සිතුදේ, පැතු දේ ඉටු වී යයි

දෙසැම්බර් 19, 2019

සංචි ආරච්චිගේ ඩේවිඩ් හා ජේන් නෝනාට දාව දරු දෙදෙනෙක් ඉපදුණි. එයින් වැඩිමහලා පිරිමියෙක් වූ අතර , දෙවනියා ගැහැනු ළමයෙක් විය. ඇය ඇලිස් නෝනා වූ අතර, ඇයගේ වැඩිමහල් සොහොයුරා සංචි ආරච්චිගේ ජිනදාස විය. කුඩා කල සිටම ඔහු නාහෙට අහන්නේ නැති දඩබ්බරයෙක් වූ අතර, ඔහු පාසැලේදී හා එයින් පිට මැරකම් කළේය. පාසැලේදී බීමත්ව ආ ගුරුවරයෙකුගේ හොම්බට ඇන ඔහු පාසැලෙන් පිටවිය. එතැන් සිට ඔහු පාසැලට ගියේ නැත. ඉන්පසු කෙරුණු නොයෙකුත් දඩබ්බරකම් හමුවේ ඔහු පරිවාස නිවාසවල හිර වෙන්නට විය.

තරුණ වියට එළඹුනු ජිනදාස, හොරකම්, මංකොල්ලකෑම් වල නිරත වෙමින් පෝසත් මිනිසුන්ගේ දේ හොරා කමින්, ඒවා දුප්පත් මිනිසුන් අතර බෙදා දෙමින්,රොබින් හුඩ්, හා සූර සරදියෙල් වැනි චරිත අනුගමනය කරන්නට විය.

ඔහු මිනීමැරුමකට පැටලුණේ, කැකිරාවේ තැපැල් හලේ තැපැල් ස්ථානාධිපති තම්බයියා මහතාව මැරීමෙනි.

මාතර කිතලගම ජිනදාස ඉපදුණු බවක් කීවද, ඇතැම් වාර්ථාවල සඳහන් වූයේ ඔහු ඉපදුණේ පේරාදෙණිය, ඊරියාගම ප්‍රදේශයේ කියාය. පසු කලෙක ජිනදාස තම මාපිය, සොහොයුරිය සමඟ මානම්පිටිය ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබේ. ඊට පැහැදිලි හේතු පෙනෙන්නට නැතත්, ඔහුගේ දාමරිකකම් නිසා එසේ තැන් මාරු කර ඇති බවට නිගමනය කළ හැකිය. මානම්පිටියට

පැමිණියද ඔහු වැඩිපුර ගැවසී ඇත්තේ කැකිරාව ප්‍රදේශයේය. එකල තැපැල් හල්වල නිතරම හොඳ මුදලක් ගැවසේ.බැංකු ඒ.ටී.එම් සිස්ටම් ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් නැති ඒ කාලේ ජනයා, මුදල් එහාට මෙහාට හුවමාරු කළේ මනි ඕඩර්, පෝස්ටල් ඕඩර් හරහාය. එහෙයින් තැපැල් හල්වල, දිනකට හොඳ මුදලක් එකතුවේ. තැපැල් හල කොල්ල කා මුදල් හොරකම් කිරීමට ජිනදාස ප්ලෑනයක් ඇන්දේ මාපාමුදියන්සේලාගේ විලියම් හෙවත් ජිමි, එන්ගා හෙවත් කපුරුහාමි,සාර්ලිස් සිල්වා හා ජේම්ස් සිංඤෝ , සමඟය. එයත් හරියට හාර ලක්සෙ මංකොල්ලය වගේය. කැකිරාවේ තැපැල් ස්ථානාධිපති තම්බයියා මහතා ඔවුනගේ වෙඩිපහරකින් මියගියේය. වෙඩි පාර එල්ල කළේ කව්රුන්දැයි හරි හැටි නොදැනුමුත් එය බැර වූයේ ජිනදාසගේ ගිණුමටය. එහෙත් ජිනදාය නිතරම කියනුයේ තම්බයියා මහතාට වෙඩි තැබුවේ ඔහු නොවේ කියාය. අනිත් සෙට් එකම පොලීසියට මාට්ටු වූවද, ජිනදාස පේදුරුතුඩුවේ සිට මුහුදෙන් සැතපුම් 10ක් පමණ පිහිනා ඉන්දියාවට ගොඩවූ බව කියවුණිද, පිහිනීම කෙසේ වෙතත් ඉන්දියනු පොලිසිය ජිනදාසව මෙහෙ පොලිසියට බාර දුන් බවක් නම් කියවුනි.

