ලෙනාඩ් වුල්ෆ්ගේ නවකතාවෙන් සිත්තමක් වූ බැද්දේගම

දෙසැම්බර් 12, 2019

ලෙනාඩ් වුල්ෆ් තම 'ද විලේජ් ඉන්ද ජංගල්' කෘතිය , එංගලන්තයේදී ලියා පළකළේ 1913 වෙනි වර්ෂයේදීය. එයට ඔහු පාදක කරගත්තේ කැලෑවක් තුළ තිබූ 'ගම්මානයක' ජීවන රටාවන් හා එහී විසූ රත්නායක දොන් ජුවන් නම් මිනිසෙකු අතින් සිදුකල ද්විත්ව මිනීමැරුමකි. දොන් ජුවන් මැරුවේ ඔහුගේම ඥාතියෙකු වූ බබේහාමි ආරච්චිල හා ඔහුගේ පුත්‍රයාවය. එම නඩුව ඇසුවේ එවකට දිසාපති වී සිටි ලෙනාඩ් වුල්ෆ්ය. අධිකරණයේදී දොන් ජුවන්ව එල්ලා මැරීමට නියම වූවද, පසුව එම තීන්දුව වෙනස් වී, ඔහුව ජීවිතාන්තය දක්වා හිරගෙයට නියම විය.

මෙම සිදුවීම වුල්ෆ්ට තදින්ම බලපාන්නට ඇත. ඔහු එම චරිත යුගල, එනම් දොාන් ජුවන් හා

බබේහාමි ආරච්චිල පාදක කරගෙන තම විලේජ් ඉන්ද ජංගල් ලීවේය. එයට දොන් ජුවන්ගෙ

දියණිය වූ පුංචි මැණිකාගේ චරිතයද ඈදා ගති.අන් චරිත වූ බබුන්, කරලිනා හාමි, හින්නි හාමි, වෙදරාළ, ප්‍රනාන්දු මුදලාලි, වුල්ෆ්ගෙ මනංකල්පිතවූ චරිත විය.

1908 සිට 1911 වන කාලපරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යටත් විජිතයක්ව තිබූ ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ දිසාපති වූයේ ලෙනාඩ් වුල්ෆ්ය. එහී ලද අභ්‍යන්තර හා බාහිර අත්දැකීම් මත ඔහුට මෙම කෘතිය ලියන්නට සිත් දෙන්නට ඇත. ඔහු කොහොමත් කැලෑ බදවල, දුෂ්කර ගම්මාන වල ඇවිද එහී ජීවන රටාවන් හී අත්දැකීම් සමඟ ගැටෙන්නට ප්‍රිය කළේය.

⁣රත්නායක දොන් ජුවන්ව 'සිළිදු' කළේ ලෙනාඩ් වුල්ෆ්ය. තරමක් කම්මැළි, පිස්සු මනුෂයෙකු ලෙස වුල්ෆ් සිළිදුව හැදින්වූවද, ඇත්ත චරිතය වූ දොන් ජුවන් ශරීරයෙන් උස මහත, පරිපූර්ණ , එමෙන්ම කය වෙහෙසා වැඩ කරන, පුද්ගලයෙක් විය. ඔහු වුල්ෆ්ගෙ සිළිදු මෙන් පිස්සු මිනිසෙක්වත්, යක්කුන්ට බය ඇති මිනිසෙක්වත් නොවීය.

දොන් ජුවන් අර ද්විත්ව මිණිමැරුම කළේ තමන්ට ඕනාවට නොවේ. තම මාමා කෙනෙකු බබේහාමි ආරච්චිල සමඟ කෝන්තරයකින් පසු විය. ඔහුට ආරච්චිලව මැරීමට අවශ්‍ය නිසා එය බාර දුන්නේ දොන් ජුවන්ටය. එහෙත් වුල්ෆ් එම සිදුවීමෙන් උකහා ගත්තේ අල්පයක් පමණි. එයට ඔහු ඔහුගේ මනංකල්පිත චරිත කීපය එකතු කර වෙනම කථාවක් නිර්මාණය කළේය.

