වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
7 ARTS
සෙවන් ආර්ට්ස් නැත්නම් සත්වෙනි කලාව කියන්නේ සිනමාවට කියන තවත් නමක් හැටියටයි අප හඳුන්වන්නේ. ඒ නිසාම 70 දශකයේ ප්‍රේම් ජයන්ත් සහ බැප්ටිස් ප්‍රනාන්දු ප්රමුඛ හත් දෙනකු විසින් සෙවන් ආර්ට්ස් නමින් සමාගමක් හදලා එයින් ඔහොම හොඳද, හොඳට හොඳයි, සහනය වගේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නත් පෙලඹුණා. එක්සත් රාජධානියෙත් මේ නමින්ම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ඇති වුණා. සාමාන්‍යයෙන් මේ නම සඳහා අර්ථකථන සොයද්දි ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති, චිත්‍ර, සාහිත්‍යය, සංගීතය, නර්තනය සහ චිත්‍රපට කියන හත ඇතුළත් බවත් කියැවෙනවා. මේ කොහොම ගත්තත්, සියලු කලාවන්වල එකතුවක් සිනමාවේ තිබෙන නිසා වෙන්න පුළුවන් සිනමාවත් සෙවන් ආර්ට්ස් කියා හඳුන්වන්නෙ. ඉතින් ඒ අර්ථකථන පැත්තක තියලා අපි සරසවිය අපේ පුවත්පතේ හත්වැනි පිටුව සප්ත කලා හෙවත් 7ආර්ට්ස් නමින් හඳුන්වන්න තීරණය කළේ හේතුවක් ඇතිව. ඒ කියන්නේ ක්ෂේත්රයේ විශේෂතා දැක්වූ හත්කට්ටුවක් ගැන තමයි අපි මේ පිටුවෙන් කතා කරන්නේ. මේ වගේ එකට ගෙතෙන හතක් ඔබටත් මතක් වෙනවා නම් විස්තර සහිතව අපට ලියා එවන්න.
සෙවන් ආර්ට්ස්, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.
පසුගිය සතියේ හන්තානේ කතාව චිත්‍රපටයට අවුරුදු පනහ පිරුණම එහි අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපාත් එක්ක කළ කතාබහ ඔබ කියවන්නට ඇති. ඒ පාර අපි හිතුවා අපේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තමන්ගේ නිර්මාණයේ අවුරුදු පනහ සපිරෙනතුරු ජීවත්වුණ සිනමාකරුවන් කවුද කියලා හොයන්න. පුදුමයි අපට 14 දෙනෙක් හමුවුණා. මේ ලියවෙන්නේ එහි මුල් 7 දෙනා ගැන.
ඒ.(ඇන්තනි ) බී.(භාෂ්කර්).රාජ්.
1925 වසරේ අප්‍රේල් මාසේ 21 වැනි දින උපත ලද ඔහු අපේ චිත්‍රපට අධ්යක්ෂවරුන් අතරින් දැනට ජීවත්ව සිටින වැඩිමහල් තැනැත්තා. මලයාලම් ජාතිකයෙකු වුවත් දැනට චෙන්නායි නගරයේ ඔහුගේ දියණිය ගේ නිවසේ ජීවත් වන (සුප්‍රකට සිනමා නිළි සරන්යා) ඔහු මෙරට තැනූ හැම චිත්‍රපටයකම අවුරුද පනහ සමරන්න තරම් වාසනාවන්ත වුණා. එමෙන්ම ඉන්දියාවේ සිට ඇවිත් ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මුල්ම තැනැත්තාත් ඔහුයි. මෙයට අවුරුදු පහළොවකට විතර ඉස්සර යළි ඔහු ලංකාවට පැමිණි විට ඔහු සමග සිංහල භාෂාවෙන් සාකච්ඡාවක් කරන්නටත් අපට පුළුවන් වුණා. ඔහු මුලින්ම තැනුවේ බණ්ඩා නගරයට පැමිණිම .ඒ 1952 අවුරුද්දේ. ඊට පස්සේ ප්‍රේම තරගය, අහංකාර ස්ත්‍රි, පෙරකදෝරු බෑණා, රම්‍යලතා, සොහොයුරෝ. සහ ගංතෙර යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.
