ප්‍රභාවතී දේවිය ගැන ගැයූ “කරුණා දේවී”

දෙසැම්බර් 19, 2019

චිරන්තන සිංහල සාහිත්‍යයේ “ස්වර්ණමය යුගය” ලෙස සැලකෙන කෝට්ටේ යුගයේ අලගියවන්න මුකවෙටිතුමන් විසින් විරචිත කුසජාතක කාව්‍යයෙහි ප්‍රභාවතී දේවිය ගැන වර්ණනා කිරීමේ කොටසේ දී මෙවැනි කවියක් අපට හමු වෙයි.

“ පරසිඳු මෙ මිහි තල
මදු රට පුරෙහි සාගල
මදු රජුට බෝ බල
දුවක් ඇත පබවත නමින් දුල”

දඹදිව මධුරා පුරයෙහි විසූ “ ප්‍රභාවතී කුමරිය” ගැන වර්ණනාව නොහොත් “පබවත වැණුම” කවි පන්තිය කුසජාතක කාව්‍යයේ අඩංගු ඉතා මනරම් පැදි පෙළකි. මෙම පැදි පෙළ ඇසුරින් 1940 වර්ෂයේ ග්‍රැමොෆෝන් ගීතයක් ලෙස රචනා වූ “කුමාරි රාජ නන්දනී” නම් වූ ගීතයේ ඉතිහාසය මෙම ලිපියෙන් විස්තර කරන්නෙමි.

කුමාරි රාජ නන්දනී රූසිරි කුමාරි//
මධුරා හි යමුනා ගං තීරේ //
සාගල රාජ කුමාරි

කුමාරි රාජ නන්දනී රූසිරි

ඒ ප්‍රභාවතී රූප සාගරී //
පානා ප්‍රභා මනහාරි//
නොතකා ප්‍රේමේ කුස රජුගේ මන//
මන බින්ඳ සඳෙහි කුමාරි

කුමාරි රාජ නන්දනී රූසිරි

පතමින ආලේ දුක් විද බෝ සේ //
පෑව නින්දා තේරී//
මහසත් ඒ කුස රාජ ගම්භිර //
ඥානේ හි දැනුම් කාරී

කුමාරි රාජ නන්දනී රූසිරි

සතුරු රජුන් මැද- අභීත නද කර //
ප්‍රේමේ දිනා සුමිරී //
ලෝ වැඩ සෑදු ප්‍රභා දේවි //
හා ඒ ස්වාමි අසිරි

කුමාරි රාජ නන්දනී රූසිරි..

1940 දශකයේ අතිශය ජනප්‍රිය ග්‍රැමොෆෝන් ගීතයක් වූ මෙම ගීතය ගායනා කළේ එවක COLUMBIA ගීත තැටි සමාගමට සම්බන්ධ වී සිටි ගායිකාවක වූ කරුණා දේවී මහත්මියයි. මෙම ගීතය ප්‍රබන්ධ කළේ එවකට එම තැටි සමාගමේ නිත්‍ය ගේය පද රචක යූ. ඩී.පෙරේරා මහතා ය. ගීතය සංගීතවත් කළේ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. රෙජිනා පෙරේරා, සිසිලියානා ඩයස්, වයලට් වීරකෝන් සහ විමලා කාන්තා එවකට (1937-1940) COLUMBIA තැටි සමාගමේ ප්‍රධාන ගායිකාවෝ වුහ. 1938 වසරේ දී මුල්වරට GE 15000 ශ්‍රේණියෙන් ඇරඹි මෙම තැටි ඉන්දියාවේ “ඩම් ඩම්” හි නිෂ්පාදනාගරයක සකස්කොට වෙළෙදපොළට නිකුත් විය. 1938 ට පෙර මෙරට නිකුත් වූ COLUMBIA ලේබලයේ ග්‍රැමොෆෝන් ගීත තැටි එංගලන්තෙය්දී කැපීම සිදු වූ අතර, එම තැටි සඳහා සංගීතය සැපයුවේ ස්වරදේව සාදිරිස් සිල්වා මාස්ටර් විසිනි. 1938 ට පෙර COLUMBIA ලේබලයේ ප්‍රධාන ගායිකාවන් වූයේ ජේන් පෙරේරා, සිමෝනා පෙරේරා සහ මේරී පෙරේරා යන නුර්ති ශිල්පිනියන් ය. 1938 වකවානුව වන විට COLUMBIA තැටි සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරය මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත පැවරුණු අතර යු. ඩී පෙරේරා මහතා අතින් බොහොමයක් ගීත රචනා විය.

