අබේරත්න මාවතේ හෝරා දෙකක්

ජනවාරි 16, 2020

මෑතක සහභාගී වූ අවමංගල උත්සව පිළිබඳ කල්පනා කර බලන්න. බොහෝ ඒවා මල්ශාලාවලය. ගෙදරක පැවැත්වුවද පුටු පමණක් දකින එක මොහොතක් හෝ තිබෙනු ඇත. අහල පහළ ලොකු තාප්ප දමා ගේට්ටු වසා ඇත. අල්ලපු ගෙදර මළ ගෙයක්දැයි නොදන්නා සේය. එහෙත් පසුගිය 12 වැනිදා සිට බොරලැස්ගමුව අබේරත්න මාවතේ දකින්නට ලැබුණේ වෙනස්ම ස්වරූපයකි. නාගරික ස්වරූපය ඇත්තේ තනා ඇති ගෙවල් මෝස්තරවල පමණි. අනෙක් හැසිරීම් හරියට ගමක මෙනි. තරුණයෝ පාර සරසති. බැනර එල්ලති. මළගෙදරට යනතුරු කොඩිවලින් මඟ පෙන්වා ඇත. පටු මගේ තාප්පවලින් වට වූ මැදුරු සියල්ලේ රෝලඩෝර්ස් සියල්ලම පාහේ විවෘතය. පාරට මුහුණලා ඇති ඕනෑම ගෙදරක වාහනයක් පාක් කිරීමට අවසර ගතයුතු නැත. හදිසියට මුහුණ කට හෝදාගෙන සුළුඅවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීමට අල්ලපු ගෙදරකට ගොඩවන්නට අවසර ඇත. පාරේ වාහන දෙකක් මාරු වීමට අපහසු නිසා එන අතටම ඉදිරියට ගොස් යළි මහ පාරට වැටෙන්නට පන්සල් වත්ත හරහා යා හැකි ලෙස ගේට්ටු දෙකම විවෘත කොට ඉඩ සලසා තිබේ. පාරේ සිටම සුදු වතින් සැරසුණු සෙනඟය. ඒ අපේ සංස්කෘතියයි. අපේ කමයි. එය නිකම්ම ගොඩනැඟුණක් නොවේ. එය ගොඩ නැඟූවකි. හොඳ මහජන සම්බන්ධතාවක් සමඟ ගොඩනැඟුණකි. තම තනතුර හෝ ධනවත්කම නොව මනුෂ්‍යත්වයේ පොහොසත්කම මත ගොඩ නැඟුණකි. මෙය අප නිරීක්ෂණය කළේ ආචාර්ය ජයලත් මනෝරත්න නම් මාහැඟි කලාකරුවාගේ අවමංගල්‍යෝත්සවයට සහභාගී වූ මොහොතේය. ඒ සියල්ලට වඩා අප හද සසල කළේ මනෝරත්නයන්ගේ සුරතලා ළඟට සපයා ඇති ආහාරවත් නොගෙන ඔහුගේ හිස පිහිටි පැත්තේ පඩිපෙළ යටට වී වකුටුව කිසිදු බිරීමක් කෙඳීරියකින් තොරව දේහය දෙස බලා සිටින ආකාරයයි. අප එතැන රැඳී සිටි හෝරා කීපය තුළ විවිධ සමාජ මට්ටම්වල විවිධ තරාතිරම්වල අය ඔහුට අවසන් ගෞරව දැක්වීමට රැස් වූහ. ඒ අතරින් අප ඇසට අසුවන කිහිපදෙනකු සමඟ හුවමාරු කරගත් අදහස් කීපයක් මෙසේ ඔවුන්ගේ අවසරයෙන් පළ කරමු. මෙහි විශේෂත්වය මනෝරත්නයන්ගේ අභාවය පිළිබඳ ඇති වියෝදුක අබිබවමින් ඔහුගේ ගතිසොබා හෝ රංගනය නිසා මතුවන හාස්‍යයෙන් මොහොතකට හෝ ඔවුන්ගේ දුක තුනී වී යන අරුමයයි. ඉන්පසු ඒ රසවතා නැවත හමු නොවන බව සිහි වීමෙන් උතුරායන සංවේදනාවයි.

