ඇසේ මධුර ගීතා

දෙසැම්බර් 12, 2019
ඒ.ආර්.එම.ඉබ්‍රාහීම් මාස්ටර්

 

“ රාජ සඟබෝ හිස දී දුගියාටා -දාන පාරමී

සාදරෙන් පැතී ඒ බුදු බැව්

අත්තනගළු ඒ අරණේ

ලෝක ගුරු වී -හරනා භව භීතා

දාන පාරමී

 

සාදු සාදු යයි කියාලා

ඒ දුගියා දුන් බත වළඳා

කෘතෝපකාරේ සලකාලා -දාන පාරමී

ලෝක ගුරු වී -හරනා භව භීතා

දාන පාරමී

 

රාජ සඟබෝ හිස දී දුගියාටා -දාන පාරමී”

 

මෙම ගීතයේ පදමාලාව දකිද්දී ම ඔබගේ මතකය ඈත අතීතයට යනු නොඅනුමාන ය. දශක අටකට ආසන්න කාලයක් ගත වුවත් මෙම මධුරතර ගීය නොදන්නා කෙනෙක් අදටත් සොයා ගැනීමට අපහසු ය. පරපුරු ගණනක් පුරාවට එක ලෙස ජනප්‍රිය වූ මෙම ගීතය 1940 වර්ෂයේදී ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ශබ්ද වාහිනී තැටියකයකට (අංක ට්ඡ් 15080), රචනා කළේ යූ.ඩී පෙරේරා සිරිමතාණන් ය. උක්ත ගීතය ඉතා ගම්භීර හඬකින් ගායනා කළේ, අමරණීය ගායක ඒ.ආර්.ඇම්. ඉබ්‍රාහීම් මහතාය. කාලයත් සමගින් එතුමාගේ නාමය අප අතුරින් කෙමෙන් අමතක වී ගිය ද, එතුමා විසින් අප වෙත මෙම දායාද කළ කර්ණරසායන බොදු බැති ගී ගොන්න අතිමහත් ය. අල්හාජ් මොහිදීන් බෙග් මහතා හැරුණු විට පූර්ව සිනමා ග්‍රමොෆෝන් ගීත යුගයේ (1908-1946) බෞද්ධාගමික ගීත වැඩිවශයෙන් ගායනා කළ අනෙක් ඉස්ලාම් ලබ්ධික ගායකයා වන්නේ ඒ.ආර්. එම්. ඉබ්‍රාහීම් මාස්ටර් ය. අහමඩ් මොහිදීන්, හසන් අල්ලියාර්, ඉන්තම් ආමත්, නෝනා සුබෙයිදා, ලක්ෂ්මි බායි, සරලා බායි, නිර්මලා (ධර්මානි ආමත්), ලතීෆ් බායි ආදීහු පූර්ව සිනමා යුගයේ බෞද්ධාගමික ගීත ග්‍රැමොෆෝන් තැටි සඳහා ගායනා කළ අනෙකුත් ඉස්ලාම් ලබ්ධික ගායක ගායිකාවෝ වූහ.

“රාජ සඟබෝ“ ගීතය සංගීතවත් කළේ එවකට ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ තැටි සමාගමේ නිත්‍ය සංගීත අධ්‍යක්ෂක ධූරය දැරූ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. ගවුස් මාස්ටර් විසින් සංගීතවත් කළ සුප්‍රසිද්ධ ග්‍රැමොෆෝන් ගීත අතුරින් මෙම ගීතය මුල්තැනක් ගනී. නගරබදව මෙන්ම ගම්බදවද එකල ජනප්‍රිය වූ ග්‍රැමොෆෝන් ගීත අතර මෙම ගීතයට ලැබුණේ ඉතා සුවිශේෂී ස්ථානයකි. මෙම ගීතයේ ඇති මනරම් තනුවත්, ගායකයාගේ සිත්ගන්නා සුලු ගායන විලාසයයත්, මෙන්ම මෙරට ජනප්‍රිය ඓතිහාසික කතා පුවතක් වන “බුදු බව පැතූ සිරිසඟබෝ රජතුමා , දුගියා වෙත තම හිස දන්දීමේ කතා පුවත” විනාඩි තුනක් වැනි කෙටි කාලයකට ඉතා මනරම් අන්දමින් සරල භාෂා විලාසයකින් රචනා කර තිබීමත් නිසා මෙය ශ්‍රාවකයන් අතර ඉතා ජනප්‍රිය ගීතයක් වීම නොරහසකි. ගීතය ත්‍රිතාල් තාලයෙන් නිමවා ඇති අතර, හින්දුස්ථානි ඛමාජ් රාගයේ ලක්ෂණ ඇතැම් ස්ථාන වලදී ඉස්මතු කිරීමට සංගීත අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත. වයලීනය, ක්ලැරිනට්, හාර්මෝනියම් සහ තබ්ලාව වැනි වාද්‍ය භාණ්ඩ මෙහි සංගීතය සඳහා භාවිත කර ඇති බව ගීතය ඉතා හොඳීන් ශ්‍රවණය කිරීමේදී පැහැදිලි වේ. එවකට සිටි ඉස්ලාම් ලබ්ධික ගායකයන් අතුරින් නිවැරදිව ලෙසටම සිංහල භාෂාව උච්චාරණය කළ විශිෂ්ටතම ගායකයා වූයේ ඉබ්‍රාහීම් මාස්ටර් ය.

