‘සුරතලී’ ලෙස ගඟට පැන ‘පරසතු මලේ’

එළි නොවන නින්දකට වැටුණ ‘මැගී’සිරිමතී රසාදරී
දෙසැම්බර් 19, 2019

 

‘සිරිසේනගෙ මඟුල ජයට තිබුණලු නේද මැගී?’ බොනී මහත්තයා ඇඳ පාමුල බිම වැතිර සිටි මැගීට කීය.

‘ඔව් . . . දැන් ඉතින් නිදා ගන්නකො. දැන් උදේ වෙන්නත් කිට්ටුයි. අද බින්දුවක්වත් නිදා ගත්තේ නෑනේ’

‘මැගී මට අද හරි සනීපයක් දැනෙනවා. උදෙත් මෙහෙම තිබුන නං මට සිරිසේනලගෙ මඟුල් ගෙදර යන්නත් තිබුණා.’

‘අද හුඟාක් කතා කළා . . . දැන් නිදාගන්න හදන්නකො’

‘මට නිදිමත නෑ මැගී . . . හැබෑටම මැගී හෙට උදේට එළිවෙයිද . . . හෙට ඉර පායයිද?’

‘ඉතින් නිදියන්න හදන්නකො’

‘මැගී මට මතක නැති වෙන්න ඉස්සෙල්ලා ඔන්න කොට්ටෙ යට තියෙන ඔප්පුව ගනිංකො . . .’

බොනී මහත්තයා මැගී දෙසට හැරී ‘මැගීට මේ ඉන්න වත්ත’ කිවේය.

මැගීගේ මූණ කඳුළින් තෙත් වෙයි.

නෝනට හෙට්ටිපොල වත්ත. සිරිසේනටයි කමලටයි මේ ගේ වත්ත. අනිත් ඉඩම් . . . මොකක්ද මැගී ඒ සද්දෙ”’

මැගී අඬන්නට විය. කණ කොකා තවත් දෙතුන් වරක්ම නාද කළේය.

‘හරියටම මේ ගේ උඩින් වගෙයි ඒ සද්දෙ ආවෙ නේද මැගී . . .’ බොනී මහත්තයා කීය.

බොනී මහත්තයා අන්තිම හුස්ම අදිනු මැගී නොදුටුවාය. ඇය ඇඳ මත මුහුණ තබා හඬමින් සිටියාය. ඇය සුසුම්ලන හඬ අවට ගණඳුර සමඟ මුසු වූවා සේය. ගාමිණී ෆොන්සේකා බොනී මහත්තයා ලෙසත් සිරිමතී රසාදරී මැගී ලෙසත් රඟපෑ ‘පරසතු මල්’ චිත්‍රපටයේ අවසාන දර්ශනය සිංහල සිනමා ප්‍රේක්ෂකයාට, රසිකයාට කිසිදා අමතක නොවන බව සහතික කර කිව හැකිය. ඒ තරම්ම ඒ දර්ශනය අපට මැවී පෙනෙයි. එදා මැගී ලෙස රඟපෑ සිරිමතී රසාදරී මීට වසර 22 කට ඉහත ජීවිත සිනමාවෙන් සමු ගත්තාය.

මීට වසර 87 කට එපිට එනම් 1932 මැයි 10 වෙනිදා එක්තරා සීතල උදයක වෙන්නප්පුවේ දුම්මලදෙනියේ නයනමඩමේ උපත ලැබූ සිරිමතී මේරි ප්‍රනාන්දු සොහොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරන් පස් දෙනෙකු අතර තුන්වැනියා විය. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ දුම්මලදෙනියේ රෝමානු කතෝලික පාසලෙනි. ඇයගේ ගේ අසලම පදිංචිව සිටියේ පසුව ‘කැලෑ හඳ’චිත්‍රපටයෙන් ජනප්‍රිය නළුවකු වූ ස්ටැන්ලි පෙරේරාය.

පාසල් යන කාලයේ එනම් 1939 වර්ෂයේ පැවැත් වූ දීප ව්‍යාප්ත සෞඛ්‍ය සතිය වෙනුවෙන් සංවිධානය කළ ගායන තරඟයෙන් වයඹ පළාතෙන් මුල්තැන ගත්තේ සිරිමතීය. එදා විනිශ්චය මණ්ඩලයේ සිටි ඩේසි ඩැනියල් (රුක්මණී දේවි) අතින් ජයග්‍රාහි කුසලානය ඇය ලබා ගනිද්දී අනාගතයේ ඇය සමඟ චිත්‍රපටයක රඟපාන්නට ලැබේ යැයි නොසිතුවාය. ඊට වසර විස්සකට පමණ පසු සිරිමතී ‘දෛවයෝගය’ චිත්‍රපටයේ රුක්මණී සමඟ රඟපෑවාය. තමා එදා ගායනා තරගයෙන් ජය ලබා ගත හැකි වූයේ දුම්මලදෙනිය කතෝලික පාසලේ ගුරුවරයකු වූ මිගෙල් පෙරේරා මහතාගෙන් ලැබුණු ධෛර්ය නිසා බව 1957 ජූනි 15 ‘ලංකා චලන චිත්‍ර’ සඟරවේ කර්තෘ සෝමපාල රණවීරට කියා තිබුණි.

සිරිමතීට සිංහල භාෂාව හැර වෙනත් භාෂා කතා කිරීමට හැකියාවක් තිබුණි. හින්දි භාෂාව ලියන්නටත්, කතා කිරීමටත්, කියවීමටත් හැකියාව තිබූ ඇයට දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂාවත් කතා කිරීමට පුළුවන. කුඩා කල සිටම ඇය සිහින මැව්වේ නැටුම් ශිල්පිනියන් වීමටය. කුඩා කළම ශාන්ති විරාජ් යටතේ ඔහුගේ මීපුර ශාන්ත කලායතනයේ ශිෂ්‍යාවක් වශයෙන් ඇය කතකලි නැටුම් ද, ශාන්ති කුමාර් සෙනෙවිරත්නගෙන් භරත හා මණිපූර නැටුම් ද, හීන්බබා ධර්මසිරි යටතේ උඩරට නැටුම් ද පුරා වසර අටක් ඉගෙන ගත් බව පවසා තිබුණාය.

ලංකා ගුවන් විදුලියේ ගායිකාවක් ලෙසද සමත් වූ ඇය ප්‍රේමනාත් මොරායස්, සුනිල් ප්‍රේමදාස ආදී ගායකයන්ගේ සහාය ගායිකාව ලෙස එච්. ඇම්. වී සහ ඔඩියන් ග්‍රැමෆෝන් වෙළඳ තැටිවල ගී ගැයුවාය. ඇය ප්‍රේමනාත් මොරායස් සමඟ ගැයූ ‘ඒ මහා වීර බුදු පියා’ ගීතය ඉත ජනප්‍රිය ගීතයක් වී ඇත.

සිරිමතීට හාපුරා කියා චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ ‘පුදුම ලේළි‘ චිත්‍රපටයෙනි. ඇගේ හැකියාවන් තේරුම් ගත් හියුගෝ ප්‍රනාන්දු ඇය ‘පුදුම ලේළි‘ චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දුන්නේය.

‘ඊට පස්සේ මාව ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයට තෝරා ගත්තත් නිෂ්පාදක සමඟ පොඩි අරියාදුවක් නිසා ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට සමාගමෙන් මම ඉවත් වුණා. මම ‘පුදුම ලේළි‘ චිත්‍රපටයේ රඟපෑවේ මාක් සම