුනේ තේරුම කියලා. ඉස්සර ඒ අකුරු තුනෙන් කීවේ ප්‍රියා විලේජ් රෝඩ් ෂෝ කියලා. හැබැයි දැන් ඒ තේරුම භාවිත කරන්නේ නැහැ. මොකද දැන් ඉතින් මේක අන්තර්ජාතික සිනමා ශාලා ව්‍යාපාරයක්නෙ. හැබැයි මෙය අයිති වන්නේ ලංකාවේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියකට. ඒ නිසා අදාළ වන්නේ ඕර්‍ණධ් නීති රෙගුලාසි පමණයි. ලංකාවේ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතිවල කොටසකට තමයි අයත් වන්නේ. ඒ කියන්නේ ස්ට්‍රැටජික් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක්. ඉන්දියානු සම්භවයක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒත් ඉන්දියාවේ මේ ආයතනය අයත් වන්නේ පබ්ලික් කම්පනි ගණයට. ඒ වගේම ශාලා සංකීර්ණ 821ක් එරට සෑම නගරයකම පාහේ විසිරෙන පරිදි ස්ථාපනය කරන්න ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. 2020 වනවිට ඔවුන්ගේ ශාලා සංකීර්ණ සංඛ්‍යාව 1000ක් කිරිමයි අරමුණ වී තිබෙන්නේ. අන්තර්ජාතික වශයෙන් ගන්නා ප්‍රවේශයේ පළමුවෙනි ව්‍යාපෘතිය හැටියට තමයි ලංකාවෙ මේ සිනමා සංකීර්ණය ගොඩනැඟෙන්නේ. අපට දැනගන්න ලැබුණු විදිහට, මුළු මහත් ආසියාවේම ශාඛා පිහිටුවීමේ සැලැස්මක් ඔවුන්ට තිබෙනවා. දැන් බලමු ටිකට් ගන්න ක්‍රමය.

ටිකට්

ආ... සාමාන්‍ය ක්‍රමයට වඩා හොඳ ක්‍රමයකුත් තියෙනවා. Kiosk එක. හරියට ATM යන්ත්‍රයක් වගේ. ඒකත් මොකක්ද කියලා එබිලා බැලුවාම තමයි තේරුණේ. අපි ඔන්ලයින් ටිකට් බුක් කළාම ඒ එන sms එකේ දෙන පාස්වර්ඩ් එක ගහලා ඒ යන්ත්‍රයෙන් ලේසියෙන්ම ප්‍රවේශ පත්‍රය තමන්ටම ගන්න පුළුවන්. හරියට ඒටීඑම් එකෙන් කාඩ් අංකය ගහලා සල්ලි ගන්නවා වගේ.

එහෙම නැත්නම් සුපුරුදු විදිහට ටිකට් ගන්න බොක්ස් ඔෆීසියට යන්නත් පුළුවන්. හැබැයි, සියලුම කටයුතු කෙරෙන්නේ පරිගණක ඇසුරෙන්. තමන් කැමැති චිත්‍රපටය, කැමැති සිනමා මැදුර, මේ සියල්ල පරිගණක ගත ක්‍රමවේදයෙන් තමයි වෙන් කරන්නේ. ඒ නිසා කාර්යක්ෂමතාව වගේම පහසුවත් ඉතා ඉහළයි. ප්‍රවේශ පත්‍ර ගන්න තැනම පැත්තක තියෙන්නේ මිරිසට, පැණි රසට වගේම සාමාන්‍ය රසට කැමති කාටත් චිත්‍රපටයක් බලද්දි නැතුවම බැරි පොප් කෝන් සහ වෙනත් කෑම වර්ග සහිත ෆුඩ් කෝනර් එක. ඒ අහල පහළින් යද්දි නම් ඉතින් ඒ පැත්තට ඇදෙන්නේ ඉබේටම තමයි. හින්දි චිත්‍රපටයක් බලද්දි ඉන්දියාවේ කෑමක රස විඳීන ගමන් වගේම බටහිර චිත්‍රපටයකින් ඇස පිනවන ගමන් ඒ රසයෙන් දිව පිනවන්නත්, ත්‍රිමාණ සහ සජීවීකරණ චිත්‍රපට නරඹන අතර කැමැති වෙනස්ම රසයකින් රස අංකුර සනහන්නත් අවස්ථාව සලසලා තිබෙනවා. ඒකත් පේන හැටියට නම් දරාගන්න බැරිතරම් මිලකුත් නෑ ව‌ගේ... කොහොමත් ඉතින් විනෝදයෙන් සහ සැනසිල්ලෙන් දවස ගෙවන්න නම් අතේ කීයක්ම හරි තියෙන්නත් එපැයි. මම මේ කියන්නේ හය වෙනි මහලේ තිබෙන අනෙක් භෝජනහල් ගැන නම් නෙවෙයි හොඳේ... මොකද ඒවත් අයිති PVRලාටම තමයි. මුළු හයවැනි මහලත්, පස්වෙනි මහලේ කොටසකුත් සිනමා සංකීර්ණය සතුවයි තිබෙන්නේ.