1976 වර්ෂයේදී, ජෝර්ජ් ලෙස්ලි රණසිංය විසින් තිරනාටකය ලියා, නීල් රූපසිංහ විසින් අධ්‍යක්ෂණය කල 'යකඩයා' චිත්‍රපටයට අයත් වුයේ ජිනදාසගේ කථාවේ සිදුවීම් කීපයකි. නීල් රූපසිංහ, ජිනදාසගේ සම්පූර්ණ චරිතපාදනයම රැගෙන තිබුණේ නැත. එක අතකට චිත්‍රපටයක් තනන විට එසේ සම්පූර්ණ චරිතපාදනය ගතයුතුයි කියා රීතියක්ද නැත.

රූපසිංහ කළේ ජීනදාසගේ වීරකම් කීපයක් හුවා දක්වමින් ඒ තුළට තව තවත් මනංකල්පිත චරිත කීපයක් නිර්මාණය කරමින් 'බයිස්කෝප්' එකක් හැදීමය. සිරිපාල, රතී, බංඩා⁣ර, එසේ එකතු කළ අන් ප්‍රධාන චරිතයි. එලෙසම නීල් රූපසිංහ ජිනදාස යන චරිතය සුමනදාස ලෙස මාරු කළේය. ලංකාවේදී නම් මරදන්කඩවල යකඩයා වූයේ සාංචි ආරච්චිගේ ජිනදාස වුවද, රූපසිංහගේ බයිස්කෝපයේ මරදංකඩවල යකඩයා වූයේ නිකමිම නිකං සුමනදාසය.

ඇත්ත ජිනදාසට අසාමාන්‍ය කාය ශක්තියක් තිබූ බවක් සඳහන් විය. එහෙයින් බයිස්කෝප් සුමනදාසට හිර ගෙවල් වල යකඩ කූරු ටොයිස් එකේ මෑත් කිරීමට පුළුවන් විය. කොහොමත් රූපසිංහ ඇත්ත කථාවේ බොහෝ දේවල් ගැන විමසිලි නොවූවද චිත්‍රපටයේ 'ත්‍රිලින්' පැත්ත ගැන නම් බොහෝ දුරට සිතා තිබුණි. චිත්‍රපටයේ සුමනදාස යකඩ කූරු නමා හිරෙන් පැනයාමත් ඉන්පසු සිරිපාලව සොයා ගොස් ඔහුත් සමඟ ඔහුගේ 'ගර්ල් ෆ්‍රෙන්ඩ්' වූ රතීගේ නිවසට යෑමත් එහීදී රතීගේ නංගි වූ සෝමාට සුමනදාස 'ලයින්' දැමීමත්, පසුව ඒ දෙදෙනා මාර විදියට සෙට් වීම තුළින්, අර නීල් රූපසිංහගේ 'දැන් මතකද', 'ලස්සන කෙල්ල' 'ආදරේ හිතෙනවා දැක්කම' යන චිත්‍රපටවල ශෛලය සිහියට නැගේ..එතකොට අර ත්‍රිල් එක අච්චාරු වේ.

“'සිතුදේ, පැතු දේ ඉටු වී යයි 
අද රෑ සතුටේ සඳ පායයි 
මෙයින් මතු මා, පාළු අඳුරේ 
තනි නොකළ මැන , 
නොසිතු විලසේ”

සිරිපාලගේ හා රතීගේ ආදරය එලෙස ගලා ගිය අතර, එයට දුෂ්ඨයෙක් සමඟ දුෂ්ට පැටව් කීප දෙනෙක්ද නීල් රූපසිංහ විසින් සෙට් කර තිබුණි. ඒ බංඩාර මහත්තයා හා ඔහුගේ සඟයන්ය. ඔවුනට මල පනින්නේ සිරිපාල එක්කගෙන ආ සුමනදාස, ⁣රතීගේ නංගි වූ සෝමා සමඟ ආලයෙන් වෙලුණා දුටුවාමය. බංඩාර සෝමාට ඇල්ම බැල්ම දාගෙන හිටියේ කවදා හෝ ඇයව තමාගේ කර ගන්නටය. ඔවුනොවුන් අතරේ නිතරම ගෝරි ගියේ ඒ නිසාය.