විලේජ් ඉන් ද ජංගල් සිංහලයට පරිවර්තනය කළේ ඒ.පී. ගුණරත්නය. ඔහු එය 'බැද්දේගම' යයි හැදින්වූවද, එලෙස බැද්දේගම කියා කැලෑව තුළ ගම්මානයක් තිබුණේ නැත. එහී තිබුණේ 'මල් අස්නි ගල් වැව' කියා ගම්මානයකි. දොන් ජුවන්ල ජීවත් වුණේ මෙම 'මල් අස්නි ගල් වැව' ගම්මානයේය. බබේහාමි එහී ආරච්චිලය. මෙම ද්විත්ව මිණීමැරුම සිදුවූයේද එම මල් අස්නි ගල් වැව ගම්මානයේදීය. මෙම ගම්මානය හා එකී සිදුවීම තුළට වුල්ෆ් ගේ මනංකල්පිතය එකතු වී විලේජ් ඔෆ් ද ජංගල් ලියවුණු පසු, ඒ.පී. ගුණරත්න කළ පරිවර්තනයට එහායින් යන්නට මහචාර්ය ඒ.ජේ.ගුණවර්ධනට උවමනා විය. ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ එකතුවී බැද්දේගම පරිවර්ථනයෙන් චිත්‍රපට තිරනාටකයක් සකස් කළේ , කෘතියේ තිබූ සත්‍ය චරිත වූ සිළිදු, ආරච්චිල හා පුංචි මැණිකා සමඟ මනං කල්පිත චරිත වූ බබුන්, කරලිනා හාමි, වෙදරාළ, ප්‍රනාන්දු මුදලාලි, හින්නිහාමි ද එකතු කර ගෙනය. 1980 වේදී ඔවුන් එය බැද්දේගම නමින් එළිදැක්වූයේ, මේ සත්‍ය සිද්ධියට විශාල මවාපෑමක් එකතු කරගෙනය. අවසානයේදී එය කථාන්තරයක් ලෙස සිනමාවට පැමිණිය.

ලෙස්ටර්ගෙ 'බැද්දේගම', තුළ ප්‍රබලව යා හැකි චරිත කීපයක්ම තිබුණි. ඔහු ඒ හැම චරිතයකටම ප්‍රමාණවත් කාල පරාසයක් බෙදා තිබුණී. කරලිනා හාමි, හා වෙද රාළගේ චරිත වුවද කැපී පෙනුණේ ඒ නිසාය. ලෙස්ටර් සිළිදු තුළින්ම සිදුවීම් ⁣ගොනු කර නොගෙන එය අනෙක් අය හරහාද පෙන්වන්නට උත්සහා කර තිබූ අතර, එය සාර්ථක විය. හැම චරිතයක්ම අපට දැනෙන්නට ඉඩ හැර තිබුණි.

ලෙනාඩ් වුල්ෆ් ට අවශ්‍යව තිබෙන්නට ඇත්තේ සිළිදුගේ මුලු පව්ලම විශාල ඛේදවාචකයකට

අසු කරවන්නටය. තව අතකට බලන විට සිළිදුගෙ පවිලට ලොකුම වින්නැහිය කරන වෙදරාළව නම් වුල්ෆ්, නැත්නම් ඒ.පී.ගුණරත්න අත්හැර දමා තිබුණි. ⁣ඒ හෙයින් ⁣ඒ.ජේ.ගුණවර්ධනටත්, ලෙස්ටර්ටත් වෙදරාළගේ අවසානය අත් හැර දමන්නට සිදුවිය.

