“සෙබස්තියන් මුනිඳුන්” ගැන ගී ගැයූ කේ. සෙබස්තියන් පීරිස්

දෙසැම්බර් 26, 2019

මෙරට පූර්ව- සිනමා ග්‍රැමෝෆෝන් ගී යුගයේ කිතුනු බැති ගීත ගායනා කළ ගායක ගායිකාවන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේ, මීගමුවේ ග්‍රේටා ජැනට් ද සිල්වා, විල්බට් අන්තෝනි, නෝබට් රුද්‍රිගු, රොම්ලස් ද සිල්වා, ජෝසප් පෙරේරා, ක්ලෙමන්ට් රුද්‍රිගු, වින්සන්ට් වාස්, බෙන්ජමින් ප්‍රනාන්දු, විල්ෆ්‍රඩ් පෙරේරා, සුසිලා ජයසිංහ, චිත්‍රලේඛා ආදී ගායක ගායිකාවෝ ය. එතුරින්, කේ. සෙබස්තියන් පීරිස් මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ග්‍රැමොෆෝන් ගායකයෙකු, ඉතා කඩවසම් නුර්ති ශිල්පියකු (නළුවකු), ගීත රචකයෙකු, නාට්‍ය රචකයෙකු ලෙස එතුමා දැක්වූ කලා හැකියාවන් අතිමහත් ය. කිතුනුවන්ගේ වසරේ වැදගත්ම දිනය වන නත්තල් දිනය දා, අද අප ඉදිරිපත් කරන්නේ කේ. සෙබස්තියන් පීරිස් මහතා විසින් 1940 වසරේ ඩ්ර්ඍ තැටියකට පටිගත කළ “සෙබස්තියන් මුනිඳුන්” ගැන කියවෙන අප කවුරුත් හොදින් දන්නා, අතිශය ජනප්‍රිය පැරණි ගීතයක තතු ය.

 

අත්‍ වූ නිත්‍යා මොක් පුර ක්‍රීටේ

කුසුමේනී නර්බෝනා //

 

බිහි වී මහිමැති වංස කුලේහී

සෝබන රූපෙනි පියවි ලොවේහි //

 

නිත්‍යා සැප දෙන සත්‍යා’ගමෙහි //

පිහිටෙවු ධර්ම සුගන්ධේ

කුසුමේ නි නර්බෝනා //

 

මිසදිටුවන්ගේ පාප පිපාසේ

නිව්වේ පොවමින් ධර්ම ජලාසේ

අත් කර දුන්නේ සම්පත මෝක්ෂේ

සෙබස්තියන් මුනිදාණෝ

කුසුමේනි නර්බෝනා //

 

අත්‍ වූ නිත්‍යා මොක් පුර ක්‍රීටේ

කුසුමේනී නර්බෝනා //

 

රෝග නිවාරණ මුණි බලධාරී

දේව ප්‍රසාදෙන් පෑ ප්‍රතිහාරී

ඊතල පහරෙන් නොවී අදහිරී

මොක් සේනාපති සාධු

කුසුමේනී නර්බෝනා //

 

අත්‍ වූ නිත්‍යා මොක් පුර ක්‍රීටේ

කුසුමේනී නර්බෝනා //

 

වර්ෂ 1940 දී තැටිගත කළ (ඩ්ර්ඍ තැටි අංක ව් 13018) මෙම ගීතය රචනා කළේ, එවකට ඩ්ර්ඍ සමාගමේ ගීත සම්පාදක සහ නිත්‍ය ගේය පද රචකයෙකු වූ ඩබ්ලිව්. ඩී. මර්සිලිනු ඇල්බට් ශූරීන් විසිනි. සංගීතය නිර්මාණය එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ගෙනි. මෙම ගීතය තැටිගත කොට දශක අටකට ආසන්න කාලයක් ගතවුවද, අද දක්වාම, විශේෂයෙන්ම කිතුණු ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය ගීතයක් වන්නේ, එහි පැවැති භක්ති රසය දන්වන කන්කළු ස්වර රචනාවත්, ගායක සෙබස්තියන් පීරිස් මහතා සතු වූ අනන්‍ය ගම්භීර ස්වරයත් නිසාවෙන් ම ය. මෙම ගීතයෙන් කියැවෙන්නේ ක්‍රි.ව.256-288 සමයෙහි විසූ “සෙබස්තියන්” නමැති කිතුනු දහම වෙනුවෙන් ස්වකීය ජීවිතය පූජා කළ ශාන්තුවරයෙකු පිළිබඳව ය. කිතු දහම පැතිරවීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු මෙතුමා, කිතුණුවන් සංහාරය කිරීමෙහි ලා කටයුතු කළ රෝම අධිරාජයෙකු වූ ඩයෝක්ලීෂන් (ච්ඪධජතඥබඪචද) ගේ හේවායන් ගේ හිංසාවන්ට ලක්ව මියගොස් දේවපුත්‍රයෙකු ව උපත ලද ආකාරය මෙම ගීතයෙන් විස්තර කෙරෙයි. මෙම ගීතය හින්දුස්ථානි භෛරවී රාගයෙන් සහ කෙහෙර්වා තාලය ට අනුගත ස්වර රචනාවකින් නිර්මිත ය.