සංචි ආරච්චිලාගේ ජිනදාසටද පෙම්වතියක් සිටියේය. ඇය සෝමා කියා නම් කොහේවත් සඳහන් නොවීය. එහෙත් ජිනදාස නමි ඇයට ඉමහත් ලෙස ආදරය කළ බවක් සදහන් වී තිබුණි. දෙවනි ලෝක යුද්ධ සමයේදී මෙරටට ගෙනවිත් තිබූ කාපිරි හමුදාවේ සෙබළුන් අතින් ජිනදාසගේ පෙම්වතියව දූෂණය කර මරා දැමූ හේතුව උඩ ජිනදාස දරණු වූ බවත්, ඉන්පසු කාපිරි සෙබළුන් ගණනාවක්ම ජිනදාස විසින් මරාදැමූ බව ඇතැම් ලිපි ලේඛන වල අඩමානෙට, සදහන් වූවද, ඒවා සත්‍යමයි කියා නම් පිළිගැනීමට නොහැක.

රූපසිංහට මේ කාපිරි සෙබළුන්ගේ සිදුවීම් තව දුරටත් මනංකල්පිත කර, සුමනදාස 'රැම්බෝ' මෙන් කාපිරි හමුදාව ළඟට ගොස් තනිවම සටන් කර සෝමා ව⁣ බේරා ගෙන ඒම වැනි කෑලි යොදා චිත්‍රපටය ත්‍රිලින් කිරීමේ හැකියාව අනන්තවත් තිබෙන විට, ඒ වෙනුවට රූපසිංහ කළේ බංඩාර හා ඔහුගේ සහචරයන්ව යොදා බයිලා නැටවීමය.

“යන විට පාරේ, උකුළ නටන තාලේ 
ලස්සන කෙසේ බලම්දෝ 
යව්වන කාලේ,අඟර දඟර පෑවෙි 
ඇස් දෙක වශී නොවේ දෝ 
සනසාලා, නැලවීලා 
කවදා හෝ වැලපී නැහැ 
රුං ගාලා ගෙනත් දෙමි ”

යකඩයා චිත්‍රපටයේ හිරගෙයි කූරු මෑත් කර සුමනදාස පැන්න ලෙස සංචි ආරච්චිගේ ජිනදාස හිරෙන් පැන්න බවක් සඳහන් නැත. එලෙසම බන්ධනාගාර බස් රථයේදී සුමනදාස තම මාංචු , බස් එක තුළ තිබූ යකඩ පොල්ලට හිර කර කඩා ගත් ආකාරයට ජිනදාස කර ඇති බවක්ද සදහන් වී නැත. මේවා සියල්ල රූපසිංහගේ මනෝමරූප වූවද, එවන් ජවනිකා තුළින් චිත්‍රපටය වේගවත් කිරීමටත්, එමගින් චිත්‍රපටයට ත්‍රිල ගෙන ඒමට ගත් උත්සහයට රූපසිංහට පැසසුම් කළ හැකිය. ඒවා නොතිබුණානම්, යකඩයා, මලකඩයා වීමට ඉඩ තිබුණි.

සිරිපාල හිරේ සිට, පැමිණි අයෙකු වූ අතර, සුමනදාස හිරේ කඩාගෙන පැන්න අයෙක් විය. පුදුමය යනු මේ අක්කා නගෝ දෙදෙනාගේම කැමැත්ත තිබෙන්නේ හිරේ සිටි අය වෙතමය.