අපට මුලින්ම හමුවුණේ ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී සුවිනීතා වීරසිංහයි.

ජයලත් මනෝරත්න කියන රංගනවේදියා සමඟ මම නිරත වුණේ එකම එක නිර්මාණයකයි. හැබැයි එය ජීවිත කාලයපුරාම මතක හිටින, රසික මනසේ සදාතනිකව කා වැදී සනිටුහන්වන එකක්. ඒ තමයි ජෝ අබේවික්‍රම නිෂ්පාදනය කළ සකිසඳ එලියස්. අදටත් මම ඔහු සමඟ රංගනයක නිරත වීම ගැන පුදුම සතුටක් ලබනවා. මොකද ඔහු මනුෂ්‍යත්වයෙන් පිරුණු, පුදුම දක්ෂ, කාරුණික, අන් අයට දෙයක් දැනගන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන් ගුරුවරයෙක් ලෙස ගන්න හැකි. නූතන පරපුරට අභ්‍යාසයක් ලෙස හැදෑරිය හැකි චරිතයක්. සකිසඳ එලියස් කොයි තරම් ජනප්‍රියද කීවොත් යුද්දෙ පැවතුණ අතර සාම ගිවිසුම කාලේ අපි ගියා යාපනයට. කොටි මාර්ගබාධකවලත් නවත්තලා සෝදිසි කරලයි අපව යවන්නේ. ඒ එක් තැනකදි කොටි කතක් මගෙන් ඇහුවා ඔයා සුවිනීතාද කියලා සිංහල භාෂාවෙන්. මම පුදුම වුණා. කොහොමද දන්නේ කියලා ඇහුවම කියනවා ජෝ, මනොරත්න එක්ක ඔයා රඟපෑවා නේද සකිසඳ එලියස් කියලා ටෙලියක? කියලා. මනෝරත්න චරිතයේ ජීවත්වන අන්‍යෝන්‍ය අවබෝධයක් සහිතව රඟපාන කෙනෙක්. උත්පත්තියෙන් ලද නිර්මාණශීලිබව පිරි කලාකරුවෙක්. ඒ සම්පත අහිමි වුණා රටට.

ඇය පසුකරන අපට ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මුණගැසිනි.

ආචාර්ය ජයලත් මනෝරත්න අපේ නාට්‍ය ක්ෂේත්‍ර යේ සිටි එක යුගයක් නියෝජනය කරන ශිල්පියෙක්. මට ඔහු හමුවුණේ 1960 ගණන්වල මුල් භාගයේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායති සොකො නාට්‍යයේ මනෝ රඟපෑවා. මම වාදක මණ්ඩලයේ බටනළා වැයුවා. දිගු කාලයක් පේරාදෙණියේ, නාට්‍යවල, කොළඹදි අපේ ගෙදර මුණගැහුණා. 1974 මම රාජ්‍ය නාට්‍ය උලෙළට රතු හැට්ටකාරී ඉදිරිපත් කළා. එහි ප්‍රධාන භූමිකාව කළ මනෝගේ අතිශය සංවේදී රඟපෑම නිසා හොඳම නළුවා සම්මානය හිමිවෙනවා. අපි අවුරුදු හතක් එකදිගට රතුහැට්ටකාරී පෙන්නුවා. ඒ තමයි අපේ ජීවිතවල හොඳම සතුටුම කාලේ. 81දි තාරාවෝ ඉගිලෙති පටන්ගත්තාම ඒක තමයි ජනප්‍රිය නාට්‍යය වන්නේ. පස්සේ මනෝරත්න ස්වාධීනව නාට්‍ය කළා අපි ඒවා බලන්න ගියා. සමීපතමබව තරමක් හීනවෙලා ගියා. අන්තිමට අපි දෙන්නා එකට රඟපෑවේ හෝගානා පොකුණේ. මම අධ්‍යක්ෂවරයකු හැටියට දකින්නේ මනෝ පිටපත සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්නවා. එහි මතුපිටින් පෙනන දේට වඩා ඇතුළාන්තය ඔහුට අහුවෙනවා. ඒ නිසා ඔහු චරිතයට වෙනම ආලෝකයක් දෙනවා ආංගික අභිනයෙන් බොහොම නම්‍යශීලී ලෙස. හැකියාවන් ගොඩක් එකට එකතුවුණු අපේ කාලේ හොඳ භූමිකාවක්. මට - වේදනාවක් ඇතිවෙන්නේ මේ වගේ රසවත් කෙනෙක් ඇයි ඉක්මනින්ම අප අතරින් වෙන්වන්නේ කියන එක ගැනයි. ඒත් ඒක සොබාදහමනේ.

ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායක සුදෝසුදු වතින් සැරසී සිය සහෝදර ශිල්පියාට අවසන් බුහුමන් දැක්වූ අයුරු අපි බලාසිටියෙමු.

වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගීත්වයක් තිබෙන නළුවෙක්. කාටවත් හානිවෙන දෙයක් කියන්නේ නැහැ. වේදිකාවේ රංගනයක හිටියත් ඔහු බලන්නේ සහෝදර ශිල්පීන් සමඟ සහයෝගයෙන් ඉන්න. වෙස්සන්තර, මහාසාර, මනමේ, සිංහබාහු, වගේ නාට්‍යවලට මම සම්බන්ධ වූ කාලේ සිටම ඔහු හිටියා. ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි සැමරුම් බොහොමයක් ඔහු ඉතුරු කළා. සරච්චන්ද්‍ර මහත්තයා සාමාන්‍යයෙන් නාට්‍යය ප්‍රේකෂකාගාරේ ඉඳන් බලනවා. දවසක් වෙස්සන්තර කරද්දි මන්ද්‍රිදේවි දාලා යනවෙලාවෙ මෙයා හොරෙන් විහිළුවක් කරනවා. මට හිනාව නවත්තගන්න අමාරුයි. ඒත් හිත තද කරගෙන හිටියා. සරච්චන්ද්‍ර මහත්තයා නාට්‍යය ඉවරවෙලා මැණිකේ මැණිකේ කෝ අපේ මැණිකේ ගාගෙන ආවා. මනෝ ඇයි සර් ඇයි සර් කියලා අහනවා. සරච්චන්ද්‍ර මහත්තයා මගේ රංගනය ගැන ලොකු වර්ණනාවක් එහෙම කරලා කියනවා ඒත් මැණිකේ තමන්ගේ ස්වාමියා වංකගිරියට පිටත්වෙන වෙලාවට බිරිඳගේ මුහුණේ සිනාමුසුබවක් තියෙන්න බැහැ. මනෝ එතකොට කියනවා මොකක්ද සර් මොකක්ද? හා හා මැණිකේ පිස්සු නම් කරන්න එපා. එතන හිනාවෙන තැනක් නෙවෙයිනේ කියලා. ඒ වගෙ රසවත් දේවල් අමතක වෙන්නේ නැහැ. පිරිසක් අතර මනෝ ඉද්දි පාළු නැහැ.

ඔහුගෙන් කලාවට වූ විවිධාකාර සේවය අපට අමතක කරන්න බැහැ. ඒ වගේ කලාකරුවකු බිහිවෙයි කියලා හිතන්නත් බැහැ. සාහිත්‍යය, ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳ දැනීම ඒ ඇසුරින් කළ නිර්මාණ තවත් ශිල්පීන් රැසකට වේදිකාව විවර කළා. මම ඔහුට නිවන් පතන්නේ නැහැ. යළි අප අතරට එන්නයි කියන්නේ.

රංගන ශිල්පිනී මාලි ජයවීරගේ සිටියේ බොහෝ සංවේදනාවට පත්වය.

