කවුද මම කාගේදෝ මම

ආචාර්ය සෝමරත්න දිසානායක
දෙසැම්බර් 19, 2019

"ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම නිසඟ හැකියාවන් එළිදක්වන, නිර්මාණ කාර්්‍යයේ නියැලෙන විශේෂ පුද්ගලයෙකි. තිර රචනය, අධ්‍යක්ෂණය, ගීත රචනය ආදී නොයෙක් ක්ෂේත්‍ර ඔස්සේ තම කලා ඥාණය ප්‍රකට කරන සෝමරත්නයන් මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතියේ හඬක් නඟන භූමිකාවන්ගේ ප්‍රධාන පෙළේ එක් සාධකයකි. සමාජ දේශපාලනයේ ද ප්‍රබල දේශපාලන මතධාරියකු වන සෝමරත්නයන් නිවහල් චින්තකයෙකි. "

ඔහුගේ කලා නිර්මාණයන් තුළින් තම මතය වඩාත් සමාජ සංයෝජනය සඳහා වඩාත් උනන්දුවකින් කටයුතු කරන්නෙක් ද වේ. සමාජ ආකල්ප මිථ්‍යාව තුළ එල්බ සිටින ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සෝමරත්න දිසානායක සැම විටම තම නිර්මාණ කාර්ය දිසානුගත කරනුයේ ද සමාජයේ කථිකාවතක් නිර්මාණය වී එහි සැබෑ අරුත ජන මනසට ඒත්තු ගැන්වීමටය. 

ජාති, ආගම්, භාෂා, සංස්කෘතික වශයෙන් අන්තවාදීව බෙදී එකනෙකාට වෛර කරමින් මිනිසුන් මරා ගනිමින් මේ අප ගමන් කරන්නේ කොයිබටද? මේ සෝමරත්නයන් තම නවතම සිනමා නිර්මාණයෙන් අසන ප්‍රශ්නයයි. එකම ජාතියක මිනිසුන් මනුස්ස ජාතිය මිස වෙන ජාතියක් නොව මේ සියල්ලෝ මනුස්ස ජාතිය බව අපට සිතන්නට ඉඩකඩ විවර කර දෙනුයේ මිථ්‍යාවෙන් ජන මනස ගොදුරු කර සිටි යදම් බිඳ දමමිනි. මිථ්‍යාවේ යදම් බිඳ දමමින් සෝමරත්නයන් ගී පබැඳුම් දෙකක් රචනා කර ඔහු එය තම නවතම සිනමා නිර්මාණය වූ ‘සුනාමි’ හරහා සමාජගත කරන්නේ ඇයිද යන්න ඔහුගෙන් අපි විමසා දැනගනිමු.

හුඟක් දෙනෙක් මාත් සමඟ එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි එක දෙයක් කිව යුතුයි. මම නිවහල් චින්තකයෙක්. මම කෙනෙක් කිව්ව පලියට, කෙනෙක් උගන්වපු විදියට, පොත්පත්වල තිබුණු පලියට ආගම දහම උගන්වපු පලියට මම ලෝකය පිළිගන්නේ නැහැ. මට දැනෙන මට පිළිගත හැකි දේ පමණයි මම පිළිගන්නේ. ලංකාවේ බුද්ධාගම, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගම් හතරම තියෙනවා. ඔය ආගම් හතරටම අදාල මිනිස්සු තමයි මුහුදු වෙරළ ආශ්‍රිතව ජීවත් වුණේ. ඔය කවුරුවත් එදා සුනාමියෙන් ඉතුරු වුණේ නෑනේ. සුනාමි රැල්ලට ඔය ඔක්කොම ගහගෙන ගියා. සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියල නැහැ. සියලු මෘත ශරීර එක ගොඩේ කුණු වෙලා ගියා.