ජිනදාස කැකිරාවේ තැපැල් කාර්යාලය මංකොල්ල කෑවෙත්, තම්බයියා මහතා මැරුවෙත් , තවත් තිදෙනෙක් සමඟය. නමුත් රූපසිංහගේ සුමනදාස තැපැල් ස්ථානය මංකොල්ල කෑවෙත්, තම්බයියා ට වෙඩි තිබ්බෙත් තනිවම ගොස්ය. සත්‍ය කථාවේ තේමාවට, හරි අපූරුවට මනංකල්පිත ජවනිකා හා චරිත එකතු කර තිබුණි. නමුත් සිරිපාල හා සුමනදාස එකට එකතු කර, හොඳ සටන් ජවනිකා කීපයක් රිංගුවා නම් 'යකඩයා' චිත්‍රපටය 'චණ්ඩියා' මෙන් වේගවත් කිරීමට තිබු ඉඩකඩ රූපසිංහ ප්‍රයෝජනයට නොගැනීම නිසා යකඩයා හිතූ තරම්ම යකඩ බවක් නොවීය. සුමනදාස දුම්රිය තුළදී ⁣දමිල සල්ලිකාර මිනිසෙකුව බය කර ඔහුගේ මුදල් හා තුවක්කුව ගැනීමෙ සිද්ධිය ඔයිට වඩා ජවසම්පන්න කරන්නට තිබුණද, අපට එය දියාරු බවක් දැණුනේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ තිරනාටකයේ තිබූ දුබල කම නිසා විය හැක. එහෙත් සුමනදාස මුලින්ම හිරෙන් පැන ලොරියක නැගී එන විට කල සටන නම් චිත්‍රපටයට හොද ගැමිමක් විය.

සිරිපාල, සිරෙන් නිදහස්ව රතීගේ ගමට පැමිණියේ ඇය සමඟ ගොවිතැනක් බතක් කර, සතුටින් ජීවත් වීමටය. එහෙත් ඔහුගේ හා රතීගේ ප්‍රාර්ථනාවට හෙන ගැසුවේ සිරිපාල සමඟ ආ සුමනදාස නිසාය. සුමනදාස නිතරම බන්ඩාර හා ඔවුනගේ සහචරයෝ සමඟ පැටලෙන නිසා, ඔවුන් පොලිසියට ඔත්තු දුන්නෙන් සුමනදාසට ගමෙන් පැන යන්නට සිදුවිය. එසේම ගම්මුන්ද රතීගේ නිවසේ හිරෙන් නිදහස් වී පැමිණුනු කෙනෙක් , ගමේ සිටීම ගැන මනාපයක් නොතිබුණි. මේ හේතුවෙන් සිරිපාල හා රතීට ගමෙන් පැන ගොස් කැලෑව මැද පැලක් අටවාගෙන ජීවත් වන්නට සිදුවූ අතර, ඒ වන විට රතීට දරුවෙක් ලැබීමටද සිටියාය. ඔවුන් කැලෑව තුළ කන්නේ බොන්නේ මොනවාදැයි අප නොදනිමු මුත්, ඔවුන් කැලෑව තුළ ගීත ගයමින් මාර 'ආතල්' එකේ සිටින බවක් නම් පෙනුනි.

“ ආශා රැළි, දෑසේ වෙලි 
සිසිල බෙදන ගඟුල විලස 
සසැලි සසැලි සිතුවිලි 
ආශා රැළි, දැසේ වෙලී 
නොදුටු නිමල අමිල අමර 
කැලුම ගෙනෙන හසරැළි 
ආශා රැළි, දෑසේ වෙළි”

ඔය අතරෙදී සුමනදාසද සෝමාව රැගෙන කැලයට එන්නේ ඔහු පසු පස පොලීසියෙන් පන්නන නිසාය. ඔවුන් කැලයට එනවිට ,රතී කැලය තුළ දර කඩන අවස්ථාවේ ඇයව කොටියෙකුට බිලි වී ජීවිතක්ෂයට පත්විය. කොටියාව වෙඩිතබා මරා දමන්නේ සුමනදාසය. එයින් තනිවෙන්නේ සිරිපාලය. ඒ වන විට මුළු පොලීසියම කැලය වටලා තිබූ නිසා, සුමනදාසට කැලයෙන් පැන යන්නට සිදුවිය. ඔහු සෝමාව, සිරිපාලට බාර දී, තනියෙන් පොලීසිය සමඟ සටන් කරයි. දෙපැත්තෙන්ම වෙඩි හුවමාරුවක් ගියද පොලීසිය සුමනදාසව අත් අඩංගුවට ගනී. දීර්ඝ නඩුවිභාගයකින් සුමනදාස ව එල්ලුම් ගහට නියම වේ. චිත්‍රපටය එතැනින් නිම කිරීමට නීල් රූපසිංහට සිදුවේ.