මට මනෝ අය්යා හමුවන්නේ දූදරුවෝ ටෙලි නාට්‍ය යෙන්. ඊට අවුරුදු ගාණකට පස්සේ ලෝකය තනියායක් වේදිකා නාට්‍යයට මාව ඔහු තෝරගන්නවා. එදා ඔහු අපට රංගනය උගන්වන්න ගත්ත ක්‍රමවේදය අපි මීට කලින් දැනගෙගන හිටියේ නැහැ. මනෝ අය්යාගේ දක්ෂතාව තමයි එයා කියන දේ අපට නොතේරී ගියාම ඒකට කේන්ති නොගැනීම. බූරුවා මහත්තයා නාට්‍යයේ චරිතය මට කරගන්නම බැරි වුණ දවසේ තමයි මට ඒ බව හොඳටම දැනුණේ. දක්ෂ අධ්‍යක්ෂවරයකු නළු නිළියන්ගෙන් කොහොමහරි තමන්ට අවශ්‍ය දේ ගන්නවා. තමන්ට වඩා බාල මහලු කවුරු වුණත් කියන දෙයක් ගැන ආයේ හිතනවා. සුදුසු නම් ඒක ගන්නවා. හොඳම ඇහුම්කන්දීමේ හැකියාවක් තිබෙනවා. ඕන කෙනකු මැරුණාම ඒ හිස්තැන පුරවන්න බැහැ කියනවා වගේ නෙවෙයි මනෝ අය්යාගෙන් හිස්වන බොහෝ හිඩැස් අපට පුරවන්න ඇත්තටම බැහැ. අනෙක ඔහුගේ නිර්මාණවල මුල, මැද, අග පැහැදිලිව දැක්වූවා වගේ ජීවිතයත් එකපාරට ඉවර නොකර අපට තේරුම් කරලා දුන්නා ජීවිතය කියන්නේ මේකයි කියලා. නාට්‍යයකට වගේම මේ වියෝවටත් අපිව හුරු කළා. වට පිටාවේ සෙනඟ පුදුම විදිහට මනෝ අය්යාට ආදරේ කළා. සමහර දාට නාට්‍ය පුහුණුවකට එද්දි අපට කියනවා අද අපේ ගමේ පොඩි වැඩක් තිබුණා මාත් පාර ටිකක් සුද්ද කරලා ආවේ කියලා. ඒ සහයෝගය ජයන්ති අක්කා (බිරිඳට) ලැබුණා. ඒ වගේ පිරිස ලබන්න බොහොම පිං කරන්න ඕනෙ. ඒ වගේම ඒ පිරිසටත් මනෝ අය්යා ආපහු ඕනෙ.

ඒ අසලම සිටියේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්නයි.

අවුරුදු තිස්දෙකක් විතර මම හිටපු මේ ක්ෂේත්‍රයේ මම දැක්ක ශ්‍රේෂ්ඨතම නළුවෙක් මනෝ අය්යා. එතුමාගේ තිබෙන හැකියාව උපතින් ගෙනා වාසනා ගුණය වගේම, විවිධ ශෛලීන්වල නිරතවෙලා, විවධ පුද්ගලයන් ඇසුරු කරලා, පොතපත කියවලා ලබා ගත් එකමත් විස්මයක් වගේ. මට නිතර හිතෙනවා මටත් මනෝ අය්යා වගේ රඟපාන්න ඇත්නම් කියලා. ගුරුතරුව නාට්‍යයට මම සම්බන්ධ වෙලා හිටියා. ද්විත්ව නාට්‍යයේ මම ඔහු සමඟ රඟපෑවා. චිත්‍රපට රැසකට සම්බන්ධ වුණා. මම ඒ හැමවිටම දුටු දේ තමයි මනෝ අය්යාගේ පරිකල්පන ශක්තිය හරිම ඉහළ බව. එතුමාගේ මුළු ජීවිතයම රංගනයට කැප කළා, භාවිත කළා, අධ්‍යයනය කළා.ඔහු මුලින්ම එන්නේ සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත සම්ප්‍රදායෙන්, පසුව දයානන්ද ගුණවර්ධන සමඟ එක්වුණා. පසුව බටහිර පරිවර්තන නාට්‍ය ආදියත් කළා. සාමාන්‍යයෙන් ශෛලිගත සම්ප්‍රදාය කළ අයගේ ඒ ගතිය අනෙක් රංගනයන්දී පේන්න ගන්නවා. ඒත් මනෝ අය්යාගෙ එහෙම වුණේ නැහැ. එයට හේතුව ඔහු මැටි පිඩක් වගේ වීම. නම්‍යශීලී බව. ඔහු කළ හැම නාට්‍යයකම සාහිත්‍යමය ගුණය ඉහළින් තිබුණා. අද මට හිතෙන දේ තමයි මේ ආකාරයෙන් සංගීතය, නර්තනය ආදී සියල්ල යොදාගෙන නාට්‍යකරණයේ නියැළෙන්න පුළුවන් අය තවත් ඉන්නවාද කියන එක. මේ අඩුව දැනෙන්නේ මතු පරපුරටයි.