මම තව දෙයක් මෙතනදි අහනවා, අපිට උගන්නලා තියෙනවා ලංකාව ආරක්ෂා කරන තිස් තුන් කෝටියක් දෙවියො ඉන්නවා කියලා. එතකොට එදා සුනාමිය එන වෙලාවේ මේ අය කොහේද හිටියේ. මේ අය ඒක දැක්කෙ නැද්ද. එයාලා අපිව ආරක්ෂා කරනවා නම් අපේ තුටු පඬුරු ගන්නවා නම් අපේ පුද සත්කාර ලබනවා නම් මෙහෙම ව්‍යසනයක් ඇයි නොදැක්කේ. ඇයි මේ මිනිස්සු මැරෙනකන් මේ තිස්තුන් කෝටියක් දෙවියෝ බලන් හිටියේ. අත දරුවෝ, කිරි දරුවෝ, ගැබිණි මව්වරු ගහගෙන ගිහින් මැරෙනකන් අපිව ආරක්ෂා කරන දෙවිවරු කොහෙද හිටියේ කියන ප්‍රශ්නය මම අහනවා. 

බුදු රජිඳුනේ - කිතු සමිඳුනේ 
සිව දෙවියනේ - නබි හිමියනේ 
කිම නොපෙනුණේ - සිදු උන විනේ 

මේ ප්‍රශ්නය අදත් මගේ හිතේ තියෙනවා. මෙහිදී මම කියනවා තිස් තුන් කෝටියක් දෙවියෝ ඇස් කන් පියා සිටියෝය කියලා. මම කියනවා මගේ හිතේ තියෙන ඒ නිදහස් චින්තනය කියන දේ මම මේ ගීත රචනයේදී ඉදිරිපත් කරලා තියෙනවා කියලා.

අනික මම මේ සුනාමි චිත්‍රපටය හඳුන් වන්නේ සොබා දහම අපට කියා දුන් මිනිස්කමේ පාඩම කියලා. අපි ඔක්කොම මිනිස්සු. ආගම අනුව, ජාතිය අනුව, භාෂා අනුව මොන විදියට අපි බෙදාගෙන එකිනෙකා ඇන කොටා ගත්තත් අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම එක ජාතියක්. අපි මැරෙන්නේ එක විදියට. සොබා දහම කියන දේ අපි ඔක්කොටම එක විදියට බලපානවා. ජාතිවාදය, ආගම්වාදය, කල්ලිවාදය තමයි අපිට තියෙන එකම සුනාමිය. 2004 දෙසැම්බර් 26 වැනිදා වුණේ ස්වභාවික සුනාමියක්. හැබැයි අපි විසින් ඇති කරගත්තු අපි විසින් හදාගත්ත සුනාමිය ඊට වඩා භයානකයි. අන්න ඒ සුනාමිය අපි ළඟ තියෙනවා. ඒක තමයි ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය. අන්න ඒ සුනාමිය ගැන තමයි මම කතා කරන්නේ. එහෙම නැතුව 2004 ගොඩ ගලපු සුනාමිය එහෙම නොවෙයි. චිත්‍රපටයේ අන්තර්ගතය ඒකයි. ඒක තමයි මගේ චිත්‍රපටයේ දර්ශනය. මේ චිත්‍රපටයේ ගීත දෙකෙන්ම මම කියන්නට උත්සාහ ගන්නෙත් ඒක. බුදුහාමුදුරුවන්ගෙන්, ශිව දෙවියන්ගෙන්, කිතු සමිඳුන්ගෙන්, අල්ලා දෙවියන්ගෙන් මම ප්‍රශ්න කරනවා ඇයි අපිව බලා ගත්තේ නැත්තේ කියලා.

