‘පිටස්තරයා’ අතේ දුරින් තබා ගැනීම

දෙසැම්බර් 19, 2019

බර්ටෝල්ට් බෙ‍්‍රෂ්ට්ගේ ‘Good Woman in Setsuan’  නමැති නාට්‍ය කෘතිය පරිවර්තනය කොට සුගත් නිර්මාණය කළ නාට්‍යය, දේශීය ජන වහර අනුව යමින් ‘හිත හොඳ අම්මණ්ඩි’ ලෙස නම් කිරීම ඉතා ඖචිත්‍ය පූර්වකය. ‘හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින්’ යන ජන කියමන මෙහිදී අපට සිහිිපත් වේ. නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාව වූ ෂෙන්ටේ නමැති හිත හොඳ වෙසඟන මුහුණපාන මානසික හා සමාජ ගැටලු අනුව ද මේ නාමකාරණය ඉතාම උචිතය. මෙහි ෂෙන්ට්ගේ චරිතය ශ්‍රියාණි අමරසේන නිරූපණය කළ ශූර ආකාරය එකල බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් විය. මිනිස් ජීවිතයේ සහ සමාජයේ පැවැති විෂමතාවන් සියුම් ලෙස තියුණු අයුරින් විනිවිද දුටු බෙ‍්‍රෂ්ට්ගේ රීතිය හා දැක්ම සුගතපාලයෝ මැනවින් පසක් කොට ගත්හ. ඒ බවට ඔහුගේ හිත හොඳ අම්මණ්ඩි අදත් දෙස් දෙන්නීය. නාට්‍යය ආරම්භයේදී හමුවන වතුරකාරයා ඉපැරැණි සිරිත් විරිත්, දේව විශ්වාස සංකේතවත් කරන්නෙකි. ඔහුට හමුවන දෙවිවරුන් තිදෙනාට රාත්‍රිය ගත කරනු පිණිස නවාතැන් ලබාදීම ධනවත්හු ප්‍රතික්ෂේප කරති. එහෙත් ෂෙන්ටේ නමැති කාරුණික වෙසඟන එය සපයා දෙන්නීය. ඉන් දේව ආශීර්වාදය ලබන ඇය තම දුරාචාර දිවි පෙවෙත හැර දමා වෙළෙන්දියක සේ දියුණුවීමට උත්සුක වූවාය. එහෙත් අමිහිරි අතීතය හා සමාජ, ආර්ථික දේශපාලන විෂමතාවන් හේතු කොට ඇයගේ යහපත් ජීවන රටාව ක්‍රමිකව බිඳ වැටේ. ඇය ලිංගික හා ආර්ථික වශයෙන් තවදුරටත් සූරාකෑමට ලක් වනු වැළැක්විය හැකිද? මේවා දෙවියන්ටත් විසඳීමට පහසු නැති ගැටලු බව නාට්‍යයෙන් ධ්වනිත කෙරේ.

සුගතපාල සූරීන් ස්වකීය ජීවිතයේ අවසන් භාගයේ එවක (90 දශකයේ) තරුණ නාට්‍යවේදීන්ගේ බොහෝ නිර්මාණ නැරැඹුවේය. ඒවා විචාරයට ලක් කරමින් එතුමෝ නව පරපුරේ නාට්‍යවේදීන්ගේ ප්‍රගතිය උදෙසා අගනා සදුපදේශ සැපයූහ. ප්‍රතිභාපූර්ණ තරුණ නාට්‍යවේදීන් අගය කොට දිරිගැන්වූහ. එහිදී බොහෝ යොවුන් නාට්‍යවේදීන්ගේ නාට්‍ය නිර්මාණවල දක්නට ලැබුණු කලාත්මක දුබලතා, ශික්ෂයෙන් තොර බව, ආවේගබාහුල්‍යය අරභයා කම්පා වූහ. නාට්‍ය කලාවේ සහ නව පරපුරේ අවගමනයට හේතු වන එකී නාට්‍ය අරභයා සුගත් වරක් පැවැසූ මේ කියුම අතීතයේ තරුණයකු වශයෙන් තමා ප්‍රත්‍යක්ෂ කොට ගනු ලැබුවේ ‘හිත හොඳ අම්මණ්ඩි’ නාට්‍යය නිර්මාණය කිරීමෙන් යැයි මම සිතමි. ඔහුගේ එකී මාහැඟි කියුම මේය.

‘නාට්‍යවේදය සොයා ගත් දෙවිවරු තමන්ට එය පවත්වා ගෙන යෑමට අපහසු නිසා මනුෂ්‍යයන්ට පැවරුවාලු. ඉතින් දෙවියන්ටත් පවත්වා ගෙන යෑමට අපහසු මේ නාට්‍ය කලාවට අත ගහන කොට එය බොහොම ඉවසීමෙන් කළ යුතුයි’.

