සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර තනිවම එකතු කළ ගැමියා

ජනවාරි 23, 2020

මෙරට මුල්ම කතානාද චිත්‍රපටය තිරගත කොට අවුරදු 73 පිරුණේ ඊයේය. සෙලියුලොයිඩ් පටයෙන් හා සිනෙ ප්‍රොජෙක්ටරයෙන් භෞතීෂ්ම වූ අපේ දේශීය සිනමාව 2020 නව දශකයක් ආරම්භ වන මේ මොහොතේ සෙලියුලොයිඩ් පටයන් සිනෙ ප්‍රෙ‍්‍රාජෙක්ටරයන් පසෙකට විසි වී අති නවීන තාක්ෂණයකට අපේ සිනමාව ද පරිවර්තනය වෙමින් පවතී. 73 වසක දේශිය සිනමාවේ අතීත මතක සටහන් සියල්ල අපේ මතකයෙන් බොහෝ දුරක සැඟව ගොස් ඇති බව හැඟේ.

අතීතයේ අප සතුව තිබූ දේශීය සිනමාවේ මතක සටහන් රැක ගන්නට වගකිව යුතු කිසිදු ආයතනයක් හෝ පුද්ගලයකු ඉදිරිපත් වන බවක් ද පෙනෙන තෙක් මානයක නැත. ඒනිසාදෝ දේශීය සිනමාවේ බොහෝ මතක සටහන් සියල්ලම එක්කෝ බෝතල් පත්තර කඩවලට විකිණී අවසන්ය. ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඇතුළු උපකරණ කම්හල්වලදී අවසන් ගමන් ගොස් ඇත. ඒවගේම සිංහල චිත්‍රපට පිටපත් රැසක් විදෙස් රටවලට අලෙවි කර ඇත. සිනමා නිර්මාණ කෙතරම් ප්‍රමාණයක් අපට අහිමි වී ගොස් ඇතිදැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණකි.

දේශීය සිනමා ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන යුගයක මේ රටේ සිනමාවට තම ජීවිතය සේ ආදරය කරන විරල මිනිසුන් ද සිටිති. එවන් විරල මිනිසකු පිළිබඳ වූ රසවත් තොරතුරු ටිකක් සරසවිය පාඨකයන්ට මෙලෙස පෙළ ගස්වමි.

කොළඹින් සැතපුම් ගණනක දුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝපිටිය පලාගල නම් වූ හද්දා පටිසර ගමකින් අපේ කතානායකයා හමු වෙයි. ඔහු නමින් ජේ. ආර්. රංජිත්. ගමේ අය ඔහු හඳුන් වන්නේ පලාගල සරත් කියලා. සරත් කියන්නේ සිනමා කෞතුකාගාරයක් පවත්වාගෙන යන ගැමියෙක්. මෙය එසේ මෙසේ කෞතුකාගාරයක් නොවෙයි. සෙලියුලොයිඩ් පටයේ සිට එදා මෙදාතුර සිනමා කර්මාන්තයට භාවිත කළ ආම්පන්න රැසක් මෙම ගැමි කෞතුකාගාරයේ සංරක්ෂණය කරන අයුරු දැක ගත හැකිය. කඩවුණු පොරොන්දුවේ සිට වර්තමානයේ ඩීවීඩී තාක්ෂණය දක්වා වූ උපකරණ සරත්ගේ රැකවරණය යටතේ මෙම කෞතුකාගාරයේ සංරක්ෂණය වෙයි.

ගමේ මිනිස්සුන්ට කරන්න දහසක් දේ තිබියදීත් සරත් වගේ ගැමියෙක් ඇයි මේ චිත්‍රපට කර්මාන්තයට අයිති ලටපට එක් රැස් කරන්නේ. අපි මොහොතක් සරත්ගේ හඬට කන්දෙමු.

