මනෝ ගැන දන්නෝ

ජනවාරි 16, 2020

ධර්මසිරි බණ්ඩාරනායක

මනෝ සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටතම යුගයේ මහාචාර්ය සරච්චන්ද්‍ර ඇදුරුතුමා යටතේ නාට්‍ය කලා අධ්‍යාපනය ලබලා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා සිංහල නාට්‍ය කලාව පෝෂණය කරන්න ආ ඉතාම විශිෂ්ට කලාකරුවෙක්. ඒ වගේම ජීවිත කාලය පුරාම නාට්‍ය නිෂ්පාදනය කළා, රචනා කළා, නිර්මාණ ගණනාවක් සිංහල රසිකාගාරයට ඉදිරිපත් කළා වගේම නොමැකෙන සිහිවටනය තමයි ඔහු ආ ගිය තැන ඔහුගේ මතක සුවඳ රැඳෙව්වා. බොහෝ කලාතුරකින් කලාකරුවකුට පිහිටන ගුණයක් එය. මම මුල්ම වතාවට ඔහු හඳුනාගන්නේ හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යෙය් ලාන්ස්ලොට් ලෙස රඟපාද්දි මට ඉතාම හිතවත්ව උදව් කරන පූසාගේ චරිතය රඟපෑවේ මනෝරත්නයන්. ඊට පස්සේ මම චූලෝදර මහෝදර නාට්‍යය 1975දී නිෂ්පාදනය කරද්දි මනෝ ජනප්‍රිය නළුවකු නොවුණට හිතවත් නළුවෙක්. ඒ හිතවත්කමට මම ඔහුට නාට්‍යයට ආරාධනා කළා. ඒ තමයි අපේ මුණගැසීම. ඉන් පසු මගේ නාට්‍යවල ඔහු රඟ නොපෑවාට හැමදාම හිතවතෙක් ලෙස නිර්මාණ සමඟ රැඳී සිටියා. පසුව මගේ යක්ෂාගමනය නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන්න ආරාධනා කළත් 1994 වන විට ඔහුගේ තිබුණු අවිවේකී බවත්, මට මුදල් සොයාගැනීමට තිබුණු අපහසුවත් නිසා එය මගෙන් ගිලිහී ගියා. මනොගෙ රංග කලාවට ඇති දක්ෂතාව මට අවසානයේ එකතු කර ගැනීමට නොහැකි වීම ගැන මම අතිශයින්ම කනගාටු වෙනවා. මේ මොහොතේ මම ඔහුට ප්‍රාර්ථනා කරනවා යළිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! කියලා.