සුගතපාලයන් කලාත්මක ධාරාවේ නාට්‍ය මතු නොව වරෙක ජනප්‍රිය ධාරාවේද නාට්‍ය අගය කළ බැව් මා මතකයට නැඟේ. වරක් ඔහු මා සමඟ මෙසේ කීවේය.

‘නිහාල් සිල්වාගේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය නැරඹූදා මා එය අගය කළා. එවිට නිහාල් මට කී දේ මතකයි.

‘සුගතපාල සර් එහෙම කිව්වට ප්‍රබුද්ධ නාට්‍යවේදීන්, විචාරකයන් ගොඩ දෙනෙක් මේ නාට්‍යයට දොස් කියනවා. ‘දයානන්ද ගුණවර්ධන සර් හැරුණාම සර් විතරයි ඔහොම අගය කළේ’ එවිට මම නිහාල්ට මෙහෙම කිව්වා.

‘මං දොස් කියන්නේ ඔබ නිර්මාණය කළ සාජන්ට් නල්ලතම්බි නාට්‍යයට නොවෙයි. එය අනුකරණය කරමින් ඊට පසුව පැමිණි පහත් පෙළේ නල්ලතම්බි නාට්‍ය රැල්ලටයි’.

එසේම හෙලේනා ලෙහ්තිමකීගේ ‘පුන්තිලා’ නාට්‍යයෙහි නිහාල් සිල්වාගේ ශූර චරිත නිරූපණය ඉහළින් අගයමින් බොහෝ අවස්ථාවලදී සුගතපාලයන් මා සමඟ කතා කළ බව මෙහිදී සිහියට නැඟේ.

යුරෝපයේ එවක පැවැති ‘පිටස්තරයා’ (The Outsider) සංකල්පය 60 දශකයේ දේශීය නාට්‍ය කලාවට බෙහෙවින් බලපෑ බැව් පෙනේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ හට ගත් ඉච්ඡා භංගත්වය, ක්ෂණ භංගුර බව හේතු කොට සදාචාර, කුලාචාර බැහැර කළ තරුණ ප්‍රජාවක පහළ වීම දක්නට ලැබිණ. සාංදෘෂ්ටිකවාදී (Existentialism) හෙවත් භවසත්තාවාදී නොඑසේ නම් භව්‍යවාදී මතවාද මහි ප්‍රතිඵලයක් වශයෙන් උද්භේද වූ අතර ‘‘Man is a victim of circumstances’  (මිනිසා තත්ත්වයන්ගේ, අවස්ථාවන්ගේ ගොදුරකි) යන දෘෂ්ටිය මෙමඟින් ඉස්මතු විය. ‘අතීතය ගැන හෝ අනාගතය ගැන සිතීමෙන් ඵලක් නැත. මේ මොහොතෙහි ගත කරන වර්තමානය වැදගත් වන අතර එය විවිධ තත්ත්වයන්ගේ ගොදුරකි’ යන දෘෂ්ටිය මෙකී තරුණ පරපුරේ ආකල්පවලින් කුළුගැන්විණ. ෂාන් පෝල් සාත්‍රෙ, ෂාන් ජෙනේ, ඇල්බෙයා කැමූ වැනි ප්‍රංශ සාහිත්‍යවේදීන්ගේ නිර්මාණ මේ මතවාදය පිළිබිඹු කළ කැඩපත් වැන්න. අභූතරූපවාදය (Absurdism)  යුරෝපයේ ජනිත වූයේ ද මෙහිම වෙනත් පැතිකඩක් වශයෙනි. විශේෂයෙන් ඇල්බෙයා කැමූගේ ‘The Stranger’ (1942) නමැති ප්‍රංශ නවකතාවෙන් ප්‍රචලිත වූ ‘පිටස්තරයා’ සංකල්පයේ සෙවණැල්ල පළමුවෙන් එනම් 60 දශකයේ මෙරට නාට්‍ය කලාවටත් ඉක්බිතිව සාහිත්‍යයට හා සිනමාවටත් වැටුණු බැව් පෙනේ.