ඒ වගේම තමයි මම මේ සුනාමි චිත්‍රපටයේ අඩංගු කරලා තියෙන අනික් ගීතයෙන් කියන්න උත්සාහ කරන්නේ සිංහල, දෙමළ පවුල් දෙකකට අයත් යැයි පවසන දරුවා මම කවුද කියලා ප්‍රශ්න කිරීම. මගේ ජාතිය, මගේ ආගම මොකක්ද, මගේ දෙමාපියෝ කවුරුද කියන උභතෝකෝටික ගැටලුව තමයි අපෙන් අහන්නේ.

මම මෙතනදි ඒ ගැටලුව ගැන මෙහෙම ප්‍රශ්න කරනවා. මම සමන් මලක් නම් බුදුහාමුදුරුවෝ ඉදිරියේ පූජා කලාම මම බෞද්ධ. මේක ගණපති දෙවියන් ඉදිරියේ දෙවියන්ගේ ගෙලට දැම්මම මම හින්දු. එතකොට සමන් මලක ආගම මොකක්ද? ඒවගේම තමයි පහනක් බෝමළුවක පත්තුකලාම ඒක බෞද්ධ. ඔය පහන ශිව කෝවිලේ හරි ගණ දෙවි කෝවිලේ හරි පත්තුකලාම ඒක හින්දු. එතකොට මම අහනවා පහන් සිලක ආගම මොකක්ද? 

බෝ මළුවක බෝ සමිඳුගෙ වට 
කෝවිල තුළ සිව දෙවි රුව ළඟ 
මම පහන් සිලක් මිස 
මගෙ ජාතිය - මගෙ ආගම

කිම?

මේවා අපි සමාජයෙන් ලෝකයෙන් අහන්න ඕනෑ ප්‍රශ්න. ආගම් හැටියට, ජාතීන් හැටියට බෙදාගෙන පොරකාගෙන මිනී මරා ගන්න අයගෙන් මම අහන ප්‍රශ්න ඔන්න ඕවා.

මේ ගීත සංකල්පය නිතර මගේ ඔලුවේ තිබුණ දෙයක්. ජාතිවාදය, ආගම්වාදය මේ හැම එකකම අන්තවාදය. අපේ බුද්ධාගම වුණත් අන්තවාදී, අපි සිංහල වුණත් අන්තවාදී. ඒක අපේ වැරැද්ද නෙමේ. මේක පෙර පරපුරෙන් අපිට දීල තියන දේවල්. මම ගැන කිව්වොත් මම පුංචි කාලෙ හරි ජාතිවාදියෙක්. මම කියලා තියෙනවා දෙමළු පෙති ගහල මුහුදට දාන්න ඕනෑ කියලා. මම කවි ලියලා තියෙනවා ජාතිවාදී අදහසින්. මම හිතනවා ඒක වැරදියි කියලා. මට ඒ දවස්වල ඔලුවට දීලා තිබුණු දේවල් තමයි ඒ. තව දෙයක් මම හිතන් හිටියා බුද්ධාගම බෞද්ධ දර්ශනය විතරයි තියෙන්න ඕනෑ. ඒක විතරයි ආගම, අනික් ආගම් මිථ්‍යා දෘෂ්ටික ආගම් කියලා. ඒවා අදහන අය අපායේ යන්න ඕනෑ. මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ කියලා. මේ දේවල් අපිට තේරුම් යන්නේ ගොඩක් පහුවෙලා. අපි ඔක්කොම එකයි. එකිනෙකා ආගම අදහන් ඉන්නවා තමන්ට ඕනෑ විදියට. මගේ ආගම වෙනුවෙන් මම පෙනී සිටිනවා වගේම අනික් ආගම් වෙනුවෙන් ඒ ඒ අය පෙනී සිටිනවා. ඒ කට්ටියගේ හොඳම දර්ශනය ඒ ආගම්. ඒ අයගේ නායකයෝ ඒ අයගේ ආගම් නායකයෝ. ඒකේ කිසිම වරදක් නැහැ. මෙන්න මේ සංකල්පය මගේ ඔලුවේ තිබුණා මේ ගීත නිර්මාණයේදී.