වර්ෂ 1910 උස්වැටකෙයියාවේදී උපත ලද කේ. සෙබස්තියන් පීරිස් මහතා බෝපිටිය රෝමානු කතෝලික පාසලෙන් සිප් සතර හැදෑරූ අතර, වයස අවුරුදු 10 පටන්ම පාසල් නාට්‍යවලට සම්බන්ධ වී කටයුතු කළේ ය. වර්ෂ 1928 ටවර්හෝල් හි සුප්‍රසිද්ධ නාට්‍ය කතුවර ඇල්.ඩී.ඒ රත්නායක ශූරීන් ගේ “සරදියෙල්” නාට්‍යයෙහි පොලිස් භටයෙකු ගේ චරිතය රඟපාමින් මුල් වරට ටවර්හෝල් වේදිකාවට මෙතුමා ප්‍රවිෂ්ට විය. ඉතා කඩවසම් ආරෝහ-පරිණාහ දේහයකින් හෙබි මෙතුමා ගේ ගායන කෞශල්‍යය නිසාම නොබෝ කලෙකින් ම ටවර් හෝල් හි ප්‍රේක්ෂකප්‍රසාදය දිනා ගත් ප්‍රධාන නළුවෙකු බවට පත් විය. නීතීඥ ජෝන් ද සිල්වාගේ “ශ්‍රී වික්‍රම”, නීතිඥ චාල්ස් ඩයස් ගේ “විධුර”, “හේමමාලි” ආදී නාටකවල චරිත නිරූපණය කළ මෙතුමා, පසුව, මීගමුවේ සි.බෙන්ජමින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පිහිටවූ, “මීපුර මංගල නාට්‍ය සභාවට” බැඳී, බෙන්ජමින් මාස්ටර් නිෂ්පාදනය කළ, “හැම්ලට්”, “නැන්දම්මා”, “ශූරමාතලන්”, ආදී නාටක වලද, මීගමුවේ ඩබ්ලිව්.එම්. පෙරේරා විසින් නිෂ්පාදනය කළ , “සිංහල කොල්ලා”, “ලංකා වන මෝහිනී”, “ශුද්ධ භූමිය” ආදී නාටකවල ද, පි. එස්. කරුණානායකගේ , “හිඟන කොල්ලා”, “ප්‍රේමනීය පුෂ්පා” වැනි නාටක වල ද, ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. 1940 දශකයේ සුප්‍රසිද්ධ නාට්‍යකරු තංගල්ලේ සිරිසේන විමලවීර මාස්ටර් ගේ නාට්‍ය සංගමය ට බැඳුණු මෙතුමා “රොඩී කෙල්ල”, “රොඩී කොල්ලා”, “කලෑ කොල්ලා” ආදී නාට්‍ය රැසක ද, චරිත නිරූපණය කළේ ය. මීට මතරව එවකට ප්‍රචලිත වූ සංචාරක නාට්‍ය යුගයේදී, සෙබස්තියන් පීරිස් කලාකරුවා “ ශ්‍රී ලංකා නාට්‍ය සභාව” යනුවෙන් වෙනම නාට්‍ය සභාවක් පිහිටුවාගෙන, ගමෙන් ගමට, නගරයෙන් නගරයට යමින් නාට්‍ය ප්‍රදර්ශනය කළේ ය. එම නාට්‍ය බොහොමයක් එතුමා අතින්ම ලියැවුණු අතර ඒවායේ ප්‍රධාන චරිතය ද එතුමා විසින් ම රඟදක්වන ලදී. “සිංහල කොල්ලා”, “ධාතුසේන”, “අජාසත්ත”, “විජයබා”, “ගහල කොල්ලා”, “ගාමිණී වීරයා” ආදී නාට්‍ය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එවකට සිටි සුප්‍රසිද්ධ නාටිකාවන් වූ, ඇනී බොතේජු, සෝමකාන්තා, වයලට් වීරකෝන්, ලක්ෂ්මිබායි, විමලාකන්තා, සුසිලා ජයසිංහ, නෝනා සුබෙයිදා ආදී සියලුම නාටිකාවන් සමග ප්‍රධාන චරිත නිරූපණය කිරීමට මෙතුමාට අවස්ථාව සැලසුණි.