ප්‍රසන්න විතානගේ

මේ රටේ වේදිකාවේ බිහිවූ විශිෂ්ටතම නළුවන් අතර ජයලත් මනෝරත්න සුවිශේෂ වන්නේ ඔහුගේ විශිෂ්ට රංගන හැකියාවට අමතරව ප්‍රේක්ෂකයන් සමඟ සහ සම්බන්ධයක් ගොඩනඟාගැනීමට තිබුණු අපූර්ව හැකියාව නිසායි. ඔහු වේදිකාවට ගොඩ වූ පසු ප්‍රේක්ෂකයන් අකුණු සැරක් වැදුණා සේ වෙනස් වනවා. මුළු ප්‍රේක්ෂාගාරයම ඔහු ග්‍රහණයට ගන්නවා. ප්‍රේක්ෂකයන් ඔහුට අසීමිතව ආදරය කරනවා. බාල තරුණ මහලු වෙනසකින් තොරව ඒ ආකර්ශනය ඔහුට තිබුණා. මා දන්නා දරුවන් සිටියා මනෝරත්නගේ නාට්‍ය බලලා මම කවදා හරි මනෝ මාමා වගේ වෙන්න ඕනේ කියූ. ඔහු රසවතෙක්, අනෙක් සියලු දෙනා සතුටු කරන්න සමත් වුණාය කියන දේවල් මම කිව යුතු නැහැ. ඔහුගේ සිහි කල්පනාව තිබෙන අන්තිම මොහොත වනතුරු එකම දෙයයි ඔහුට තිබුණේ. ඒ වේදිකාව සහ රංගනය. මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ අනෙක් සියලු දේ පිළිබඳව ඔහු දුන්නේ ඊළඟ ස්ථාන. ඔහුට අවසන් බලාපොරොත්තුව වුණේ අකිරා කුරසෝවාගේ සෙවන් සමුරායි චිත්‍රපටය ඇසුරෙන් ඔපෙරාමය නාට්‍යයක් තැනීම. ඒ කාලයේ තමයි ඔහු ගිලන් වූයේ. ඔහුගේ අන්තිම ඉල්ලීම වූයේ ඒ නාට්‍යය කෙසේ හෝ බලන්න සලස්වන්න කියලා. ඒත් එය අපට සාර්ථක කරගන්න ලැබුණෙ නැහැ. ඒ ගැන විශාල කනගාටුවක් තිබෙනවා. අපේ මිත්‍රත්වය සහ වෘත්තීය සබඳතාව දශක හතරකට ආසන්නයි. මම පළමුවෙන්ම අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටය ඔහුගේ කෙටි කතාවක් ඇසුරෙන් තැනුණා වගේම එහි ඔහු රඟපෑවා. මම පළමුවෙන්ම පරිවර්තනය කළ පුත්‍ර සමාගම නාට්‍යය ඔහු කළේ. ඔහු හොඳම නළුවා වූ ද්විත්ව වගේම සිසිල ගිනිගනී මගේ පළමු චිත්‍රපටයෙත් මනෝ රඟපෑවා. පස්සේ මනෝ විහිළු කළා මුහුරත් උලෙළකදි ප්‍රසන්න වගේම හුඟක් අය තමන්ගෙ පළමු චිත්‍රපටයට මාව අරන් තියෙනවා හැබැයි ඊට පස්සෙ නම් මාව ගත්තේ නැහැ කියලා. ඔහුගෙ ජීවිත කාලය තුළ නළුවකු ලෙස මෙන්ම රචකයෙක් අධ්‍යක්ෂවරයෙක් ලෙස කළ කාර්ය භාරය, කැපවීම අසීමිතයි. මේ රටේ ඔහුගේ චිත්‍රපට, ටෙලි නාට්‍ය සියල්ලට වඩා, අපගේ මතකය පවතින තුරු ඔහු අප සමඟ රැඳෙන්නේ වේදිකාවේ විජ්ජුලතාවක් දුටුවා සේ අප තුළ ප්‍රබලව, සදාතනිකව තැබූ සිහිවටනයෙන් කියායි මා සිතන්නේ.