ප්‍රවේශ පත්‍ර ගැන කතා කරන්න තව දේවල් තියෙනවා. ඒ තමයි මිල. පීවීආර් එකේ ටිකට් පත්වල සාමාන්‍යයෙන් අනෙක් සංකීර්ණවලට වඩා තරමක් සාධාරණයි. ඒකත් කාර්යබහුල වේලාවලට වඩා එසේ නොවන වේලාවලදි ඒ කියන්නේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දවල් 12.00ට කලින් වගේ යනවා නම් අඩු මුදලකින් පවුලටම චිත්‍රපට නරඹන්න පුළුවන්.

එවැනි පරාසයක් ඇති කිරීමේ අරමුණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ සාප්පු සංකීර්ණයට නැත්නම් වන් ගෝල්ෆේස් මෝල් එකට පිවිසෙන ඕනෑම තරාතිරමක අයකුට චිත්‍රපටයක් නැරඹීමේ පහසුකම සලසා දීමයි.

 Audi 1+2

ඕඩී 1 සහ 2 කියන්නේ සිනමා සංකීර්ණයේ ශාලා 9 අතරින් සුපිරිම ශාලා දෙක. ඒවා හඳුන්වන්නේ ලක්ස් (Luxe) නමින්. මේ ශාලා දෙකේම ආසන තිබෙන්නේ 41බැගින් පමණයි. කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව අපට ඒ ශාලා දෙකේ පහසුකම් විඳලාම බලන්න අවස්ථාව ලැබුණා. හරියට ගුවන් යානාවක බිස්නස් ක්ලාස් වගේ කීවත් වැරැද්දක්ම නැහැ. සුව පහසු ආසනවල දකුණු පස ඇන්දෙ බොත්තම තුනට බෙදලා තියෙන්නේ. එහි ඉදිරි කොටස තද කළාම ආසනයේ පහළ කොටස දිගු වී අපේ පාද ඉහළට ඔසවන ගමන් ආසනය ක්‍රමයෙන් අංශක ගාණක් පසුපසට බර වී හාන්සි පුටුවක හැඩයට පත්වෙනවා. අපි කියන්නේ ඇජස්ටබල් සීට් කියලා. අන්න එහෙමයි ඒවා. ආපසු සාමාන්‍ය අසුනක හැඩයට එන්න බොත්තමේ පසු කොටස තද කළාම හරි. වායු සමීකරණය වැඩියි වගේ නම් පොරවා ගන්න බ්ලැන්කට්ටුවක් ගානේ හැම අසුනකම එල්ලා තිබෙනවා. බොත්තමේ ඉහළ කොටස තද කළාම අපට අවශ්‍ය ආහාර පානයක් එතැනටම ගෙන්වා ගන්න පුළුවන්. සිංහලෙන් කීවොත් ඕඩර් කරන්න පුළුවන්. ඒ ඇනවුම් අවශ්‍ය පරිදි සිදු කරන්න සේවා සහායකවරුන් පත් කරලයි තියෙන්නෙ. ඇත්තෙන්ම කීවොත් මේ සිනමා සංකීර්ණයේ සේවකයන් 70ක් පමණ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සහාය වන්න යොදවා තිබෙනවා. ඉන් සියයට 99ක්ම ශ්‍රී ලාංකිකයන්. අපට දැකගන්නට ලැබුණේ එකම ඉන්දීය ජාතිකයකු පමණයි. ඉතින් අප කියූ ඒ පහසුකම් සියල්ල සමඟ ඇති සුඛෝපභෝගී ශාලා දෙක සඳහා තමයි මිල පරාසයේ ඉහළම ප්‍රවේශ පත්‍රය වෙන් වන්නේ.