“යූ .ඩී - ගවුස්”, ගේය-ස්වරානුයෝජනයෙන් බිහි වූ ගීත සමුච්චය මෙරට යුග ගණනාවක් ශ්‍රාවකයන් මනෝරංජනය කිරීමට සමත් විය. “සිළුමිණි සෑය වදිම් ,”කරුණා මුහුදේ නාමු ගිලීලා", “රාජ සඟ බෝ හිස දී දුගියාටා” , “සුන්දර ශ්‍රීනී මන හාරි කුසිනාරා නගරේදී” , “මුනි නන්දන සිරි පාද වදිම් සමනළ කන්දේ”,”දුල් සල්වනේ ළකල්” ආදී ගීත එලෙස බිහි වූ කර්ණරසායන සුගායනයන් ය. යූ .ඩී - ගවුස් සුසංයෝගයෙන් මෙරට ගායන ක්ෂේත්‍රයට හදුන්වා දුන් COLUMBIA තාරකාවන් බොහෝමය කි. මොහිදීන් බෙග්, කේ.කේ.රාජ ලක්ෂ්මී , පාලි කුමාරි, මධුරාවතී , ග්‍රේටා ජැනට් ද සිල්වා , ටයිටස් සමරවීර, හෙන්රි ෆොන්සේකා, වසන්තා සන්දනායක, හිල්ඩා පෙරේරා, අසෝකා දේවී ඒ අතුරින් කිහිප දෙනෙකි.

මෙම ලිපියෙහි කතා නායිකාව වන “ ශ්‍රීමති කරුණාදේවී” මහත්මිය ද, COLUMBIA ලේබලයෙන් හදුන්වා දුන් නවක ගායිකාවක ලෙස ලෙසින් ගායන ලොවට පිවිස , මුල් යුගයේ සිනමාවද අතික්‍රමණය කොට, සංගීතචාර්යවරියක ලෙස අමිල සේවයක් ඉටු කොට, තම දුවා දරුවන් මෙන්ම මුනුපුරු බිනිබිරියන්ද කලා ලොවට දායාද කළ , ජනකාන්ත කලා ශිල්පිනියකි . 1920 සැප්තැම්බර් මස 30 වැනි දින ජන්මලාභය ලද කරුණා දේවී සිරිමතිය පළමු වරට COLUMBIA තැටි සමාගමට එකතු වන්නේ එහි සමුහ ගීත ගායිකාවක වශයෙනි. 1939 වසරේ ට්ඡ් 15045 අංකය යටතේ පටිගත කළ “ඉන්තම් ආමත්” නම් ගායිකාවගේ ප්‍රධානත්වයෙන් ගැයූ “සාධු ශ්‍රී දළදා” ගීතයේ ප්‍රධාන කණ්ඩායම් ගායිකාව ලෙස ගීත ගායනය ආරම්භ කළ එතුමියගේ මධුරතර හඩින් 1939-43 වකවානුවේ පටිගත කෙරුණු කේවල ගායනා බොහොමයකි. ඒ අතුරින් , එතුමිය විසින් එකුන් විසි වියෙහි දී පටිගත කරන ලද, යු. ඩී . පෙරේරා මහතා රචනා කොට ගවුස් මාස්ටර් විසින් සංගීතය සැපැයූ “ කුමාරි රාජ නන්දනී” සහ “අරුණා ලෝකේ උදා වේ ලකේ” ගීත යුග්මය (COLUMBIA ගීත තැටි අංක GE 15055) එවකට අතිශය ජනප්‍රිය ගීත යුගලයක් විය.