ඩග්ලස් සිරිවර්ධන

ජයලත් මනෝරත්න මම පළමුවෙන්ම දැනහඳුනා ගන්නේ පොරමඩුල්ලේ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යයෙක් විදිහට. එතකොට මමත් ශිෂ්‍යයෙක්. හොරණ විද්‍යාරත්න විද්‍යාලයට නාට්‍ය තරගයට ඔහු ආවේ අශ්වගුඩුං නාට්‍යයෙන්. ඔහු නාට්‍ය දෙකක රඟපෑවා. ඒ එක් රඟපෑමකදි ඔහුට දමා තිබූ රැවුල ගැලවුණා. ඔහු අනිත්පැත්ත හැරිලා රැවුල ගලවා විසිකරලා රඟපෑම දිගටම කරගෙන ගියා. ඒ දක්ෂතාව පිළිබඳ අපේ ගුරුවරු කතා කළ නිසා තමයි අපට ඔහු මතක හිටියේ. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ රඟපානවා අපි දැක්කා. පසුව මිතුරකු වුණා. නුගේගොඩ කැදැල්ල කියන ස්ථානයේ දිද්දෙනියලා අපි නිතර හමුවුණා. ඒ මම අඹුසැමියෝ කරන යුගය. පසුව හේමසිරි ලියනගේ කියන අපේ හිතවතා, ගුරුවරයා කළ නරියා සහ කේජු නාට්‍යයේදි අපි හමුවෙනවා. රංගන ශිල්පියකු ලෙස 80 දශකයේ ආරම්භයේ ඔහු මහගිරිදඹ ඔහුගේ පළමු නාට්‍යය කරනවා. එය අපේ හිත් ගන්නවා. එදා මෙදාතුර ඔහුගේ විශේෂත්වය වන්නේ මගේ මතකයේ හැටියට පරිවර්තන නාට්‍ය කළේ දෙකක් පමණයි. අනෙක් සියල්ල ස්වතන්ත්‍ර. ඒ ස්වතන්ත්‍ර නාට්‍යවලත් විශේෂත්වය වන්නේ ඔහු ඒවා සෞන්දර්යාත්මක දෘශ්‍ය කාව්‍ය බවට පත් කරන්න දරපු උත්සාහය. සමහර නාට්‍යවල නාට්‍යමය ගුණය අඩු වුවත්, වාර්තා රංග හෝ සංගීතමය ගතිය වැඩි වුවත් එහි සෞන්දර්යාත්මක ලක්ෂණය අඩු වුණේ නැහැ. ඒ කොයි නිර්මාණයට වුවත් යුගය ගළපා ගැනීම නිසි ලෙස කළ නාට්‍යකරුවෙක්. ඔහු සහ අප එකට නාට්‍ය කරද්දි අපේ නාට්‍ය දේශපාලන නැඹුරුවක් තිබුණත් මනෝ එය කළේ වෙනම ආකාරයකට. අපි දේශපාලනයේ ඛේදවාචකයක් ලෙස මිනිසා මුහුණපාන ප්‍රශ්න කතා කරද්දි ඔහු මිනිසා මුහුණපාන ප්‍රශ්න තුළින් දේශපාලනය යටි තලයේ මතු කරන්න උත්සාහ කළා. ඔහුගේ දේශපාලනය දැක්වූණේ වක්‍රවයි. එවැනි දක්ෂතාවක් ඔහුට ඇති වුණේ සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන වැන්නන්ගේ ඇසුර. සුගතපාල ද සිල්වා වැන්නන්ගේ ඇසුර ඔහුගේ දේශපාලන දර්ශනය ඔපවත් කළා. ඔහුට ගැමියා නැත්නම් ගමක ජීවත්වන මිනිසාගේ චරිතය නිරූපණය කරමින් අපේ රටේ ජනකොටසකට සාධාරණයක් ඉටු කරන්න හැකි වුණා. තලමල පිපිලා වැනි නාට්‍යවලින් යුගයේ මහා ඛේදවාචකය කතාබහට ලක්කළා. මම හිතනවා ඔහු යුගය ප්‍රතිනිර්මාණය කරන්න වෙහෙස වූ ස්වීය නාට්‍යකරුවන් එක්කෙනෙක් දෙන්නෙක් අතර සුවිශේෂී පුද්ගලයෙක් කියලා. ඔහුගේ සියුම් රංගනයන් ප්‍රේක්ෂකාගාරය තෘප්තිමත් කරන්න සමත් වුණා. යම් කිසි ඉලක්කයක් හඹාගොස් එය ජයගන්න ඔහුට හැකියාව තිබුණා. ඔහුගේ ආචාර්ය උපාධිය එයට හොඳ උදාහණයක්. මනෝරත්න විතරයි ලංකාවේ ආචාර්ය උපාධියක් සමත් වෙලා වගේම ගෞරව සම්මාන ආචාර්ය උපාධියකින් පිදුම් ලබාගත් එකම නාට්‍යවේදියා, රූපවාහිනී අධ්‍යක්ෂවරයා, සාහිත්‍යවේදියා, රංගන ශිල්පියා. ඔහු රටම පමණක් නොවේ ලොවම ජය ලත් මනෝරත්න. ඔහු වරින්වර මුහුණු පොත ඔස්සේ මරණයට පත් කර තිබුණු නිසා බොහෝ දෙනෙක් මේවර ඔහුගේ මරණය විශ්වාස කළෙත් නැහැ. ඒ වගේම ඇත්තෙන්ම ඔහු මිය ගියත් ඔහුගේ නිර්මාණ මියැදෙන්නෙත් නැහැ.


