ලංකා TV අන්දරය

හත්පණට ලැබුණු පණ
ජනවාරි 30, 2020

ළමා මනසට රස විඳිය හැකි වෘත්තාන්තයක් සොයා යමින් සිසිර එසේ ළමා ටෙලි නාට්‍ය මාලාවක් නිර්මාණය කරද්දී, පාසැල් විෂය නිර්දේශයට ද අන්තර්ගත හෙළ හවුලේ කර්තෘවර මුනිදාස කුමාරතුංගයන්ගේ ‘හත්පණ’ ළමා කතාව පාදක කරගෙන ටෙලි නාට්‍ය මාලාවක් ශ්‍රීමතී ලියනගේ විසින් නිර්මාණය කරන ලදී. මේ ටෙලි නාට්‍ය මාලාව ලාංකික සමාජය තුළ අදටත් කතාබහට ලක්වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවකි. එයට හේතු වන ප්‍රධාන කරුණ වන්නේ එහි ප්‍රධාන චරිතය හොබවන වික්‍රම සෙනෙවිරත්න නම් රංගධරයාගේ තාත්වික රංගනයයි. නෝන්ජල් ගැමි තරුණයකු වශයෙන් හත්පණේදී අපට හමු වුව ද, සැබෑ ජීවිතයේදී ඔහු දුවා දරුවන්ගේ නැණස පාදන උතුම් වූ ගණිත ගුරුවරයෙක් විය. ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් සහ ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම නම් විශිෂ්ට නාට්‍යවේදියාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඓතිහාසික මෙහෙවරක නියැළුණු වීදි නාට්‍ය කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වශයෙන් රංගනයේ භෞතීස්ම ලබන වික්‍රම පේ‍්‍රක්ෂක ජනතාව අතරට සමීප වන්නේ හත්පණ ටෙලි නාට්‍ය මාලාව තුළිනි. ඔහුගේ මව හැටියට චරිත නිරූපණයේ යෙදෙන දෙනවක හාමිනේ නම් විශිෂ්ට රංගන ශිල්පිනියගෙන් මෙහිදී ඔහුට ලැබෙන සහාය ද සුවිශේෂී වේ. ඒ ඒ කථාංගයන් හි ගැවසෙන චරිතයන්ට සුදුසු රංගන ශිල්පීන් වේදිකාවෙන් සොයා ගෙන ඔවුන්ව නිසි කළමණාකරණය කිරීමට හත්පණ ටෙලි නාට්‍ය මාලාව තුළින් ශ්‍රීමතී දක්ෂ වූවාය. කතාවෙන් ඉල්ලන ගැමි පරිසරය, අව්‍යාජ චරිතයන්ගේ හැසිරීම් රටාව නොනැසෙන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට ද ඇය සැම විට වග බලා ගත්තාය. සමස්ත නිර්මාණ කාර්යාවලිය සඳහාම සුදත් දේවප්‍රියගෙන් ශ්‍රීමතීට ලැබුණු සහාය සුවිශේෂී වන අතර එය ඔහුගේ ද මතු නිර්මාණ කර්යාවලියේ මුල් අත්තිවාරම ලෙසට ද සැලකිය හැකිය.

අනුර මාධව ජයසේකර

Add new comment