“කුමාරි රාජ නන්දනී” ගීතය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ කාෆි මේලගත පීලු රාගයෙන් නිර්මාණය වූ ගීතයකි. පීලු රාගයේ ශුද්ධ ගාන්ධාරය සහ කෝමල ගාන්ධරය යෙදෙන අතර ශුද්ධ නිශාදය සහ කෝමල නිශාදයත් යෙදේ. මේ රාගය ඉතාමත් මධුර රාගයක් වන අතර, මේ රාගයෙන් නිර්මාණය වන ගීතත් එලෙසම මධුරතර තනු බවට පත් වන්නේ නිරායාසයෙනි. මෙම ගීතය පටිගත කොට දශක අටක් ගතවුවත්, එහි කර්ණරසායන භාවය එලෙසම පවතින්නේ ගීතයේ යොදාගත් රාගයේ මධුරතර භාවය මෙන්ම එකී ස්වර රචනාවේ ඇති උසස් ලක්ෂණ හේතුවෙන් ම ය.

මෙම ගීතයේ තනුව රැගත් මුල් හින්දි ගීතය හමු වන්නේ වර්ෂ 1937 දී භාරතයේ එවකට ජනප්‍රියම චිත්‍රපට සමාගමක් වූ “සාගර් මූවීටෝන්” හි අති සාර්ථක නිර්මාණයක් වූ “ජගිර්දාර්“ (JAGIRDAR) සිනමාපටයෙනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ සුරේන්ද්‍ර, බිබ්බෝ, මෝතිලාල්, යුඛූබ් සහ මායා බැනර්ජි ය. මෙම චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂක අනිල් බිස්වාස් විසිනි. අනිල් බිස්වාස් බෝම්බායෙහි දී පළමුවරට කේවල සංගීත අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් චිත්‍රපට සංගීතය අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ මෙම චිත්‍රපටයෙනි. “කුමාරි රාජ නන්දනී“ ගීතයේ මුල් තනුව රැගත් මෙම හින්දි චිත්‍රපටයේ මෙම හින්දි ගීතය රඟපාමින් ගායනා කළේ බිබ්බෝ සමගින් සුරේන්ද්‍රනාත් ය. “පුජාරි මොරෙ මන්දිර් මෛන් ආඕ” නම් එම ගීතය භක්ති ගීතයක් වූ අතර, සුරේන්ද්‍ර සහ බිබ්බෝ එවකට බොම්බායේ ජනප්‍රියම නළු නිළි යුවල බවට පත්ව සිටියහ. සාගර් මූවිටොන් හි 1936 වසරේ නිෂ්පාදනයක් වූ “මන්මෝහන්” චිත්‍රපටයට මෙම යුවළ විසින්ම ගායනා කළ “තුමිනේ මුජ්කෝ ප්‍රේම සිඛායා” (“කරුණා මුහුදේ නාමු ගිලීලා” තනුව රැගත්) නමැති ගීතය, සුරේන්ද්‍ර සහ බිබ්බෝ ගේ යුග ගී ගායනයේ කූටප්‍රාප්තිය සනිටුහන් කළ ගීතය විය. “ජගිර්දාර්” චිත්‍රපටයේ සුරේන්ද්‍ර සහ බිබ්බෝ විසින් ගායනා කළ මෙම ගීතය නිකුත් වූයේ HMV ලේබලයෙනි (අංකව් 5897). සාගර් මූවීටෝන් සමාගම විසින් නිකුත් කරන ලද ග්‍රැමොෆෝන් ගීත තැටි කිසිවක සංගීත අධ්‍යක්ෂකවරයාගේ හෝ ගීත රචකයාගේ නම් සඳහන් නොකෙරුණි. එවෙනුවට “සාගර් මූවීටෝන් හි සංගීත කණ්ඩායම” (Sagar’s Orchestra) ලෙස පමණක් තැටි ලේබලයේ සඳහන් කෙරුණි. එලෙසම චිත්‍රපටයේ අඩංගු සියලුම ගීත ග්‍රැමොෆෝන් ගීත ලෙස තැටිගත නොකෙරුණු අතර ශ්‍රාවකයන් ජනප්‍රිය වූ ගීත පමණක් තැටියට නැගුණි. සාගර් මුවීටෝන් සමාගම 1940 වසරේදී ආර්ථික පසුබෑමක් හේතුවෙන් වසා දමන අතර එම චිත්‍රපට සමාගම විසින් 1927-1939 දක්වා නිෂ්පාදනයක කරන ලද බොහෝ චිත්‍රපට පිටපත් දැනට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. නිළි-ගායිකා “බිබ්බෝ” නොහොත් “ඉෂ්රත් සුල්තානා” ගැන වෙසෙසින් ම සඳහන් කළ යුතුය. භාරතයේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරිය වන්නේ බිබ්බෝ ය. වර්ෂ 1934 දී “අජන්තා සිනේටෝන් සමාගම” නිෂ්පාදනය කළ ADLE -E -JEHANGIR චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සහ සංගීත අධ්‍යක්ෂකවරිය වූයේ ඇය යි.