Audi 5 - Play House

ප්ලේ හවුස් ශාලාව අයිති පොඩ්ඩන්ට. ඒ කියන්‌නේ අවුරුදු 12න් පහළ අයට. ඒ කියලා වැඩිහිටියන්ට තහනමක් නෑ. ඒත් පුංචි හිත් සතුටෙන් පුරවන්න පුළුවන් විදිහේ පසුබිමක් තමයි ප්ලේ හවුස් එකේ තියෙන්නේ. ශාලාවෙන් පිටත පොඩ්ඩන්ට පොඩි පොඩි ටෝයිස්, ළමා කතා පොත් එහෙම තියපු කොටසක් වෙන් කරලා තිබෙනවා. ඒ කොටස අවශ්‍ය නම් උපන්දින සාදයක් එහෙම පවත්වන්නත් වෙන් කරන්න පුළුවන්. ආසන 91ක් තියෙන නිසා සෑහෙන යාළුවන් ගණනකට ආරාධනා කරන්නත් පුළුවන්. ඒ හැමෝටම උපන්දින කේක් කෑල්ලටත් වඩා රස චිත්‍රපටයකින් සංග්‍රහ කරන්නත් පුළුවන්. ඒ සඳහා අමුතුවෙන් මුදලක් අය කරන්නේ නැහැ. ප්‍රවේශ පත්‍රයේ මිලම තමයි. අපට තේරුණු විදිහට මිල පරාසයේ අඩුම අගය තිබෙන්නේ පොඩ්ඩන්ගේ ටිකට්පතට. අවශ්‍ය නම් කාජ්ජ බෝජ්ජ ඔක්කොම එතනින් ගන්නත් පුළුවන්නෙ. ඊට අමතරව අම්මලාටයි තාත්තලාටයි ඕනෙම නම් දරුවන්ට ළමා චිත්‍රපටයක් බලන්න සලස්වලා තමන් කැමැති වෙනත් චිත්‍රපටයක් අනෙක් ශාලාවක නරඹන්න බැරි කමක් නැහැ. මොකද දරුවන් රැකබලා ගන්න පිරිස යොදවලා තිබෙන නිසා. ඒත් බොහෝ වෙලාවට අපේ මවුපියන් කරන්නේ දරුවන් සමඟම ඉඳීමින් ඔවුන් බලන චිත්‍රපටයම නරඹන එක බව තමයි අපට දැන ගන්න ලැබුණෙ. මොකද පිටරටවලට වඩා අපේ අම්මලා තාත්තලා දරුවන්ට තිබෙන බැඳීම වැඩියි. ඒ වගේම ඒ අවස්ථාව දරුවන්ටත් සෙනෙහසින් විඳීන්න ලැබෙන්නේ අම්මලා තාත්තලා එක්ක එකට ඉඳන් චිත්‍රපටයක් බලද්දි තමයි.

ලොබි එක වගේ හදලා තිබෙන ඒ කොටසින් ළමා සිනමා ශාලාවට ඇතුළු වුණාම නම් එන්න හිතෙන්නේ නැහැ. මේ නිවාඩු කාලේ පොඩිවුන් ගෙනියනවා නම් ඔන්න තැන. ජිරාෆ් ගොයියලා, අලි පැංචලා, වලස් මාමලා, කුරුල්ලො බිත්තිවල එල්ලිලා පොඩ්ඩොත් එක්ක චිත්‍රපට බලනවා. කැමති නම් ඉන්න ගමන් ලිස්සන බෝට්ටුවේ ගිහින් පාට පාට බෝල ගොඩක් උඩට වැටෙන්නත් පුළුවන්. පොඩ්ඩෝ කැමතිම පාටවලින් සැදුණු සුවපහසු ආසනවල ඉඳන් කැමතිම චිත්‍රපටය බලද්දි පුංචි හිත්වලට දැනෙන සතුට කියලා නිම කරන්න බැරිවෙයි. බොරු කියන්නේ මොකටද ඒ ශාලාවට ඇතුළු වුණාම මමත් මගේ ළපටි අවදියට ගියා. කොච්චර සතුටක් දැනුණද කීවොත් මමත් අර ලිස්සන බෝට්ටුවේ ගිහින් බැලුවානේ! ඒ අත්දැකීමත් මාරයි!