මෙතුමා ගේ ගායන කුසලතාවයන් ගැන පැහැදුණු එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් ගේ ඇරයුමින් ඩ්ර්ඍ තැටි සමාගමට පස් අවුරුදු ගිවිසුමකට බැඳෙන මෙතුමා එම තැටි සමාගම වෙනුවෙන් 1940-45 කාල වකවානුව තුළ ගීත රාශියක් පටිගත කරන්නේ ය. එතුමා විසින් පටිගත කළ ඇතැම් කිතුණු ගීත එතුමා විසින්ම රචනා කරන ලද ඒවා වූ අතර අනෙකුත් ගීත මර්සිලිනු ඇල්බට් ශූරීන් අතින් රචනා විය. එසේ කළ කිතුණු ගී අතර, “අත් වූ නිත්‍යා මොක් පුර ක්‍රීටේ”, “ස්වාමි ප්‍රේම දයාබර ජේසු” , “නිත්‍යා මොක්ෂේ රාජේශ්වරී”, “අති කරුණාධාරී ජේසුනි”, “පාපයෙන් මනුසත් මුදන්ටා” සහ “පවුකරුවෝ නිසා මේ ලොවේ” ආදී ගීතයි. අතීතයේ කඳානේ පල්ලියේ මංගල්‍යය දිනයකදී සෙබස්තියන් මුනිදුන්ගේ චරිතයට පණ පොවමින්, සෙබළුන් ගේ ඊතල පහරට මැදි වෙමින් සෙබස්තියන් මුනිදුන් ස්වර්ගස්ථ වන ආකාරය කේ. සෙබස්තියන් පීරිස් මහතා විසින් මනරම් ආකාරයෙන් ඉදිරිපත් කළ අයුරු පැරැන්ණෝ අදටත් සිහිපත් කරන්නේ මහත් අභිරුචියෙනි. කිතුණු බැති ගී වලට අමතරව මෙතුමා විසින් බොදු බැති ගී කීපයක් ද ඩ්ර්ඍ ලේබලයට පටිගත කරන ලදී. එඅතුරින්, “තේරී සංසාරේ”, “දෝස නොතේරී මායා සසරේ”, “ ධ්‍යානේ වඩා හුන් වෙසතුරු නිරිඳාණෝ” , “බෝධිසතා පුරාණේ” , “සංසාරේ භවේ දුකා”, “භවයේ සත සරණා” ආදී ගීත පෙන්වා දිය හැකි ය. එච්.ඩී. රෝස්මේරි මෙනෙවිය සමඟින් විවාහප්‍රාප්ත වූ මෙතුමාට මයිකල් පීරිස් සහ මේරි ඇග්නස් පීරිස් යනුවෙන් දරුවන් දෙදෙනෙකි. මයිකල් පීරිස් මහතා මෙරට දැනට සිටින ජ්‍යේෂ්ට සංගීත වේදියෙකි, ගායකයෙකි. වර්ෂ 1970 ජූනි මස 04 වැනි දින මෙම ශ්‍රේෂ්ඨ කලාකරුවා සදහටම දෙනෙත් පියා ගත්තේ ය.

සෙබස්තියන් පීරිස් මහතා විසින් ගැයූ මෙම “අත් වූ නිත්‍යා“ ගීතයේ මුල් ගීත තනුව උපුටා ගැනුණේ වර්ෂ 1933 දී භාරතයේ තිරගත වූ හින්දි / උර්දු චිත්‍රපටයක් වූ “ලාල්-ඒ-යමන්” (“යේමනයේ සුරතල් දරුවා”) යන “එඒච්ධ්ඒ” චිත්‍රපට සමාගම විසින් නිපදවන ලද චිත්‍රපටයටය. එඒච්ධ්ඒ චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කළ පළමු කතානාද චිත්‍රපටය වන්නේ ද මෙයයි. මෙම චිත්‍රපටය සංගීතවත් කළේ , මාස්ටර් මොහොමඩ් සමගින්, ජෝසප් ඩේවිඩ් ය. ප්‍රධාන චරිත නිරූපණය කළේ පද්මා දේවී , මාස්ටර් මොහොමඩ්, කරීම් ජා, සහ ෆෙරෝස් දස්තූර් ය. “ලාල්-ඒ-යමන්” මුල්ම යුගයේ හින්දි සිනමාවේ බිහිවූ කතානාද චිත්‍රපට අතුරින් දැනට සම්පූර්ණයෙන්ම පවතින සංරක්ෂිත තත්වයේ ඇති පැරණිම චිත්‍රපට අතුරින් එකකි.