“ජගිර්දාර්” චිත්‍රපටයට ඇතුළත් වූ අනිල් බිස්වාස් විසින් සංගීතවත් කළ මුල් හින්දි ගීතය ද, පීලු රාගයෙන් නිර්මිතය. එසේම සිංහල සහ හින්දි ගීතය දෙකටම තීන් තාලය හෙවත් ත්‍රීතාලය යොදා නිර්මාණය කර ඇත. සිංහල ගීතයට බටහිර සංගීතයේ එන B Minor Scale භාවිතා කරගෙන තිබෙන අතර, හින්දි ගීතය සඳහා බටහිර සංගීතයේ එන C Major Scale   භාවිතා කර තිබීම විශේෂත්වයකි.

“කුමාරි රාජ නන්දනී” ගීතය ගායනා කළ කරුණා දේවී මහත්මිය ගැන තවත් කෙටි විස්තරයක් මෙම ලිපිය සමගින් සටහන් කිරීම යෝග්‍ය යැයි සිතමි. ස්වකීය ජීවන සහකරු වූ පීටර් සිරිවර්ධන මහතා කරුණා දේවියට හමු වන්නේද, මේ COLUMBIA ගීත පටිගත කිරීම් අතරතුර ගවුස් මාස්ටර් ගේ වාදක මණ්ඩලයෙහි සිටි වයලීන වාදකයෙකු වශයෙනි. 1908 ජනවාරි මස 08 දින උපන් පීටර් සිරිවර්ධන මහතා 1935 පමණ සිටම COLUMBIA තැටි සමාගමේ නිත්‍ය ගායකයෙකු මෙන්ම වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කළේය . “සුචරිතේ පුරාණේ”, “ තව්තිසා දෙව්ලොව” ,“රුව අනා දෙව්ලෝ”, වැනි ශාස්ත්‍රීය ගීතද, “තේ පැන්සලේ වර්ණනාව”, “ලක්ෂණ කොළඹ රේස්” වැනි විනෝදාත්මක ගීතද, “ලංකා ලංකා ලංකාර ශ්‍රිනි සුන්දර ජය භූමී” වැනි දේශාභිමානි ගීත ද, “ඩිංගිසි ඩිංගාරේ (වයලට් වීරකෝන් සහ සිසිලියානා ඩයස් සමග) වැනි බයිලා ගීතද, යන විශාල සංගීතමය වපසරියක ගීත ගායනා කිරීමේ ශක්‍යතාවයක් එතුමා සතු විය . කරුණා දේවී - පීටර් සිරිවර්ධන විසින් ගයනු ලැබූ මනරම් පෙම් ගී ඇතුළත් යුග ගීත කිහිපයක්ද 1939-41 වකවානුව තුළ COLUMBIA තැටි වලට පටිගත කෙරුණි. ඒ අතුරින් උමා ශෂී සහ සෛගාල් යුවල ගායනා කළ හින්දි ගීතයක (“චාන්දිදාස්”1934 සිනමා සිත්තමට අඩංගු වූ) තනුවක් ඇසුරින් “ ප්‍රේමෙනි ගයන ගැයුම් මන පිනවයි” යන ගීතය, මී මැස්සෙකු සහ රොන් ගන්නා මලක සංවාදයක් ලෙසින් ද, මායා බැනර්ජි සහ මෝතිලාල් ගායනා කළ හින්දි ගීත තනුවක් ඇසුරින් (“මහාගීත්” 1937 සිනමා සිත්තමට අඩංගු වූ ) “සුමධුර ගීත”නම් වූ දෙබස් සහිත යුග ගීතය එවකට ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය වූ ප්‍රේම ගීත විය . ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ මේ යුවල අතිනත ගැනීම එවකට ඔවුන් වෙත රොද බැදගත් ශ්‍රාවකයනට මහත් ප්‍රීති ප්‍රමෝදයක් ම විය. වාසුදේවී - එඩී ජූනියර්, සෝම කාන්තා - විල්බට් පෙරේරා , රුක්මණී දේවී - එඩී ජයමාන්න, චිත්‍රලේඛා - ස්වර්ණමන්ත්‍රී ආදීහු එලෙස කරුණා දේවී - පීටර් මෙන්ම අතිනත ගත් ග්‍රැමොෆෝන් තාරකාවෝ වුහ. 

