7 ARTS

දෙසැම්බර් 26, 2019

සෙවන් ආර්ට්ස් නැත්නම් සත්වෙනි කලාව කියන්නේ සිනමාවට කියන තවත් නමක් හැටියටයි අප හඳුන්වන්නේ. ඒ නිසාම 70 දශකයේ ප්‍රේම් ජයන්ත් සහ බැප්ටිස් ප්‍රනාන්දු ප්‍රමුඛ හත් දෙනකු විසින් සෙවන් ආර්ට්ස් නමින් සමාගමක් හදලා එයින් ඔහොම හොඳද, හොඳට හොඳයි, සහනය වගේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නත් පෙළඹුණා. එක්සත් රාජධානියෙත් මේ නමින්ම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ඇති වුණා. සාමාන්‍යයෙන් මේ නම සඳහා අර්ථකථන සොයද්දි ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති, චිත්‍ර, සාහිත්‍යය, සංගීතය, නර්ථනය සහ චිත්‍රපට කියන හත ඇතුළත් බවත් කියැවෙනවා. මේ කොහොම ගත්තත්, සියලු කලාවන්වල එකතුවක් සිනමාවේ තිබෙන නිසා වෙන්න පුළුවන් සිනමාවත් සෙවන් ආර්ට්ස් කියා හඳුන්වන්නෙ. ඉතින් ඒ අර්ථකථන පැත්තක තියලා අපි සරසවිය අපේ පුවත්පතේ හත්වැනි පිටුව සප්ත කලා හෙවත් 7ආර්ට්ස් නමින් හඳුන්වන්න තීරණය කළේ හේතුවක් ඇතිව. ඒ කියන්නේ ක්ෂේත්‍රයේ විශේෂතා දැක්වූ හත්කට්ටුවක් ගැන තමයි අපි මේ පිටුවෙන් කතා කරන්නේ. මේ වගේ එකට ගෙතෙන හතක් ඔබටත් මතක් වෙනවා නම් විස්තර සහිතව අපට ලියා එවන්න.

සෙවන් ආර්ට්ස්, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

 

පසුගිය සතියේ දවසක කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල දෙන්නා අධ්‍යක්ෂණය කළ නිව්ස් පේපර්ස් චිත්‍රපටය අවසානයේ පුංචි කතාබහක් ඇතිවුණා. මෙරට දේශපාලනයට එක් වූ චිත්‍රපට නිෂ්පාදකයන් ගැන. ඉතින් අපි හිතුවා මේ සතියේ සෙවන් ආට්ස් පිටුවට එහෙම හත්දෙනෙක් ගැන ලියන්න.

 

එස් .ඩී.එස්.සෝමරත්න

සිංහල චිත්‍රපට කර්මාන්තයට මුලින්ම එකතුවුණ දේශපාලකයා වන ඔහු සෙනෙට් මන්ත්‍රිවරයෙක්. 1956 අවුරුද්දේ හෙළදිව ෆිල්ම් ආට්ස් නමින් අලුත් සමාගමක් පිහුටුවාගෙන චිත්‍රපට නිෂ්පාදනය පිවිසි එතුමා මෙරට ස්වාධීන චිත්‍රපට කර්මාන්තයක් ඇතිවනු සිහින දැක්ක කෙනෙක්. ඒවගේම ඔහු නිපද වූ හැම චිත්‍රපටයක්ම තිර ගත වන්නට කලින් පෙරදිග මුතු ඇටයයි මේ ගීතය මුලින් වාදනය කරවීම සිරිතක් වුණා. ඔහුගේ මුල්ම චිත්‍රපටය ඩිංගිරි මැණිකා . පසුව සොඳුරු යුවළ. චණ්ඩාලි වගේ චිත්‍රපට කිහිපයක්ම ඔහු නිෂ්පාදනය කළා.

 

ජෝන් අමරතුංග

මෙහෙම කිව්වාම කලබල වෙන්න එපා. මේ හිතෙන ජෝන් අමරතුංග නොවේ. මේ ජෝන් අමරතුංග පාර්ලිමේන්තවට පිවිසෙන්නේ සෙනෙට් මන්ත්‍රිවරයෙක් හැටියට. ඔහු නිපද වූ චිත්‍රපට දෙකම හැටේ දශකයේ මෙරට කලාත්මක චිත්‍රපට ලෙස තවමත් අගය කරනවා. ඒ සිකුරු තරුව හා කුරුළු බැද්ද යන චිත්‍රපට යුගලයි. ඔහුගේ චිත්‍රපට සමාගම හැඳීන්වූයේ කුරුළුරෑන ලෙසින්

 

 