‘මේක මගේ අම්මගෙන් තාත්තගෙන් උරුම වෙච්ච දෙයක්. මගේ තාත්තා ජේ. ආර්. චන්ද්‍රරත්න. අම්මා ඩබ්ලිව්. එම්. කුසුමාවතී. 1947 කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ඉඳලා තාත්තා එදා චිත්‍රපට තිරගත කළ ටෙන්ට්වල චිත්‍රපට පෙන්වපු ප්‍රොජෙක්ටර් ඔපරේටර් කෙනෙක්. මගේ තාත්තා දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුඩුව දක්වා රටේ ගම් නගරවල සැරිසරමින් චිත්‍රපට පෙන්වපු කෙනෙක්. මේ රට පුරා යන ගමනේදී තමයි අම්මා (කුසුමාවතී) හමුවෙලා තියෙන්නේ. එතැන් සිට තාත්තා චිත්‍රපට පෙන්වන ටෙන්ට් මැහැව්වේ අපේ අම්මා. එයත් හැකි අයුරින් තාත්තාගේ රැකියාවට මහා ශක්තියක් දුන්න දිරිය කාන්තාවක්. අපේ පවුලේ සියලු දෙනාම සිනමා කර්මාන්තයට සම්බන්ධයි. ලොකු අයියා ජේ. ආර්. විමලවංශ (තිස්ස) දෙවැනි අයියා ජේ. ආර්. ස්ටැන්ලි (සේන) ඊළඟ අයියා ජේ. ආර්. හර්මන් (ගැමුණු) මේ සියලු දෙනාම සිනමා ශාලා කළමනාකරුවෝ විදියට සේවය කළ අය. මමත් තාත්තාගෙන් මේ සියලුම ශිල්පයන් ඉගෙන ගත්තා. මගේ තාත්තගේ මල්ලි (බාප්පා) ජේ. ආර්. ජස්ටින් එයත් ප්‍රොජෙක්ටර් ඔපරේටර් කෙනෙක් විදියට කොළඹ ඇතුළු ප්‍රධාන පෙළේ සිනමා ශාලා රැසක සේවය කර දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. මම මේ රැකියාව ආරම්භ කළේ ‘මිහිඳුම් සිහින’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමත් සමගයි.

මේ කතාබහ අතරතුර සරත් චිත්‍රපට කෑන් එකක් මගේ අත තැබුවේය. ඕක අවුරුදු 74 ක් පැරැණි කෞතුක වස්තුවක්. මොකක්ද මේකේ තියෙන චිත්‍රපටය මම සරත්ගෙන් ඇසුවෙමි. ‘කඩවුණු පොරොන්දුව‘ ඔරිජිනල් පිටපත ඕකේ තියෙන්නේ. තවමත් එය හොඳ ධාවන තත්ත්වයෙන් ඇති පිටපතකි. මේක ‘අංගුලිමාල’ ඔරිජිනල් පිටපත. සරත් එවැනි පැරැණි ජනප්‍රිය චිත්‍රපට රැසක කෑන් මගේ සුරතේ තැබීය.

යළි මතකය අවදි කළ සරත් සිය පියාණන් ගැන මතකය අවදි කරයි.

‘මගේ තාත්තා මේ රස්සාව කළේ දේවකාරියක් විදියට. මස් මාංශ ආහාරයට ගන්නේ නෑ. කවදාවත් සෙරෙප්පු දෙක දාගෙන කැබින් රූම් එකට ගියේ නෑ. බුදුන්, දෙවියන් අදහල රාජකාරිය කළා. එහෙම කරපු රැකියාවෙන් තමයි අපේ පවුල තාත්තා නඩත්තු කළේ.

මේ රටේ ප්‍රසිද්ධ සිනමා ශාලාවල බොක්ස් ඔෆීස් වාර්තා තබමින් දිනකට දර්ශන 4 ක් හෝ පහක් චිත්‍රපට ප්‍රදර්ශනය කළ ලෝකයේ වටිනාම ප්‍රොජෙක්ටර් යන්ත්‍ර රැසක් සරත්ගේ කෞතුගාගාරයේ යෝධයන් සේ අද නිහඬව බලා සිටින අයුරු දැකිය හැකිය. ඒ අතර මිලි මීටර් 35 වර්ගයේ යිනෙ ප්‍රොජෙක්ටර් 51 ක් ඔහු සතුය. ඒවා අතර Photo Phone (ඉන්දියාව) Super Simplex (අමෙරිකාව) Westar (එංගලන්තය) Kele (අමෙරිකාව) Centure (අමෙරිකාව) Modi (ඉන්දියාව) G. B (රුසියාව) Pathe (ප්‍රංශය) එපමණක් නොව අමෙරිකාවේ නිෂ්පාදිත ආර්ක් ලෑම්ප් (Projection Lamp) එහි දැකිය හැකි පැරැණිම උපකරණය. එදා නිශ්චල ඡායාරූප (ස්ලයිඩ්) සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළේ මෙමඟිනි. මෙය කොලොම්බියාවේ නිෂ්පාදනය කර ඇති අතර එදා මෙය මැජික් ලාම්පුව නමින් ද හඳුන්වා ඇත. මිලි මීටර් 16 ප්‍රොජෙක්ටර් 44 ක්, සුපර් 8 වර්ගයේ ප්‍රොජෙක්ටර් 70 ක්, වෙළෙඳ දැන්වීම් සඳහා භාවිත කළ ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් ග්‍රැමෆෝන්, රිවයිඩර්, චිත්‍රපට ගීත තැටි මෙන්ම වසර 90 ක් තරම් පැරැණි කොලොම්බියා ගීත හා කතා රැගත් තැටි රැසක් ද සරත් සතුව පවතී. ඊට අමතරව පැරැණි සිනමා ශාලා රැසක අනුරූ ඔහුගේ දෑතින් නිමවා ඇත. ඒවා අතර පෙරදිග - ගිරිඋල්ල, එලයිට් - කොච්චිකඩේ, සරසවි - ආගරපතන, ඊස්ටර්න් සිනමා - සමන්තුරේ, ලක්සිරි - වෙන්නප්පුව, සමන්තා - දෙමටගොඩ, සිනමා සඟරා, චිත්‍රපට පෝස්ටර්, චිත්‍රපට ගීත පොත්, පූර්ව ප්‍රචාරක පට, ස්ලයිඩ් පමණක් නොව ටෙන්ට් යුගයේ සිනමා ශාලාවල භාවිතා කළ පුටු වර්ග රැසක් ද ඔහු සතුව පවතී.