පූර්ව සිනමා යුගයේ අතිශය ශ්‍රාවක ජනාකර්ෂණය දිනා සිටි කරුණා දේවී -පීටර් සිරිවර්ධන දෙපල, එඩී - රුක්මණී දේවී මෙන්ම මුල් යුගයේ සිනමාව පෝෂණය කිරීමටද දායක වුහ. 1947 අප්‍රියෙල් 09 දින තිරගත කළ මෙරට දෙවැනි සිනමා සිත්තම වූ ශාන්තිකුමාර් ගේ “අසෝකමාලා” හි පීටර් - කරුණා දේවී යුවළ උප ප්‍රධාන චරිත නිරුපණය කළහ. සිංහල සිනමාවේ තෙවැනි චිත්‍රපටය වූ , 1948 වසරේ තිරගත වූ “දිව්‍යමය ප්‍රේමය” සිනමා සිත්තමෙහි කරුණා දේවී සහ පීටර් සිරිවර්ධන ප්‍රධාන නළු- නිළි දෙපළ ලෙසින් , ගීත ගායනයෙන් ද, එපමණක් නොව, කරුණා දේවී මහත්මිය ගීත රචනා සදහා ගීත රචක සි. වීරසේකර වෙත සහාය ගීත රචනයෙන්ද සිය භූමිකාව ඉටු කළා ය. පසුව චිත්‍රපට කර්මාන්තයට සමු දුන් මේ යුවල, සංගීතාචාර්යවරු ලෙස දශක ගණනාවක් , මෙරට පාසල් ගණනාවකම සේවය කළහ. පීටර් සිරිවධන මහතා, ගුරු විද්‍යාල සංගීත ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කළේය. මෙම සංගීතාචාර්ය දෙපළ විසින් දායාද කළ දූ පුතුන් ද , තෙවැනි සහ සිවු වැනි පරපුරු ලෙස මුනුපුරු -මිනිබිරියන් ද කලා ලොව ජයකෙහෙළි නංවති. සංගීත විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය, සුනිල් සිරිවර්ධන මහතා සහ නැසී ගිය සිසිර සිරිවර්ධන මහතා මෙම දෙපළ ගේ දුවා දරුවන් වන අතර, සුනිල් සිරිවර්ධන මහතා ගේ පුත්‍රයන් වන ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා, ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන මහතා සහ කලාශිල්පී මංජුල සිරිවර්ධන මහතාත්, චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ දියණිය වන නර්තන ශිල්පිනි ජයකලණි මහත්මියත්, චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ මිනිබිරිය වන නව පරපුරේ ගායිකා දුල්ශාරා ද අල්විස් මෙනෙවිය ද, මෙලෙස අනුක්‍රමිකව තෙවැනි සහ සිවු වැනි පරපුර නියෝජනය කරන කලා ශිල්පීහු වෙති.

එක්තරා යුගයක මෙරට ගීත ලොව එකලු කළ, එම ආලෝකයෙන් තවත් පරපුරු ගණනකට පහන් දැල්වූ ශ්‍රීමති කරුණා දේවී මැතිනියට සහ පීටර් සිරිවර්ධන මහතාට මෙම සටහන උපහාරයක්ම වේවා !!

විශේෂ ස්තුතිය :
කරුණා දේවී මහත්මියගේ ජීවන තොරතුරු සහ සේයා රූ ලබා දුන් විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය, ගීත තැටි සංරක්ෂක බන්දුල ගමගේ මහතා, ගීතයන් හි රාග-තාල පිළිබඳ දැනුම්වත් කළ ලලිතකලාවේදිනි, සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය, පැරණි සේයා රූ සංරක්ෂණයෙහි
තාක්ෂණික සහාය ප්‍රභාත් සමරසූරිය මහතා


ඉසුරු උදයංග කාරියවසම්