අනෙක් පස සිටියේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් දේවප්‍රියයි.

මට අවුරුදු 17ක් විතර ුවෙද්දි හේමසිරි ලියනගේ අය්යාගේ චිත්‍රාවගේ ප්‍රේමකතාව කියලා නාට්‍යයක සුළු චරිතයක් කළා. ඉසිපතන ශාලාවේ තමයි පුහුණුවීම් තිබුණේ. එතැනදි තමයි මුලින්ම මනෝ අය්යාව හමුවන්නේ. හැබැයි පොඩි චරිතය වුණාට මට රඟපාන්න ලැබුණේ මනෝ අය්යා වගේ දැවැන්තයන් සමඟ. මනෝ අය්යා කළේ ගුවන්විදුලිය කියන චරිතය, චන්ද්‍රා කළුආරච්චි තමයි මහරැජිනට හිටියේ. ඒ වෙද්දි මම මනෝ අය්යාගේ මහගිරිදඹ බලලා තිබුණා. ඔහු මොන නාට්‍යය හැදුවත් මගේ හිත රිදවන්නේ මහගිරිදඹ තමයි. ඔහොම කාලේ ගෙවිලා මම රූපවාහිනියට ගියාම තිස්ස අබේසේකර මහත්මයා කීවා මඩොල්දූව ටෙලි නාට්‍යයක් කරමු කියලා. මම මුලින් කැමති වුණේ නැහැ ලෙස්ටර් සර් කරපු එකක් නිසා. පස්සේ මාර්ටින් වික්‍රමසිංහ පදනමට අවශ්‍ය නිසා කළා. නළුවරණය ගැන අහපු තිස්ස අය්යා ඇහුවා ඉලන්දාරියා ධර්මසිංහ ඉස්කෝලෙ මහත්තයාට කවුද ගන්නේ? ලේසි නැහැ ලෙස්ටර් සර්ගේ චිත්‍රපටයේ ඕක කරන්නේ ජෝ අබේවික්‍රම කියලා. මම කල්පනාකරලා කීවා මම හිතන් ඉන්නේ මනෝ අය්යාව ගන්න කියලා. මොහොතක් මා දිහා බලන් ඉඳලා අන්තිමට කීවා ජයලත් මනෝරත්න ඇරෙන්න ඕක කරන්න කෙනෙක් නෑ මල්ලි කියලා. ඉතින් මනෝරත්න කියන්නේ කොහොම කෙනෙක්ද කියන්න තව මුකුත් කියන්න ඕනෙද? මනෝ අය්යට තිබුණේ දර්ශන හත අටක් වුණත් එයා කොටස් දහසයම කියවලා තිබුණා. මනෝ අය්යාගේ රංගනය ගැන කියන්න තිබෙන්නේ මෙහෙමයි. මම කියෙව්වා ලොකප්‍රකට සිනමාකරුවෙක් පොතක සඳහන් කරනවා ‘මම ලෝකේ ශ්‍රේෂ්ඨතම නළු නිළියන් සමඟ වැඩ කරනවා. එතැනදි මම උත්සාහ කරන්නේ රොබට් ඩි නීරෝ හෝ මාලන් බ්‍රැන්ඩෝ සමඟ වන්න පුළුවන්. ඒ ශිල්පියා රේල්පීල්ලක යද්දි සමබරතාව රැකගන්න මම කරන්නේ පොඩි තල්ලුවක් දෙන එක විතරයි. මොකද මේ නළුවන් ලෝකයම අතට ගන්න පුළුවන් නළුවන්.' මට ජයලත් මනෝරත්න රංගශිල්පියා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. ඔහු ලෝකයම අතට ගත් කලාකරුවෙක්.