ඇන්ටනි මිත්‍රදාස්
ලෝක සිනමාවේ වැඩිම කලක් ජීවත්වීමට වරම් ලද සිනමාකරුවන් අතරින් එක් අයෙක් වන ඇන්ටනි මිත්‍රදාස් මියගියේ 2017 වසරේ පෙබරවාර් 20 වැනි දා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 104ක්. ඔහු උපන්නේ 1913 නොවැම්බර් 3 වැනි දා. සිංහල.දෙමළ.හා මලයාලම් යන භාෂා ත්‍රිත්වයෙන්ම චිත්‍රපට හදපු ඔහුගේ මුල්ම චිත්‍රපටය වුණ දුප්පතාගේ දුක තිර ගත වූයේ 1956 අගෝස්තු මාසසේ 8 වැනි දා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
අපේ සිනමාවේ මහා සිනමාවේදියා වන ආචාර්ය ලෙස්ටර් ජීවත්ව සිටි සමයේ ඔහු හැදූ චිත්‍රපට 6 කම අවුරුදු පනහ සපුරනු දකින්නට වාසනාවන්ත වුණා. ඒ අපේ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය වුණ රේඛාව, වගේම සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු හා ගොළු හදවත යන චිත්‍රපට. ඔහු අභාවප්‍රාප්ත වුණේ ගොළු හදවත අවුරුදු පනහ සපුරා දවස් හතරකට පස්සේ 2017 වසරේ අප්‍රේල් මස 29වැනි දා.
එම්.එස්.ආනන්ද
මෙරට ජනප්‍රිය සිනමාකරුවෙක් වගේම විශිෂ්ට කැමරා අධ්යක්ෂවරයෙක් . ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය, ගොළු හදවත, මඩොල්දූව වගේම සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි වගේ චිත්‍රපට කැමරා අධ්යක්ෂවරයාත් ඔහුයි. එම්.එස්.අනන්ද හැදූ මුල් චිත්‍රපට තුනකම අවරුදු පනහ සමරන්න ඔහු ජීවත්ව සිටිය දී පුළුවන් වුණා. ඒ සිතක මහිම, (1964) සත පනහ, හා ඇතුල්වීම තහනම් යන චිත්‍රපට ත්‍රිත්වයේ.
තිස්ස ලියනසූරිය
අදටත් අප සමග වෙසෙන අපේ රටේ විශිෂ්ට සිනමාකරුවෙක් වන තිස්ස ලියනසූරිය ඔහු හදපු හැම චිත්‍රපටයකම අවුරුදු පනහ සපිරෙනු දකින්ට වාසනාවන්ත වුණා. එමෙන්ම සරසවිය සම්මාන දිනූ සිනමාකරුවන් අතරින් ජීවත්වන ජ්‍යේෂ්ටතම සිනමාකරුවාත් ඔහුයි. ඔහු ගේ මුල්ම චිත්රපටවූ ගැටවරයෝ සහ සාරවිට යන චිත්‍රපට යුගලම සරසවිය සම්මාන උලෙළේ හෙඳම අධ්‍යක්ෂට හිමි සම්මානය දිනා දුන්නා. පිට පිට දෙවතාවක් සරසවිය සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂට හිමි සම්මාන දිනූ මුල්ම අධ්යක්ෂත් ඔහුයි. එමෙන්ම ඔහු සරසවිය රණතිසර සම්මානයත් දිනා ගත්තා. ඔහු තැනූ පුංචි බබා චිත්‍රපටයෙන් නිළි රැජන මාලිනි ෆොන්සේකා සිනමාවට හඳුන්වා දුන්නා. නාරිලතා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේත් ඔහුයි. පසු කලෙක ඔහු විශිෂ්ට වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළා.
කේ.එස්.සේතුමාධවන්
දකුණු ඉන්දියානු සිනමාවේ වෙසෙන සිනමාකරුවන් අතර ඉන්දියානු ජාතික සම්මානයෙන් පවා පිදුම් ලද සිනමාකරුවකු වන සේතුමාධවන්. දෙමළ, මලයාලම් බසින් ද චිත්‍රපට නිර්මාණය කරන සුවිශේෂ සිනමාකරුවෙක්. ඉන්දියානු ජාතික සම්මාන ලාභී ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය සිංහලෙන් තැනූ වීර විජය චිත්‍රපටයයි. එය තිර ගත වූයේ 1960 වසරේයි. දකුණු ඉන්දියාවේ චිත්‍රාගාරයක සම්පූර්ණයෙන් වැඩ නිම කළ අවසන් සිහංල චිත්‍රපටය වුණේත් එයයි.
කේ.ශංකර්
දකුණු ඉන්දියාවේ ජීවත් වූ එක් යුගයක ජනප්‍රියම චිත්‍රපට තැනූ අධ්යක්ෂවරයෙක් තමා. කේ.ශංකර්. ඔහු සිහලෙන් හැදුව චිත්‍රපටය දොස්තර (1956) චිත්‍රපටය. පුදුමය කියන්නේ ඔහු මිය යන්නේ හරියටම දොස්තර චිත්‍රපටය තිර ගත කරලා අවුරුදු පනහකුත් මාස දෙකකට පස්සේ. චිත්‍රපටය තිර ගතවන්නේ පෙබරවාරි 2 වැනි දා. ඔහු මිය යන්නේ 2006 වසරේ මැයි මාසේ 8 වැනි දා. ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑ දකුණු ඉන්දියානු චිත්‍රපටයක් වූ නීල කඩලින් ඕරත්තිල චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන ලද්දේත් ශංකර් විසින්.