ප්‍රවීණ කලා විචාරක සිරිල් බී. පෙරේරා විශේෂයෙන්ම සාංදෘෂ්ටිකවාදයේ ඇසුර ලැබුවේය. සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ට එය වඩාත් දැනෙන්නට පටන් ගත්තේ සිරිල් බී. හරහාය. සුගත් යුරෝපයෙන් සංක්‍රමණය වූ නානාවිධ කලා සාහිත්යික ප්‍රවණතා මැනවින් හැදෑරූ නමුත් කිසිවිටක ඒවාට වහල් නොවූයේය. එනම් ‘Don’t Make isms a Prison’යන ඉංග්‍රීසි කියුම පරිද්දෙන් ඔහු වාද වදයක් කොට නොගත්තේය. සුගතපාලයන්ගේ ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ ද එතැනමය. ඊට හේතුව ඔහු ලක් පොළොවේ හොඳින් පය ගැසූ එහෙත් විශ්වය ස්පර්ශ කළ ශ්‍රේෂ්ඨ කලාකරුවකු වීමය. අනෙක් අතට සුගත් ලංකාවට අනන්‍ය වූ කලා සම්ප්‍රදාය, සභ්‍යත්ව විඥානය සෙසු යුරෝපීය කලා සාහිත්යික මතවාද, ප්‍රවණතාවන්ට පෙර මනාව හදාරා තිබුණි. එහෙයින් යුරෝපීය කලා සාහිත්යික වාද වදයක් කොට ගෙන අවිචාරයෙන් පඹ ගාල්වල පැටලුණු එකල සහ මෙකල ඇතැමුන් මෙන් ඔහු පොට වරද්දා ගත්තේ නැත.

ඉතා කුරිරු ලෝක යුද්ධ දෙකකට මුහුණ පෑ යුරෝපීයන්ගේ ජීවිත උඩුයටිකුරුවීමෙන් ඉක්බිතිව ඔවුහු එතෙක් නොවූ විරූ අයුරින් අභිනව දැක්මකින් ලෝකය හා මිනිස් ජීවිතය දෙස බැලීමට පෙලඹුණාහ. එකල්හි ලෝකය ඔවුන්ට නිස්සාර දෙයක් සේ පෙනුණි. එතෙක් ඔවුන්ට නොදැනුණු ගන්ධබ්බ සිතුවිලි පහළ විය. ‘Man is Lonely Creature in an absurd and Meaningless universe’ ‘ ‘අරුත්සුන්, විකාරරූපී විශ්වයේ මිනිසා වූ කලී හුදෙකලා සත්වයෙකි’ යන දෘෂ්ටියෙන් යුත් අපට ආගන්තුක මේ හුදෙකලා සත්වයාගේ හෙවණැල්ලට එකල බොහෝ නාට්‍යවේදීහු, සාහිත්‍යවේදීහු ගොදුරු වූහ. එපමණකුදු නොව කලානුරූපව පරිණාමය වෙමින් තවදුරටත් විකෘති වූ මේ පිටස්තරයාට අද්‍යතනයේ බොහෝ යොවුන් නාට්‍යවේදින් ද (අල්පයක් හැර)අනතර්ජාතික සම්මානලාභී බොහෝ නූතන පරපුරේ සිනමාකරුවන්ද (අල්පයක් හැර) ගොදුරු වී ඇති බැව් මා හට පසක් වේ. මේවාට ගොදුරු නොවී සිටිය හැකි වනුයේ ප්‍රවීණ වේවා නවක වේවා ලාංකේය සභ්‍යත්ව විඥානයෙන් සුපරිපූර්ණ, ව්‍යුත්පත්තික ඥානයෙන් සුසැදි කලාකරුවන්ට පමණකි. මුළු ඉතිහාසය පුරාවටම එබඳු කලාකරුවන් කවර ක්ෂේත්‍රයක වුවත් අපට සිටියේ අල්ප දෙනෙකි. සුගත් එබඳු විරල ගණයේ කලාකරුවෙකි. ඔහුගේ මේ සුවිශේෂත්වය වරක් මැනවින් අර්ඝනය කොට ප්‍රවීණ නාට්‍යවේදී සුමන ආලෝක බණ්ඩාරයෝ (සිංහල වේදිකාවේ රත්තරන් අවධිය පිළිබඳ සුමන මතක පිටු 46, 47) මෙසේ ලියූහ.

‘බිඳ වැටුණු විශ්වාසය මත ගොඩනැඟුණු මේ ආගන්තුක හුදෙකලා සත්වයාට ධර්මසිරි වික්‍රමරත්නලා, සිරිල් බී. පෙරේරලා විතරක් නෙමෙයි, අපිත් ගොදුරු වුණා. ඒත් සුගත් එහෙම වුණේ නෑ. ඔහු ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ බඩ පිනුම් ගසන මේ අපූරු සත්වයා දෙස බලා සිටියේ අතේ දුරින් සිටගෙනයි. සුගත්ට එහෙම කරන්නට පුළුවන් වුණේ ඔහු මේ ලංකාවේ මිනිස්සු එක්ක එකට ජීවත් වෙමින් ඔවුන්ගේ දුක් වේදනා, සන්තෝෂ, සන්තාප තමන්ගේ ඒවා බවට පත් කර ගනිමින් ඒවා ප්‍රතිනිර්මාණය කරන්න වැඩි කැමැත්තක් දක්වාපු නිසයි. කොටින්ම කීවොත් ඔහු පිටස්තරයින්ට වඩා ලංකාවේ මිනිස්සුන්ට ආදරය කළ නිසයි..’

 

ඉතිරි කොටස ලබන සතියේ

Add new comment