‘තවත් ඓතිහාසික කැමරාවක් මම මල්ලිට පෙන්වන්නම්’. ‘මේ කැමරාව මොකක්ද’ මම සරත්ගෙන් පෙරළා ඇසුවෙමි.

‘ලෙස්ටර් මහත්තයා ‘රේඛාව‘ රූපගත කරන්න ‘ARRIFLEX’ නැමැති මේ කැමරාව භාවිතා කරලා තියෙනවා. තවත් විශේෂ උපකරණයක් දෙස සරත් මගේ අවධානය යොමු කළේය. මේකට කියන්නේ ‘Flater’  ෆැලැටර් මේ යන්ත්‍රය හරහා පැය 24 පුරාම චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකිය. විශේෂයෙන්ම සිනමා සංකීර්ණ තුළ මෙම උපකරණය භාවිතා කරමින් චිත්‍රපට කීපයක් තිරගත කරන අතර පේ‍්‍රක්ෂකයාට අවශ්‍ය ඕනෑම වේලාවක තමන් කැමති චිත්‍රපටය නැරැඹිය හැකිය. 2-ඬ, 3-ඬ තාක්ෂණයටත් එහා ගිය නවීනතම අධිතාක්ෂණික උපකරණ හරහා චිත්‍රපට ප්‍රදර්ශනය කරන යුගයක සරත් සිය ධනය, ශ්‍රමය, කාලය කැප කරමින් කරනු ලබන මේ මෙහෙවරට වටිනාකමක් දෙන්නට වගකිව යුතු ආයතනයක් හෝ පුද්ගලයකු ඉදිරිපත් විය යුතු මොහොත දැන් එළැඹ ඇත.

නැවතත් අපි සරත්ට සවන් දෙමු. ‘මම මේ උපකරණ එකතු කරන්නට පටන් ගත්තේ මගේ තාත්තට කරන ගෞරවයක් විදියට. තාත්තා මේ සිනමා ශාලා කෂේත්‍රයේ නොදන්න කෙනෙක් නෑ. තාත්තාගේ හිතවත් සිනමා ශාලා හිමිකරුවන් මෙන්ම සිනමා කාර්මික ශිල්පීන් චිත්‍රපට අධ්‍යක්ෂවරු මට මේ උපකරණ ලබා දුන්නා. දුක් මහන්සියෙන් හොයපු හැම සතයක්ම වියදම් කරන්නේ මේ උපරණ මිලට ගන්නයි. මගේ පුතාට කිරි පැකට් එකක් ගන්නේ නැතිව මේ උපකරණ ගත්ත අවස්ථා තිබුණා. මම මේ උපකරණ හොයාගෙන රට පුරා යනවා. ප්‍රවාහනය කරන්න විශාල මුදලක් වැය වෙනවා. අවුරුදු ගණනාවක් දුක් මහන්සියෙන් එකතු කරපු මේ වටිනා උපකරණ ආරක්ෂා කර ගන්නට මට ස්ථිර තැනක් නෑ. සරත් සිය කෞතුක භාණ්ඩ රැස් කර ඇති තාවකාලික ඇස්බස්ටස් ගොඩනැගිල්ල දෙස බලා සිටී. සරත්ට ස්ථිර රැකියාවක් නැත. කුලී වැඩ කරමින් තම දරු පවුල නඩත්තු කරන අතර ඒ සියල්ලටම වඩා ඔහු මුල් තැන දෙන්නේ පැරැණි සිනමා උපකරණ මිලදී ගැනීමටය. ඔහු සිය දහදිය මහන්සියෙන් ඉදිකර ගත් තාවකාලික ගොඩනැගිල්ල තුළ කිසිදු ආවරණයක් කර නොමැති නිසා අව්වෙන්, වැස්සෙන්, දූවිල්ලෙන් උපකරණ විනාශ වී යාමට ඉඩ ඇත. ඔහුගේ පුංචි නිවෙස පුරාම ඇත්තේ ගෘහ භාණ්ඩ වෙනුවට චිත්‍රපට කෑන් එසේත් නැත්නම් ප්‍රෙජෙක්ටර් වැනි උපකරණය.