මේ චිත්‍රපටයට පාදක වන සිද්ධිය ජාතික පුවත්පතක පල වන ප්‍රවෘත්තියක්. පවුල් දෙකක පිරිසක් ළමයෙක් වෙනුවෙන් තම අයිතිය කියන සිද්ධියක්. උසාවියේ ලේ පරීක්ෂා කරලා මේ දරුවා සැබෑ දෙමාපියන්ට භාර දෙන්නේ කියන ප්‍රවෘත්තිය. මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි මගේ ‘සුනාමි’ චිත්‍රපටයේ නිමිත්ත. මේ නිමිත්තට මුහුණ දීපු සැබෑ පුද්ගලයන් සොයාගෙන මම ගියා. ඒ සිංහල වගේම දෙමළ පවුලත් මට හමු වුණා. ඒ නඩුව අහපු උසාවියට ගියා, නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් හමු වුණා. ඒ හමු වෙලා තමයි තිර රචනයට අවශ්‍ය සියලු සැබෑ තොරතුරු එක් රැස් කළේ. ඒ ලබා ගත් කරුණු මම සිනමාකරුවකු ලෙස චිත්‍රපටයට උචිත අයුරින් ප්‍රති නිර්මාණය කළා.

තමන් එකඟ වෙන දර්ශනයක් අනුව තමයි මොන දේ වුණත් කළ යුත්තේ. නිර්මාණයක් වුණත් එහෙමයි. මම වුණත් අදහන්නේ නැති දර්ශනයක් බොරුවට ලියන්න බැහැනේ. නමුත් ලියන්න පුළුවන්. ඒත් ඒක බොරුවක්නේ. තමන්ගේ හිත ඇතුළෙන් තමන් ඒ දර්ශනයේ පිහිටා නැත්නම් එවැනි නිර්මාණ කරන අය බොරුකාරයෝ. එහෙම අය අද ඉන්නවනේ. දුප්පතා වෙනුවෙන් කියලා චිත්‍රපට හදනවා. සමාජවාදය කියල චිත්‍රපට හදනවා. නමුත් එතන ඒ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඒක බොරුවක්. ඒක ව්‍යාපාරික චේතනාවක්. ප්‍රේක්ෂකයන් අල්ලා ගැනීමට කරන උපක්‍රමයක්. නිර්මාණයක් කරන කොට නිර්මාණකරුවා හදවතින් එතන ඉන්න ඕනේ. මම ඒ තැන ඉන්නවා. මම මනුස්ස ධර්මය කියන දේ අදහන දෙයක්. මම කියන්නේ මිනිහෙකුට පිහිට වන්නේ මිනිහෙක් මිසක් ඇහැට නොපෙනෙන දෙවියෙක්, යකෙක්, භූතයෙක් නෙමෙයි. මගේ ධර්මය ඒකයි. යක්ෂ, ප්‍රේත, භූත නොපෙනෙන බලවේග ගැන මගේ සත පහක විශ්වාසයක් නැහැ. මම කියන්නේ ඒ සේරම බොරු. මම ඒ මිථ්‍යාව මේ සුනාමි චිත්‍රපටයට ඇතුළත් කරලා තියෙනවා.

නරඹන කාටත් ඒ සත්‍ය හොඳ හැටි පැහැදිලි වෙයි. බොරුව මොකක්ද කියන දේ එක්ක සමාජගත වෙලා තියෙන මිථ්‍යාව මම කියන ඒ නිරවුල් චින්තනය මේ චිත්‍රපටයට ඇතුළත් කරලා තියෙනවා. හේතුවාදී අදහසුත් මෙහි තියෙනවා මිනිස්සුන්ට කෙළින් හිතන්න. නිරවුල්ව නිවහල්ව හිතන්න මිනිස්සු පොළඹවන්න අපි කලාකරුවන් හැටියට කල යුතු දෙයක්.


නිශ්ශංක විජේරත්න

Add new comment