බැස ගිය ගුරු තරුව

ජනවාරි 16, 2020
මමෝරත්න, සුගත් වටගෙදර,  ඒ.ඩී.රන්ජිත් කුමාර, සෝමවීර සේනානායක හා බන්දුල වීරක්කොඩි

 

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රඟපෑමට දක්ෂ ළමා නළුවෙක් පාසලේ ගුරුවරයෙක් වූ සුනිල් ශ්‍රියානන්දගේ ‘අස්පගුඩුං’ නාට්‍යයෙන් කලා ලෝකයට පිවිසුණේය. ඒ 1966 වසෙර්ය. මේ ළමා නළුවා ජයලත් මමෝරත්නය. ‘අස්සගුඩුං’ නාට්‍යයේ මනෝ රඟපෑවේ රණා නම් චරිතයයි. සමස්ත ලංකා අන්තර් පාඨශාලා තරඟයෙන් මේ නාට්‍යයේ රණාගේ චරිතයට කුසලතා සම්මානයක් හිමිවිය. මනෝගේ කලා ජීවිතය ඇරඹෙන්නේ එතැන් සිටය.

මනෝරත්න ගැන ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැලියගොඩ 2006 නොවැම්බර් මාසයේ අපූරු ග්‍රන්ථයක් සම්පාදනය කර ඇත. ‘මමෝ රංග තීර්ථ යාත්‍රිකයා’ නම් මේ කෘතිය සුරස පොතක් හැටියට පළ වී තිබුණි. එහි බණ්ඩාර මුල්වරට මනෝගේ ජීවිත කතාව අගේට විස්තර කරයි. ඔහු කියන විදිහට මමෝගේ වත ගොත මෙසේය.

පළාත - මධ්‍යම. දිස්ති‍්‍රක්කය - නුවරඑළිය. කෝරළය - කොහොක. ගම - දෙහිපේ. පියා - කෙසෙල්ගස්පෙ මනතුංග බණ්ඩාර. මව - අගලකොටුව හේරත් මුදියන්සේලාගේ ලීලා කුමාරි. මනෝරත්න පවුලේ බාලයාය. මනතුංග සෙනෙවිරත්න, මනතුංග විජේරත්න, මනතුංග ආරියරත්න, මනතුංග ඉන්ද්‍රා කුමාරි, මනතුංග මල්ලිකා කුමාරි, මනතුංග ජයලත් මනෝරත්න ආදී වශයෙනි. පියාගේ වෘත්තීය රියදුරුය.

‘අම්මා ගෙලිඔය ගුරුදෙණිය වලව්වේ. වලව් ගරා වැටුණට අම්මාගේ හිත ගරා වැටිලා නෑ. පැළැන්තිය ගැන කවදත් කතා කළේ උජාරුවෙන්. මනෝ උපන්නේ 1948 ජූනි දොළොස් වැනිදාය.’

ජයලත් මනෝරත්න පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයෙන් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට ගියාට පසු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සිංහල ඉගැන්වීමට පැමිණි පසු ‘පෙමතො ජායති සොකෝ’ නාට්‍යයෙන් මනෝට ප්‍රධාන චරිතයකින් නළු වරම් ලැබෙන්නේ සම්මුඛ පරීක්ෂණයකින් සමත් වීම නිසාය. මනෝට උද්දාල බමුණාගේ චරිතය ලැබිණිබුණා. ඊට කලින් සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු මනමේ නාට්‍යවල සුළු චරිත රඟපාන්නට ලැබී තිබුණි.

මනෝ උපාධිය ගත්තට පසු ගුරු වෘත්තිය ලිපිකරු තනතුරු තෝරා ගත් පසු සාහිත්‍ය පැත්තටත් හිත බැඳෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස තිදෙනකු එකතුව කවි පොතක් පළ කිරීමට මනෝත් සම්බන්ධ වෙයි. සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති හා මමෝ ලියූ පොතේ නම ‘දොළොස් මහේ පහන’ ය. පොතේ පිට කවරය මහගමසේකරගේය. ඊට පසු මමෝ නවකතාවක් ලීවේය. නම ‘දවස තාම තරුණයි’. ‘පියසේන සහ කුමාරිය’ ඔහු ලියූ කෙටිකතා පොතකි.

මමෝව කොළඹ එක්ක එන්නේ නිශ්ශංක දිද්දෙණිය බව බණ්ඩාර ඇහැලියගොඩ ලියා තිබුණි. ‘ඒ කාලේ දිද්දෙණිය හරිම ජනප්‍රියයි. ‘සිංහබාහු’ චරිතය කරලා, චිත්‍රපටවල රඟාපාලා ‘දිගා’ කාගේත් අධානයට ලක් වෙච්ච කෙනෙක්. මනෝ කෝට් එකකුත් ඇඳගෙන හීතලේ ඉන්න කොට දිගා කතා කළා.

‘වරෙන් යන්ඩ කොළඹ. මෙහෙ සීතලේ වෙවුලන්නේ නැතිව. අපි මේ දවස්වල හෙන්රි ජයසේනගේ ‘මකරා’ කරනවා. උඹට ඒකට සම්බන්ධ වෙන්ඩත් පුළුවන්.’