බෝතල් පත්තර කඩවල් හරහා යකඩ හෝ චීනච්චට්ටි කම්හල්වලට බිලිවන්නට ගිය මිල කළ නොහැකි සිනමා උපකරණ ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අද සරත්ට තනිවම කර ගැනීම අපහසුය. ජාතික චිත්‍රපට සංස්ථාව, සංස්කෘකින දෙපාර්තමේන්තුව, වයඹ පළාත් සභාව හෝ දේශපාලන අධිකාරිය මැදිහත් වී මේ අහිංසක සිනමා රසිකයාට අත හිත දී ස්ථිර සංරක්ෂණාගාරයක් ඉදි කර දීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම මෙහි තැනපත් කර ඇති මිලි මීටර් 35 සිනෙ ප්‍රොජෙක්ටර් ක්‍රියාත්මක කිරීම සඳහා තෙකලා විදුලිය අවශ්‍යය. සියලු උපකරණ ඉතා හොඳ තත්ත්වයේ ඇති බැවින් විදුලිය කඩිනමින් ලබා දෙන්නේ නම් මේ උපකරණ ක්‍රියාත්මක කර මෙම කෞතුකාගාරය නැරඹීමට එන රසිකයන්ට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට හැකි බව සඳහන් කරන සරත් විශ්වවිද්‍යාල සිසුන්ට, පාසල් සිසුන්ට සිනමා උපකරණ මෙන්ම අනිකුත් සියලු තොරතුරු පිළිබඳ දැනුම නොමිලයේ ලබාදීමට තමා ඉතා ඕනෑනමින් සිටින බව ද සරත් සඳහන් කරයි. රුපියල් මිලියන ගණනක් වටිනා දේශීය සිනමාවේ අතීත මතක සටහන් මතු පරපුරට දැක බලා ගැනීම සඳහා සරත් කරන ලද කැප කිරීම ඇගයීමට ලක්කිරීම සිනමාවට ආදරය කරන සැමගේ යුතුකමකි. දැනට සිය නිවෙස පිටුපස ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල ඉදිරිපිට අතීතයේ චිත්‍රපට තිරගත කළ ටෙන්ට් එකක ආකෘතියක් ඉදි කර පැරැණි ආසන සවිකර චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට බලාපාරොත්තු වන බව ද සරත් සඳහන් කළේය. ගමේ පන්සලේ, පාසල්, ප්‍රජා මණ්ඩලයේ, තරුණ සමිතියේ එසේත් නැත්නම් ගමේ ඕනෑම පොදු වැඩකදී චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නට සරත් සිය සේවය සැපයීමට කැපවීමෙන් කටයුතු කරයි.

සරත් සිදු කරන මේ අතිශය දුෂ්කර කාර්ය භාරයට අත හිත දෙන සහෘදයන් සිහිපත් කරන්නට ඔහු අමතක කළේ නැහැ. ගිරිඋල්ලේ අනුර රොහාන්, පමුණුගම පොහොර කඩේ අධිපති, පලාගල ඔනස් ආයතනයේ සියලුම සේවක සේවිකාවන්, පන්නල ප්‍රාදේශීය ලේකම්තුමා සහ එහි සංස්කෘතික බල මණ්ඩලයට, බල්ලපාන ෆොන්සේකා, මීගමුවේ එඩ්වඩ්, ගණේමුල්ලේ ගුණතිලක, නාරම්මල කුලසේකර, සිනමා ගවේශක මහිල ආර්. පෙරේරා මහත්වරු පන්නල, ගිරිඋල්ල, පලාගල, බෝපිටිය ඇතුළු ප්‍රදේශවාසී හිතවතුන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බව සරත් සඳහන් කළේ හදපිරි සතුටිනි. වැඩිදුර තොරතුරු දැනගන්න සරත්ට කතා කරන්න 0776497338.