එහෙත් සත්‍ය කථාව, ඔයිට වඩා තරමක් දිඟු වේ. සත්‍ය කථාවේ ජිනදාස හිර ගෙදර තුළ හොද කල්ක්‍රියාවෙන් සිටි නිසා මරණ දඩුවම ලිහිල් වී, පසුව සිරෙනුත් නිදහස් වේ. නමුත් ඒ වන විට සාංචි ආරච්චිගේ ජිනදාස වයෝවෘද්ධ වී තිබුණි. අර තරුණ කළ තිබූ මැර ජවය දියවී තිබුණී. හිරෙන් නිදහස්ව ආවද ඔහුට හව් හරණයක් තිබුණේ නැත. ඔහු යාචකයෙක් බවට පත් විය. නිදිය ගත්තේ කොටුව දුම්රිය පොළේය. අවසන් කාලයේ ඔහු මානසීක රෝගියෙක්විය. මානසික රෝහලේ ප්‍රතිකාර ගත් අතර, තව තවත් ලෙඩ රෝග ගණනාවකින් ඔහු පිඩා විද ඔහුව ජාතික රෝහලට ඇතුළත් කළේය. 2011 ඔක්තෝබර් 9 වන දින අන්ත අසරණව සිට ඔහු මිය ගියේය. ඔහු මිය යනවිට ඇතැමුන් කීවේ ඔහුට වයස අව්රුදු 111 පමණයැයි කියාය. ඇතැම් පුවත් පත් වල ඔහුට වයස 107-109- යයි කීවද , ලිපි ලේඛන අනුව ඔහු ඉපදී ඇත්තේ 1921 වන අතර, මිය ගියේ 2011 වසෙර්ය. ඒ අනුව ඔහු වසර 90ක් ආයු වළදා තිබුණි. ඔහුගේ මිනිය රෝහලෙන් ගෙන යාමට කව්රුත් ඉදිරිපත් නොවූයෙන් එය රෝහලින්ම වළලා දැමීමට ලෑස්ති කරන විට අවසන් මොහොතේ ඔහුගේ ඥාති මුනුබුරෙකු එය භාරගෙන තිබූ බවක් සඳහන් වේ.

ගාමිණී ෆොන්සේකා සුමනදාස නොහොත් මරදන්කඩවල යකඩයා ලෙස රඟපෑවේය. එහෙත් අර චන්ඩියා, සූර චෞරයා, ආත්ම පූජා, වැනි චිත්‍රපටවල තිබූ දැවැන්ත රඟපෑමක් මෙහී තිබුණේ නැත. යකඩයා ලෙස ගාමිණී ෆොන්සේකාව ඇගට දැනුනා දැයි නමි මතක නැත. එසේ අමතක වන්නේ ඇගට නොදැනුනු නිසා නොවේද?. රවින්ද්‍ර රන්දෙණිය සිරිපාල වූ අතර පිළිවෙළින් රතී හා සෝමා වූයේ අනුලා කරුණාතිලක හා ජෙනීටා සමරවීරය. ඇන්තනී සී පෙරේරා බණ්ඩාර විය. රෙක්ස් කොඩිප්පිලි , ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු , ශාන්ති ලේඛා, දෙනවක හාමිනේ, සෙසු චරිත රඟපෑහ. සංගීතය සරත් දසනායකගෙනි. ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ තිර නාටකය අනුව 'යකඩයා' අධ්‍යක්ෂණය නීල් රූපසිංහ ගෙනි. සයිමන් මරවනාගොඩ නිෂ්පාදනය කළ 'යකඩයා' 1977 දෙසැම්බර් 9 වෙනිදින සිට තිරගත කිරීම ආරම්භ කළේය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)
ශෝන් මැක්ස්මස් දිසානායක