ලංකා TV අන්දරය

සිරිපද සිරසින් - සිරිකත සමඟින්
ජනවාරි 9, 2020
හේරත් ගුණරත්න

වසර ගණනාවක් තමන් නියැළී සිටි ගුරු වෘත්තීය ක්ෂේත්‍රයෙන් නිදහස් වී, රූපවාහිනී මාධ්‍යය පිළිබඳව හැදෑරීමෙන් පසුව අධ්‍යාපන අංශයේ රාජකාරි කටයුතු භාර ගත් නිෂ්පාදක මඬුල්ලක් ගුණරත්න මහත්මියගේ උපදේශකත්වය යටතේ වැඩසටහන් නිර්මාණය කිරීම ආරම්භ කළහ. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රාහකත්වය සහ උපදේශකත්වය ඔවුනට නිරන්තරව ලැබුණු අතර, නිර්මාණය කරන ලද වැඩසටහන් සතියේ දිනවල සුදුසු කාල වේලාවන්හිදී විකාශය කිරීමට ජාතික රූපවාහිනිය සැදී පැහැදී සිටියේය. විෂයාත්මක දැනුම සිසුවියන්ට ලබාදෙන විධිමත් අධ්‍යාපනික වැඩසටහන්වලට පරිබාහිරව පරිසරය, දෛනික ජීවන රටාවන් සහ විවිධ සංස්කෘතික හැඩතල පිළිබඳව විමසා බලන වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා ද තරුණ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් අධ්‍යාපන අංශයට අනුයුක්ත වී සිටියහ. අනුර තන්තිලගේ නම් නිර්මාණකරුවා ඒ අතුරින් ප්‍රධාන විය. දිවයින වටා වන ගහනයෙන් වට වී කඳු ශිඛර මතින් කඩා හැලෙන දිය ඇළ කරා අති දුෂ්කර ව්‍යායාමයකින් පසුව සමීප වෙමින් එහි චමත්කාරය සහ භෞමික පිහිටීම කැමරා කාචයට හසු කර ගනිමින් නිර්මාණය කරන ලද ‘ගලා හැලෙන රිදී නදී’ වැඩසටහන් මාලාව එකල පේ‍්‍රක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කළේය. විජය රූපවාහිනී සම්මාන උලෙළේදී මේ වැඩ සටහන් මාලාව අංශ කිහිපයකින්ම සම්මානයට ද පාත්‍ර විය. මෙයට අමතරව අනුර විසින් නිර්මාණය කරන ලද ‘අවාරේ ගිය සිරිපාද ගමන’ සහ කඩිනම් මහවැලි ව්‍යාපෘතීන් ආරම්භය නිමිති කොට ගෙන නිර්මාණය කරන ලද වාර්තා වැඩ සටහන් ද, ජනතා ආකර්ෂණය දිනා ගන්නට සමත් විය. මහවැලි වාර්තා වැඩ සටහන් මාලාවේ තේමා ගීතය මා විසින් රචනා කරන ලද අතර අජිත් දර්ශන ජයවීරගේ තනු නිර්මාණයට ප්‍රේමදාස මුදුන්කොටුව විසින් එය ගායනා කරන ලදී. 

සිරිපද සිරසින් - සිරිකත සමඟින් 
සීතල කඳු හෙල් බැසගෙන යන්නී 
මහවැලි කොමලී කදමලු බැඳගෙන 
නැදෑ පිරිවර හමුවට යන්නී

මේ ගීතය විශේෂ ඇගැයීමකට පාත්‍ර කර ජාතික රූපවාහිනියෙන් ඒ සඳහා සම්මාන සහතිකයක් පිරිනැමීම ද සුවිශේෂ මතක සටහනකි.