තුන්වැනි වර්ගය

අනෙක් ශාලා හයම අයිති මේ වර්ගයට. හැබැයි ශාලා අංක 3ට ආසන 105කුත්, 4ට ආසන 319කුත්, 6ට ආසන 111කුත් අයත් වන අතර 7,8,9 ශාලාවල ආසන 143 බැගින් තිබෙනවා. ශාලා නවයේම ආසන එකතුව 1139ක්. ඉතින් අවශ්‍ය නම් මේ සියලුම ශාලා වෙන් කරගෙන වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට එකම චිත්‍රපටයක් පෙන්වන්නත් පුළුවන්. මේ සියලුම ශාලාවල 3ච් පහසුකම් වගේම ශබ්ද තාක්ෂණය ඩොල්බි 7.1 ක්‍රමයට සකස් කර තිබෙන්නේ. ශාලා නවයේ දවසකට චිත්‍රපට 45ක් තිරගත වනවා. සති අන්තවල මේ සංඛ්‍යාව තවත් වැඩියිලු. උදේ 10 ඉඳන් ඇරඹෙන දර්ශන වාර ප්‍රේක්ෂක ඉල්ලුම අනුව රාත්‍රී 11.00ට අරඹන දර්ශනය දක්වාම පවත්වනවා. එහෙම වෙන්නේ ෂැංග්‍රිලා හෝටලයේ සහ නිවාස ක්‍රමයේ වෙසෙන අය රාජකාරී අහවර වෙලා රාත්‍රී කාලය නිදහසේ ගත කරන්න සමහර විට චිත්‍රපටයක් බැලීම තෝරගන්න නිසා වෙන්නත් පුළුවන්. හොඳම කාරණය කියන්නේ සුපුරුදු ක්‍රමය වගේ වෙලාවල් වෙන් කරලා, ඒ කියන්නේ 10.30, 4.15 වගේ චිත්‍රපට දර්ශන පවත්වන්නේ නැහැ. රසිකයන් එන ඕනෙම වෙලාවක චිත්‍රපටය පෙන්වනවා. අප පුදුම කරවන දසුනක් වුණේ එක ශාලාවක ජෝඩුවක් විතරක් හිටියත් ඔවුන් වෙනුවෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමයි. ඒ ගැන කාර්යමණ්ඩලයෙන් විමසුවාම අපට කීවේ චිත්‍රපටයක් බලන්න රසිකයන් එන්නේ තමන්ට පහසු වෙලාවක නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩකර හරවා යැවීම ර්‍ථඍඅ හි ප්‍රතිපත්තිය නොවන බවයි. ඒ වගේම සිනමා කර්මාන්තය කඩා වැටෙනවාය කියන අපේ වගේ කුඩා ප්‍රේක්ෂකාගාරයක් තිබෙන රටක මේ වගේ සිනමා සංකීර්ණ ගොඩනඟන්න ඔවුන් තීරණය කර තිබෙන්නේ රටේ ජනගහනයෙන් සියයට 30ට වඩා ප්‍රතිශතයක් සිටින තරුණ පරපුර ඒ කියන්නේ වයස අවුරුදු 16ත් 30ත් අතර අයට සිනමාවේ අපූර්ව අත්දැකීමක් ලබා දීලා, ඒ ගැන නිදහසේ යාළු මිත්‍රාදීන් සමඟ කතා බහකරන්න පරිසරයක් සකස් කරලා මේ රටේ සිනමා සංස්කෘතියක් ඇති කිරීමේ මහඟු කාර්ය භාරයට ආරම්භයක් ලබා දීමට කියලයි කියන්‌නේ. ආබාධ සහිත අයටත් සහායකයන්ගේ උදවු ඇතුව පහසුවෙන් චිත්‍රපට නරඹන්න අවස්ථාව තිබෙන බව කාර්යය මණ්ඩලය අපට කීවා.

යෝජනාවක්

එහෙම කියපු නිසාම සරසවිය අපි PVR එකට යෝජනා කළා පුළුවන්නම් කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළ වගේ දේකට අතගහන්න කියලා. ඉන්දියාවේ නම් අදාළ රටවල තනාපති කාර්යාලවල සහයත් ඇතුව එය සිදුවෙනවලු. ඒ නිසා ඉදිරියේදී මේ යෝජනාවත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා.

අපේ සිනමාකරුවන් වෙත

ඒ වගේම ඉංග්‍රීසි, දෙමළ, හින්දි වගේ ඕනෑම භාෂාවක චිත්‍රපට පෙන්වූවත් ශ්‍රී ලාංකික සිනමා කෘති සඳහා ප්‍රමුඛත්වය දෙන්නත්, වසරකට තුන්වරක් දේශීය නිෂ්පාදකයන්ගේ චිත්‍රපට සඳහා මංගල දර්ශන ලබා දීමටත් ඔවුන් කටයුතු කරන බව දැනගන්නට ලැබුණා. ඒත් සෑම සිනමා ශාලාවක වගේම මෙහිත් පළමුවැනි සතියේ චිත්‍රපටය හොඳීන් දුවන්නේ නැතිනම් ගලවා දැමීමේ අයිතිය ඔවුන්ට තිබෙනවා. ඒ නිසා දැන් අපේ සිනමාකරුවන්ට අභියෝගයක් තිබෙනවා. ඒ ප්‍රේක්ෂකයන් ශාලාවලට ගෙන්වා ගන්නට හැකි මට්ටමේ සිනමා කෘති නිර්මාණය කිරීම. එසේ නොවුණ හොත් තරාතිරම නොබලා සියලු සිනමා රසිකයන්ට සමව සලකන PVR සිනමා සංකීර්ණය වෙත මේ අපූර්ව අත්දැකීම විඳගැනීමට දිනෙන් දින එකතුවන ප්‍රේක්ෂක ජනකායෙන් විදෙස් චිත්‍රපට ප්‍රදර්ශනය වන ශාලා පමණක් පිරී ඉතිරි යාවි!

නිශ්ශංක විජේරත්න

Add new comment