නමුත් මෙම ශානරයේදී වෙද රාළගේ භූමිකාව ඉතාමත් ප්‍රබල විය. සිළිදුට වින කටින්නේ වෙද රාළය. හින්නි හාමිව,හා ඇයගේ හුරතල් මුව පැටවා වූ පුංචි අප්පුව මරා දැමීමට මුලික වන්නේද වෙද රාළමය. එහෙයින් කාගෙ අතින් හෝ වෙදරාළට දඩුවම් ලැබිය යුතුව තිබුණද, එය එසේ වූයේ නැත.

සිළිදු ගේ මුළු ජීවිතයම වූයේ බැද්දය. එය කරලිනා හාමිගේ මුවින් නිතරම කියවුණි.

සිළිදු තම විවාහයෙන් පසු තම බිරිඳගෙන් බලාපොරොත්තු වූයේ පුතුන්ය. ඒ ඔහු සමග බැද්දට යන්නටය. එහෙත් ඔහුගේ බිරිඳට සිළිදුට දෙන්න පුළුවන් වුණේ දියණියන් දෙදෙනෙකි. එතැන් පටන් සිළිදු තම බිරිඳට සැලකුවේ ඇයට සිත් රිදෙන අන්දමටය.

සිළිදුගෙ බිරිඳ අකාලයේ මියගියේ ඔහුගෙ මේ හිංසා ඉවසා ගත නොහැකි වූ නිසාය. බබේහාමි ආරච්චිල සිළිදු සමඟ වෛර බැන්දේ ඔය හේතුව මුල් කරගෙනය. ඒ සිළිදුගෙ බිරිඳ, බබේහාමි ආරච්චිලගෙ නැගණියක් වූ නිසාය. මෙය ලෙනාඩ් වුල්ෆ් තම මනසින් හැදු කථාන්තරයයි. ලෙස්ටර්ට සිදුවූයේද ඒ කථාන්තරය ඒ අයුරින්ම පෙන්වීමටය.

මෙහි ප්‍රබල චරිතයක් මා දුටුවේ කරලිනා හාමි තුළිනි. එය අතුරු චරිතයක් වූවද, මේ පවුල් කුටුම්භය තුළ සිදුවන හැම ව්‍යවාසනයක්ම දරා ගෙන සිටියේ කරලිනාය. බැලූ බැල්මට ඇය හව්හරණයක් නැති චරිතයක් ගානය. ඇය සිළිදුගේ නැගණියක් ලෙසටය වුල්ෆ් ඉදිරිපත් කරන්නේ. කිසිවකගේ කීමකට අවනත නොවන සිළිදු, කරලිනා කියන දෙයට හිස නමයි. පුංචි මැණිකා හා හින්නිහාමිව දීග දෙන්නට කියා ඇය සිළිදුට පෙරැත්ත කළේ ඔවුන් දීග යෑමට කල වයස හරි නිසාය. එහෙත් සිළිදු කීවේ ඔවුන් තවම දීග යෑමට පොඩි වැඩියි කියාය. සිළිදු තම දියණියන් තමාව අතහැර යාවී යැයි බිය විය. එකල දරුවන් හා දෙමාපියන්ගේ බැදීම වුල්ෆ් එසේ පෙන්නුවද, ඒ සැමටම වඩා ශෘංගාරය උත්සන්න වූ බවකි ලෙස්ටර් ජේම්ස් තම චිත්‍රපටය තුළින් පෙන්වූයේ. ඒ බබුන් හා පුංචි මැණිකාගේ රති කෙළිය හරහාය.

පුංචි මැණිකා වැවේ නාන දෙස බබුන් බලා සිටියේ එකී ශෘංගාරත්වයෙන් මත් වීය. පුංචි මැණිකාද තමා වැවේ නාන දෙස බබුන් බලා සිටිනවා දැක තම දිය රෙද්ද බුරුල් කරමින්, නැවත තද කරමින් තම අඟ පසගේ සඟවා සිටි අවයව යාන්තමට බබුන්ට දැක ගන්නට ඉඩ හැරියේ එකී ශෘංගාරය නිසාය. එතෙක් පුංචි මැණිකා , තම පියා වූ සිළිදු සමඟ රැකගෙන සිටි පීතෘ සෙනෙහස, අළු දුවිලි බවට පත් කර, බබුන් සමඟ වෙනම ගෙදරට පදිංචියට ගියේ මෙම ශෘංගාරය නිසාය.

