7 ARTS

දෙසැම්බර් 12, 2019

 

සෙවන් ආර්ට්ස් නැත්නම් සත්වෙනි කලාව කියන්නේ තවත් නමක් හැටියටයි අප හඳුන්වන්නේ. ඒ නිසාම 70 දශකයේ ප්‍රේම් ජයන්ත් සහ බැප්ටිස් ප්‍රනාන්දු ප්‍රමුඛ හත් දෙනකු විසින් සෙවන් ආර්ට්ස් නමින් සමාගමක් හදලා එයින් ඔහොම හොඳද, හොඳට හොඳයි, සහනය වගේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නත් පෙළඹුණා. එක්සත් රාජධානියෙත් මේ නමින්ම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ඇති වුණා. සාමාන්‍යයෙන් මේ නම සඳහා අර්ථකථන සොයද්දි ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති, චිත්‍ර, සාහිත්‍යය, සංගීතය, නර්ථනය සහ චිත්‍රපට කියන හත ඇතුළත් බවත් කියැවෙනවා.

මේ කොහොම ගත්තත්, සියලු කලාවන්වල එකතුවක් සිනමාවේ තිබෙන නිසා වෙන්න පුළුවන් සිනමාවත් සෙවන් ආර්ට්ස් කියා හඳුන්වන්නෙ. ඉතින් ඒ අර්ථකථන පැත්තක තියලා අපි සරසවිය අපේ පුවත්පතේ හත්වැනි පිටුව සප්ත කලා හෙවත් 7ආර්ට්ස් නමින් හඳුන්වන්න තීරණය කළේ හේතුවක් ඇතිව. ඒ කියන්නේ ක්ෂේත්‍රයේ විශේෂතා දැක්වූ හත්කට්ටුවක් ගැන තමයි අපි මේ පිටුවෙන් කතා කරන්නේ. එහි ආරම්භයක් හැටියට 80 දශකයෙන් එපිට සිනමාවේ ජෝඩු හතක් අපි තෝරා ගත්තා. මේ වගේ එකට ගෙතෙන හතක් ඔබටත් මතක් වෙනවා නම් අපට ලියා එවන්න. සෙවන් ආර්ට්ස්, සරසවිය පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10.

 

 

 

 

 

1. ස්ටැන්ලි පෙරේරා + ගර්ලි ගුණවර්ධන

 

 

මේ යුවළ ගංතෙර, දුප්පතාගේ දුක වගේ චිත්‍රපටවල පෙම් යුවළ ලෙසම රඟපෑවා. ඒ 50-60 දශකවල. ඒත් අද අපට ඔවුන් වඩාත් සමීප ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරාගේ පියා සහ මව ලෙසයි. සිනමාවේ කළ ප්‍රේමය ජීවිත කාලය පුරාම පවත්වාගන්න වාසනාවන්ත වුණු ඒ යුවළම අද අප අතර නැහැ.

 

3. එඩී ජයමාන්න + රුක්මණී දේවී

 

මේ යුවළ විශේෂ වන්නේ ක්ෂේත්‍රයට පිවිසෙන විටත් ඔවුන් අඹුසැමියන් වීම නිසයි. ඒ නිසාම තරුණ පෙම්වතුන් ලෙස ඔවුන්ට සිනමාවේ පෙනී සිටීමට හැකිවුණේ නැති තරම්. ඔවුන් පෙම්වතුන් ලෙස රංගනයේ යෙදුණේ කවට අන්දරේ චිත්‍රපටයේ පමණක් බවයි අපට මතක. 40-50-60 දශකවල සිනමාවේ රැජණ වූ රුක්මණී සමඟ එඩී බොහෝවිට රඟපෑවේ මව්පිය යුවළගේ චරිත. බවුසරයක වාහනය ගැටීම නිසා රුක්මණී 80 දශකයේ මුල භාගයේ අප අතරින් වියෝ වූවත් මැවිලා පෙනේවි රූපේ හදේ කියා තමයි අපට නම් හිතෙන්නෙ.

 

 

2. රවීන්ද්‍ර රූපසේන + ලීනා ද සිල්වා

 

සුරතලී, සුන්දර බිරිඳ, සුලලිත සෝබනී වගේ චිත්‍රපටවල ප්‍රේම ජවනිකා නිසා පෙම්වතුන් බවට පත් වූ මේ යුවළත් 50-60 දශකවල සිනමා රසිකයන්ගේ සිත්වල නොමැකෙන මතක සටහන් තැබුවා. අද රවීන්ද්‍ර රූපසේන අප අතර නැතත් ලීනා ද සිල්වා කැනඩාවේ සිට ඇතැම් අවස්ථාවල චිත්‍රපටවලට වගේම ටෙලිනාට්‍යවලට දායක වීම සඳහා මව්රටට එනවා.