 

“ රාජ සඟබෝ” ගීතයේ මුල් අනුකාරක තනුව ඇතුළත් වූයේ 1936 වසරේ පූනාහි “ප්‍රභාත් පික්චර්ස්” සමාගමේ නිෂ්පාදනයක් වූ “සංත් තුකාරාම්” නම් මරාති බසින් නිපදවුණු චිත්‍රපටයෙනි. 17 වැනි සියවසෙහි භාරතයෙහි විසු ශාන්තුවරයෙකු/ මුණිවරයෙකු සේම කවියෙකු ද වූ “තුකාරාම්” පිළිබඳ නිපදවුණු මෙම චිත්‍රපටයෙහි තුකාරාම් ශාන්තුවරයා ලෙස රංගනයෙහි යෙදුණේ, ශාන්තුවර චරිත සහ ආගමික අනුභූතීන් සහිත චිත්‍රපට රංගනයෙහි මෙන්ම භක්ති ගීත ගායනයෙහි එවකට නම් දැරූ නළුවෙකු සහ වූ “විෂ්ණුපන්ත් පග්නීස්” විසිනි. මෙම චිත්‍රපටය වෙනුවෙන් පග්නීස් විසින් ගායනා කරන ලද භක්ති ගීත බොහොමයක් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු අතර, එමගීත සියල්ලක්ම පාහේ සංගීතවත් කළේ “කේශව්‍ රාඕ භෝලේ” විසිනි. මෙම භක්ති ගීත සියල්ලක්ම තුකාරාම් ශාන්තුවරයා විසින් 17 සියවසේදී ම විරචිත ගීත රචනා විය. “ප්‍රභාත් පික්චර්ස්” සමාගම විසින් මෙම චිත්‍රපටයෙහි අඩංගු ගීත ඩ්ර්ඍ ලේබලයෙන් අඩංගු ග්‍රැමොෆෝන් තැටි වලින් බෙදාහරින ලදී . එම තැටි ලේබල වල ප්‍රභාත් සමාගමේ “නිල ලාංජනය” මුද්‍රණය කර තිබීම විශේෂත්වයක් විය. මරාති ගීතයේ ස්වර රචනාව තුළ හින්දුස්ථානි යමන් රාගයේ ඇතැම් ලක්ෂණ යම් යම් ස්ථාන වල ඉස්මතු කර ඇති අතර එම ගීතය ද, ත්‍රිතාල් තාලයෙන් නිර්මිත ය.

 

පග්නීස් විසින් ගායනා කරන්නට යෙදුණු මෙම ජනප්‍රිය මරාති ගීත තනුව 1930 දශකයේ අග භාගයේ දමිළ සිනමාවෙහි ද යොදා ගැනුණි . වර්ෂ 1939 දී චිත්‍රපට අධ්‍යක්ෂක රාජා සැන්ඩෝ විසින් අධ්‍යක්ෂණය කළ “තිරුනීලකන්තාර්“ නමැති චිත්‍රපටය වෙනුවෙන් එවකට සුප්‍රසිද්ධ නළු- ගායක එම්.කේ ත්‍යාගරාජා භගවතාර් විසින් මෙහි දමිළ ගීතය ගායනා කරන ලදී. “තිරුනීලකන්තාර්” යනු හින්දු දේව කථාවන්හි ශිව දෙවියන් ගේ අනුගාමිකයන් ලෙස නම් කර ඇති, යෝගීන් හැට තුන් දෙනෙකුගෙන් එක අයෙකි. ඔහුගේ ජීවන පුවත අලළා නිර්මාණය වුණු දේව කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ සියලුම ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ , සුප්‍රසිද්ධ චින්තාමණි (1937) චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක වූ “පාපනාසම් සිවම්” සංගීත අධ්‍යක්ෂකවරයා ය. චින්තාමණි චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ එම්.කේ ත්‍යාගරාජා භගවතාර් ගේ ප්‍රසිද්ධිය දෙගුණ තෙගුණ වීමට මෙම චිත්‍රපටය වෙනුවෙන් ඔහු ගැයූ ගීත බෙහෙවින් උපස්තම්භක විය. මෙම චිත්‍රපටයේ ග්‍රැමොෆෝන් තැටි නිකුත් වූයේ ර්‍ණච්ඡ්ර්‍ණව් ලේබලයෙනි. මෙම ගීතය ර්‍ණච්ඡ්ර්‍ණව් අංක ඛ්ඒ 1245 අංකය යටතේ නිකුත් වුණි. සිංහල සහ මරාති ගීත දෙකට වඩා මදක් කර්ණාටක සංගීතයේ ආභාසයෙන් නිපදවූ මෙහි තාලය ද ත්‍රිතාල් වන අතර, හින්දුස්ථානි බිලාවල් රාගයේ ඇතැම් ලක්ෂණ උද්දීපනය කර තිබීම විශේෂත්වයකි.