බිරිඳ, මිය ගිය වයසක කට්ටඩි වෙද රාළ, හූනියමක් තුලින් සිළිදුව රෝගියෙකු කර, ඔහුගේ දියණිය වූ බාල වයස්කාර හින්නි හාමිව තම අඹුව කරගන්නට දැගලුවෙත් එකී ශෘංගාරය නිසාය. ප්‍රනාන්දු මුදලාලි , ආරච්චි සමඟ එක්වී බබුන්ව හොරකමකට පටලවා හිරගෙයට දමා, පුංචි මැණිකා සමඟ නිදිවදින්නට බලාගෙන සිටියේද මේ ශෘංගාරය නිසාමය. එහෙයින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'බැද්දේගම' චිත්‍රපටය පුරාවටම යටින් දිව ගියේ ශෘංගාරයයි.

පුංචි මැණිකා හා බබුන්ගේ ඇල්ම බැල්ම හොඳ හැටි හඳුනා ගෙන තිබුණේ කරලිනා හාමිය. බබුන් පුංචිමැණිකාව රැගෙන යනවිට, එය එසේ විය යුතු යැයි සිළිදුට පහදා දුන්නේ කරලිනාය. වෙදරාළගේ හූනියමට අසුවී, යක්ෂ දිස්ටියක් වැටි සිළිදු දැඩි ලෙස රෝගාතුර වූ විට, කෙතරම් බෙහෙත් කලත් සිළිදු සුව නොවන වග දැනගත්තේ කරලිනාය. එය සුව වෙන්නට නම් වෙදරාළ විසින්ම මේ හුනියම කැපිය යුතු බවත්,වෙදරාළ එය කපන්නෙ තමාට හින්නිහාමිව ලැබුණු පසු බවද කරලිනා දැනගෙන සිටියාය. ඔවුනට වෙන විකල්පයක් තිබුණේම නැත. හින්නි හාමිගේ දැඩි අකමැත්තෙන් හෝ වයසක කට්ටඩි වෙද රාළට කරලිනා විසින් හින්නි හාමිව අඹුකමට භාර දුන්නේ තම සොහොයුරා වූ සිළිදුව සුව කර ගැන්මටය.

ලෙස්ටර් සිළිදුගේ මුළු පවුලම විශාල ඛේදවාචකයකට ලක් කළේ, චරිත හතරක් හරහාය. ඒ බබේහාමි ආරච්චිලත්, ඔහුගේ අඹුව වූ නැංචොහාමිත්, කට්ටඩි වෙදරාළත්, ප්‍රනාන්දු මුදලාලිත් මඟිනි. ඔවුනට සිළිදුගේ පවුල් සාමාජිකයන් සමඟ එකිනෙකාට ආවේනික වූ කෝන්තර තිබුණි.

බබේහාමි, සිළිදු සමඟ කෝන්තර ඇති කර ගත්තේ තම නැගණිය වූ සිළිදුගෙ බිරිඳ මිය යෑමට පෙර සිළිදු කළ වෙනස් කම් නිසාය.

බබේහාම්, බබුන් සමඟ වෛර බැඳ ගත්තේ , බබුන් බබේහාමිගෙ කීම නොඅසා සිළිදුගෙ දියණිය වූ පුංචිමැණිකාව සහයට ගත් නිසාය. බබුන් යනු ⁣ඛබේහාමිගෙ ඇඹේනියගේ මළණුවන් ය.