දිගා මමෝව එයාගේ කාමරේ නවත්ත ගන්නවා. මාස ගාණක් දෙන්නම නිදා ගන්නේ එක ඇඳේ. හෙන්රි ජයසේන ළඟට මනෝව එක් කරගෙන යනවා. හම්බ වෙන්නේ පුංචි චරිතයක්. ඒ තමයි පූසා. මනෝ ඒක හොඳට කළා.

මේ කාලෙම මමෝරත්න දයානන්ද ගුණවර්ධනගේ ‘ගජමන් පුවත’ එස්. ඒ. පේ‍්‍රමරත්නගේ ‘රතු හැට්ටකාරි’ නාට්‍යවලත් රඟපා ඇත. ඊට අමතරව සොක්‍රටීස්, ඔත්තුකාරයා, සුභ සහ යස ඇතුළු නාට්‍ය ගණනාවක රඟපෑමට ඔහුට අවස්ථාව ලැබිණ.

තලමල පිපිලා 

චිත්‍රපටයක මනෝ රඟපාන්නේ ටයිටස් තොටවත්තගේ ‘හඳයා’ චිත්‍රපටයේ පෝනි රේස් එකේ නිවේදකයා හැටියට. මේ අවස්ථාව මනෝට ලබා දෙන්නේ චිත්‍රපටයේ සූප්පුවාට රඟපෑ කිත්සිරි මෙවන් ජයසේන, ටයිටස්ට හඳුන්වා දීමෙන් නිවේදකා වූ මනෝගේ නහය මයික් එකේ හැප්පි හැප්පි කරන විස්තර කථනය මතක් වී බොහෝ දෙනාට හිනා යන්න ඇති.

සුනිල් ආරියරත්නගේ ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයේ සිරිබෝ හාමි ලෙස රඟපෑ ජෝ අබේවික්‍රමගේ මිතුරෙක් විදිහට මමෝ හා සෝමසිරි දෙහිපිටිය රඟපෑ චරිතය මනෝ සැලකිය යුතු චරිතයක් මුල්වරට රඟපායි.

වේදිකා නාට්‍යවල ජය කෙහෙළි නැං වූ මමෝරත්න රාජ්‍ය නාට්‍ය උලෙළේ 1974 හොඳම නළුවා ලෙස මුලින්ම සම්මානය දිනා ගත් අතර පුත්‍ර සමාගම, තලමල පිපිලා, සොක්‍රටීස්, ද්විත්ව නාට්‍ය සඳහා ද සම්මාන ලැබීය. ඒ අතර ඔහු රචනය කොට නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයකි. මහගිරි දඹ, තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, සඳගිර, කනේරු මල්, ලෝකය තනි යායක, මකරා, සුදු රෙදි හොරු, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු.

චිත්‍රපට රඟපෑම සඳහාද මනෝ සම්මාන දිනා ඇත. ජීවිතයෙන් ජීවිතයක්, මුහුදු ලිහිණි, සප්තකන්‍යා, ස්ත්‍රී, සිසිල ගිනි ගනී, උමයංගනා, මංගල තෑග්ග, සාරංගා, පුංචි සුරංගනාවී, සුදු කළුවර, ගිනි කිරිල්ලී, සුදු කළු හා අළු, සූරිය අරණ, හිරිපොද වැස්ස, සමනළ තටු, වලාපටල, භේරුණ්ඩ පක්ෂියා, හෝ ගාන පොකුණ යන චිත්‍රපටවල රඟපෑ මනෝ මංගල තෑග්ග චිත්‍රපටය සඳහා හොඳම සහාය නළුවා ලෙස සරසවිය සම්මානය හා ඕ. සී. අයි. සී. සම්මානය ද සුදු කළුවර චිත්‍රපටය සඳහා සරසවිය හා සිග්නිස් සම්මාන ද ලබා ඇත.

ටෙලි නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණයෙන් ද මනෝ කුසලාත ප්‍රකට කර ඇත. ඒ අතර ඒකාංගික නාට්‍ය ද සෙක්කු ගෙදර, රංසිරිගේ සංග්‍රාමය, මගේ කවිය මට දෙන්න, තුන්පත් රටාවක ලස්සන, ඊයේ අද සහ හෙට ද කැපී පෙනෙයි. හොඳම නළුවා ලෙස ප්‍රසන්න ජයකොඩිගේ ‘සඳ අමාවකයි’ ටෙලි නාට්‍යයෙන් හොඳම නළුවා ලෙස ද, සුමති සම්මාන දිනූ මනෝ, ආනන්ද අබේනායකගේ ‘රම්‍ය සුරම්‍ය’ ටෙලි නාට්‍යයේ හොඳම ටෙලි නාට්‍යය රචනය සඳහා ද සුමති සම්මාන දිනීය. ඔහු රඟපෑ ටෙලි නාට්‍ය රැසකි. ගම්පෙරළිය, මැණික් නදිය ගලා බසී, මං නැතිදා, ගංගා හා නිශ්ශංක, දූ දරුවෝ, බුමුතුරුණු, රෝද හතරේ මනමාලයා, සෙදෝනා, සරදියෙල් ඒ අතර කැපී පෙනෙයි.