 

සිංහල ගීතය ගායනා කළ අපේ මතකයෙන් ගිලිහී ගිය නාමයක් වූ ඉබ්‍රාහීම් මාස්ටර් ගැන කෙටි සටහනක් මෙහි තැබීම යෝග්‍ය බව සිතමි.

වර්ෂ 1920 දී උපත ලද ඉබ්‍රාහීම් මහතා පානදුර ප්‍රදේශයෙහි වාසය කළේ ය. එන්.සතාර් මාස්ටර් නම් සංගීතඥයා වෙතින් මූලික සංගීතඥානය ලද මෙතුමා එවකට කොළොම්බියා ග්‍රමොෆෝන් තැටි ලේබල් සමාගමේ මොහොමඩ් ගවුස් මාස්ටර් වෙතින්ද, එම සමාගමේ ම නිත්‍ය ගේයපද රචක සහ සහාය සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ යූ . ඩී පෙරේරා මහතා වෙතින් ද සංගීත ශාස්ත්‍රඥානය තවදුරටත් ලබා ගත්තේ ය. වර්ෂය 1939දී ට්ඡ් 15006 තැටි අංකයට මෙතුමා විසින් පටිගත කළ පළමු ගීතය වූයේ සම්බුද්ධ පරිනිර්වාණය ගැන කියවෙන අතිශය කර්ණරසායන වූ “සුන්දර ශ්‍රීනි මනහාරි” ගීතය යි. 1939 වෙසක් මාසයේ වෙළෙඳපොළට නිකුත් වුණු මෙම ග්‍රමොෆෝන් තැටියේ ගීත තැටි විශාල ප්‍රමාණයක් අලෙවි වුයේ එම ගීතයෙහි පැවැති සුගායනීය බව නිසාම ය. එවකට කොළොම්බියා තැටි බෙදාහරින ඒජන්තවරුන් වූ (කොළොඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර) එන්. පොරෝලිස් ප්‍රනාන්දු සමාගම සහ කොළොඹ බෞද්ධ සමාගමක් එක්ව විශාල උත්සව සම්භාෂණයක් පවත්වා රුපියල් පන්දහසක මූල්‍යමය පරිත්‍යාගයක්ද මෙතුමා වෙත ලබා දුන් බව ප්‍රකට කරුණකි.

 