නැන්චොහාමි හින්නිහාමි සමඟ වෛර බැද ගත්තේ තම කුඩා පුතු දරුණු ලෙස ලෙඩ වූයේ හින්නි හාමි දුන් මසන් ගෙඩි කෑ නිසායයි සිතාය. ඒ වනවිට කට්ටඩි වෙදරාළ ගමේ කථාවක් පතුරවා තිබු⁣ණේ හින්නිහාමි යනු යක්ෂ දිස්ටියක් කියාය. හින්නි හාමිගෙන් මුලු ගමටම විනාශයක් වන බවත්, විශේෂයෙන් කුඩා දරුවන් ලෙඩ වෙන්නේ හින්නිහාමිගේ යක්ෂ දිස්ටිය නිසා බව කට්ටඩි වෙදරාළ බොරු කථාවක් පතුරවා තිබුණි. තම පුතු ලෙඩවූයේද හින්නිහාමිගෙ යක්ෂ දිස්ටිය නිසා විය හැකයි නැංචොහාමි විශ්වාස කළාය. එය කට්ටඩි වෙද රාළ විසින් තහවුරු කළ නිසා නැන්චොහාමි එය විශ්වාශ ක⁣ළාය.

ප්‍රනාන්දුගේ කෝන්තරය තිබුණේ, බබුන් රෑට පැල් රකින්නට ගිය පසු තමාට පුංචිමැණිකා සමඟ නිදිවදින්නට පුංචි මැණිකා කථා නොකළ නිසාය.

මේ හෙයින් සිළිදුලාගේ පවුලට මොවුන්ගෙන් නොසෑහෙන්න කරදර සිදුවිය. අවසානයේ එය නතර වූයේ බබුන් නොකළ හොරකමකට මාස හයකට හිරගෙයට යෑමෙනි. ඒ සියල්ල ඇටවූයේ බබේහාමි හා ප්‍රනාන්දු මුදලාලිය.

පිස්සු මිනිහෙක් ලෙස පසුකලෙක සිළිදුව ගමේ මිනිසුන් හැදින්වූවද, තම පවුලට කරන අවමාන,අකටයුතු කම්, විරුද්ධ කම් හා කෙනහිලිකම් හමුවේ සිළිදු පුංචිමැණිකලාට කීවේ මිනිස්සු හිතන තරම් මට පිස්සු නැහැ කියාය.

බබේහාමි ආරචිචිලව යාප්පුවෙන් බැද්ද තුළට රැඟෙන ගොස් වෙඩි තබා මරාදමා, පසුව ප්‍රනාන්දු නැවතී සිටි නිවසට ගොස් ප්‍රනාන්දු මුදලාලිට වෙඩි තබා මරාදැමූ පසු සිළිදුට සිතුණේ තම පව්ල වෙනුවෙන් කළ යුතු යුතුකම නිම කළ බවය.

මෙම නොමිනිස් ගතිගුණ හමුවේ ජීවිත කීයක් නැති වුනිද, ජීවිත කීයක් වලපල්ලට ගියේද යන්න, වුල්ෆ් තම කථාව තුළින් පෙන්වා දුන්නේ එය විශාල ඛේදවාචකයක් කරමිනි.

බබුන් හිරගෙයට ගිය පසු නැවත පැමිණියේ නැත. සිළිදු ගේ අතින් සිදුවු මිනීමැරූම් නිසා සිළිදු ජීවිතාන්තය දක්වාම හිරයට ගිය බව අසා, බබුන් ඉමහත් ලෙස වික්ෂෝප වී, සිර ගෙය තුළම ජීවිතය හානි කර ගති. සිළිදුද නැවත නොපැමිණි අතර, ඔහුද හිරගෙය තුලම මිය ගියේය. බබේහාම් ආරච්චිල හා ප්‍රනාන්දු මුදලාලි සිළිදුගේ වෙඩි පහරවල් වලින් මිය ගියහ. මේ සියල්ලම අර ඛේදවාචකයට අයත් විය.