මෙම අනුකාරක හින්දි/ උර්දු ගසලල් ගීතය ගායනා කලේ එවකට තුදුස් වියැති ළමා ගායකයෙකු වූ, පසු කලෙක භාරතයේ ශාස්ත්‍රීය සංගීතයේ විශාරදයෙකු වූ මාස්ටර් “ෆෙරෝස් දස්තූර්” (ජ්ඥපධල ච්චඵබභප) විසිනි. “ජාවෝ සීධාරෝ ෆල්හා පාවෝ” (අර්ථය: “යන්න ඉදිරියටම යන්න අභිවෘද්ධිය ලබන්න” ) යනුවෙන් සඳහන්වෙන මෙම ගසලල් ගීය තැටිගත කෙරුණේ ජර්මනියෙහි නිපදවන ලද ර්‍ණච්ඡ්ර්‍ණව් (අංක ඉඒ 3017) ලේබලයෙනි. එවකට ර්‍ණච්ඡ්ර්‍ණව් තැටි සමාගමට ලියාපදිංචි ව සිටි නිත්‍ය ළමා ගායකයෙකු වූ මාස්ටර් ෆෙරෝස් ගේ ,“ලාල්-ඒ-යමන්” චිත්‍රපටයේ ගීත හතරක් එනම් ගීත තැටි දෙකක් ර්‍ණච්ඡ්ර්‍ණව් ලේබලයෙන් නිකුත් වූ අතර, මෙම චිත්‍රපටයේම මාස්ටර් මොහොමඩ් විසින් ගායනා කළ ගීත නිකුත් වුයේ ඩ්ර්ඍ ලේබලයෙනි. හින්දි කතානාද චිත්‍රපට ඉතිහාසයේ මුල්ම යුගයේ චිත්‍රපට වල ගීත (1931-33 කාලයේ) බොහොමයක් ග්‍රැමොෆොන් තැටි ලෙස නිකුත් වූයේ නැත. එබැවින්, මෙම චිත්‍රපටයේ නිකුත් වුණු ගීත තැටි එක්තරා ආකාරයක ඓතිහාසික වටිනාකමක් දරන්නේ 1931-33 කාලයේ ගීත නිකුත් වුණු චිත්‍රපට ගීත තැටි අතළොස්සට ඒවා අයත් වන බැවිනි. මාස්ටර් ෆෙරෝස් ගේ ග්‍රැමෝෆෝන් තැටියේ ගීත රචකයාගේ හෝ සංගීත අධ්‍යක්ෂකවරයාගේ නම් සදහන් වන්නේ නැත. ෆෙරෝස් දස්තූර් විසින් ගායනා කරන ලද මෙම හින්දි ගීතයද, භෛරවී රාගයෙන් නිර්මාණය කර ඇත.

වර්ෂ 1919 දී උපත ලබන ෆෙරෝස් දස්තූර් 1933 -1938 කාලය දක්වා චිත්‍රපට ගණනාවක ළමා ගායකයෙකු සහ නළුවෙකු ලෙස කටයුතු කළේය. වර්ෂ 1938 තිරගත වූ “සුන්හෙරේ බාල්” චිත්‍රපටයෙහි වයස එකුන්විස්සක් වූ, ඉතා ළාබාලම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ද මොහු ය. පසුකලෙක චිත්‍රපට සංගීතයට සමුදෙන මොහු භාරතයේ සිටි ජනප්‍රියම ශාස්ත්‍රීය සංගීතඥයෙකු වූ “ස්වාසි ගාන්ධර්ව” යටතේ ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරන්නේ ය. ෆෙරෝස් දස්තුර් වර්ෂ 2008 මැයි මස 09 දින සිය ජීවන රඟමඩලින් සමුගන්නේ ය.

දශක ගණනක් පුරාවට ලක්දිව කිතුණු බැතිමතුන්ගේ ජනාදරයට පත් ගීතයක් වූ සෙබස්තියන් මුනිදුන් පිළිබඳව ගැයූ “අත් වූ නිත්‍යා මොක්පුර ක්‍රීටේ” යන ගීතය ගායනා කළ , එක්තරා යුගයක මෙරට කලාකෙත පෝෂණය කිරීමට දායක වූ කේ. සෙබස්තියන් පීරිස් කලාකරුවානන්ට මෙම සටහන උපහාරයක් ම වේවා!!

 

විශේෂ ස්තුතිය :

කේ. සෙබස්තියන් පීරිස් මහතා පිළිබඳව තොරතුරු සහ සේයා රූ ලබා දුන් එතුමාගේ දයාබර පුත්, ප්‍රවීණ ගායක, මයිකල් පීරිස් සහ මුණුබුරු ඇන්ටන් පීරිස් මහත්මාවරු, ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක දිමුතු පැරැස්සැල්ල සහ ඉන්දියානු ජාතික අරුන්කුමාර් දේශ්මුඛ් මහත්මාවරු, හින්දි භාෂා පරිවර්තනයෙහි ලා දායකත්වය ගීත් හෙට්ටිආරච්චි මහතා, ගීතයන්හි රාග තාල පිළිබඳ දැනුම්වත් කළ ගයාන් ප්‍රසංග පීරිස් මහතා.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.