ස්වකීය පළමු ගීතයෙන් ලද උත්කෘෂ්ට ජනප්‍රසාදය නිසාම කොළොම්බියා ලේබලය යටතේ 1939-1945 දක්වා බොදු බැති ගීත තිහකට ආසන්න ප්‍රමාණයක් මෙතුමා විසින් ගායනා කරන්නට යෙදුණි . එම ගීත අතුරින් බොහොමයක් අද දක්වාම ශ්‍රාවක ජනප්‍රසාදය දිනා ගත් ගායනා වෙත්. නිදසුන් ලෙස, “ තිලෝවෙක හිමි වූ” (සම්බුදුරජාණන්වහන්සේ පිළිබඳව) “දෙව්දහ රජදෝණි පින්සර” (මහා ප්‍රජාපති ගෝතමිය පිළිබඳව) , “දේවී සම්බුදු සස්නේ පැහැදී විසාඛා” (විශාඛා සිටු දේවිය පිළිබඳව) ,“ඝෝෂක සිටුගේ කථා“( ඝෝෂක සිටු ගේ කතා පුවත), “අජාතසතෘ හා පාපී දෙව්දත් එක් වී” (අජාසත් රජු පිළිබඳව), “රාජ හංසයාගේ අගේ” (රණ හංස ජාතකය), “ඊර්ෂ්‍යාවෙනී ඉදිමීලා”, (ඊර්ෂ්‍යාවෙහි ආදීනව), “සොයනා සේ මෝක්ෂ සම්පත්” (ලෞකික සැප සම්පත් වලට ආශා කිරීමේ ආදීනව), “කාසි දේසේ බාරාණ්‍යසෙහි අතීත කාලේ” (බුදු රදුන්ගේ පළමු දහම් දෙසුම ගැන), “පාරිලෙය්‍ය වනේහි ”(පාරිලෙය්‍ය හස්තියා පිළිබඳව) , “රම්‍ය සිරී පිරී තිරී සුළකල් කිඹුල්වත් දේසෙහි” (ශාක්‍ය කෝලිය සංග්‍රාමය පිළිබඳව), “සුගත් තුම් තව්තිසාහි හී” (බුදුරදුන් බුදු වී පළමුව මාතෘ දිව්‍යරාජයාට ධර්මය දේශනා කළ අයුරු), “නිර්වාණේ ධර්ම රසෙන්” (උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිළිබඳව), “පරමතුම් දම් අමා වර්ෂාව වස්වා“(බුදු රදුන් සුනාපරන්තයට, යවන දේශයට,සහ සිරිලකට වැඩම කළ අවස්ථා පිළිබඳව), “බබළනා සද්ධර්මේ “ (ධර්මරත්නයේ ගුණ පිළිබඳව), “ක්‍රිෂ්ණජිනා සහ ජාලිය දෙන්නා” (වෙසතුරු ජාතකය), “ රාජ පණ්ඩිත නාග විමානේ” (විධුර ජාතකය), “රාජ සඟබෝ හිස දී දුගියාටා“(දාන පාරමී පිරු සිරිසඟබෝ රජු පිළිබඳව) සහ එතුමා අවසාන වරට 1945 වසරේදී පටිගත කළ “මුතිංගණා වෙහෙරේ” යන ගීත ප්‍රධාන තැනක් හිමි කර ගනී. මේ ගීත සියල්ලක්ම එතුමා වෙත ප්‍රබන්ධ කරන ලද්දේ යූ .ඩී පෙරේරා මාස්ටර් විසිනි.

 

බොදු බැති ගීතවලට අමතරව උපදේශාත්මක මෙන්ම සමාජ ශෝධනයෙහිලා වැදගත් වන ගීත කීපයක් ද, එතුමා විසින් කොළොම්බියා තැටි සදහා පටිගත කරන ලදී. “භේදෙනි කුලවාදෙනි” (කුලභේදය පිළිබඳව) , “දුව දීමට කැරේ බැඳා” සහ “දෝනි විවාහේ”(මොහිදීන් බෙග් සමග යුග ගීතය: ඉබ්‍රාහිම් මහතා විසින් ගැයූ එකම යුග ගීතය.. දෑවැද්ද සම්බන්ධව), “සිංහාසනේ මේ අපේ රාජ වංශයේ“ (සිංහල ජාතියෙහි අතීත ශ්‍රී විභූතිය පිළිබඳව), “යයි දීපේ ප්‍රපාතේ” (සිංහල ජාතියෙහි පරිහානිය පිළිබඳව) ආදී ගායනාවන් මේ අතර වෙත්. මීට අමතරව 1940 දශකයේ ගුවන්විදුලියේ සිංහල සහ උර්දු ගායනා රැසක් මෙතුමාගේ හඬින් පටිගත කොට ඇත.

මෙරට අධිරාජ්‍යවාදී යුගයේ සිංහල බෞද්ධ පුනරුදයට මෙන්ම සමාජ පරිශෝධනයටද , ගීතය මෙවලමක් ලෙස භාවිත කළ අවධියෙහි සිංහල ගීතයේ ප්‍රගමනයට ඉස්ලාම් ලබ්ධික ඒ.ආර්.එම් ඉබ්‍රාහීම් මහතා විසින් කළ සේවය අතිශයින් ගෞරවාන්විත ය. වර්ෂ 1966 අප අතුරින් වියෝ වූණු, කාලයේ වැලි තලාවෙන් වැසීගිය එතුමාගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තුතිය:

ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක එච්. එම්. ගුණතිලක මහතා, ගීතයන් හි සංගීතය පිළිබඳ දැනුම්වත් කළ, ප්‍රවීණ සංගීතවේදී විශාරද රෝහණ ධර්මකීර්ති මහතා, පැරණි සේයා රූ සංරක්ෂණයෙහි තාක්ෂණික සහාය ප්‍රභාත් සමරසූරිය මහතා