7 ARTS

දෙසැම්බර් 19, 2019

1. එඩී ජයමාන්න - රුක්මණී දේවි

 

ගීත ගායනයෙන් සිනමාවට පිවිසි මුල්ම ගායක යුවළ ලෙස එඩී ජයමාන්න සහ රුක්මණී දේවියව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ 1947 ජනවාරි මස 21 දින තිරගත වූ සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපටය කඩවුණු පොරොන්දුවෙන්. නිළියක ගැයූ ප්‍රථම චිත්‍රපට ගීතය ලෙස ‘ප්‍රේම දයා මාගේ පියාණෝ’ ගීතයත් ප්‍රථම ගීතය ඇය හියුගෝ ප්‍රනාන්දු සමඟ චිත්‍රපටයට ගැයූ ‘සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ගීතයත් ප්‍රථම චිත්‍රපට විකට ගීතය ලෙස එඩී ජයමාන්න ගැයූ ‘ළපටි රූපේ ඈගේ’ ගීතයත් පෙරමුණේ තබන්න පුළුවන්. රුක්මණියගේ චිත්‍රපට ගීත හඬ ඇතුළත් වූයේ ඇයගේම රංගනයට පමණක් වීම විශේෂයි. දෙබස් කැවූ පතිවත (57) චිත්‍රපටයට පමණක් ඇය අංජලී දේවි නම් වූ ඉන්දියානු නිළිය වෙනුවෙන් ගීත ගැයුවා. එඩී ජයමාන්නගේ රඟපෑම්වලටද බොහෝ විට ඔහුම ගී ගැයූ අතර මොහිදීන් බෙග් සහ එච්. ආර්. ජෝතිපාල යන ගායකයන්ගේ හඬවල් ද මුසු වූවා.

 

 

 

2. ඩබ්. ඩී. අමරදේව - විමලා අමරදේව

 

 

මොරටු පුරවරයේ ඉපිද ලංකාවේ ශ්‍රේෂ්ඨතම ගායකයා වූයේ ඔහුය. එය ගුවන් විදුලියටත්, කරළියටත්, සිනමාවටත් පොදු විය. අශෝකමාලා (47) චිත්‍රපටයට සංගීතය සැපයූ මොහොමඩ් ගවුස් මාස්ටර්ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වෙමින් වයලීනය වයා, ගීත ගයමින් එහි චරිතයක් ද රඟපෑ නළුවෙකු විය. අමරදේවයන් චිත්‍රපට සංගීතයට පිවිසෙන්නේ රන්මුතු දූව චිත්‍රපටයට රසාලිප්ත ගීත කිහිපයක් දායාද කරමිනි.

විමලා ගුණරත්න, ආර්. මුත්තුසාමිගේ සංගීතයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියූ සිකුරු තරුවට (63) අයත් ‘හිමගිරි කුළු මුදුනේ’ ගීතය ගායනා කළේ ඇස්. පණීභාරත නම් වූ දක්ෂ නැටුම් ශිල්පියා සමඟය. විමලා ගුණරත්න, විමලා අමරදේව වීමට මෙම සංගීත ඇසුර මහෝපකාරී වූවා විය හැකිය.

 

 

3. එඩී ජූනියර් - පර්ල් වාසුදේවි

 

 

එඩී ජූනියර් ගායකයෙකු හා නළුවෙකු වීමට පෙර අම්මා (49) චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක සී. එන්. පංඩුරංගන්ගේ බී. එච්. ද සිල්වා නමින් පෙනී සිටි සහාය සංගීත ශිල්පියා විය. සීදේවිි (51) සංගීත අධ්‍යක්ෂවරයා වී එම චිත්‍රපට දෙකෙහිම නළුවෙකු හා ගායකයෙකුද විය. ඔහු සුරංගනී (55) චිත්‍රපටයට ගැයූ ‘කොයිබටදෝ මේ සතා’ ගීතය ජනප්‍රිය විය. දෙඅංශනේම කුසලතා දැක් වූ අයෙකු විය.

ඔහුගේ පි‍්‍රය බිරිඳ කටකාර අම්මණ්ඩියගේ චරිතය සාර්ථක ලෙස නිරූපණය කළ පර්ල් වාසුදේවිය. විමලවීරයන්ගේ අම්මා චිත්‍රපටයේ ගීත ගයමින් ගායනයට ද පිවිසියාය.බඹර පැටික්කී (84) චිත්‍රපටයේ ජෝතිපාල සමඟ ගැයූ ‘මේ අහල්ලා’ ගීතය ගයමින් ඈ කළ රංගනයටත් පෙරළිකාරයෝ (86) හි දුෂ්ට රංගනයත් රසිකයනට කිසි දිනක අමතක නොවනු ඇත.

 

 

4. ධර්මදාස වල්පොල - ලතා වල්පොල

 

 

ධර්මදාස වල්පොල චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට පිවිසියේ ප්‍රේම තරඟය (53) හි අරුණ ශාන්තිගේ රංගනයට ‘හොඳ හොඳම වේය ලොව’ ගීතය ගායනා කරමිනි. සිනමාවේ රඟපෑ ප්‍රබල නළුවන් සියල්ලන්ගේම ගීතමය ජවනිකා රසවත් කිරීමට ඔහුගේ මධුර කටහඬ උපකාරී විය. නත්තල් දිනක සීතල සුළඟේ ඔහුගේ හඬ සැග වුණේ රසික අපව ශෝකයට පත් කරමිනි.