බබුන් හා පුංචිමැණිකාගේ දරුවාට සිදුවූ දෙයක් චිත්‍රප⁣ටයේ පෙන්වන්නේ නැත. කට්ටඩි වෙදරාළ හා කරලිනා හාමි නම් වයසට ගොස් මිය යන්නට ඇතැයි සිතා ගත හැක. බබේහාමි ආරච්චිලගෙ බිරිඳ, නැන්චොහාමි හා ඔවුනගෙ දරුවන්ට, ආරච්චිලගෙ මරණයෙන් පසුව සිදුවු දෙයක් නැත. ඇතැම් විට ගමේ ලෙඩ රෝග වසංගත පැතිරී යාම නිසා ඔවුන් ගම්වාසින් සමඟ පිටවෙන්නට ඇත. එහෙත් පුංචි මැණීකා පමණක් සිටියාය.

පුංචි මැණිකාගෙ ගෙයි බිත්තියට එන තුරු කැලෑව වැඩුණේය. වත්තේ වැට හැදීමට හෝ කැලය එළිකර දැමීමට හෝ ඈ උත්සහ නොදැරීය.අන්ගෙවල් වල මිදුල් වැසී ගියා සේම ඇගේ ගෙයි මිදුලද කැලයෙන් වැසී ගියේය. ලොකු කුඩා පඳුරු, මහ ගස්, කටු පඳුරු වැල් ගොමු පිරිවරා ගෙන ගොස් කුඹුරත්, වැවත් වසා කැලය වැවී සිටියේය. එය ගමත්, පුංචිමැණිකාවත් අමතක කර වනබත් විය. ඇයත් ඒ තුළම හිරවෙන්නට ඇත.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම ඛේදවාචකය කීමට තෝරාගත්තේ ලාංකේය සිනමාවේ එවකට සිටි අතී දක්ෂ නළු නිළි කැලක්වය. ඔවුන් එකිනෙකා⁣ට නොපරයන අයුරින් එම චරිත තුළ ජීවත් විය. ජෝ අබේවික්‍රම සිළිදු ලෙසත්, විජය කුමාරණතුංග බබුන් ලෙසත්, මාලනී ෆොන්සේකා පුංචිමැණිකා ලෙස අද්විතීය රංගනයක නිරත විය. හෙන්රි ජයසේන බබේහාමි ආරච්චිල වූ අතර ඔහුගේ බිරිඳ වූ නැන්චොහාමි වූයේ ඉන්දිරා අබේධීරය. ප්‍රනාන්දු මුදලාලි, ටෝනි රණසිංහය. ට්‍රිලිෂියා අබේකෝන් කරලිනා හාමි වූ අතර ,හින්නි හාමි වූයේ නදීකා ගුණසේකරය. (මුලින්ම මෙම චරිතයට තෝරා ගත්තේ වසන්ති චතුරාණී වය). කට්ටඩි වෙද රාළ වූයේ ඩී.ආර්.නානායක්කාරය.

ලෙනාඩ් වුල්ෆ් හා නඩුකාරවරයාගේ චරිතය තිරයේ පණ පෙව්වේ ආතර් සී ක්ලාක්ය. ඩේවිඩ් ධර්මකීර්ති , නවනන්දන විජේසිංහ, වින්සන්ට් වාස්, අසෝක පීරිස්, තිස්ස උඩංගමුව , සෙසු චරිත රඟපෑහ.

නිමල් මෙන්ඩිස් සංගීත අධ්‍යක්ෂක වූ අතර, විලී බ්ලෙක් කැමරාව මෙහෙවිය. ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'බැද්දේගම' පී.විල්ප්‍රඩ් පෙරේරාගේ නිශ්පාදනයකි. සුමිත්‍රා පීරිස්ද නිෂ්පාදනයට හවුල් විය.

සිළිදුගේ චරිතය ට ප්‍රාණය දුන් ⁣ජෝ අබේවික්‍රම 1981 සරසවිය සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

'බැද්දේගම' චිත්‍රපටය 1980 වේ පෙබරවාරි 20දා සිට තිරගත කිරීම ආරම්භ කළේය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)