නිල්මිණි සිගේරාත් දමිතා අබේරත්නත් පැමිණියේ මේ අතරය. නිල්මිණි මනෝරත්නයන් සමඟ රංගනයක නිරත නොවුණත් ඇයට ඔහු ඇසුරු කරන්න ලැබීම මහත් පිනක් ලෙස සලකන්නීය. ඇය ඔහු හැඳීන්වූයේ ඇවිදින පුස්තකාලයක් ලෙසිනි. දමිතාට ඇත්තේ පිය සෙනෙහසක් බඳු හැඟීමකි. ඇය එය කීවේ මෙලෙසිනි.

නිල්මිණි අක්කා කීවා වගේම මනෝ අය්යා මහා පුස්තකාලයක්. විනාඩි පහක් කතා කළොත් අපි නැඟිටින්නේ මහා දැනුම් සම්භාරයක් එකතු කරගෙන. සඳළුතලය කරද්දි මම නවය පන්තියේ. එතකොට මම කීවේ මනෝ අංකල් කියලා. දවසක් ඉස්කෝලේ කට් කරලා ෂූටින් ගියා කියලා මනෝ මාමාට කේන්ති ගියා. පස්සේ අධ්‍යක්ෂට කතා කරලා කීවා පොඩි එවුන්ගේ ඉස්කෝල ගමනට නම් බාධා කරන්න එපා කියලා. ඒ තරම් අපි ගැන ඔහු හිතුවා. පසු කාලෙක අපි මනෝ අය්යා කියන්න ගත්තා. මට තිබෙන එකම දුක ඔහුට අසනීප වෙලා නිහඬව ඉන්න වීම. ඔහුගේ මරණයත් අපට ලොකු පාඩමක්. ඔහු අසනීපය ගැනත් යූටියුබයේ පවා ඇත්ත කියමින් සමාජය දැනුම්වත් කළා. රංගන ශිල්පියකු ලෙස ඔහු අපට දුන් සහයෝගය ගැන වචනයෙන් කියන්න බැහැ. ගොඩක් පොඩි අය විදිහට අපි ක්ෂේත්‍රයට ආවාම, ආධුනිකයන්, නවකයන් කියලා අපට දැනෙන්න තිබ්බෙ නැහැ. අපට ඔහුගේම දරුවන් හැටියට සැලකුවේ. හොඳ දේ කරන අයට සැලකුවා. ඒ නිසාම අපිත් එක්ක ඉද්දි අපට දැනුණෙ නැහැ මේ ඉන්නේ මහා නළුවෙක් ප්‍රවීණයෙක් කියලා. අපට නැති වුණේ රංගනය ගැන ගුරුහරුකම් දෙන්න පුළුවන් ගුරුවරයෙක්. කලාව කියන විෂයය තුළ ඔහු නොසිටි තැනක් නැහැ. ඒ නිසා මේ සිදුවුණු අඩුව මකන්න බැරිවෙයි කවදාවත්.

ඔවුන් සමඟ කතා කළ අපට ඇසුණූු අනෙක් සුවිශේෂී කරුණ මෙවන් කලාකරුවකු සිය අවසන් කටයුතු ප්‍රදේශයේ පොදු සුසාන භූමියේ සිදු කරන්නැයි පවසා තිබීමය. ඒ ඔහුගේ නිහතමානීකමේ අවසන් සංකේතයයි.