 

 

4. රෝයි ද සිල්වා + සුමනා අමරසිංහ

 

සතර පෙරළියෙන් මුණ ගැහුණු මේ යුවළ සිනමාවේ ඕනෑතරම් ප්‍රේම ජවනිකාවල පෙනී සිට තිබෙනවා. සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, ශීලා, ඒ අතරින් කීපයක් පමණයි. 60 දශකයෙන් ආරම්භ කළ ඔවුන්ගේ සිනමා ගමන 90 දශකය දක්වාමත් පැතිරුණා. ඒ වගේම මේ දෙපළ චිත්‍රපට නිෂ්පාදනයටත් පිවිසුණා. රෝයි කළ සියලුම චිත්‍රපටවල පාහේ කෘත්‍යාධිකාරී බලය පැවරුණේ සුමනාට. මේ වන විට රෝයි අප අතරින් වියෝ වී වසර එකහමාරක් පමණ වනවා. සුමනා ඔහු වෙනුවෙන් ඒ ගමන ඉදිරියට ගෙනයන බව සරසවියට කීවේ රෝයිගේ වෙන්වීමෙන් වසරක් සපිරෙන මොහොතේ අප හා කළ සාකච්ඡාවකදියි.

 

 

 

5. රවීන්ද්‍ර රන්දෙණිය + ප්‍රීති සෙනෙවිරත්න

 

 

රවීන්ද්‍ර- ප්‍රීති යුවළගේ විශේෂත්වය තමයි රිදී තිරයේ නිතරම ප්‍රීති රවීන්ද්‍රගේ ආදරය දිනා ගැනීමට උත්සාහ කිරීම. හොඳම උදාහරණය දුහුළු මලක්. තරංගා, ගෝඩ් කිං වගේ චිත්‍රපටවල දෙදෙනා එකට රඟපෑවත් පෙම්වතුන් වුණේ නැහැ. හැබැයි මොවුන් පෙම්වතුන් වුණේ සිනමා කර්මාන්තය නිසා බව නම් ඇත්ත. දෑස නිසා තමයි ඔවුන්ගේ දෑසට දෑස ළංකළේ.

 

6. ආනන්ද වික්‍රමගේ + මානෙල් වානගුරු

 

මේ යුවළ සැබෑ ජීවිතේ පෙම්වතුන් වුවත් පුදුමය කියන්නේ කිසිදු අවස්ථාවක රිදී තිරයේ එකම දර්ශනයක හෝ පෙම්වතුන් ලෙස හෝ කිසිම අවස්ථාවක සිටීමට නොහැකි වීමයි. දෙදෙනා වෙන වෙනම පෙම්වතා හෝ පෙම්වතිය ලෙස රඟපෑ චිත්‍රපට එමටයි. තරංගා, සදහටම ඔබ මගේ, නිල්ල සොයා මානෙල් පෙම්වතිය වූ චිත්‍රපට. චූඩා මාණික්‍යය, ආයාචනා වගේ චිත්‍රපටවල ආනන්ද පෙම්වතා වුණා. එහෙත් දෙව්ලොව දෝණි, වැනිසියේ වෙළෙන්දා වැනි වේදිකා නාට්‍යවල නම් දෙදෙනා එකට ඕනෑතරම් රඟ පා තිබෙනවා.

 

 

 

 

7. කරුණාරත්න හඟවත්ත + රසාදරී ෆොන්සේකා

 

 

 

 

අසූව දශකයේ ජනප්‍රිය යුවළක් වූ මොවුන් පෙම්වතුන් ලෙස රඟපෑවේ තිලක හා තිලකා චිත්‍රපටයේ පමණයි. ඈතින් ඈතට චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස අසාර්ථක වුවත් සැබෑ දිවියේ ඔවුන් අති සාර්ථක පෙම්වතුන් යුවළක්ව විවාපත් වුණා. එපමණක් නොවෙයි මේ වන විට කරුණාරත්න හඟවත්ත රංගන ශිල්පියා අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය විභාගය ඇමරිකාවේදි හදාරා ඒ රටේම මහාචාර්ය කරුණාරත්න හඟවත්ත ලෙස කටයුතු කරනවා. රසාදරී ෆොන්සේකාත් ඒ නිසා දැන් ඉන්නේ ඇමෙරිකාවේ.