එදා රෑ (53) වංශවතී දවුලගලගේ රංගනයට පළමු ගීතය ගැයූ ඇය 2017 ද ප්‍රදර්ශනය කරනලද අප්පට සිරි චිත්‍රපටයේ හයසින්ත් විජේරත්නගේ රංගනයටද ගීත ගායනා කළාය. ඇය චිත්‍රපට 375 ක පමණ ගැයූ ගීත 750 ට වැඩිය. ලතා ප්‍රනාන්දු ලතා වල්පොල වූයේ 1958 දී ප්‍රේම තරඟයෙන් දිනූ බැවිනි.

 

5. පී. එල්. ඒ. සෝමපාල - චිත්‍රා සෝමපාල

 

 

 

වාදකයෙකු වූ පී. එල්. ඒ. සෝමපාල චිත්‍රා සමඟ මුල් ගීය ගැයුවේ ඔවුන් පෙම්වතුන්ව සිටි කාලයේය. ගීතය ‘යමුනා යමුනා සෝබන ගංගා’ය. 1952. 9. 27 දින ඔවුන් විවාහ වන විට ග්‍රැමෆෝන් තැටි සඳහා සංගීතය අධ්‍යක්ෂණය කිරීමේ වරම ද සෝමපාලට හිමි විය. අසෝකා (55) පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය විය. චිත්‍රපට 100 පමණ සංඛ්‍යාවක ගිතයන් රසවත් කිරීමට ඔහුගේ සංගීතය මහඟු මෙහෙයක් ඉටු කළේය. වැඩි ප්‍රමාණය හින්දි තනු අනුව ගැයුණේ වුවද ගීත රසිකයන් අතර වැඩියෙන්ම රැව් දුන්නේද එම ගීත වීම විශේෂත්වයකි.

දුන්හිඳ හැලෙනා, ඉසුරුමුණියෙහි වැනි ජනප්‍රිය ගීත ගැයු චිත්‍රා සෝමපාල පළමු චිත්‍රපට ගීතය ගැයුවේද අසෝකා චිත්‍රපටයටමය. ඒ ධර්මදාස වල්පොල සමඟ ‘පෙම් සුවඳයි මංගල සිරි දෙයි’ ගීතයයි. ඊට අමතරව ඇය චිත්‍රපට ගීත සඳහා සම්බන්ධ වී ඇත්තේ මහගෙදර (82) හා චණ්ඩි සිරියා (83) සඳහා පමණි.

 

 

6. සිසිර සේනාරත්න - ඉන්ද්‍රානි විජයබණ්ඩාර

 

සිසිර ගායන ලොවට පිවිසෙන්නේ පොඩි පුතා (55) චිත්‍රපටයට ‘මේ ලෝකෙ නවාතැන මේ’ ගීතය ගායනා කිරීමෙනි. ඒ හා සමඟම ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සමඟ රේඛාව (56) ට ‘ඕලු නෙලුම් නෙරිය රඟාලා’ ගීතය ගැයුමෙන් දෙදෙනාම ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවා සේම 1962. 05. 31 දින යුග දිවියට පිවිසීමට ද වාසනාවන්ත වුණා. ඔවුන් දෙදෙනා ගැයූ චිත්‍රපට යුග ගීත අතර ‘ඈත අහසේ නැගී දිනිඳු පායා’ හඳපාන (65) ‘රිදී කුමාරි සීතල ඇල්ලයි’ කව්ද හරි (69) ගීත රසිකයන් රස විඳි ගීතය. ගුවන් විදුලි ගීතයන් අතරින් ‘ගයා ගීතයන් ගමේ වෙල් එළියේ’, ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ’ වැනි ගීතයන් රසික හදවත් දිනා ගත්තේය

 

 

7. ලක්ෂ්මන් රුද්‍රිගු - රූපා ඉන්දුමතී

 

 

1979 දී ගුවන් විදුලියේ සියලුම ගායක ගායිකාවන් වර්ග කිරීමේ පරීක්ෂණය පැවැත් වූ ඉන්දියාවේ මහාචාර්ය දීපාල් නාග් මහත්මිය ‘එක ගඟක ඉවුරු දෙක’ ගීතයෙන් ඇයව විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක කරද්දී අබුද්දස්ස කාලේ (68) ගීත ගායන කරමින් චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට ද පිවිිස සිටියාය. ප්‍රවීණ ගායකයන් ඇය සමඟ ගායනයට එක් විය.

ලක්ෂ්මන් රුද්‍රිගෝ ඇය සමඟ විවාහ වූයේ 1967 වසරේදීය. ජීවන ගංගා (74) චිත්‍රපටයට රූපා ඉන්දුමතී ගීත ගායනා කරමින් චිත්‍රපට ගීත ගායනයට පිවිසියේ ගුවන් විදුලියේද ගායනා කරන අතරතුරදීය. දෙදෙනා එක්ව ගැයූ ‘සුවඳට මල මෙන්’, ‘විදුලි දුම්රිය’ ගුවන් විදුලි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.