ටිරොන් ප්‍රනාන්දු

පසුකලක චිත්‍රපට සංස්ථාව බාර අමාත්‍ය ධුරයට ද පත් වූ ටිරෝන් ප්‍රනාන්දු චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්නේ කොළඹ සන්නිය චිත්‍රපටය නිපදවමින්. එයින් පසු ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපටය වූයේ වීර පුරන් අප්පු චිත්‍රපටයයි. එවකට සම්භාවනීය චිත්‍රපට සදහා වෙන්වුණු පස් වැනි ප්‍රදර්ශක මණ්ඩලය ගොඩ නැගුණේ වීර පුරන් අප්පු තිර ගත කරවන්ට ගිහින් ඇතිවුණ කලබගෑනියක් නිසා. ඔහු මුලින් පාර්ලිමේන්තවට පත්වන්නේ මොරටුව අසුන නියෝජනය කරමින්. පසුව ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනවා .ඔහු ගේ චිත්‍රපට සමාගම හැඳීන්වූයේ ශාලංකා චිත්‍රපට නමින්.

 

 

කෙහෙළිය රඹුක්වැල්ල

ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංග දිගුකලකට පසු එක් කරමින් 1982 වසරේ දී තරුණ නිෂ්පාදකවරයෙක් සිනමාවට එක්වුණා. ඒ කෙහෙළිය රඹුක්වැල්ලයි. ඔහු නිපදවූ චිත්‍රපටය සක්විති සුවය චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ද ගාමිණි ෆොන්සේකායි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඔහු පසුකලක සිනමා විෂය බාර ඇමැති ධුරයටත් පත්වුණා.

 

ජබීර්.ඒ.කාදර්

මෙරට චිත්‍රපට නිෂ්පාදනයට බෙදාහැරීමට වගේම ප්‍රදර්ශනයටත් එක්වුණ ඔහු පසුකලක කොළඹ නගරාධිපති ධුරය මෙන්ම මැද කොළඹ ආසනයේ මන්ත්‍රිධුරයටත් පත් වුණා. ඔහු ගේ පියා මෙරට පැරණිතම ප්‍රදර්ශකයෙක්. පසුව ජබීර් ඒ.කාදර් සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට්ස් සමාගම ගොඩ නගා චිත්‍රපට නිෂ්පාදනයට එක්වුණා. සුරතලී, සුන්දරබිරිඳ, සුනීතා, සුජාගේ රහස, යන චිත්‍රපට නිපද වූ ඔහු කොළඹ ලිබර්ටි හා සෙන්ට්‍රල් යන සිනමා ශාලා පවා ගොඩ නැගුවා. වර්තමානයේ ඔහුගේ සිවු වැනි පරම්පරාවත් මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ නියැලී සිටිනවා.

 

නීල් රූපසිංහ

දේශපාලනය පිවිසි චිත්‍රපට නිෂ්පාදකයන් අතර චිත්‍රපට අධ්‍යක්ෂණය කළ එකම තැනැත්තාත් ඔහුයි. වත්තල සමුද්‍රා චිත්‍රපට නමින් සමාගමක් පිහිටුවාගෙන චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන ඔහු නිර්මාණය කළ චිත්‍රපට අදටත් අපේ ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඉවත් නොවන සිනමා සිහිවටන. දැන් මතකද ඔහුගේ මුල්ම චිත්‍රපටයයි. හතර දෙනාම සූරයෝ, ලස්සන කෙල්ල, ආදරේ හිතෙනව දැක්කම, අමල් බිසෝ. සරදියෙල්ගේ පුතා, යකඩයා ආදි චිත්‍රපට රැසක් නිපද වූ ඔහු හතරදෙනාම සූරයෝ යළිත් වතාවක් නිපදවා අධ්‍යක්ෂණය කළා. ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

 

බන්ධුල ගුණවර්ධන

මේ දේශපාලකයන් අතර සරසවිය සම්මානයෙන් හොදම නිෂ්පාදක ලෙස සම්මානයට පාත්‍ර වුණ එකම නිෂ්පාදක බන්ධුල ගුණවර්ධන. ඔහු නිපද වූ සුද්දිලාගේ කතාව, වගේම සිරි මැදුර යන චිත්‍රපට යුගලම සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තා. අයෝමා චිත්‍රපටයත් නිෂ්පාදනය කරන ලද්දේ ඔහු විසින්. කොහොම උනත් චිත්‍රපට නිපදවමින් දේශපාලනයට පිවිසි චිත්‍රපට නිෂ්පාදකයන් අතර තවමත් චිත්‍රපට නිෂ්පාදනයේ යෙදෙන ඔහු තිර ගතවීමට නියමිත නිව්ස් පේපර්ස් චිත්‍රපටයේත් නිෂ්පාදකවරයායි.