අන්දරේලා, ගුරු තරුව, සුදු රෙදි හොරා, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු නාට්‍ය පිටපත් සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ඔහු මෑතදී (2015) ‘සිංහල නාට්‍යයේ ප්‍රාසංගික නාට්‍යයේ කලාත්මක වර්ධනය’ පර්යේෂණ ග්‍රන්ථය රචනා කළේය.

මනෝරත්න ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, සාහිත්‍ය සූරි, දර්ශන සූරි උපාධිධාරියෙකි. ආචාර්ය ජයලත් මනෝරත්න ගැන මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසා ඇත්තේ ජයලත් මනෝරත්න සත්‍යයෙන්ම අද සිංහල වේදිකාව මත සිටින අති විශිෂ්ට පුද්ගලයන්ගෙන් කෙනෙකු බවය.

මනෝගේ බිරිය තමරා ජයන්ති සිල්වාය. මහාචාර්ය සර්ච්චන්ද්‍රගේ ‘පෙමතේ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන නිළිය ඉවත් වූ පසු නැටුමට, ගැයුමට හපන් නිළියක් සොයා ගන්න දඟලන සරච්චන්ද්‍රයන්ට පිහිට වන්නේ මාලිනී රණසිංහ (සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවි) බව බණ්ඩාර ඇහැලියගොඩ කියයි.

මාලිනීගේ නැඟණිය තමරා ජයන්ති සිල්වා එක් කර ගෙන එනවා. ජයන්ති ගන්නවා ස්වර්ණතිලකා චරිතයට. ඊට පස්සේ කාලෙක උද්දාල බ්‍රාහ්මණයයි, ස්වර්ණතිලකාවයි නීත්‍යානුකූලව විවාහ වෙනවා.

මමෝ හා තමරාට පුතෙකු හා දුවෙකු සිටී. භානුක ප්‍රබුද්ධ මනෝරත්න හා උත්පලා ඉන්දීවරී මනෝරත්නයි ඒ. මනෝ තම පුතු භානුක ද කලා ලොවට තිළිණ කළේය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය කොමිෂන් සභාව, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන මණ්ඩලය ආදියෙහි සේවය කළ මනෝරත්න වේදිකා ගායකයකු ලෙස ප්‍රකට වූයේ ‘බෝ දොස් කියා’ ‘ශාන්ත ජෝන්ගේ විදියේ කඩේ’ ගීත ගයමිනි.

 

මංගල තෑග්ග

සෝමවීර සේනානායක ගැන පැවැත් වූ උපහාර උලෙළක් සඳහා ජාතික රූපවාහිනිය විසින් අධ්‍යක්ෂණය කළ කෙටි රූපවාහිනී වාර්තා වැඩ සටහනකට මීට වසර කිහිපයකට පෙර මම අදහස් දැක්වීමට බොරලැස්ගමුවේ ඇඹිල්ලවත්ත පාරේ සෝමවීරගෙ ගෙදර ගියෙමි. කැමරා ශිල්පී ලාල් සෙනරත් සමඟ එහි ගිය මට අවසන් වරට මමෝරත්න හමු වුණේ එහිදීය. පැරණි කතා කියමින් මමෝ අප සතුටු සාගරයේ ගිල්වීමට සමත් විය. එදා එහි සුගත් වටගෙදර, බන්දුල වීරක්කොඩි ද පැමිණ සිටියහ.

මට මුලින් මනෝ හමු වූයේ හැත්තෑව දසකයේ මුල දී නිශ්ශංක දිද්දෙනිය නැවතී සිටි කාමරයේදීය. එකල ‘සරසවිය’ පුවත්පතේ නාට්‍ය පිටුව භාරව සිටි මම එදා තරුණ නාට්‍යකරුවන්ට හැම උපකාරයක්ම කළෙමි.

එහිදී මනෝරත්න නම් වේදිකා නළුවා ‘රතු හැට්ටකාරි’ නාට්‍යයෙන් හොඳම නළුවාට හිමි රාජ්‍ය සම්මාන දිනාගත් දා අපි ‘සරසවිය’ පත්‍රයෙන් ඔසවා තිබූ අයුරු මට දැන් සිහි වෙයි.

මමෝ එතැන් සිට තම ප්‍රතිභාව දිගින් දිගට වර්ධනය කරගත් අයුරු දුටු අපි සතුටට පත් වීමු. මොහාන් නියාස්ගේ ‘මං නැති දා’ ටෙලි නාට්‍යයේ මනෝ මරණයට පත් වූ ව්‍යාජයෙන් තමාට එදිරිවාදි වූ පිරිස මෙන්ම තමාට උදව් උපකාර කළ මිනිසුන් ගුණ ගයන අයුරු දකින චරිතයක් රඟපෑවේය.

බොරලැස්ගමුවේ අබේරත්න මාවතේ නිවසේ අවසන් නින්ද නිදන මනෝ දකින විට මගේ සිහියට ආවේ ‘මං නැති දා’ ටෙලි නාට්‍යයයි.