රාජිත දිසානායක

මනෝරත්න මහතා ගැන මට හිතෙන්නේ ඔහුගේ සාර්ථකම චරිත නිරූපණය කළේ ඔහු ජීවිතෙන් ලද දැනුමෙන් කියායි. නාට්‍යකරුවකු ලෙස ඔහු අධ්‍යයනයෙන් ලද දැනුමයි නිර්මාණ වෙනුවෙන් යොදාගත්තේ. ජීවිත දැනුමෙන් නිරූපිත චරිත වේදිකාවේ පමණක් නොවේ සිනමාවෙත් ඉතාම සුවිශේෂී චරිත නිරූපණ. ඒ වගේම හැදෑරීමෙන් කළ නිර්මාණත් ලංකාවේ ඉතා සුවිශේෂී සලකුණු බවට පත්වුණා. ඔහු සම්බන්ධ මට ඇති විශේෂ ගෞරවය නම් කලාකරුවකු ලෙස විවිධ දේශපාලන පක්ෂවලින් වරප්‍රසාද, අනුග්‍රහය ලබමින් ඒ ඒ ආණ්ඩුවලට දේශපාලන නායකයින්ට ආවඩන්න අවස්ථාව තිබියදී ඔහු තමන්ගේ කලා භාවිතාවේ ස්වාධීනව නිරත වීමයි. ඔහු සමඟ මට කටයුතු කළ නොහැකි වුවත් අපේ නාට්‍ය නරඹන්න එනවා. ඔහුගේ නාට්‍ය ධාරාවට අමතරව අන් අයගේ නාට්‍ය ධාරාවන් ඔහු අගය කළා, ඇලුම් කළා. එය බොහෝ පොහොසත් ගුණයක්. තමන්ගේ නාට්‍ය ධාරාව පමණයි විශේෂ කියා කිසිදාක සිතුවේ නැහැ. අසනීප වී සිටියදීත් අපේ නිර්මාණ බලන්න ආවා. අලුත් නිර්මාණකරුවන්ගේ නාට්‍ය දෙස විවෘතව, සුහදව බැලිය හැකි දියුණු රසිකත්වයක් ඔහු තුළ තිබුණා. එය විශේෂයි.


පරාක්‍රම නිරිඇල්ල

ජයලත් මනෝරත්න කියන්නේ මගේ සමකාලීන නාට්‍යෙව්දියෙක්. මම ඔහු හඳුනා ගන්නේ මිතුරකු ලෙස නොවෙයි. පෙමතො ජායති සොකො නාට්‍යෙය් උද්දාල බ්‍රාහ්මණයාගේ චරිත රංගනයේ විශිෂ්ටත්වය සමඟයි. මම ඒ රංගන ශිල්පියාගේ, ගායන විලාසයට, රංගන විලාසයට වශීකෘත වුණා. ඒ 70 ගණන්වල. පස්සේ විවිධ නාට්‍යවල ඔහු රඟපානවා දැක්කා. රතුහැට්ටකාරී බැලුවට පස්සේ මම ඒ හැඟීම තහවුරු කරගත්තා. හඟුරන්කෙත පැත්තෙන් ආව ඒ රංගන ශිල්පියා, නාට්‍ය වේදියා නළුවා කොතැනදි මුණ ගැසුණත්, නගරයේ මහා විශාල ගොඩනැඟිලි අතර හෝ නාට්‍ය උත්සවයක හෝ වෙනත් තැනක, ඔහුගේ ගැමි ස්වරූපයේ, කතා ස්වරූපයේ ජීවන පැවැත්මේ වෙනසක් පෙනුණේ නැහැ. රඟපෑමේදීත් එහෙමයි. ජීවිත අත්දැකීම් ඔහුගේ රංගනය තුළ විවරණය වනවා. අපේ සංස්කෘතික ජීවිතය තුළ ඒ ගැමියාගේ පැමිණිම තහවුරු වුණා. ඔහු ආචාර්ය උපාධිය ගත්තත් එය වෙනස් වුණේ නැහැ. මම රූපවාහිනියේ තනි කැමරාව එළියට අරගෙන කළ පළමු ඒකාංගික ටෙලි නාට්‍යය වන ඇබැද්දියේ ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළා විශිෂ්ට අයුරින්. ඒ පොඩි ටෙලි නාට්‍යය වුණත් ඔහු දිවි හිමියෙන් අමතක නොකර සිටියා. සැම මොහොතකම ඔහුගේ ජීවන අත්දැකීම් ලෙස සඳහන් කළා. ඒ නිහතමානීකමට මම ගරු කරනවා. මේ මරණය වගේම ඔහු රෝගීව සිටි කාලය මට ඉතාම සංවේගජනක කාරණයක්. මරණින් මතු සුගතියට පත්වේවා කියා මම මනෝට ප්‍රාර්ථනා කරනවා.


