මුල් චිත්‍රපටයේ පනහ වසර දුටු තවත් හත් දෙනෙක්

ජනවාරි 23, 2020

මුල්ම චිත්‍රපටයේ අවුරුදු පනහ දුටු සිනමාකරුවෝ -2

පසුගිය සතියක අප සිය මුල්ම සිංහල චිත්‍රටය නිර්මාණය කර වසර පනහ සපිරෙනු දුටු වාසනාවන්ත සිනමාකරුවන් හත් දෙනෙක් ගැන සඳහන් කළා. මේ එබඳුම තවත් සිනාමකරුවන් හත්දෙනෙක් ගැන සටහනක්

 

ආරියදාස පීරිස්

ඔහු මේ රටේ නමගිය ගුවන්විදුලි නිවේදකයකු වුවත් මෙරට කලා ලෝකයේ හතර අත නම රැන්දූ චරිතයක් .ඒ වගේම අපේ ප්‍රවීණ ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන්. ඔහු ගේ මුල්ම චිත්‍රපටය සෝබන සිත නිර්මාණය කළේ 1964 වසරේ දෙසැම්බර් 4 වැනි දා. හැබැයි ඔහුගේ දෙවැනි චිත්‍රපටය සුභා නිර්මාණය කළේ තවත් වාර්තාවක් තියලා. ඒ මුල් චිත්‍රපටයට අවුරුදු 46කට පස්සේ. සුභා නමින් 2010 වසරේ තනපු චිත්‍රපටයත් එක්ක. 2017 වසරේ ඔහු මිය ගියේ අවුරුදු 91ක් ඉතා සතුටින් රසවත් ජීවිතයක් ගත කරමින් සිටියදී.

 

ජී.ඩී.එල්. පෙරේරා

1965 අවුරුද්දේ මැයි මාසේ 17 වැනි දවසේ තිරයට ආපු සාමා චිත්‍රපටය එක්තරා ආන්දෝලනයක් වගේම වැදගත් සිදුවීමක්. ඒ තමයි ඒයුගයේ අපේ සිනමාවට පිසෙන්න තිබුණ තරුණයන්ගේ කැපවීම පෙන්වපු අවස්ථාව. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ.ජීඩී.එල්. ඒ වගේම ඔහු කලාපෙළ සංවිධානය මඟින් අලුත් සිනමාකරුවන් රැසකටම සිනමාව හදාරන්න අවස්ථාව උදා කරල දුන්නා. ඔහු පසුකලෙක රෝමියෝ ජුලියට් කතාවක්, දහසක් සිතුවිලි. චක්‍රායුධ වගේම ඉංග්‍රිසි චිත්‍රපටයක් වූ පීටර් ඔෆ් ද එලිෆන්ට්ස් චිත්‍රපටයත් නිර්මාණය කළා. ඔහු වසර ගණනාවක් ජීවත්වනුයේ එංගලන්තයේ.

 

බන්දු ගුණසේකර

සිනමා නළුවකු හැටියට ක්ෂේත්‍රයට පිවිස යුගයේ හැටියට දැවැන්ත චිත්‍රපටයක් වූ සීගිරි කාශ්‍යප සිනමා කෘතිය න්ර්මාණය අවසන් කරන ලද්දේ ඔහුයි. දැන් අපට සිටින ජ්‍යේෂ්ඨතම සිනමාකරුවෙක්. සීගිරි කාශ්‍යප හැදුවේ 1966 අවුරුද්දේ. ඔහුගේ දෙවැනි චිත්‍රපටය හොදින් ඉන්න හැදුවේ 1980 අවුරුද්දේ.

 

 

ශාන්ති අබේසේකර

ඔහු හදපු මුල්ම චිත්‍රපටය වහල් දූපත තිර ගතවුණේ 1968 අවුරුද්දේ. ඔහු සිනමාවට පිවිසෙන්නේ නළුවකු හැටියට සැඩසුළං චිත්‍රපටයෙන්. චිත්‍රපට රාශියක රඟපෑමෙන් පස්සේ තමා වහල් දූපත හැදුවේ. ඔහු ඉන් පස්සේ සිදාදියෙන් හයක් සිනමාවට නැංවූවා.එයට මේ අවුරුද්දට පනහයි. ඔහුගේ භාර්යාව සුප්‍රකට ගායිකා දයා හේමන්තා අබේසේකර. ඒවගේම වත්මන් පරපුරේ ජනප්‍රිය ගායිකාවන් වන සුප්‍රියා අබේසේකර වගේම සධානා රණතුංගත් ශාන්ති අබේසේකරගේ දියනියන්.

 

මහාචාර්ය සිරි ගුණසිංහ

හදපු එකම චිත්‍රපටයෙන් නමක් දිනූ සිනමාකරුවෙක්. ඔහු 1967 වසරේ තැනූ සත් සමුදුර මෙරට සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට දහයෙන් එකක් හැටියට සලකනවා. ලේඛකයකු,කවියකු. විචාරකයක් හැටියට මහාචාර්ය ගුණසිංහයන්ගේන් සිදුවූ සේවය විශිෂ්ටයි. ඔහු මිය ගියේ 2017 වසරේ දී .ඒ වන විට සත් සමුදුර චිත්‍රපටයට අවුරුදු පනහ පිරිලා

 

ආනන්ද වික්‍රමසිංහ

අනූව දශකයේ දිනුම, සටන වගේ චිත්‍රපට හදලා බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ඔහු මුල්ම චිත්‍රපටය වසන්ති අධ්‍යක්ෂණය කරන ලද්දේ අගෝස්තු මස 10 වැනි දිනයේ. ඒ වගේම ඔහු ධනය, සාජන්ට් නල්ලතම්බි, සසර සැරි සරන තෙක් ඔබ මගේ, යසස, දිනුම කාගෙද, හදවත මල් යායයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඒ මුල් චිත්‍රපටය හදලා අවුරුදු පහළොවක පමණ විරාමයකින් පස්සේ.

 

හර්බට් රූපසිංහ

නිහඬවම තමන්ගේ චිත්‍රපටය හදලා අවුරුදු පනහ සපිරුණු වැඩි සද්දයක් නැති කලාකරුවෙක් තමයි. හර්බට් රූපසිංහ.ඔහු හදපු එකම චිත්‍රපටය හිත ගිය තැන. හිත ගිය තැන චිත්‍රපටය තිර ගතවුනේ 1968 අවුරුද්දේ. සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමාවට පිවිසි ඔහු පසුගියදා සරසවිය කාර්යාලයට ගොඩ වැදුණ විට ගත් ඡායාරූපයක් තමා මේ පළවෙන්නේ.