එඩිවඩ් ජයකොඩි

දීර්ඝකාලීන මිතුරු දමක ආදරණීය මතකයන් රුසක් ඉතිරි කරමින් මනෝ අද නික්ම යනවා. මේ වෙන්වීම අතිශය වේදනාකාරී වුවත් හැමදාමත් සෙනෙහසින් සැමරිය හැකි සිහිවටන රැසක් ඔහු ඉතිරි කර යනවා.මනෝයි මමයි මුලින්ම නිර්මාණ කාර්යයක් වෙනුවෙන් එක් වෙන්නේ රූපවාහිනියේ ආරමිභක අවදියේ සිසිර දිසානායක කරපු ‘ සිංදුයි බිංදුයි‘ කියන ළමා වැඩ සටහනේදී.මම ගීත ගායනා කළා. මනෝ රඟපෑමෙන් එක් වුණා.ඊට පස්සේ අනුර කුමාර එදිරිසූරිය කරපු මම සංගීත අධ්‍යක්ෂණය කරපු ‘ මාවැනි බිළින්දා‘ වේදිකා නාට්‍යයේ මනෝ රඟපෑවා.මම නිෂ්පාදනය කරපු ‘ වෙස්‘ කියන නාට්‍යයේත් මනෝ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා.ඊට පස්සේ ‘ නරිබෑණා, ගජමන් පුවත, මායාදේවි ඇතුළු නාට්‍ය ගණනාවක දි අපි දෙන්නා එකට මුණ ගැසුණා. මායාදේවි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මම.

සිනමාවේදී මනෝ මට අමතක නොවන අන්දමේ සිහිවටනයක් තියෙනවා.ඒ තමයි මංගල තෑග්ග‘ චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර සමඟ මම ගායනා කරන ‘ එකයායේ කකා වැටී ගීතය.ශ්‍රියන්ත මෙන්ඩිස් , රවීන්ද්‍ර රන්දෙනිය හා සනත් ගුණතිලක සමඟ මනෝ මේ රූප රාමුවේ රඟ පානවා.

මනෝ ගේ ‘ තලමල පිපිලානාට්‍ය යේ මම ගීත ගායනා කළා.ඒ වගේම මනෝ චරිතාටත් මටත් ගායනා කරන්න අපූරු කිතු බැති ගීයක් රචනා කරලා දීලා තියෙනවා.

‘ කල්පනා මල් පිපී- සුපහන් හද උයනේ 
තාරකා මන්දාකිණියේ- පායනා මේ රාත්‍රියේ

අපි දෙන්නා ගායනා කරන මේ ගීතය කතෝලික බැතිමතුන් අතර සම්භාවනාවට ලක්වෙලා තියෙනවා.

ඇත්තටම මේ වෙලාවේ මතක් වෙනවා පාස්තු ප්‍රහාරයදා ඔහු මට කතා කරපු හැටි. ඒ වෙනකොටත් ඔහු අසනීප තත්ත්වයෙන් හිටියේ. ‘ මචං උඹ ගෙදරද? පල්ලි ගියාද බලන්න කතා කළේං කියලා. ඔහු ඉතාම හොඳ මිත්‍රයෙක්. නික්ම ගියත් ඔහු ඒ මිතුරු දමේ සුවඳ හැමදාම අපේ හදේ ඉතිරි වේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.